728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Monday 11 August 2014

අන්තවාදයට කත් අදින හිවලුන්....

මැදපෙරදිග මේ දිනවල ඇති ලොකුම පිළිලය වන්නේ අයිඑස් (ඉස්ලාමික දේශයේ - පෙර අයිඑස්අයිඑස්) අන්තවාදීන්ය.සුන්නි පාර්ශවිකයින් වන ඔවුහු පාරිශුද්ධ යැයි තමන් හඳුන්වාගනිමින් වෙනත් ආගම් වලට මෙන්ම තමන්ගේම ආගමේ වෙනත් කොටස් වලට අයත් ජනතාව සංහාරය කරමින් සිටින්නෝය.

ඊශ‍්‍රායෙලය හා ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඇතිකරගෙන තිබූ පැය 72 ක සටන් විරාමයද නියමිත කාලය ගතවීමට මත්තෙන්ම අවසන් විය.
අවසාන මොහොතේදී සටන් විරාමය උල්ලංඝණය කිරීමට කටයුතු කළ හමාස් සටන් කාමීන් කියා සිටියේ ගැටුම් වලට ස්ථීරසාර විසදුමක් ගෙන ඒමය අවැසි වන්නේ නම් වසර ගණනාවක් පුරාවට ගාසා තීරය වටකොට ඊශ‍්‍රායෙලය හා ඊජිප්තුව පිහිටුවාගෙන  සිටින ආරක්ෂක වළල්ල ඉවත්කළ යුතුව ඇති බවය.මෙනිසා සටන් විරාමයකින් ඵලක් නොමැති බව කියූ ඔවුහු යළිත් වරක් ඊශ‍්‍රායෙලට රොකට් ප‍්‍රහාර එල්ල කළහ.
ඊශ‍්‍රායෙලයද ප‍්‍රතිප‍්‍රහාර එල්ල කළේ ගාසා තීරයේ තවත් ගොඩනැගිලි කිහිපයක් බිමටම සමතලා කරවමින් තවත් සිවිල් වැසියන් ගණනාවකට මරු කැදවමින්ය.දැන් දෙපාර්ශවයම නැවත වරක් එකිනෙකාට ප‍්‍රහාර එල්ල කර ගැනීමේ නිරතව සිටිති.
දෙපාර්ශවය අතර හබය ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත්ව ඇත.වැඩිදෙනාගේ ඇගිල්ල දිගුව ඇත්තේ ඊශ‍්‍රායෙලය දෙසටය.ඊශ‍්‍රායෙල ප‍්‍රහාර වලින් සියගණනින් මරුමුවට පත්වන්නේ සිවිල් වැසියන් වීම මීට හේතුවයි.
සිවිල් වැසියන් මැස්සන් මෙන් මැරෙනු දකින ලෝකයාගේ කෝපය ඊශ‍්‍රායෙලය වෙත යොමුවීමේ වරදක් නැත.සිවිල් වැසියන්ගේ මරණ සාධාරණීකරණය කරන්නට තැත් කරන ඊශ‍්‍රායෙලය හමාස් සංවිධානය රොකට් අවි ස්ථාන ගත කර ඇත්තේ සිවිල් වැසියන්  ගැවසෙන ස්ථාන වල යැයි පවසා සිටීම සිවිල් වැසියන් මරණයට පත්වන ආකාරය දුටු විට පිළිගැනීමටද නොහැකි වන්නට පිළිවන.නමුත් ඊශ‍්‍රායෙලයට දොස් තබන ලොව බහුරතය ඔවුන් ප‍්‍රහාරයක් එල්ල කිරීමට මත්තෙන් එම ප‍්‍රහාරය එල්ල කිරීමට නියමිත  ප‍්‍රදේශයෙන් ඉවත් වන්නැයි ගුවනින් දැන්වීම් පති‍්‍රකා හෙළන බවත්,ශබ්ද විකාශන යන්ත‍්‍ර  භාවිතයෙන් සිවිල් වැසියන් දැනුම්වත් කරන බවත් දන්නේ දැයි සැක සහිතය.
