728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Tuesday, 12 August 2014

ආ... සෝමාවති චෛත්‍යය වඳිනවා මිසක් බලනවයැ....කෙටි කථාව


මට හරි ආසයි සෝමාවතී බලන්න යන්න...” කුමාරගේ වදන් නෑසුණු අයුරින් මම පොත කියවන්නට වුණෙමි.“මේ ඇහුණද?මම හිස ඔසවා බැලුවෙමි. තාත්තා කටපුරා සිනාසෙමින් සිටියි. අම්මා කල්පනාවකින් යුතුව මා දෙස බලා සිටින්නීය. ඒ පින්තූරවලය.“මොකක්ද අනේ ඔයා කීවේ...?”“සෝමාවතී බලන්න ආසයි කීවා.”“සෝමාවතී...?” ඒ මනුස්සය දැන් මැරිලත් ඇති. අර ඉස්සර අපිට වී තම්බගෙන ආපු එක්කෙනා නේද?” මම නොදන්නා සේ ඇසුවෙමි.“නෑ ගෑනියේ, මම කීවේ සෝමවති චෛත්‍යය ගැන...”“ආ... සෝමාවති චෛත්‍යය වඳිනවා මිසක් බලනවයැ...”

මම නෙත් කොනින් ඔහුගේ මුහුණ දෙස බැලුවෙමි. මුහුණ කුණ්ඩහට්ටියක්සේ කළුවී ඇත.
පියනට කළ උවසරින්
සගමොක් යති දිගැසියෝ
කව්සිළුමිණෙහි කවියක් මට මතක් විය. සිත සතුටු කිරීමද උපස්ථානයකි.
“හරි.. ඉතින් අපි යමු. ඒත් මේ දණිස් දෙකේ ප්‍රශ්නේ තමයි තියෙන්නේ...”
“තමුසෙත් ලෙඩ බෝට්ටුවක්...”
“තමුසෙත් තමුසෙ, මාත් තමුසේ, වයසේ වැරැද්ද අනේ... දැන් ඉතින් කොහොමද ඉඳුම් හිටුම්...? මගේ පසුබ්මියෙනුත් සෑහෙන මුදලක් වැයවෙන බව දත් මම ඇසුවෙමි.
“විශිෂ්ටයි සර්...” වදන් මට ඇසුණේ නැත. කුමාර කල්පනා කරයි.
“අපි සුගත්, විශාඛා දෙන්නත් එක්කරගෙන යමු. එයාලට ඉරිගේෂන් ක්වෝටර්ස් බුක් කරන්න පුළුවන්.”
“ඔය තියෙන්නේ අදහස්...” කුමාරගේ මුවින් සිනාරැලි මාලා දස අතට විහිදේ.
“ඒත් ඉතින් ඒ දෙන්නා කොළඹ එන්න ඕනෑ ඒ වැඩේට...”
අපි මැදිරිගිරියේ නටබුන් බලා එදින සවස ගිරිතලේ වැව අබියස නවාතැනට පැමිණියෙමු. සෝමාවතී වෙහෙර වඳින්න යන්නේ හෙට දිනයේදී ය. අලින්ගෙන් ගැහැටක් නැත. යුද්ධය නිමාවී ඇති නිසා කකුල් දෙකේ කොටින්ගෙන් ද කරදරයක් නොමැත. රතුම රතුපාට බේසමක්මෙන් හිරු දෙවියෝ බටහිර අහසේ පෙනේ.
“ඉර මඬලත් ජේවීපී පාට වෙලා...” මම දිය රෙද්ද ගතෙහි දවටා ගනිමින් සිතුවෙමි. ඒත් ඒ ඉරඑළිය චින්තනය විනිවිදගෙන යන්න සමත්වුණේ නෑ. අස්තංගත හිරු එළිය නිසාද?
පාසල් ළමුන් පිරිවරාගත් බස් රියක් වැව් ඉවුරේ නවතා ඇත. හිරු බැසීමට ආසන්න හෙයින් ආපසු පිටත්වීමට ළමෝ ලහි ලහියේ සැරසෙති.
සිලිසිලි බෑගයක් ගං ඉවුරට විසිවුණි. ඒ වැඩිහිටි ගුරුවරියකගේ අතිනි.
“මේ මොකද මේ...?” මම ඇසුවෙමි.
