728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday 16 August 2014

කෘතිම රූපාන්තරයේ සාපය


රූපලාවන්‍යාගාරයේ ඛේදවාචකය
හසුව හොර වෙදෙකුට
ගොදුරු විය රුදුරු මරු හට


රූපලාවන්‍ය සැත්කමකට (cosmetic surgery ) ලක්‌ වීමට ගොස්‌ බම්බලපිටියේ විශාකා මාවතෙහි පිහිටි පෞද්ගලික රූපලාවන්‍ය සැත්කම් ආයතනයකදී (
cosmetic surgery clinic ) විදින ලද එන්නතක්‌ විෂ වීමෙන් වෛද්‍යවරියක මිය යැමේ සිද්ධිය පසුගිය දිනවල රට තුළ මහත් ආන්දොලනයකට තුඩු දුන් සිදුවීමක්‌ විය.




මෙහිදී මරණයට පත් වූ වෛද්‍යවරිය බොරැල්ල රිඡ්වේ ආර්යා ළමා රෝහලේ ප්ලාස්‌ටික්‌ සැත්කම් අංශයේ වෛද්‍යවරියක බවත් ඇයට එන්නත ලබා දුන් වෛද්‍යවරයා රූපලාවන්‍ය සැත්කම් පිළිබඳ කිසිදු පුහුණුවක්‌ හෝ පශ්චාත් උපාධියක්‌ නොමැති බොරු ප්‍රචාරයන්ගෙන් මහජනතාව රැවටූ සාමාන්‍ය එම්.බී.බී.එස්‌. වෛද්‍යවරයකු බව මේ වන විට රටට හෙළිදරව් වී අවසානය.

ඉහත කී වෛද්‍යවරයා වන නිමල් ගමගේ 1982 වසරේදී කොළඹ වෛද්‍ය පීඨයෙන් පිටවූ එම්.බී.බී.එස්‌. උපාධිධාරි වෛද්‍යවරයකු බවත් ඔහු මෙරට බොහෝ මාධ්‍යයන් හරහා ප්‍රචාරය කළ පරිදි ඇමරිකා එක්‌සත් ජනපදයේ කිසිදු රූපලාවන්‍ය සැත්කම්වලට අදාළ පාඨමාලාවක්‌ හෝ පශ්චාත් උපාධියක්‌ හැදැරූ අයෙකු නොවන බවත් ශ්‍රී ලංකා ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශයට පත් කොට තිබේ.

මෙකී වෛද්‍යවරයා විසින් 2009 වසරේ සිට බම්බලපිටියේ මහල් ගොඩනැඟිල්ලක පවත්වාගෙන ගිය රූපලාවන්‍ය සැත්කම් ආයතනයෙන් සේවය ලබා ගැනීම සඳහා සිනමා හා රූපවාහිනී නළු නිළියන්, ධනවත් කාන්තාවන්, දේශපාලනඥයන්, ඇතුළු සමාජයේ ඉහළ යෑයි සම්මත පිරිස්‌ බොහොමයක්‌ පැමිණ ඇති බවද එසේ සේවය ලබා ගත් සංඛ්‍යාව 2000 ක්‌ පමණ වන බවද පොලිසිය මේ වන විට හෙළි කර ගෙන තිබේ.

සැබැවින්ම මෙය අවාසනාවන්ත සිදුවීමකි. තම රූපය වඩාත් අලංකාර කර ගැනීමට යමෙකු සිතීම වරදක්‌ සේ දැකිය නොහැකි නමුදු එම සිතිවිල්ල ඔස්‌සේ යමින් තම රූපය පමණක්‌ නොව ජීවිතයම තමනට රූපලාවන්‍ය සැත්කම් හා අලංකරණය පිළිබඳ හසල දැනුමක්‌ ඇති බව පවසමින් ව්‍යාජ ප්‍රචාරයන් ගෙන ව්‍යාජ පුද්ගලයන් සඳහා බිල්ලට දීම කිසිසේත් අනුමත කළ නොහැකි ක්‍රියාවකි.

