728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday 2 August 2014

දළදා හාමුදුරුවන්ට නිගා දෙන "අලි බිස්‌නස්‌...

මෑතකදී ධනවතුන් වුණු ප්‍රභූ මුහුණු පෙන්වන තක්‌කඩි රැළක්‌.....
අහෝ· දළදා හාමුදුරුවනේ, මව් ඇතින්නන් තණ පුඬුවලින් කිරි වෑහෙමින් විලාප තියමින් වනය පුරා තම පුතුන් සොයද්දී දරාගත නොහැකි හද පැලෙනා වේදනාවකින් කඳුළු පිරුණු දැසින් අම්මාගේ සෙනෙහස සොයද්දී අතට පයට විලංගුලා බලහත්කාරයෙන් මේ කුඩා අලි පැටවුන් පෙරහැරේ යෙදවීම මේ රටටම මහත් ශාපයක්‌ වනවා මිස එය දළදා පූජෝපහාරයක්‌ වන්නේ කෙලෙසදැයි අපට නොතේරේ...

සියයකට වැඩි අලි පැටවුන් ප්‍රමාණයක්‌ වනාන්තරවලින් හොර රහසේ අල්ලාගෙන විත් මේ වන විට මුදල් ජාවාරම්වලට යොදවාගෙන ඇති බව වනජීවී හා පාරිසරික ක්‌ෂේත්‍රයේ ආරංචිමාර්ග කියා සිටී. මව් ඇතින්නන් මරා දමා, පළවා හැර මව විලාප තබද්දී පැටවුන් තනිකර අල්ලා ගැනීමෙන් මෙසේ වනාන්තරවලින් අලි පැටවුන් පැහැරගන්නා අතර, මෙම සාපරාධී, සහගහන අපරාධය සඳහා මූලික වී ක්‍රියාකරනු ලබන්නේ ඇතැම් "නිලමේවරු" ප්‍රභූන් ලෙස සිංහල, බෞද්ධ ලේබලය ගසාගන්නා ධනවතුන්, ඇතැම් දේශපාලකවරු, පශු වෛද්‍ය ක්‌ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු සමග බුදුන්වහන්සේට අති උතුම් බුද්ධ ධර්මයට සහ මහා සංඝරත්නයටත් නිගා දෙන චීවරධාරීන් කිsහිප දෙනෙකි. මොවුන්ගේ අතයට ගනුදෙනු මගින් මෙසේ නීති විරෝධී ලෙස වනාන්තරවලින් හොර රහසේ අල්ලාගනු ලබන රටේ අලි සම්පත එකෙක්‌ රුපියල් ලක්‍ෂ පන්සියයක්‌ දක්‌වා ඉතා ඉහළ මිලකට අලෙවි කෙරෙන බව පාරිසරික ඔත්තු සේවා කියා සිටී. පාරම්පරික හීලෑ අලි ඇතුන් හිමිකාරයන් මෙන් නොව, ඊයේ පෙරේදා කුමන ක්‍රමයකින් හෝ ධනවතුන් බවට පත්වූ මෙවන් අධම "අලි මේනියාකාරයන්" ගෙනඑ සමස්‌ත හීලෑ අලි ඇතුන්ගේ හිමිකරුවන්ගේ එකමුතුවටම මහත් කැළලක්‌ ඇතිවී තිබෙන අතර මෙහි ඇති බරපතළම ඛේදවාචකය වන්නේ මෙසේ අල්ලාගනු ලබන අලි පැටවුන්ට වනජීවී සංරක්‍ෂණයේ පිහිටෙන්ම හොර උප්පැන්නය හදා දී මුදල් තණ්‌හාවෙන් ඔවුන්ට විලංගු ලා අති උතුම් දළදා හාමුදුරුවන් වෙනුවෙන් දළදා පෙරහැර ඇතුළු බෞද්ධ පෙරහැරවලද මෙම හොර අලි ඇතුන් පෙරහැරේ යෑවීමය. අහෝ· දළදා හාමුදුරුවනේ, මව් ඇතින්නන් තණ පුඬුවලින් කිරි වෑහෙමින් විලාප තියමින් වනය පුරා තම පුතුන් සොයද්දී දරාගත නොහැකි හද පැලෙනා වේදනාවකින් කඳුළු පිරුණු දැසින් අම්මාගේ සෙනෙහස සොයද්දී අතට පයට විලංගුලා බලහත්කාරයෙන් මේ කුඩා අලි පැටවුන් පෙරහැරේ යෙදවීම මේ රටටම මහත් ශාපයක්‌ වනවා මිස එය දළදා පූජෝපහාරයක්‌ වන්නේ කෙලෙසදැයි අපට නොතේරේ. එළවළු මිල, සහල් මිල අහස උසට නැග, මුළු මහත් වියළි කලාපයටම පසුගිය දෙසැම්බරයේ පටන් වැහි කඳුළක්‌ නැතිව ශාපලත් විසාලාවක්‌ බවට පත්ව ඇත්තේ මෙවන් අහස පොළොව නුහුලන අපරාධ රට තුළ සිදුවන නිසාද? විටෙක ගංවතුර, විටෙක මහා සුළං මගින් සිදුවන විනාශයන් මේ ශාපයේ ප්‍රතිඵල නිසා සිදු නොවේ යෑයි කවුරුන්ට නම් කිව හැකිද? උතුම් දළදා හාමුදුරුවනේ ඔබ වහන්සේගේ අනුහසින් මේ අලි සොරුන්ට සොබාදහම් මාතාවගේ දඬුවම් ලබා දෙන්නේ නම් යහපතකැයි මේ දහම් දිවයිනට ආදරය කරන සැවොම අයෑද සිටී. නීතිය වල්වැදී ඇති සමයක, ජාවාරම්කරුවන්ට වනජීවී අණ පනත් තැලී පෑගී පොඩිවී වෙනස්‌වන සමයක මෙරට පරිසර ලෝලීන් ඉල්ලා සිටිනුයේ දෙවියන්ගෙන් හෝ දඬුවම් මේ අලි සොර තක්‌කඩීන්ට ලබාදෙන ලෙසය.