මේ ඊශ‍්‍රායෙලයේ කි‍්‍රයාකලාපය සාධාරණීකරණය කරන්නට දරන තැතක් නොවේ.ඔවුහු ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තර නීති උල්ලංඝණය කරමින් සිටිති.තමන්ය රිසි සැටියට තවත් ජනතාවක් වෙසෙන ප‍්‍රදේශයකට ප‍්‍රහාර එල්ල කරන්නට කිසිවෙකුටත් කිසිදු අයිතියක් තිබිය යුතු නොවේ.එය මිනිසත් බව ලබා ඇති අප නොකළ යුතු තරමේ  දෙයකි.
හමාස් සංවිධානයටද තමන් අතේ කිසිදු වරදක් නැතැයි පැත්තකට වී සිටිය නොහැක.ගාසා තීරයේ සිවිල් වැසියන්ගේ මරණ සංඛ්‍යාව ‘‘මාකට්‘‘ කරමින් තමන්ගේ  පැත්තට ලකුණු දමාගැනීමේ කටයුත්තක ඔවුහු නියැළී සිටින බවක් පෙනේ.අනෙක් අතට ඔවුන් ඊශ‍්‍රායෙලයට රොකට් ප‍්‍රහාර දිනපතාම සිය ගණනින් එල්ල කරමින් සිටී.අයන් ඩෝමය නොවන්නට ඊශ‍්‍රායෙලයද මේ වන විට පවතිනු ඇත්තේ සුන්බුන්ගොඩක් බවට පත්වය.
දෙපාර්ශවය අතර ගැටුමට අවධානය යොමුකර සිටින ලෝකයාට මැදපෙරදිග උද්ගතවී  ඇති තත්ත්වය අමතකව ඇති සෙයක් පෙනේනට තිබේ.ඊශ‍්‍රායෙල ගාසා සටන එක් කුඩා සිදුවීමක් පමණකියැයිද එසේ නොව සියවස් ගණන් පැරණි කෝන්තර දැන් දලූ  ලා වැඩෙමින් පවතින බවද ඔවුන්ගේ අවධානයෙන් ගිලිහී ඇති බවක් පෙනේ.ඊශ‍්‍රායෙලයේ ප‍්‍රහාර වලින් මියයන සිවිල් වැසියන් සම්බන්ධයෙන් ශෝක වුවද  අන්තවාදීන්ගේ ප‍්‍රහාර වලින් මැදපෙරදිග රටවල දිනපතා දහස් ගණනින් මිය යමින් සිටින,උන්හිටි තැන් අහිමිව යමින් සිටින ජනතාව ගැන ඔවුනට අමතකව ගොස් ඇති  සෙයක් පෙනේ.
මැදපෙරදිග මේ දිනවල ඇති ලොකුම පිළිලය වන්නේ අයිඑස් (ඉස්ලාමික දේශයේ - පෙර අයිඑස්අයිඑස්) අන්තවාදීන්ය.සුන්නි පාර්ශවිකයින් වන ඔවුහු පාරිශුද්ධ යැයි තමන් හඳුන්වාගනිමින් වෙනත් ආගම් වලට මෙන්ම තමන්ගේම ආගමේ වෙනත් කොටස් වලට අයත් ජනතාව සංහාරය කරමින් සිටින්නෝය.දැනට ඔවුහු ඉරාකයේ හතරෙන් පංගුවක  කොටසක බලය අල්ලාගෙන සිටිති.ඔවුන්ගේ අඩු පඩු මුලූ මැදපෙරදිග පුරාම අඩු වැඩි වශයෙන් විසිර තිබේ.බලහත්කාරයෙන් අත්පත්කරගන්නා විවිධ රටවල සම්පත් ඔවුන් තමන්ගේ වුවමනාවන් වෙනුවෙන් භාවිතා කරමින් සිටිති.