ශ්‍රී ලංකා ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය දුලිප් පෙරේරා මහතාට අනුව රූපලාවන්‍ය සැත්කම් හෝ රූපලාවන්‍ය ප්‍රතිකාර පිළිබඳ පශ්චාත් උපාධියක්‌ හෝ ක්‍රමවත් පුහුණු පාඨමාලාවක්‌ නොහැදැරූ අයෙකුගෙන් තම රූපය අලංකාර කර ගැනීමට යැම මරණයට පමණක්‌ නොව අංගවිකල තත්ත්වයකටද අත වැනීමකි. එසේ රූපලාවන්‍ය ක්‍ෂේත්‍රය පිළිබඳව කිසි දැනුමක්‌ නොමැති පුද්ගලයෙකුගෙන් එන්නතක්‌ විද ගැනීම වකුගඩු, හෘදය වස්‌තුව, මොළය ඇතුළු මිනිස්‌ සිරුරේ වැදගත් ඉන්ද්‍රියයන් අකර්මණ්‍ය වීමට තරම් හේතු විය හැකි බව වෛද්‍ය පෙරේරා කියා සිටී.

අප නැවත ඉහත කී වෛද්‍යවරියගේ මරණය දෙස හැරී බැලුවහොත් ඇය මිය ගොස්‌ ඇත්තේ එන්නතක්‌ විෂ වීමෙන් බව සනාථ වී තිබේ. එම එන්නත දුන් වෛද්‍යවරයා රූපලාවන්‍ය සැත්කම් පිළිබඳව පමණක්‌ නොව වෛද්‍යවරයකු තුළ පැවැතිය යුතු එන්නත් ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳව මූලික දැනුමක්‌වත් නොමැති අයෙකු බව පෙනී යනුයේ එම එන්නත වෛද්‍යවරියට විදීමට පෙර ඇය ආහාර වර්ගයකට ආසාත්මිකතාවයක්‌ (ඇලර්ජි) දක්‌වන්නේද යන්න පිළිබඳව හෝ ඇයගෙන් විමසූ බවක්‌ වාර්තා නොවීම නිසාය.

අනෙක්‌ අතට රූපලාවන්‍ය සැත්කමක්‌ සිදු කිරීමේදී එම සැත්කමට ලක්‌වන අයගේ රුධිර පීඩනය මැන බැලීම ඇතුළු රෝගී පරීක්‍ෂාවන් සිදු කිරීම අත්‍යවශ්‍ය කරුණක්‌ බව ප්ලාස්‌ටික්‌ ශල්‍ය විශේෂඥ වෛද්‍ය දුලිප් පෙරේරා මහතා පවසයි. එහෙත් අදාළ වෛද්‍යවරියට එන්නත ලබාදුන් වෛද්‍යවරයා එවැනි රෝග පරීක්‍ෂාවක්‌ සිදු කළ බවටද මෙතෙක්‌ වාර්තා වී නොමැත. එසේම සාමාන්‍යයෙන් රූපලාවන්‍ය සැත්කමක්‌ හෝ ඕනෑම ප්ලාස්‌ටික්‌ සැත්කමක්‌ සිදු කිරීමේදී ඒ සඳහා ක්‍රමවත් නිසි ප්‍රමිතියක්‌ සහිත ශල්‍යාගාරයක්‌, දැඩි සත්කාර ඒකකයක්‌, නිර්වින්දන කටයුතු සඳහා නිර්වින්දන වෛද්‍යවරයෙකු අවශ්‍ය වන අතර මෙරට ලියාපදිංචි බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය භාවිත කළ යුතුය.

