728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday 3 August 2014

හිපොක්‍රටීස් පරපුරටම නින්දා කළ අපේ රටේ සුනබ හිපපොටේමස්ලා....

ඉකුත් බදාදා (30 දා) දිනය කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන්ට මෙන්ම ශ්‍රී ලාංකීය වෛද්‍යවරයා යන නාමයටද කළු පැල්ලමක්‌ එකතු කළ දිනයක්‌ ලෙසින් මේ වන විට ඉතිහාසගත වී හමාරය. කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් කිහිපයක සේවය කරන කනිෂ්ඨ වෛද්‍යවරුන් කණ්‌ඩායමක්‌ විසින් ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් පිරිසකට රෝහලේ වෛද්‍ය නිල නිවාස පරිශ්‍රයේදී අතින් පයින් හා වචනයෙන් පහරදීමෙන් මෙවැනි තත්ත්වයක්‌ උදා කළහ.


මෙයට පෙර සෙසු සෞඛ්‍ය සේවකයන් එකිනෙකාට පහරදීම හෝ අසභ්‍ය වචනයෙන් බැණ වැදීමේ සිද්ධීන් අසා හුරුපුරුදු මහජනතාවට මේ වන විට වෛද්‍යවරයාද එම මට්‌ටමට දමා සැලකීමට සිදුවන අයුරින් අසභ්‍ය වචන භාවිත කරමින්, වීදුරු පොළොවේ ගසමින්, වතුර බෝතල්වලින් හා සෝස්‌වලින් පහරදීම කමිසවල කොලර්වලින් අල්ලා තල්ලු කිරීම වැනි සිනමා පටවල දක්‌නට ලැබෙන ග්‍රාම්‍ය ආකාරයේ හැසිරීම් රටාවක්‌ එදින කලහකාරී වෛද්‍යවරුන් පිරිස විසින් පෙන්නුම් කර තිබිණි.

මෙවැනි හැසිරීම් රටාවක්‌ පෙන්නුම් කළ වෛද්‍යවරුන් පිරිස මෙරට රජයේ වෛද්‍යවරුන් බහුතරය නියෝජනය කරනු ලබන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නමැති කලක්‌ දුබලව පැවැති සෞඛ්‍ය වෘත්තීය සමිතියේ හිටපු විධායක කමිටුවට අයත් සාමාජිකයන්ය. ඔවුන් හිටපු සාමාජිකයන් බවට පත් වූයේ උසාවි වාරණ නියෝගයක්‌ නොතකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික නිලවරණය පැවැත්වීමෙන් උසාවියට ගරු නොකිරීම සම්බන්ධයෙන් උසාවි වාරණ නියෝගයකට ලක්‌වීම හේතුවෙනි.

මෙම හිටපු විධායක කමිටු සාමාජික වෛද්‍යවරුන් පිරිස කෝපවීමට හේතු වූයේ කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 25 දෙනකු ඇතුළු වෛද්‍යවරුන් 175 දෙනකු පමණ එම රෝහල් වෛද්‍ය නිල නිවාස සංකීර්ණයේ සිය සේවා ගැටලු විසඳීම සඳහා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ශාඛා සංගමයක්‌ රෝහල තුළ පිහිටුවා ගැනීමේ රැස්‌වීමක්‌ කැඳවා තිබීමයි.

මෙම රැස්‌වීම ඇරැඹීමට නියමිතව තිබුණේ දිවා ආහාර විවේකය ආරම්භ වූ දහවල් 12 ට පමණය. එම වේලාව වන විට කලින් දැනුම් දී තිබූ ආකාරයට රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළුÊසෙසු වෛද්‍යවරුන් වෛද්‍ය නිල නිවාස සංකීර්ණය වෙත පැමිණෙන්නට වූහ. එසේ පැමිණි වෛද්‍යවරුන් විසින් රැස්‌වීම ආරම්භ කිරීමට සූදානම් වන අවස්‌ථාවේදී එතැනට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අධිකරණ වාරණ නියෝගයට ලක්‌ව සිටින හිටපු විධායක කමිටු සාමාජිකයන් 12 දෙනකු පමණ කඩාවැදුණේ අනපේක්‍ෂිත අයුරිනි.