පසුගිය රාමසාන් දිනයේදී ඔවුන් වීඩියෝවක් එළිදැක්වීමට කටයුතු කර තිබුණි.රාමසාන් යනු සන්තෝශයේ කාලයක් වුවත් එයට හාත්පසින්ම වෙනස් තේරුමක් ගෙන දුන් එම වීඩියෝව හදවතක් ඇත්තෙකුට නම් බැලිය නොහැක.නිරායුධ වැසියන්ට වෙඩි  තබනු,ඔවුනට වද හිංසා කරනු,ලෙයින් වැකී ගිය ජැටි වල සිට මළසිරුරු මුහුදට විසි  කරනු,මෝටර් රථවල යමින් මාර්ගයේ ධාවනය වෙන අනෙක් මෝටර් රථ වලට වෙඩි වරුසා එල්ල කරනු,හිස ගසා දමනු,පුද්ගලයින් කුරුසි පත් කරනු ආදී ඇග ලොමු ලැහැගැන්වෙන දර්ශන රැසකින් එය සමත්විත වුනි.එල්එස් අන්තවාදීන් ඔවුනට  වුවමනා පරදි මේ රගන රැගුම ඉදිරියේ ලෝකයා තවමත් නිහඬය. 
පසුගියදා අයිඑස් අන්තවාදීහු තවත් නරුම වැඩක් කළහ.ඉරාකයේ පැරණිම ගෝත‍්‍රයක් ලෙස සැළැකෙන යසිඩි ගෝත‍්‍රයේ වැසියෝ 40000 ක් පමණ දෙනා රටේ උතුරු පැත්තට එළවා දැමූ ඔවුහු එම ජනතාවට තෝරාගැනීම් 2 ක් ලබාදුන්හ.පළමුවැන්න ඔවුන් එළවාදමන ලද කඳුගැටයට වී ආහාර හා ජලය සපයාගත නොහැකිව මිය යාමයි.අනෙක කඳුපාමුල බලා සිටින අයිඑස් අන්තවාදීන්ගේ අතින් මිය යාමයි.
මෙම සිදුවීම නම් ලෝක බලවතුන්ගේ අවධානය දිනා ගැනීමට සමත්වුනු අතර ඇමරිකා ජනාධිපති බැරක් ඔබාමාගේ අණින් අහසට නැංවුනු ප‍්‍රහාරක යානා බෝම්බ හෙළා අයිඑස් අන්තවාදීන්ගේ රථ පෙළක් විනාශ කර දැමිය.තවත් යානයක් කදු මුදුනේ සිරවී සිටිනා ජනතාවට ආහාර ද්‍රව්‍ය පිරැවූ මලූ හෙලීය.
අයිඑස් අන්තවාදීන් සමූලඝාතක ප‍්‍රයත්නයකට සැරසෙන්නේනම් තමන් ඊට දැඩි ප‍්‍රතිචාර දක්වන බව ඇමරිකා ජනපතිවරයා ප‍්‍රකාශ කළ අතර බි‍්‍රතාන්‍යයද ඒ හා සමානවම අදහස් දක්වා සිටියේය.
ලෝක බලවතුන්ගේ ඇස් මීට පෙර ඇරුණේ නම්, වරක් ඇමරිකාව පවසා සිටි පරිදි ඉරාකයට දැන් ඔවුන්ගේ ආරක්ෂාව බලා කියා ගැනීමට හැකියැයි කියා නිකම්ම නොසිටියේ නම් අයිඑස් අන්තවාදීන් මේ දක්වා සිදුකර ඇති මහා විනාශය වළක්වා ගත හැකිව තිබුණි.නමුත් දැන් ප‍්‍රමාද වැඩිය.
අයිඑස් ඇතුළු සුන්නි අන්තවාදී සංවිධානයන්ට සහය දෙමින් සිටින්නේ සෞදි අරාබිය බව ප‍්‍රසිද්ධ රහසකි.

අයිඑස් හා ගැටෙනා ෂියා පාර්ශවයට, එනම් ඉරාක රජය,සිරියා රජය, හා ඉරාකයේ වෙනම පාලනයක් ගෙන යන කුර්දිශ්වරුන්,ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ආදීන් හට අවි සපයමින් ඔවුනට සහය දක්වමින් සිටින්නේ ෂියා හිතැති ඉරානය ඇතුළු රටවල්ය.
මෙනිසා මුළු මහත් මැදපෙරදිගම දෙපිළ බෙදී සිටිනු දැකගත හැකිය.