එහෙත් බම්බලපිටිය, රූපලාවන්‍ය සැත්කම් ආයතනය පවත්වාගෙන ගිය වෛද්‍ය ගමගේ සතුව එම පහසුකම් කිසිවක්‌ දක්‌නට නොතිබූ බව ශ්‍රී ලංකා ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කර සිටී. සාමාන්‍යයෙන් රූපලාවන්‍ය සැත්කමක්‌ සිදු කිරීමේදී එම සැත්කමට ලක්‌ වන්නාට ලබාදෙන එන්නතක්‌ හෝ බෙහෙතක්‌ යම් හෙයකින් ආසාත්මික තත්ත්වයක්‌ මත හෝ විෂ වුවහොත් ඔහු හෝ ඇයව දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමේ සූදානමක්‌ පැවැතිය යුතු බව එම සංගමය පවසයි. එහෙත් ඉකුත් 12 වැනිදා පස්‌වරු 3 ත් 4 ත් අතර කාලය තුළදී තම ඇස්‌ යට පවතින කළු පැහැති සම ඉවත් කිරීමේ රූපලාවන්‍ය සැත්කමකට පෙනී සිටීම සඳහා එන්නතක්‌ විදිනු ලැබූ ළමා රෝහල් වෛද්‍යවරිය එන්නත විදීමෙන් සුළු වෙලාවකට පසු ක්‍ෂණිකව මිය ගොස්‌ ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළි වී ඇති අතර ඇයට ප්‍රතිකාර ලබා දීම සඳහා පිටත පෞද්ගලික රෝහලකින් වෛද්‍ය කණ්‌ඩායමක්‌ අදාළ රූපලාවන්‍ය සැත්කම් ආයතනය වෙත ගෙන්වා ගෙන ඇති බවත් එම කණ්‌ඩායම පැමිණෙන විටද වෛද්‍යවරිය මිය ගොස්‌ සිටි බවත් අනාවරණය වී තිබේ.

මෙයින් පෙනී යනුයේ රූපලාවන්‍ය සැත්කම් පිළිබඳ තමා ප්‍රවීණයෙකැයි දැඩි ප්‍රචාරයක්‌ ගෙන යමින් එම සැත්කම් සිදු කර ඇති වෛද්‍යවරයා තමා වෙත එන රෝගීන්ගේ සැත්කම් සිදු කළ යුතු ආකාරය පිළිබඳව හෝ සැත්කම්වලදී මුහුණ පෑමට සිදුවන අවදානම් තත්ත්වයන් පිළිබඳව මූලික දැනුමක්‌ නොමැති අයෙකු බවයි. කරුණු එසේ නම් එන්නත විෂ වීමෙන් මියගිය වෛද්‍යවරිය ඇතුළුව සමාජයේ උසස්‌ යෑයි සම්මත ප්‍රභූ පවුල්වල සාමාජිකයන්, සිනමා/ රූපවාහිනි නළු නිළියන් රූපලාවන්‍ය සැත්කම් සිදු කිරීමේ මූලික පහසුකම්වත් නොමැති වෛද්‍ය ගමගේ ගේ රූපලාවන්‍ය මධ්‍යස්‌ථානය වෙත යොමු වූයේ මන්ද? එයට හේතුව බොහෝ විට රූපලාවන්‍ය සැත්කමක්‌ විදේශීය රටකට ගොස්‌ සිදු කර ගැනීමේදී හෝ මෙරට පුද්ගලික රෝහලකින් සිදුකර ගැනීමේදී වැය වන මුදලට වඩා අඩු මුදලකට වෛද්‍ය ගමගේ ලවා සිදුකර ගැනීමට හැකි වීම වන්නට පිළිවන.

නොඑසේනම් පුද්ගලික රෝහලකට හෝ විදේශීය රටකට එවැනි සැත්කමක්‌ සඳහා යැමෙන් තම පුද්ගලිකත්වය ආරක්‍ෂා කර ගැනීමට නොහැකි නිසා වෛද්‍ය ගමගේ ගේ රූපලාවන්‍ය මධ්‍යස්‌ථානයට තම ජීවිතය පවා අවදානමට ලක්‌කරගෙන ඇතැම් ප්‍රභූන් යන්නට ඇතැයි අනුමාන කළ හැකිය. හේතුව කුමක්‌ වුවද මෙකී ව්‍යාජ වෛද්‍යවරයාගේ නීති විරෝධී රූපලාවන්‍ය සැත්කම් මධ්‍යස්‌ථානය හේතුවෙන් මේ වන විට රටට වටිනා ජීවිතයක්‌ අහිමි වී ගොස්‌ අවසානය.