වනාන්තරවලින් ජාවාරම්කරුවන් විසින් මෙසේ අල්ලාගනු ලබන අලි පැටවුන් රැසක්‌ මෑතකදී ධනවතුන් වුණු ප්‍රභූ මුහුණු පෙන්වන තක්‌කඩි රැළක්‌ ළඟ අදටත් ගස්‌ බැඳගෙන සිටී. එසේම, අගනුවර ප්‍රධාන පෙළේ චීවරධාරීන් දෙදෙනකුද මෙම අලි ජාවාරමේ ඉහළම "නිලතල" දරණ බව අද මුළුමහත් රටම දන්නා කාරණයකි. වසර සිය දහස්‌ ගණනක්‌ තිස්‌සේ හීලෑ අලි ඇතුන් දිවිගෙවූ මෙම දහම් රාජ්‍යයේ මෑතක්‌ වන තුරුත් අලින් ළඟ තබා ගැනීම ගැන ප්‍රශ්න තිබුණේ නැත. තිබුණා නම් ඒ මෙම අලින්ගේ පෝෂණ ගැටලු පමණකි. එහෙත්, හදිසියේම අලිමේනියාව වැළඳුණු මෙම "අලි ප්‍රභූවරු" මෙන්ම "අලි චීවරධාරීන්" හීලෑ අලි පාලනය එකම කැඳ හැලියක්‌ බවට පත්කර තිබේ. ඒ එය ජාවාරමක්‌ බවට පත්කර කළු සල්ලි උපයන තැනට ගෙන ඒම නිසාය. අද අලි පැටවකු ලක්‍ෂ පන්සියය හයසියය දක්‌වා මිල කෙරෙන්නේ එනිසාය. මේ කතා කරන මොහොත වන විටත් අගනගරයේ බෞද්ධ ලේබලය ගැසූ ඇතැම් ආශ්‍රම තුළ වැඩි මුදල් අපේක්‍ෂාවෙන් හොර රහසේ බෝට්‌ටු මගින් මුහුදේ ප්‍රවාහනය කර නැව් නැග්ගවීමට සිටින අලි පැටවුන් ගස්‌ බැඳ ඇතැයි පරිසර සංවිධාන කියා සිටී.