අධිකරණ වාරණ නියෝගය උල්ලංඝනය කරමින් කටයුතු කරන බවට චෝදනා එල්ලවී සිටි මෙම පිරිස තමන් එසේ අධිකරණ වාරණ නියෝගය කඩ නොකළ බවට සඳහන් අත්පත්‍රිකා ජාතික රෝහල් පරිශ්‍රය තුළ බෙදා හරිමින් සිටියදී රැස්‌වීම පිළිබඳව කනවැකී එම ස්‌ථානයට කඩා වැදී ඇති බව අනාවරණය විය.

එසේ රැස්‌වීමට කඩාවැදුණු වෛද්‍යවරු පිරිස අනතුරුව හැසිරී ඇත්තේ බොළඳ සිනමාපටවල දක්‌නට ලැබෙන අයුරින් ඉතාමත්ම ග්‍රාම්‍ය අයුරිනි. වෛද්‍යවරුන් යනු රෝගීන්ගේ රෝගයන් සුවපත් කරනු ලබන ජීවකයාණන් බව මොහොතකට අමතක කර දැමූ එම පිරිස රැස්‌වීමට පැමිණ සිටි ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනකුගේ කමිස කොලර්වලින් අල්ලා ඔවුන්ව පසෙකට තල්ලු කිරීමටත්, රැස්‌වීම පැවැත්වීම පිළිබඳව අසභ්‍ය වචනයෙන් එතැන සිටි වෛද්‍යවරුන්ට බැණ වැදීමටත් ක්‍රියාකර තිබේ.

මෙසේ කලහකාරී ලෙස හැසිරුණු හිටපු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයන් රැස්‌වීමට පැමිණ සිටි වෛද්‍යවරුන්ට අතින් පයින් ගැසීමට පටන් ගත් විටදී එම වෛද්‍යවරුන්ද එයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ජාතික රෝහල් වෛද්‍ය නිල නිවාස සංකීර්ණය යුද පිටියක්‌ බවට පත්වීමට ගත වූයේ නිමේෂයකි.

මෙහිදී ජ්‍යෙෂ්ඨ හෘද ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයකු වන වෛද්‍ය වජිර සේනාරත්න මහතාට හිටපු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තනතුරුලාභී වෛද්‍යවරයකු විසින් සෝස්‌ ප්‍රහාරයක්‌ එල්ලකර තිබිණි. රැස්‌වීමේ සිටි වෛද්‍යවරුන් ළඟ තිබූ වතුර බෝතල්වලින් අනෙක්‌ වෛද්‍යවරුන්ට පහර ගසමින්ද පුටු තල්ලු කරමින්ද වීදුරු බිඳීමෙන්ද එම ස්‌ථානය යුද පිටියක සිරි ගැන්වූ මෙම වෛද්‍යවරු පිරිස හා රැස්‌වීමේ වෛද්‍යවරුන් අතර ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා පොලිස්‌ නිලධාරීන් කැඳවන තත්ත්වයක්‌ ඒ වන විට උද්ගතව තිබිණි.

අවසානයේ පොලිස්‌ නිලධාරීන් පැමිණ රැස්‌වීමට බාධා කළ වෛද්‍යවරුන්ගේ ග්‍රහණයෙන් විශේෂඥ වෛද්‍යවරුන් පිරිස මුදාගෙන ඔවුන්ව වෙනම ස්‌ථානයකට කැඳවාගෙන යැමට පියවර ගත්හ.

ඒ වන විටත් කලහකාරී වෛද්‍යවරුන් පිරිස එම රැස්‌වීම පැවැත්වීමට තමන් ඉඩ නොදෙන බවට විශේෂඥ වෛද්‍යවරුන්ට තර්ජනය කරමින් සිට ඇත. මෙහිදී සුනඛයන්ගේ නම්වලින් ඇතැම් වෛද්‍යවරුන්ට බැණ වැදුණු බවට හා ඇතැමුන් ඝාතනය කරන බවට රැස්‌වීමට කඩාවැදුණු ඇතැම් කලහකාරී වෛද්‍යවරුන් විසින් තර්ජනය කළ බවටද වාර්තා වී තිබේ.