මෙම වෛද්‍යවරියට මරු කැඳවූ එන්නත ඇයට ලබාදුන් වෛද්‍ය නිමල් ගමගේ යනු ඔහු විසින්ම පවසන ආකාරයට ඇමරිකා එක්‌සත් ජනපදයේ 1986 වසරේ සිට වසර 25 ක පමණ කාලයක්‌ වෛද්‍ය වෘත්තියේ යෙදුණු වෛද්‍යවරයෙකි. තමා විසින් ඇමරිකා එක්‌සත් ජනපදයේ සිටි එම කාලය තුළදී උදරයෙහි මේදය ඉවත් කිරීම, සම සුදු පැහැගැන්වීම, දැස්‌ යට කළු පැහැති සම ඉවත් කිරීම ඇතුළු රූපලාවන්‍ය සැත්කම් 12,500 ක්‌ කර ඇති බවට ඔහු විසින් ජනමාධ්‍යයන් හරහා දැඩි ප්‍රචාරණයක්‌ද ගෙන ගොස්‌ තිබේ.


තමා විසින් ඇමරිකා එක්‌සත් ජනපදයේදී සිදු කළ රූපලාවන්‍ය සැත්කම් යෑයි පවසමින් එවැනි සැත්කම්වලට පෙනී සිටි අයගේ ඡායාරූප පවා මෙකී වෛද්‍යවරයා විසින් ජනමාධ්‍යයන් හරහා ප්‍රසිද්ධ කිරීම හේතුවෙන් සමාජයේ සෑම තරාතිරමකම අය මොහු ගැන විශ්වාසයක්‌ ඇති කරගෙන ඇති බව ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. එහෙත් එම සංගමයට අනුව මොහු ඇමරිකා එක්‌සත් ජනපදයේ දී තම සැත්කම් සිදු කළ වසර ගණන වශයෙන් දක්‌වා ඇති වසර 25 ක කාලය මතභේදයට තුඩු දෙන්නකි. මන්ද තමන් විසින් ප්‍රතිකාර ලබාදුන් රෝගීන්ට ලිංගික අතවරයන් සිදු කිරීම හා රක්‍ෂණ ආවරණයන් ලබා ගැනීම සඳහා වංචනික අයුරින් වෛද්‍ය සහතික ඉදිරිපත් කිරීමේ චෝදනාවන් මත වෛද්‍ය ගමගේ සතුව පැවැති ඇමරිකා එක්‌සත් ජනපදය තුළ වෛද්‍ය වෘත්තියේ යෙදීමේ බලපත්‍රය කැලිෙනියාවේ වෛද්‍ය සභාව විසින් 2006 වසරේදී තහනම් කිරීමයි. ඔහු 1986 වසරේ සිට වසර 25 ක කාලයක්‌ ඇමරිකා එක්‌සත් ජනපදයේ රූපලාවන්‍ය සැත්කම් සිදු කළේ නම් වසර 2011 දක්‌වාම එම කාර්යයෙහි නියෑළී සිටිය යුතුය.

එහෙත් 2005 වසරේදී ඇමරිකා එක්‌සත් ජනපදයේ කැලිෆෝ්ිනියාවේ වෛද්‍ය සභාවෙහි වසර 07 ක තහනමකට ලක්‌ වූ වෛද්‍ය ගමගේ සැබැවින්ම ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ 2009 වසරේදීය. ඒ අනුව ඔහු විසින් වසර 25 ක කාලයක්‌ ඇමරිකාවේ සැත්කම් කළ බවට දක්‌වා ඇති වසර ගණන සාවද්‍ය බව පෙනී යයි.

මෙසේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශයට පවා වංචා කළ මෙකී වෛද්‍යවරයා 2009 වසරේ සිට බම්බලපිටියේ විශාකා මාවතෙහි පිහිටි රූපලාවන්‍ය සැත්කම් ආයතනය ආරම්භ කළේ තමන් ඒ පිළිබඳ ඇමරිකාවේ පුහුණුවක්‌ ලැබූ ප්‍රවීණයෙකු බව සෞඛ්‍ය බලධාරීන්ට ඒත්තු ගන්වමිනි. එහෙත් සත්‍ය වශයෙන්ම මෙම වෛද්‍යවරයා ඇමරිකා එක්‌සත් ජනපදයෙහි සිටියදී රූපලාවන්‍ය සැත්කම් තබා කිසිදු ආකාරයක ප්ලාස්‌ටික්‌ සැත්කම් පිළිබඳව කිසිදු පාඨමාලාවක්‌ හදාරා හෝ පුහුණුවක්‌ ලබා නොමැති බව මේ වන විට අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකා ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයට අනුව වෛද්‍ය නිමල් ගමගේ ඇමරිකා එක්‌සත් ජනපදයේ සිටින කාලය තුළදී 2005 වසරේ ලේසර් තාක්‍ෂණය භාවිතයෙන් රූපලාවන්‍ය සැත්කම් සිදු කිරීම පිළිබඳ පෞද්ගලික පංති කිහිපයකට පමණක්‌ සහභාගි වී තිබේ.