මහා ඛේදවාචකයකි· මේ තරම් අලි අල්ලන දැවැන්ත හොර ව්‍යාපාරයක්‌ රට තුළ ක්‍රියාත්මක වෙද්දීත් පාලකයෝ මර නින්දේය. එහෙත් මේ සියලු ජාවාරම් කහ සිවුරෙන් හෝ බෞද්ධ ලේබලයෙන් දිගින් දිගටම වසා තබන්නට නොහැකිය. බුද්ධ සාසනයටත්, මහා සංඝරත්නයටත් සිදුවන මේ මහා අවමානයෙන් රට ගලවා ගන්නට අති පූජ්‍ය මහා නායක ස්‌වාමීන්වහන්සේලා ප්‍රමුඛ දේශයට හිතැති මහා සංඝරත්නය පෙරමුණ ගන්නා ලෙස අපි ඔබ වහන්සේලාගෙන් ගෞරව නමස්‌කාර පූර්වකව ඉල්ලා සිටින්නෙමු. නැතහොත් අපට සිදුවන්නේ නොපෙනෙන දෙවියන්ගෙන් යකුන්ගෙන් මේ ජාවාරම්කරුවන්ට "හෙණගෙඩි" ඉල්ලා සිටින්නටය. දැනටමත් මෙම අලි ජාවාරම් ගැන පරිසරවේදීන්, මාධ්‍යවේදීන් ඇති තරම් කරුණු කාරණා හෙළිදරව් කර තිබේ. එහෙත් නීතිය අව නීතිය වී තිබෙනු දක්‌නට ලැබේ. ඉන් අප කියන්නේ වන සත්ත්ව නීතිය ක්‍රියාත්මක කරන්නට සිටින වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැමුන්ද මෙම අලි ජාවාරම්වලට උඩගෙඩි දෙමින්, ගතමනාවට හොර බලපත්‍ර ලියාදීමට කටයුතු කිරීම ගැනය. ඒ නැතිව මෙම ජාවාරම් සත්‍ය ලෙසම අනාවරණය කරගන්නට වෙහෙස දරන වනජීවී නිලධරයෝ කිහිප දෙනෙක්‌ වැටලීම් කර සොර අලි පැටවුන් අල්ලා අධිකරණය හමුවට ගෙන ඒමට දරන්නේ අපමණ දුෂ්කරතාවකි. ඔවුන්ට බොහෝ විට දෙපාර්තමේන්තුවෙන් නිසි පහසුකම් හා රැකවරණ නොලැබෙන බව ප්‍රසිද්ධ රහසකි. වනජීවී ඇමැතිවරයාට ඒ සඳහා සාධාරණය ඉටුකිරීමට භාරය. එහෙත් වැටත් නියරත් ගොයම් කයි නම් වනජීවී ක්‍රියාමාර්ග ගැන ආයෙත් අමුතුවෙන් කිව යුතු නැත. හීලෑ අලින් පිළිබඳව තොරතුරු සඳහන් අලි පොත අදටත් සොයා ගන්නට නැත. එය අස්‌ථානගත කර ඇත්තේම අලි සොරුන්ට උදව් උපකාර කිරීම පිණිසය. නැතිවුණු අලි පොතක්‌ ගැන වසරකට වැඩි කාලයක්‌ කතා කළද අලුත් පොතක්‌ ලියන්නට තාමත් වනජීවී බලධාරීන් ක්‍රියාකරන්නේ නැත. ලියාපදිංචි හීලෑ අලි 359 දෙනකුගේ ලේඛනය නැවත ලියන්නට තරම් ක්‍රියාශීලී බවක්‌ හෝ පිට කොන්දක්‌ වනජීවී දෙපාර්තමේන්තුවට නැත. වත්මන් ලේඛන කොතරම් ව්‍යාජද යතහොත් අංක 229 දරණ අංකය යටතේ අලින් දෙදෙනකු ලියාපදිංචි කර තිබේ. 



එසේම 1994 න් පසු මේ රටේ හීලෑ අලි පරපුරට එකම අලි පැටවකුවත් ඉපදී ඇති බවට වනජීවී දෙපාර්තමේන්තුවට වාර්තා ලැබී නැත. එනම් වසර 20 ක්‌ තිස්‌සේ මෙරට හීලෑ අලි උපතක්‌ සිදුවී නොමැති නම් අවුරුදු 4-5 / 6-7 වයසේ අලි පැටවුන් ඉන්නේ ඕපපාතිකව බිහිවීද? සත්‍ය නම් වසර 20 ට වඩා අඩු සියලුම අලි හොරෙන් අල්ලාගත් සතුන් වීමය.