ඊළගට අවාසනාවන්තම තත්ත්වය ඇත්තේ ලිබියාවේය.බටහිර බලවතුන් සහය දැක්වූ අරගලයකින් පසු ලිබියාවේ ආඥාදායක ගඩාපි බලයෙන් පහ කර දමණු ලැබිණ.සියලූදෙනා සිතූයේ ලිබියාවට මින් පසු හොද කලක් යනු ඇතිය කියාය.නමුත් අවාසනාවකි,එය යථාර්ථයක් බවට පත් නොවුනි.
ගඩාපිගේ පරාජයෙන් පසු රට පත්වූයේ විවිධාකාරයේ සන්නද්ධ කණ්ඩායම් අතටය.ඔවුහු නීතියක් නොදන්නා,තම තමන්ගේ මතය පමණක් ජනතාවට අතරට ගෙන යෑමට තැත් කළ පිරිසක් වූහ.මෙහි ප‍්‍රතිඵලය වූයේ ලිබියාවේ නැවත වරක් ගැටුම්කාරී තත්ත්වයක් වර්ධනය වීමයි.වර්තමානයේ ලිබියාවේ ප‍්‍රධාන නගර වල පදික වේදිකාවන්ගේ පවා ගිනි අවි විකිණීමට තබා ඇත.නයිජර්,මාලි,චැඞ් වැනි රටවල අන්තවාදී කණ්ඩායම් වල නව නිවහන වී ඇත්තේ ලිබියාවයි.ඔවුහු ලිබියාවේ බලය තහවුරු කරගැනීමට එකිනෙකා හා නිරතුරව ගැටෙති.පසුගියදා ටි‍්‍රපොලි හා බෙන්ගාසී යන නගරවලදී ඇතිවූ ගැටුම් වලට මැදිවී සිය ගණනක් සිවිල් වැසියෝ මිය ගියහ.
උද්ගතව ඇති තත්ත්වය හමුවේ ගඩාපි පරාජය කර සැබෑ ස්වාධීනත්වය ලිබියා ජනතාව වෙත ලබාදුන්නේයැයි කියූ ඇමරිකාව බි‍්‍රතාන්‍යය හා ප‍්‍රංශය වැනි බටහිර බලවතුන් ලිබියාවේ සිටි තම තමන්ගේ පුරවැසියන්ට නැවත සිය රටවල් බලා යන්නැයි දැන්වීය.ලිබියාවේ පිහිටි තම තානාපති කාර්යාලයද වසා දැමූ ඇමරිකාව එහි වූ කාර්යමණ්ඩලයද නැවත කැදවාගත්තේය.බි‍්‍රතාන්‍යය ලිබියාවේ සිටින තම පුරවැසියන් කැදවා ගැනීම සදහා රාජකීය නාවික හමුදාව යෙදවූවේය.
වසර 40 ක ගඩාපි පාලන කාලයේ පවා ලිබියාව අත්නුදුටු විරූ ව්‍යසනයක් දැන් එහි වැසියෝ අත්විදිමින් සිටිති.සහය වන්නැයි ඔවුහු ආයාචනා නගති.එයට පිළිතුරු ලෙස ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසා සිටියේ ලිබියානුවන් දැන් තමන්ගේ වැඩකටයුතු බලාකියා ගත යුතුව ඇති බවයි.
ස්වාධීනත්වය දිනා දෙන්නෙමැයි කියා අවසානයේ ජනතාව සිටියාටත් වඩා අන්ත දුක්ඛිත අවදියකට පත් කර එයට දෙන පිළිතුරද අපූරුය.
මැදපෙරදිග ඊළගට ඇති ව්‍යසනය තිබෙන්නේ සිරියාවේය.එයටත් බටහිර හවුල්ය.බටහිර ආධාර ලබන සිරියා කැරළිකරුවන්,ඉරානය ඇතුලූ ෂියා හිතවාදීන්ගේ සහය ලබන සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ හමුදාවන් හා ගැටෙමින් සිටී.මාස ගණනක් පුරා දිවෙන මේ ගැටුම් වල ප‍්‍රතිඵලයක් ලෙස දහස් ගණනක් සිවිල් ජීවිත හා දේපළ විනාශ තිබෙන අතර ලක්ෂ ගණනක් ජනයා අවතැන්වී සිටිති.සාම කි‍්‍රයාදාම යැයි උත්සාහයන් කිහිපයක්ම ගනු ලැබූවත් ඉන් එකකින්වත් මේ දක්වා ඵලක් වී නොමැත.ගැටුම් දිගටම සිදුවෙමින් පවතී.