එම පංති හරහා ලැබූ සීමිත දැනුම උපයෝගී කරගෙන තමන් රූපලාවන්‍ය ක්‍ෂේත්‍රයේ කෙල පැමිණිය අයෙකු යෑයි සෞඛ්‍ය බලධාරීන්ටද ඒත්තු ගන්වා මෙරට පුද්ගලික රූපලාවන්‍ය සැත්කම් ආයතනයක්‌ පිහිටුවීමට වෛද්‍ය ගමගේ සූක්‍ෂම ලෙස පියවර ගත්තේය.

ඒ වන විටද ඔහු ඇමරිකා එක්‌සත් ජනපදයේ වෛද්‍ය වෘත්තියේ යෙදීම තහනම් වූ අයෙකු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සැබැවින්ම දැන නොසිටියේද? එසේත් නැතිනම් එවැන්නක්‌ දැන සිටියදීත් යම් කිසි බලපෑමක්‌ මත වෛද්‍ය ගමගේට රූපලාවන්‍ය සැත්කම් මධ්‍යස්‌ථානයක්‌ පිහිටුවීමට අමාත්‍යාංශය විසින් උදව් කළේද යන්න තවමත් ගැටලුවක්‌ව පවතී. කෙසේ වුවද ශ්‍රී ලංකා ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය විසින් 2011-03-10 දා තමින් එවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වූ වෛද්‍ය ටී. ආර්. සී. රුබේරූ මහතා වෙත වෛද්‍ය නිමල් ගමගේ රූපලාවන්‍ය සැත්කම් පිළිබඳ ශල්‍ය වෛද්‍යවරයෙකු නොව සාමාන්‍ය එම්.බී.බී.එස්‌. උපාධිධාරි වෛද්‍යවරයකු පමණක්‌ බවත් ඔහු ශ්‍රී ලංකාවේ රූපලාවන්‍ය සැත්කම් සිදු කිරීම නීති විරෝධී ක්‍රියාවක්‌ බව දක්‌වමින් ලිපියක්‌ යවා තිබිණි.

එවකට එම සංගමයෙහි සභාපතිවරයා වූ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලලන්ත අමරසිංහ මහතාගේ අත්සනින් යුතුව එම ලිපිය යවා තිබිණි.

එහෙත් එම ලිපියට සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් විසින් නිසි පිළිතුරක්‌ ලබා දී නොමැති අතර වෛද්‍ය ගමගේට එරෙහිව කිසිදු පියවරක්‌ද නොගත් බව ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. තම සංගමයේ ලිපියට අනුව යමින් එදා වෛද්‍ය ගමගේට එරෙහිව නීතිමය පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පියවර ගත්තේ නම් ළමා රෝහල් වෛද්‍යවරියට මරණය උදා කිරීම දක්‌වා මෙම ප්‍රශ්නය දිග් නොගැස්‌සෙන බව ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ වත්මන් සභාපති වෛද්‍ය දුලිප් පෙරේරා මහතා පවසයි.

කෙසේ වුවද මේ වන විට ව්‍යාජ වේෂයකින් පෙනී සිටි වෛද්‍යවරයෙකුගේ නීති විරෝධී ක්‍රියා කලාපය මත තවත් වෛද්‍යවරියකගේ ජීවිතය අකාලයේ පරව ගොස්‌ අවසානය. වෛද්‍ය ගමගේ විසින් එන්නත විදිනු ලැබූ බොරැල්ල ළමා රෝහල් වෛද්‍යවරිය මිය ගිය ආකාරයද ශෝචනීයය. එම වෛද්‍යවරිය මිය ගිය පසු පොලිස්‌ අත්අඩංගුවට පත් වූ වෛද්‍ය ගමගේ පොලිස්‌ නිලධාරීන්ට පවසා ඇත්තේ දැස්‌ යට පවතින කළු පැහැති සම ඉවත් කිරීමේ සැත්කම් සඳහා තමන් එන්නතක්‌ නොවිඳින නමුදු වෛද්‍යවරියගේ ඉල්ලීම මත එවැන්නක්‌ විදින ලද බවකි.