අපි යෝජනා කරමු· වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙය වහා ඉටුකළ යුතුය. දැනට හීලෑ අලි ඇතුන් ලෙස ඇති අලි 359 දෙනාගේ තොරතුරු ඉතා කෙටි කාලයකදී නැවත ලේඛනයක්‌ සේ සැකසීම කළ යුතුය. ඉන්පසු රටට මාධ්‍යයට එය ප්‍රකාශ කළ යුතුය. අලින්ගේ සැබෑ හිමිකරුවෝ කවුරුද යන්න එවිට පැහැදිලිය. මෙම අලින්ට විශේෂිත බලපත්‍රයක්‌ නිකුත් කර ඉතිරි (සොර) අලි ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කළ යුතු බවට නිවේදනය කළ යුතුය. එසේ ඉදිරිපත් වන අලි හිමිකරුවන්ට වනජීවී සංරක්‍ෂණ නීතිය හා පොදු දේපළ නීතිය යටතේ ක්‍රියාකර, දඩගසා දඬුවම්දී ලියාපදිංචි කිරීම සිදුකිරීමට මේ රටේ කවුරුනුත් විරුද්ධ නැත.

එසේ ඉදිරිපත් නොවන අලි සොරුන් හා අලින් වනජීවී විශේෂ වැටලීම් අංශය මගින් අල්ලා අත්අඩංගුවට ගත යුතුය. නීතිය ක්‍රියාත්මක කරන්න. මේ සුළු කාර්යය කරන්නට නොහැක්‌කේ දේශපාලන බලපෑම් නිසාද යන්නත්, මේ ජාවාරම් පිටුපස අදිසි හස්‌ත ක්‍රියාත්මකව පවතින්නේද යන්නත් එවිට ලෝකයාට ප්‍රදර්ශනය වනු ඇත. එහෙත් අද සිදුවන්නේ එය නොවේ. 1994 දී ලබා දී ඇති බලපත්‍ර මගින් අදටත් අලි පැටවුන් අල්ලා විකිණීමය. එකම බලපත්‍රය ළඟ තබා ගනිමින් අලි ජාවාරමේ යෙදීම මෙන්ම අලි මාෆියාවක යෙදී සිටීමය. පසුගියදා මීරිගම කණ්‌ඩලම වලව්වෙන් වනජීවී වැටලීම් අංශ අත්අඩංගුවට ගෙන බලපත්‍ර නැති නිසා අධිකරණයට ඉදිරිපත් කළ අලි පැටවාට සිදුවූ සිද්ධිය මෙන්ම පන්නිපිටිය දෙව්රම් විහාරය අසලදී "දිවයින" මාධ්‍යවේදී උදේනි චන්ද්‍රසිරි මහතාගේ හිසට ගලකින් පහරදී හිස පැලීමේ ඛේදවාචකය මෙම අලි මාෆියාව ගැන ඉතා හොඳට කරුණු කියයි.

2014 පෙබරවාරි 28 දින සන්ධ්‍යාවේදී ලැබුණු ඔත්තුවක්‌ මත බලපත්‍ර රහිත අලි පැටවකු සහ වැඩුණු අලියකු (වාසනා) වනජීවී වැටලීම් ඒකකය හා පරිසරවේදීන් පිරිසක්‌ විසින් මීරිගම කණ්‌ඩලම වලව්වේ බැඳ සිටියදී අත්අඩංගුවට ගන්නා ලදී. අනතුරුව අධිකරණය හමුවට පමුණුවන ලද මෙම අලින් දෙදෙනකුගෙන් වැඩුණු අලියා පින්නවල අලි අනාථාගාරයට තාවකාලිකව භාර කෙරුණේ බලපත්‍ර අලුත් නොකර තිබීම හේතුවෙනි. (වලංගු බලපතක්‌ නැතිවීම හේතුවෙනි) එහෙත් වහ වහා බලපත්‍ර අලුත් කළ වනජීවී දෙපාර්තමේන්තුව නඩුව තිබියදී අලියා හිමිකරුට භාර කළේය. කැලයෙන් අල්ලා ගන්නා ලද බවට තහවුරු වූ කුඩා අලි පැටවා තාවකාලිකව නඩුව නිමාවන තෙක්‌ හිමිකරු වශයෙන් ඉදිරිපත් වූ පන්නිපිටියේ හිමිනමකට 2012 නිකුත් කළ බලපත්‍රයක්‌ යටතේ අත්තනගල්ල අධිකරණයේදී භාර කෙරුණු අතර, පරිසර සංවිධාන මෙම අලි ජාවාරමට තවදුරටත් සාධාරණය ඉල්ලා ගම්පහ මහාධිකරණයේ නඩු ගොනු කළේය. එහි තීන්දුව වශයෙන් පොදු දේපළ පනත යටතේ අත්තනගල්ල මහෙස්‌ත්‍රාත්වරයාගේ තීන්දුව ප්‍රතිශෝධනය කළ ගම්පහ මහාධිකරණය පසුගිය ජුලි 18 දා අතුරු තහනම් නියෝගයක්‌ නිකුත් කරමින් පන්නිපිටිය දෙව්රම් විහාරයේ භාරයේ සිටින එකී අලි පැටවා නැවත වනජීවී දෙපාර්තමේන්තුව භාරයට ගෙන උඩවලව ඇත් අතුරු සෙවණට ගෙන යන්නට නියෝගයක්‌ නිකුත් කළේය.
එම නියෝගය පරිදි වනජීවී නිලධාරීන් අලි පැටවා ලබාගන්නට පන්නිපිටිය දෙව්රම් විහාරයට යද්දී සිද්ධිය වාර්තා කිරීමට ගිය "දිවයින" මාධ්‍යවේදියාට විහාරස්‌ථානයට සම්බන්ධ යෑයි සැලකෙන පුද්ගලයකු විසින් සිමෙන්ති ගලකින් පහරදී ඔළුව පලා ඔළුවට බරපතළ හානි සිදුකළේය. විහාරස්‌ථානයේ හෝ එහි හිමිවරුන්ගේ අනුදැනුම ඇතිව හෝ නැතිව කරන ලද මෙම ක්‍රියාව මගින් බෞද්ධාගම, භික්‍ෂු පරපුරම හෑල්ලුවට ලක්‌ වූ අතර මෙරට අලි සංරක්‍ෂණයටද කළු පැල්ලමක්‌ ඇති කළේය. 