මේ වන විට කලහකාරී වෛද්‍යවරුන් අතින් පහර කෑ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු මරදාන පොලිසියට ඒ පිළිබඳව පැමිණිලි කර ඇති අතර කලහකාරී වෛද්‍යවරුන් පිරිසද ඒ අයුරින්ම පැමිණිල්ලක්‌ ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

කෙසේ වුවද සාමකාමීව රැස්‌වීමට ඇති අයිතියද උල්ලංඝනය කරමින් කටයුතු කළ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු විධායක කමිටු සාමාජිකයන්ගේ හිරිහැර හමුවේ තවත් ශක්‌තිමත් වූ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු රෝහල් බලධාරීන්ගේ සහාය ඇතිව ස්‌නායු ශල්‍ය ඒකක ශ්‍රවණාගාරයේදී සිය රැස්‌වීම පැවැත්වීමට කටයුතු කළහ.

දැඩි පොලිස්‌ ආරක්‍ෂාව මධ්‍යයේ පැවැති එම රැස්‌වීමට විශේෂඥ වෛද්‍යවරුන් 45 දෙනකු ඇතුළු ජාතික රෝහලේ වෛද්‍යවරු 200 කට ආසන්න සංඛ්‍යාවක්‌ සහභාගිවී සිටියහ. එහිදී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජාතික රෝහල් ශාඛා සංගමය ඉදිරි සති දෙක ඇතුළතදී පිහිටුවා ගැනීමට තීරණය වූ අතර හිටපු සංගමයේ විධායක කමිටු සාමාජිකයන්ගේ මැර ප්‍රහාරය හෙළා දැකීමටත් පියවර ගැනිණි.

මෙම ප්‍රහාරය පිළිබඳව අදහස්‌ දැක්‌වූ වෛද්‍ය නිලධාරීන්ගේ හිටපු විධායක කමිටු සාමාජිකයන් පවසා සිටියේ තමන් විසින් ජාතික රෝහලේ සුළු වෛද්‍යවරුන් පිරිසක්‌ විසින් පැවැත්වීමට ගිය ඊනියා රැස්‌වීමක්‌ වැළැක්‌වූ බවකි. එහෙත් එම නැවැත්වූ බව කියන රැස්‌වීම අනතුරුව ස්‌නායු ශල්‍ය ඒකක ශ්‍රවණාගාරයේදී පැවැත්වූ බව ඔවුන් දැන සිටි බව නොරහසකි.

මෙහිදී එම සාමාජිකයන් රාජකාරි වේලාව තුළදී ජාතික රෝහල තුළ වෛද්‍යවරුන්ට

රැස්‌වන්නට ඉඩදීම පිළිබඳව ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාටද චෝදනා කර තිබිණි. එහෙත් සාමකාමීව රැස්‌වූ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන්ගේ

රැස්‌වීමකට කඩාපැන එය කඩාකප්පල් කිරීම වරදක්‌ සේ ඔවුන් නොදැකීම පුදුමයට කරුණකි.

කරුණු කෙසේ වුවද ඉකුත් බදාදා කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නිල නිවාස සංකීර්ණය තුළ මාළු කඩයක්‌, යුදපිටියක්‌, නැතහොත් මුඩුක්‌කුවක්‌ නිර්මාණය වන අයුරින් ගැටුම්කාරී තත්ත්වයක්‌ ඇති කිරීමෙන් අදාළ වෛද්‍යවරුන් බුද්ධිමතුන් වශයෙන් සමාජයට ලබා දුන්නේ වැරදි පූර්වාදර්ශයකි. මෙයට වඩා වගකීමෙන් ක්‍රියාකරමින් සාමකාමීව තමන්ට ඇති ගැටලුව නිරාකරණය කිරීමට කලහකාරී වෛද්‍යවරුන් විසින් පියවර ගත්තේ නම් ඔවුන්ට සැමගේ ගෞරවය හිමිවීමට ඉඩ තිබූ බව අපගේ විශ්වාසයයි.

ඒමන්ති මාරඹේ
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: හිපොක්‍රටීස් පරපුරටම නින්දා කළ අපේ රටේ සුනබ හිපපොටේමස්ලා.... Rating: 5 Reviewed By: Unknown