එහෙත් වෛද්‍යවරිය විසින් එසේ එන්නතක්‌ විදින ලෙස පවසා ඇත්තේ කුමන කරුණක්‌ මතද යන්න මෙතෙක්‌ වෛද්‍යවරයා විසින් නිශ්චිතව ප්‍රකාශයට පත්කර නොමැත. මෙහිදී පැන නඟින තවත් ගැටලු සහගත තත්ත්වයක්‌ වනුයේ එම එන්නත ගෙල ප්‍රදේශයට ලබා දුන්නේ මන්ද යන්නයි. වෛද්‍යවරියගේ දැත්වල නහර පැහැදිළි මදි වීම මත එසේ ගෙල ප්‍රදේශයට එන්නත ලබාදුන් බව වෛද්‍යවරයා පොලිසියට ප්‍රකාශ කර තිබේ. එහෙත් මෙම තත්ත්වය පිළිබඳව අදහස්‌ දක්‌වන ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛද්‍යවරුන් පවසනුයේ නිර්වින්දන වෛද්‍යවරයෙකූ විසින් ලබා දීමට නියමිත එන්නතක්‌ අදාළ වෛද්‍යවරයා විසින් ලබා දීම බරපතළ වැරැද්දක්‌ බවයි.

අනෙක්‌ අතට වෛද්‍යවරියට ලබා දී ඇති එන්නත හදිසි අවස්‌ථාවලදී පමණක්‌ රෝගීන්ට ලබා දෙන්නක්‌ බවටද ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛද්‍යවරු චෝදනා කර සිටිති.

මෙහිදී ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් විශේෂඥ ශල්‍ය වෛද්‍ය සතිෂ් විඡේමාන්න මහතාට වෛද්‍ය ප්‍රියංගනී නමැති, එන්නත විෂ වීමෙන් මිය ගිය වෛද්‍යවරියව ඇය මිය යැමට දින දෙකකට පමණ පෙර හමුවී ඇති අතර එම හමුවේදී හෝ තමන් මෙසේ නිමල් ගමගේ නමැති වෛද්‍යවරයාගෙන් රූපලාවන්‍ය ප්‍රතිකාර ලබන බවට වෛද්‍යවරිය විසින් ප්‍රකාශ කර නොමැති බව හෙළි වී තිබේ.

මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ වෛද්‍ය විඡේමාන්න මහතා වෛද්‍ය ප්‍රියංගනී ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරීන් සමඟ සමීපව කටයුතු කළ අයෙකු වන බවත් එවැනි තත්ත්වයක්‌ තිබියදීත් ඇය රූපලාවන්‍ය ප්‍රතිකාර සඳහා නිමල් ගමගේ වෛද්‍යවරයා වෙත යොමුවීමට පෙර තම අදහස්‌ විමසුවේ නම් ඇයට වූ අනතුර වළක්‌වා ගැනීමට තිබූ බව සඳහන් කළේය.

එහෙත් මේ වන විට සියල්ල සිදුවී අවසානය. දෙදරු මවක වූ 47 හැවිරිදි වියෙහි පසුවූ ළමා රෝහල් වෛද්‍යවරියක වූ වෛද්‍ය ප්‍රියංගනී, ව්‍යාජ වෛද්‍යවරයෙකු හරහා රූපලාවන්‍ය සැත්කමක්‌ කර ගැනීමට යැමෙන් අකාලයේ මිය ගොස්‌ ඇත. රටට වැඩදායී පුරවැසියකු මෙන්ම ඇයගේ දරුවන්ට ආදරණීය මවකද, සැමියාට ආදරණීය බිරිඳක්‌ද අහිමි වී ගොසින් අවසානය.