සිරියාවේ අවතැන්ව සිිටින ජනයා රැකවරණ පතා යමින් සිටින්නේ ජෝර්දානයට හා ලෙබනනයටය.මෙම ජනතාවගෙන් බහුතරය සුන්නි පාර්ෂවිකයන් වන අතර ඔවුන් මෙම රටවලට යෑමෙන් එම රටවල ෂියා හා සුන්නි ජන අනුපාතය වෙනස්වී අර්බුදකාරී තත්ත්ව ඇති වනු ඇතැයි මත පළවී තිබේ.දැනටමත් ජෝර්දානය සුන්නි පාක්ෂික එල්එස් අන්තවාදීන්ට සහය දක්වන බවක් පෙනෙන්නට ඇත.මෙම තත්ත්වය මේ දක්වා ස්වාධීනව සිටින මෙම රටවල්ද මැදපෙරදිග ගැටුම්වලට එක්කරනා ලකුණු දනවයි.
මෙම තත්ත්වය මර්දනය කිරීමට මැදපෙරදිග රටවල් වෙන්කර ඇති දේශසීමා සංශෝධනය කළ යුතුයැයි ඇතැම්හු යෝජනා කරති.නමුත් එසේ කළහොත් ආගමේ නාමයෙන් සිදුවන ගැටුම් තවදුරටත් වැඩිවනු විනා අඩුවීමක් දැකගත නොහැකි වනු ඇතැයි විශේෂඥයෝ පෙන්වා දෙති.
මැදපෙරදිග ව්‍යසනයට බටහිර ලෝකය පොහොර දමා ඇති බවක් හොදින්ම පෙනෙන්නට තිබියදී බි‍්‍රතාන්‍යය මැදපෙරදිග කලාපය සදහා විශේෂ නියෝජිත හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් පවසා සිටින්නේ මැදපෙරදිග ඇතිව තිබෙන තත්ත්වයට බටහරි ශිෂ්ඨාචාරය කිසිලෙසකින්වත් හවුල්වී නොමැති බවයි.
ඉරාකය හා ලිබියාව වැනි රටවල සිටි පාලකයින් ආඥාදායකයින්යැයි ලොවට හුවා පෙන්වූ බටහිරම,පසුව ඔවුන්ම මැදිහත්වී එම පාලකයින් පරාජය කොට, එම රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට තමන් උර දුන්නේයැයි උදම් ඇනුවද ඇත්තෙන්ම සිදුවී ඇත්තේ එම රටවල හා මුළු කලාපයේම ජනතාව කබලෙන් ලිපට වැටීමක් මිස අන් කිසිවක් නොවේ.
තමන් කළ කී දේ වල අනිටු ප‍්‍රතිඵල නෙළා ගැනීමට බටහිරටම සිදුව ඇතිවීමද දෛවයේ සරදමක් වැනිය.දැන් බොහෝ බටහිර රටවල් වලද අන්තවාදය හිස ඔසවමින් සිටී.
ඊශ‍්‍රායෙලයේ ප‍්‍රහාර වලින් මිය යන සිවිල් වැසියන් ගැන ලොව අවධානය යොමුවිය යුතුමය.එසේ වී යැයි කියා බලවතුන්ගේ වැරදි නිසා ලොව සියළු දෙනාටම වන්දි ගෙවීමට සිදුවිය හැකිවන තරමේ ව්‍යසනයක් ඇති වෙමින් තිබියදී එය අමතක කර දැමීමට කටයුතු කර තිබීම සිදුනොවිය යුත්තකි.

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: අන්තවාදයට කත් අදින හිවලුන්.... Rating: 5 Reviewed By: Unknown