728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Wednesday 13 August 2014

වෛද්‍යවරියගේ මරණයේ පුවත් සමාලෝචනය....

බම්බලපිටිය විශාඛා පාරේ පෞද්ගලික රූපලාවණ්‍ය ශල්‍යාගාරයක් තුළ සම පැහැපත් කර ගැනීමට ඖෂධයක් ශරීරගත කිරීමෙන් අනතුරුව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහ‍ලේ වෛද්‍යවරියක (12) පස්වරුවේ හදිසියේ මිය යාම සම්බන්ධයෙන් අදාළ ප්‍රතිකාර කළ වෛද්‍යවරයා බම්බලපිටිය ‍පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ නාවල ප්‍රදේශයේ පදිංචි පී.ඒ. ප්‍රියංගනී නමැති වයස අවුරුදු 47ක් වූ වෛද්‍යවරියකි. ඇය රිජ්වේ ආර්යා ළමා රෝහ‍ලේ ප්ලාස්ටික් ශල්‍ය  අංශයට අනුයුක්තව සේවය කරන වෛද්‍යවරියක වන අතර වයස අවුරුදු 12 සහ 15 වයස් සීමාවන්වල පසුවන දරුවන් දෙදෙනකුගේ මවකි.
ඇය  (12) පස්වරු 4.00ට පමණ මෙම පෞද්ගලික සායනයට පැමිණ ඇති බවද ‍පොලිසිය පවසයි. ඒ ඇයගේ රූපලාවණ්‍ය කටයුතුවලට සහ තරබාරු බව පාලනය කිරීමට අදාළ ප්‍රතිකාර ලබා ගැනීමටය.