මෙම තත්ත්වයට මුල සිටම පිළියම් නොයෙදූ සෞඛ්‍ය බලධාරීහු මේ වන විට වෛද්‍යවරියගේ මරණය සම්බන්ධව පරීක්‍ෂණයක්‌ අරඹා තිබේ. එහි මූලික පියවර වශයෙන් වෛද්‍යවරියගේ මරණයට හේතු වූ එන්නත විදිනු ලැබූ නිමල් ගමගේ වෛද්‍යවරයා විසින් මෙරට සිදු කර ඇති ප්‍රතිකාර හා සැත්කම් පිළිබඳව පූර්ණ වාර්තාවක්‌ සපයන ලෙසට වත්මන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් සුධර්මා කරුණාරත්න මහත්මිය විසින් ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය වෙත ලිපියකින් දැනුම් දී තිබේ.

ජාතික ඖෂධ අධිකාරිය විසින් බම්බලපිටියේ වෛද්‍ය නිමල් ගමගේ විසින් පවත්වාගෙන ගිය රූපලාවන්‍ය සැත්කම් මධ්‍යස්‌ථානයේ භාවිත කළ බෙහෙත් හා උපකරණ අධිකාරිය යටතේ ලියාපදිංචි වී ඇති ඒවාදැයි පිළිබඳව පරීක්‍ෂණ පවත්වමින් සිටිති.

එහෙත් මේවා සිදු කිරීමට තිබුණේ මෙයට බොහෝ කලකට පෙර බව අපගේ විශ්වාසයයි. මන්ද අශ්වයා පැන ගිය පසු ඉස්‌තාලය වැසීම සෞඛ්‍ය බලධාරීන් විසින් සැම විටම සිදු කරන ක්‍රියාවක්‌ වීම හේතුවෙනි.

යම් සිද්ධියක්‌ හට ගත් පසු පරීක්‍ෂණ පැවැත්වීමට පරීක්‍ෂණ නිලධාරීන් පත් කිරීමෙන් පරීක්‍ෂණ වාර්තාව ලැබුණු පසු එය නොකියවාම හමස්‌ පෙට්‌ටියට යෑවීමත් කලක සිටම සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ දක්‌නට ලැබෙන තත්ත්වයයි. අමාත්‍යාංශයට අයත් අනුබද්ධ ආයතනවල තත්ත්වයද එයට දෙවැනි නොවේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය මෙන්ම පාරිභෝගික අධිකාරියද හතු පිපෙන්නාක්‌ මෙන් රට තුළ බිහි වෙමින් පවතින රූපලාවන්‍යාගාර හා රූපලාවන්‍ය සැත්කම් ආයතනවල ප්‍රමිතිය හා ඒවායේ සේවය කරන පුද්ගලයන් සුදුසු අයදැයි පරීක්‍ෂා කර බැලීමේ ප්‍රායෝගික වැඩපිළිවෙළකට යැම කාලීන අවශ්‍යතාවයක්‌ව පවතී.

නිමල් ගමගේ වෛද්‍යවරයා මෙන් ව්‍යාජ සුදුසුකම් පෙන්වා රූපලාවන්‍ය සැත්කම් හා ප්‍රතිකාර කරනු ලබන වෛද්‍යවරු කිහිප දෙනකුම කොළඹ ප්‍රදේශයේත් දිවයින පුරා සෙසු ප්‍රදේශවලද සිටින බව ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. තවත් අහිංසක මිනිස්‌ ජීවිතයක්‌ බිලි ගැනීමට පෙර ඔවුනට එරෙහිව පියවර ගැනීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත යුතු අතර එසේ නොවුණහොත් මෙම කිහිප දෙනා තවත් වසර 10 ක්‌ ගත වූ පසු 100 දෙනෙක්‌ දක්‌වා වර්ධනය වනු ඇතැයි එම සංගමය කියා සිටී.