මාධ්‍යවේදියා වහා රෝහල් ගත කෙරුණු අතර පසුව පහරදුන් පුද්ගලයා පොලිස්‌ අත්අඩංගුවට පත්විය. ඒ කෙසේ වෙතද අලි පැටවා මුදාගත් වනජීවී නිලධාරීන් එදිනම උඩවලව ඇත්අතුරු සෙවණට රැගෙන ගියහ.

මේ අලි පැටවු ජාවාරමේ එක්‌ සිද්ධියක්‌ පමණි. පසුගිය මැයි 8 දා හීලෑ අලි ඇතුන්ගේ සංගමයේ උප ලේකම්වරයා හොර අලි පැටවකු ළඟ තබා ගැනීමේ වරදට වනජීවී වැටලීම් අංශ මගින් ගන්නෝරුවදී ප්‍රසිද්ධියේ අත්අඩංගුවට ගෙන මහනුවර අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබීය. මේ සියල්ලෙන් අපට පෙනෙන්නේ මේ අලි ජාවාරම අපේ රට ආගම, ජාතිය නීතිය හෑල්ලුවට ලක්‌කරන මහා විශාල ජාවාරමක්‌ හා විනාශයක්‌ බවට පත්ව ඇති බවයි. 

එනිසා මේ මහා නින්දාවෙන් රට ගලවා ගන්නට නීතිය අකුරට ක්‍රියාත්මක කරන ලෙසද මෙරටේ හීලෑ අලි ඇතුන්ගේ ප්‍රශ්නයක්‌ ඇතිනම් සාකච්ඡා මාර්ගික විසඳුම් සොයන ලෙසද, අලි ජාවාරමට වහා තිත තබන ලෙසද මෙරට පාලකයන්ගෙන් අපි ඉල්ලා සිටින්නෙමු. ගරුතර මහා සංඝරත්නයෙන් අප ඉල්ලා සිටින්නේ අති උතුම් බුදුන්වහන්සේට ධර්ම රත්නයට සංඝරත්නයට, දළදා හාමුදුරුවන්ට නිගා දෙන බුදුවදනෙත් නැති "අලි බිස්‌නස්‌ වලින්" ඇතැම් සංඝයා වහන්සේ ඉවත්කර, අලි පැටවුන්ට, අලි මවුවරුන්ට නිදහසේ ජීවත් විය හැකි බුදුන් දෙසූ පරිදි සත්ව කරුණාව දක්‌වන පරිසරයක්‌ රට තුළ තනා දීම වෙනුවෙන් පෙරමුණ ගන්නා ලෙසය.

ජගත් කණහැරආරච්චි
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: දළදා හාමුදුරුවන්ට නිගා දෙන "අලි බිස්‌නස්‌... Rating: 5 Reviewed By: Unknown