මෙම වෛද්‍යවරයා එම සායනයට පැමිණෙන පුද්ගලයින් සඳහා සමේ පැහැපත් කිරීම මේදය ඉවත් කිරීම, රූපලාවණ්‍ය සත්කාර පවත්වා තරබාරු බව අඩු කිරීම ඇතුළු රූපලාවණ්‍ය සම්බන්ධ ප්‍රතිකාර ගණනාවක් කලක පටන් කරගෙන යන වෛද්‍යවරයෙකි.
මෙම සායනයට රූපලාවණ්‍ය වර්ධනය කර ගැනීම සඳහා මේ වන විට පුද්ගලයින් 2000ක පමණ පැමිණ ඇති බවටද අදාළ වෛද්‍යවරයා ‍පොලිසියට පවසා ඇත.
මෙම සායනය එම වෛද්‍යවරයා විසින් මීට වසර තුනක පමණ කාලයක සිට මෙම ස්ථානයේ පවත්වාගෙන ගිය බවද වෛද්‍යවරයා ‍පොලිසිය හමුවේ පවසා ඇත. ඒ බම්බලපිටිය විශාඛා පාරේ සයමහල් ගොඩනැගිල්ලක තුන්වැනි තට්ටුවේය.
විශේෂඥ දැනුමක් ඇති තමා මෙම ප්‍රතිකාර නිරන්තරයෙන් සිදුකරන බවද අත්අඩංගුවට ගනු ලැබූ වෛද්‍යවරයා ‍පොලිසියට පවසා තිබේ.
කෙසේ වෙතත් ප්‍රතිකාර එන්නත් ලබා ගැනීමට ආ වෛද්‍යවරිය මෙම වෛද්‍යවරයා ඖෂධ එන්නතක් විදීමෙන් අනතුරුව විනාඩි 10ක පමණ කෙටි කාලයක් තුළ ජීවිතක්ෂයට පත් වී ඇති බව උසස් ‍පොලිස් නිලධාරියකු පැවසීය.
සායනය සිදු කරගෙන යන ගොඩනැගිල්ල තුළම ජීවිතක්ෂයට පත් වූ වෛද්‍යවරියගේ මෘත දේහය පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ පස්වරුවේ සිදු කර  තිබේ.
මෙම ස්ථානයට බම්බලපිටිය ‍පොලිසියේ සහ අපරාධ පරීක්ෂණ නිලධාරීන් (සොකො නිලධාරීන්) පැමිණ විමර්ශන කටයුතු සිදු කර තිබේ.
අදාළ එන්නත් කටු සහ එන්නත් කුප්පි ඉදිරි විමර්ශන සඳහා ‍පොලිස් භාරයට ගෙන තිබේ.
කොළඹ අලුත්කඩේ අංක 4 මහෙස්ත්‍රාත් ඔගස්ටා අතපත්තු විසින් මෙම වෛද්‍යවරයාව අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කර තිබේ.
ඒ අනුව මෙම මිය යාම සම්බන්ධව අදාළ එන්නත ලබා දුන් වෛද්‍ය නිමල් ගමගේ   (12) රාත්‍රියේ බම්බලපිටිය ‍පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණි.
කොළඹ දකුණ කොට්ඨාසය භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි ප්‍රේමලාල් රණගලගේ අධීක්ෂණය සහ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසය සහ බම්බලපිටිය ‍පොලිසිය මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි.
රූපලාවන්‍ය සැත්කමක් සිදුකිරීමට යාමේදී ඖෂධයක් එන්නත් කිරීම නිසා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍යවරයා විසින් විවෘත තීන්දුවක් ලබාදුන්නේ ය.
කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකෙරිණ.
අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය ශ‍්‍රියන්ත අමරරත්න මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලදී.
අද පස්වරුවේ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණය පැය 3කට ආසන්න කාලයක් සිදුකරන ලදී.
 සැකකාර වෛද්‍යවරයා අධිකරණය වෙත පොලිසිය විසින් රැගෙන ගියේය.
පොලිසිය මෙසේ කියයි.
මෙම රූපලාවණ්‍ය ශල්‍යාගාරය යන පවත්වා ගෙන යනු ලබන්නේ විශේෂඥ වෛද්‍ය නිමල් ගමගේ නමැති වෛද්‍යවරයා විසින් බවද ‍පොලිසිය කියා සිටී.එම වෛද්‍යවරයාට මෙරට එම්.එම්.බි.එස්. වෛද්‍ය උපාධිය සහ ඉන් පසුව ඇමෙරිකාවේදී රූපලාවණ්‍ය ප්‍රතිකාර සඳහා වෙනම ලබා ගත් උපාධියක් සහ විශේෂඥ පුහුණුවක් ඇති බවද ‍පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
පොලිසිය එසේ කියද්දී ශ්‍රී ලංකා ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති  මෙසේ කියයි 
රූපලාවන්‍ය සැත්කමක්‌ සඳහා බම්බලපිටියේ පිහිටි රූපලාවන්‍ය සැත්කම් ආයතනයක්‌ වෙත ගිය බොරැල්ල ළමා රෝහලේ වෛද්‍යවරිය මියයැමට හේතුවූ එන්නත් විද ඇති වෛද්‍ය නිමල් ගමගේ එවැනි ශල්‍ය වෛද්‍යවරයකු නොව සාමාන්‍ය එම්. බී. බී. එස්‌. උපාධිධාරී වෛද්‍යවරයකු පමණක්‌ බව ශ්‍රී ලංකා ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති දුලිප් පෙරේරා මහතා පවසයි. එම වෛද්‍යවරයාට රූපලාවන්‍ය ශල්‍යකර්ම පිළිබඳ මෙරට හෝ ඇමරිකා එක්‌සත් ජනපදයේ කිසිදු උපාධියක්‌ හෝ පුහුණුවක්‌ නොමැති බවත් ඔහු අභ්‍යන්තර වෛද්‍ය විද්‍යා හා හෘද රෝග පිළිබඳ පෞද්ගලික වෛද්‍යවරයෙක්‌ පමණකැයිද වෛද්‍ය පෙරේරා කීවේය.
 