“කරුණාකරලා ඒ බෑග් එක ආපසු ගන්න. පරිසරය දූෂිත කරන්න එපා. කටකාර විසාකා කෑගැසුවාය.
වැවට නෑම සඳහා පැමිණි තරුණයෙක් දෑත් බැඳ ඒ දෙස බලා සිටියි. ගුරුවරිය පැමිණ බෑගය අහුලාගෙන ආපසු බසයට නැග ගත්තාය.
“අනාගත පරපුරට දෙන ආදර්ශය...” සිතමින් මම වැවට බැස්සෙමි. දණහිස් දෙක ඉවසුම් නොදෙන තරමට වේදනා ගෙන දේ.
උණුසුම් වතුරෙන් වේදනාව සමනය වනු ඇත.
“මේ වැව පුනීලයක් වගෙයි. බලාගෙනයි. පීනන්න නම් හිතන්නවත් එපා...” නෑමට පැමිණි තරුණයා කීවේය.
“මම නම් පීනන්න දන්නේ නැහැ. ගිලුණොත් ගිලුණාම තමයි.” මම කුමාර දෙස බැලුවෙමි.
“ඔයා ඈතට යන්න හිතන්න එපා. මට තනියෙම ගෙදර යන්න බැහැනේ...” මම ආයාචනාත්මකව කීවෙමි.
සුගත් සිනාසෙන්නට විය.
හිරුමඬල ගිලී ගියේය. උණුසුම් වතුර මොහොතකින් සීතල වූයේ ප්‍රාතිහාර්යයකින් මෙනි. මම ගැහෙමින් ගොඩට පැමිණියෙමි. විසාකාද වහ වහා ඇඳුම් හැඳ ගත්තාය.
නවාතැනෙහි ආලින්දයේ ටීපෝව මත සිංහ ලකුණ බෝතල්ය. පිරිමි දෙදෙන සිංහ සෙය්‍යාවෙන් යුතුව වීදුරුවලට බීම පුරවති. බයිට් එකට බැදපු තෙප්පිලි හා මුරුක්කු තිබේ.
“අපිටත් ඉතින් ජින්ජර් බියර් එකක්වත් තියෙනවා නම් හොඳයි නේද විසාකා...” මම මුරුක්කු අහුරක් අතට ගත්තෙමි.
“ජින්ජර් බියර් තියෙනවා නෝනා” හිත හොඳ කෝකියා වහා කෑම කාමරයට දිව ගියේය.
“අද සෙනසුරාදා වෙලත් මින්නේරි දේවාලෙට යන්න බැරි වුණා. යන්න කලින් දේවාලෙට යමු. මහසෙන් දෙවියන්ට මම ආදරෙයි...” වැව ඉස්මත්තේ නැගෙන අඩහඳ දෙස බලමින් මම කීවෙමි.
“හෙට යමුකෝ...”
“හෙට යන්නේ කොහොමද? උදෙන්ම සෝමාවති සෑය වඳින්න යන්න ඕනෑ...” මම කීවෙමි.
“සෝමාවතී චෛත්‍යය කවුද හැදුවේ...” විසාකා ප්‍රශ්න කළාය.
“දුටුගැමුණු රජ්ජුරුවන්ගේ නැන්දා. කාවන්තිස්ස රජ්ජුරුවන්ගේ නංගී. ජනප්‍රවාදයක් තියෙනවා ස්වර්ණමාලී කුමාරිගේ අම්මා සෝමාදේවී කියලා.”
“ඒ කීවේ...?”
දුටුගැමුණු කුමාරයා පියාට අකීකරුව ගිහින් හිටියේ නැන්දගේ මාලිගාවෙලු. එතැනදි ස්වර්ණමාලී කුමාරිව විවාහ කර ගත්තලු. කුමාරි තරුණ වයසෙදිම මැරිලා අනුරාධපුරයේ තෙළඹු ගහක දේවතාදුවක් වෙලා උපන්නලු. රුවන්වැලි සෑය හැදුවේ ඒ දෙව් දුව හිටපු තෙළඹු ගහ තිබුණු තැන. ගැමුණු කුමාරයා කුමාරිට වුණු පොරොන්දුවක්ලු ඒ.”
“මෙයා ඉතින් ඉතිහාසෙයි ජනප්‍රවාදයි ඔක්කොම එකට කලවම් කරගෙන.” කුමාර බීම වීදුරුව අතට ගත්තේය.