මේ වන විට රූපලාවන්‍ය ව්‍යාපාරය තම ආදායම් මාර්ගය කරගෙන ඇති වෛද්‍යවරුන් මෙන්ම රූපලාවන්‍ය ශිල්පීන් බොහෝ දෙනකු එම ක්‍ෂේත්‍රය පිළිබඳව නිසි හැදැරීමක්‌ නොමැති අය බවටද වාර්තා වී තිබීමෙන් මෙහි ඇති භයානකකම පැහැදිලි වේ. ඇතැම් රූපලාවන්‍යාගාර හරහා චර්ම රෝග වෛද්‍යවරුන් විසින් සිදුකරනු ලබන සමෙහි පවතින කළු හා සුදු ලප ඉවත් කිරීමේ ප්‍රතිකාරයන්ද ලබා දෙන බව නොරහසකි. සම සුදු ගැන්වීම හෙවත් බ්ලිංචිං ප්‍රතිකාරය, උදරයෙහි තැන්පත්ව ඇති අනවශ්‍ය මේදය ඉවත් කිරීම ඇතුළු තම ක්‍ෂේත්‍රයට අයත් නොවන ප්‍රතිකාරයන් පවා බොහෝ රූපලාවන්‍ය ශිල්පීන් විසින් ලබාදෙන බව ප්‍රසිද්ධ රහසකි.

එහෙත් මෙවැනි ප්‍රතිකාරයන් ලබා දීමට එම රූපලාවන්‍ය ශිල්පීන්ට ඇති සුදුසුකම් හා එම ප්‍රතිකාරයන්හි ප්‍රමිතිය සමාලෝචනයට ලක්‌ කිරීමට බලධාරීන් මෙතෙක්‌ කටයුතු නොකිරීම අවාසනාවන්ත තත්ත්වයකි. ඇතැම් රූපලාවන්‍යාගාර විසින් ශාකසාර හා වෙනත් ස්‌වභාවික ද්‍රව්‍යයන් අන්තර්ගත බව පවසමින් ක්‍රීම් වර්ග ඇතුළු ආලේපන නිපදවීමටද පෙළඹී තිබෙනුයේ ඒවා ගැන සොයා බැලීමේ නිසි ක්‍රමවේදයක්‌ බලධාරීන් සතුව නොමැති බව ඔවුන් හොඳින් දැන සිටීම නිසා විය යුතුය.

මෙම තත්ත්වය වෙනස්‌ කළ යුතු කාලය දැන් එළඹ තිබේ. ශ්‍රී ලංකා ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයට අනුව රූපලාවන්‍ය සැත්කම් හා ප්‍රතිකාරයන් මෙරට සිදු කරනු ලබනුයේ ප්ලාස්‌ටික්‌ සැත්කම් පිළිබඳ පශ්චාත් උපාධියක්‌ හා පුහුණුවක්‌ සහිතව රජයේ රෝහල්වල සේවය කරනු ලබන ප්ලාස්‌ටික්‌ ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් 13 දෙනා විසින් පෞද්ගලික රෝහල් තුළදී පමණකි.


ඒ හැරෙන්නට රූපලාවන්‍ය සැත්කම් හා ප්‍රතිකාර කුඩා කාමර හෝ ආයතන තුළින් ලබා දිය නොහැකි බවත් ඒ පිළිබඳව අවබෝධයෙන් මහජනතාව එම සැත්කම් හා ප්‍රතිකාර ලබාගත යුතු බවත් සංගමය කියයි.

එමෙන්ම ඇතැම් රූපලාවන්‍යාගාර හා රූපලාවන්‍යාගාර ශිල්පීන් විසින් ශරීරයෙහි බර අඩු කරලීම සඳහා එන්නත් හා ඖෂධ පවතින බවට ගෙනයන ව්‍යාජ ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසද ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛධ්‍යවරුන්ගේ සංගමය මහජනතාවගෙන් ඉල්ලීම් කර සිටිති.

දිවයින පුරා පවත්වාගෙන යන රූපලාවන්‍යාගාර හා රූපලාවන්‍ය සැත්කම් ආයතන නිරතුරුව නරීක්‍ෂා කර බලා ඒවා නිසි ප්‍රමිතියක පවතීද, ඒවායේ සේවය කරන ශිල්පීන්ගේ සුදුසුකම් මොනවාද? යන්න පිළිබඳ විමර්ශනය කිරීමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වන්නේ නම් ඉදිරියේදී තවත් අහිංසක ජීවිතයක්‌ රූපලාවන්‍ය ක්‍ෂේත්‍රය විසින් බිලි ගැනීම නවතාලීමට හැකිවනවා නොඅනුමානය.

ඒමන්ති මාරඹේ
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: කෘතිම රූපාන්තරයේ සාපය Rating: 5 Reviewed By: Unknown