අහසේ සිට ආලෝකයක් වැව දෙසට පහත් විය.
“අන්න උල්කාපාතයක්...” සුගත් කීවේය.
“නෑ. ඒක දේවතා එළියක්. උල්කාපාත මම දැකලා තියෙනවා. ඒකෙන් වෙන්නෙ තරු කඩා හැලෙන එක.” මම මින්නේරි දෙවියන් ගැන සිතුවෙමි.
“දේවතා එළි නැගෙන්න විද්‍යාත්මක පසුබිමක් තියෙනවා.” අභීත කී කතාව මම සිහි කළෙමි. අභීත ඉංජිනේරු‍වරයෙකි.
“කෙම්මුර දවස්වලට මේ මිදුලත් එළිය කරගෙන දේවතා එළි වඩිනවා.” කෝකියා ජින්ජබීර බෝතලයක් ශීතකරණය තුළින් ගෙනැවිත් මූඩිය ගලවා ටීපෝව මත තැබීය.
************
රිය කඳුරුවෙල නගරය පසු කර ඇත. පාර හොඳින් තිබේ. වාහන ද නැත. කුමාර කාරයේ වේගය වැඩි නොකළේ මන්දැයි මට සිතේ.
“මෙහෙම කොට කොට යනකොට රෑවෙයි...”
“මහත්තයා.. කාරෙක නවත්තන්න...” මගට පැන්න පොලිස් නිලධාරියාගේ අතෙහි ඇත්තේ පිස්තෝලයක් නොවේ. වේගය මනින උපකරණයකි.
“ඇයි?”
“පණහට වැඩි වේගයෙන් මෙහේ කාර් එළවන්න බැහැ. මහත්තයාගේ වේගය පණස් නවයයි..”
මගේ වේගයට ගියේ නම් අසූවද ඉක්මවනු ඇත. පනහෙන් උඩට ගියාට පස්සේ සීයට ගියත් මොකද? ඒත් දඩය එක්දාස් පන්සීයකි.
“කොහේද වේගය පණහයි කියලා තිබුණේ?”
“ඇයි මහත්තයා පාර අයිනේ බෝඩ් තියෙන්නේ...?”
“රාලහාමි, අපි දුර ඉඳලා එන්නේ. අද සෙනසුරාදා. හෙටත් තැපැල් කන්තෝරු වහලා. අපි හෙට ගෙදර යන්නත් ඕනෑ.”
“හරි මොනවා හරි කරගන්න බැරියැ, බැහැලා එන්නකෝ...”
පොලිස් නිලධාරීන් තිදෙනා, කුමාර හා සුගත් සමඟින් මැදිරිය තුළ සංවාදයක යෙදී සිටිති. විසාකා හා මා කාරය තුළ දහඩිය පිසිමින් සිටින්නේ ඒ.සී. නවතා ඇති නිසාය. ඒ. සී. වැඩ කරන්නේ නම් වාහනය ඉන්ධන බොන්නට තැත් කරන බව පවසන්නේ කුමාරය. බැරිම තැන මම කාරයේ දොර හැරියෙමි.
“නෑ නෝනා, අපි සුහද සාකච්ඡාවක යෙදී ඉන්නේ. බයවෙන්න එපා.” පොලිස් නිලධාරියෙක් කීවේය. කුමාර හා සුගත් සාකච්ඡාව නිමා කොට පැමිණියේය. සාකච්ඡාව වෙනුවෙන් රුපියල් දාහක් වැයවී ඇත.
“බල්ලොත් නොකන සල්ලි. ඒත් අපේ අතට ඒවා එන්නේ අඩුවෙන්.” මම සිතුවෙමි.
“ඔතනින් ගියා මදැයි. ගිය සතියේ මට හොඳ වැඩක් වුණා.” සුගත් කීය.
“ඒ මොකක්ද?” මම ඇසුවෙමි.
මායි මල්ලියි වැඩකට මහියංගනේ ගියා. අපි එනකොට රෑ වුණා. බැරියර් එකක් ළඟදි අපේ කාරෙක නැවැත්තුවා. මල්ලිට තියෙන්නේ පරණ වොක්සර්ගන් කාර් එකක්. ඩිකිය අරින්න කීවාම මල්ලි ඉස්සරහට යනකොට පොලිස්කාරයා බැන්නා පස්සේ එක අරිනවා කියලා. ඉතින් පස්සේ දොර ඇරියා.
“මේ මනුස්සයා අහනවා කාගෙද මෝටරයක් හොරකම් කරගෙන යනවා නේද කියලා. ඉස්සරහ ඩිකියත් ඇරලා පෙන්නලා බොහොම අමාරුවෙන් කරුණු පහදලා දුන්නා. නැත්නම් ඉතින් නොකළ වරදකට කූඩුවේ ඉන්න එපායැ.
එය සිනාසිය යුතු කරුණක් ද දුක්විය යුතු කරුණක්දැයි නොදන්නා හෙයින් මම බලා සිටියෙමි.
වැස්ස නැති නිසා පාරෙහි මඩ නැත. පළාත් පාලන ඡන්දය නිසා පාරෙහි වාහන නැත. වාහන නැති නිසා දූවිල්ල ද නැත.
“හොඳ නැකතකට අපි ආවේ... මම සිතුවෙමි.
හමුදා භටයෙක් මගදී අපගේ වාහනය නැවැත්විය. ඒ පරීක්ෂාවට නොවේ.
“මේ කිරි හට්ටිය පන්සලට දෙනවද? අද එහේ දානයක්. වෙලාවට යන්න ක්‍රමයක් නැහැ. මේ හැතැප්ම එකොළහ යන්න වාහනයක් ම අවශ්‍යයි...”
කිරි හට්ටිය දෑතින් ගත් මම එය ඇකයේ තබා ගත්තෙමි.
“වල් අලියෙක් ඇවිත් ඝණ්ටාරේ ගහනවා. ලොකු නයෙක් කොත් කැරැල්ලේ එතිලා ඉන්නවා. මෙතැන හාස්කම් තියෙන තැනක්.” බොහෝ දෙනා පවසනු මම අසා ඇත්තෙමි.
මග දෙපස වල් අලියෙකු තබා වලි කුකුළෙකුදු නැත. හමුදා භටයින් කාරුණිකය. සැදැහවත්ය. සෑ රදුන් නිරුපද්‍රිතව තිබෙනු බලා ම‍ගේ දෙනෙතට කඳුළු නැගුණි. ඝාණ්ටාරය ගසන්නට වල් අලියකු නොපැමිණියද සදා ඇති ඇත් රුව ජීවමාන යැයි මට හැ‍ඟේ.
“ඔයා මීට කලින් සෝමාවතී සෑය වඳින්න ඇවිත් තියෙනවද?” කුමාර ඇසුවේය.
“ඔව්...”
“කොයි කාලෙද?”
සරසවි යුගය මට ඈත අතීතයක් පමණකි.
“බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ කාලේ...”
“ඇත්තට...? බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ අන්තපුරයට කැඳවුමක් ලැබුණේ නැද්ද?”
“.... හ්ම්....” මම පිළිතුරක් නොදුන්නෙමි.
දණහිසේ වේදනාව වැඩිවන බවක් මට දැනේ. එහෙත් ආපසු ගොස් මින්නේරි වැවෙන් නා ගැනීමද කළ යුතු දෙයකි. කොලොස්ටොරල්, ශුගර්, ප්‍රෙෂර්, ආතරයිටිස් මේ සියල්ල මිනිසාගේ ශරීර කූඩුවට වැල‍ඳෙන රෝගයන්ය. යන්ත්‍ර සූත්‍ර වුවද පාවිච්චියේදී ගෙවේ. කැඩී බිඳී යයි. පාවිච්චි නොකර තිබුණොත් මලකඩ කයි. දොඩම් වීදුරුව එක හුස්මට බීගත් මම යටිතොල විකාගෙන වේදනාව දරා ගනිමින් රියට නැගුණෙමි.
“හෙට දේවාලෙටත් ගිහින්, මින්නේරි වැවෙන් නාලා යන ගමන් දඹුල්ලෙන් බෙහෙත් ටිකක් අරගෙන යනවා” මම සිතුවෙමි. ජීවිතය බලාපොරොත්තුවක් පමණකි...!
“ඔහොම යං....” කොහේදෝ කඩයක සිට සුනිල් පෙරේරා කෑ ගසන හඬක් මට අ‍ැසේ.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ආ... සෝමාවති චෛත්‍යය වඳිනවා මිසක් බලනවයැ....කෙටි කථාව Rating: 5 Reviewed By: Unknown