වසර 20 ක පමණ කාලයක්‌ වෛද්‍ය වෘත්තියෙහි යෙදී සිටින එම වෛද්‍යවරයා ඇමරිකා එක්‌සත් ජනපදයේ සිටින කාලයේදී රෝගීන්ට ලිංගික අතවර කිරීම හා වංචනික අයුරින් රක්‍ෂණ ආවරණ ලබාගැනීම සඳහා වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධව එරටද තහනමකට පාත්‍රව සිටින අයෙකු බව පෙන්වා දුන් වෛද්‍ය දුලිප් පෙරේරා මහතා ඔහු විසින් පවත්වාගෙන ගිය බම්බලපිටිය රූපලාවන්‍ය සැත්කම් ආයතනයේ සැත්කම් සිදුකිරීමට සුදුසු පරිසරයක්‌ හෝ පහසුකම් නොමැති බවද අවධාරණය කළේය.

මෙකී වෛද්‍යවරයා පිළිබඳ මෙම තොරතුරු ලිපියක්‌ මාර්ගයෙන් ලිඛිත විස්‌තර සහිතව 2011 වසරේදී එවකට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාව සිටි වෛද්‍ය ටී. ආර්. සී. රුබේරු මහතා වෙත ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය විසින් දැනුම් දුන් නමුදු සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස්‌ නිලධාරීන්ද නොමග යවමින් ඔහු 2009 වසරේ සිට රූපලාවන්‍ය සැත්කම් සිදුකරමින් ජනතාව මුලා කරමින් සිටි බව වෛද්‍ය පෙරේරා මහතා සඳහන් කළේය.

අවසානයේ අවාසනාවන්ත අයුරින් එකී වෛද්‍යවරයා වෙත රූපලාවන්‍ය සැත්කමක්‌ කර ගැනීමට ගිය ළමා රෝහල් වෛද්‍යවරිය එන්නතක්‌ වැරැදීමෙන් මිය ගිය බවත් සෞඛ්‍ය බලධාරීන් තම සංගමය මෙම වෛද්‍යවරයා පිළිබඳව දැනුවත් කළ අවස්‌ථාවේදී ඔහුට විරුද්ධව පියවර ගත්තේ නම් මෙවැන්නක්‌ සිදුනොවනු ඇති බවත් හෙතෙම පැවැසීය.

ඇස්‌ යට කළු පැහැති සම ඉවත් කිරීම සඳහා අදාළ වෛද්‍යවරියට සැකකාර වෛද්‍යවරයා විසින් එන්නත් විද ඇති බව අනාවරණය වී ඇති අතර එවැනි සැත්කමකට අවශ්‍ය නිර්වින්දන වෛද්‍යවරයකු, දැඩි සත්කාර ඒකකයක්‌ හෝ ශල්‍ය උපකරණ පහසුකම් එම රූපලාවන්‍ය ශල්‍ය ආයතනයේ තිබී නොමැති බව වෛද්‍ය දුලිප් මහතා සඳහන් කළේය.

"රූපලාවන්‍ය හෝ වෙනත් ප්ලාස්‌ටික්‌ සැත්කමක්‌ සිදුකිරීමේදී එවැන්නක්‌ සිදුකළ හැක්‌කේ රෝහලක්‌ තුළ මිසක පුද්ගලික නිවසක කාමරයක්‌ තුළ නොවේ. ඉහත කී වෛද්‍ය ගමගේ නිවසක කාමරයක්‌ තුළ අනාරක්‍ෂිත අයුරින් රූපලාවන්‍ය සැත්කම් සිදුකිරීමෙන් කර ඇත්තේ බරපතළ වරදක්‌. එකී වෛද්‍යවරයා මෙරට සිදුකර ඇති සැත්කම් හා වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව වාර්තාවක්‌ සපයන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් සුධර්මා කරුණාරත්න මහත්මිය විසින් ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයෙන් ඉල්ලා තිබෙනවා යෑයි වෛද්‍ය දුලිප් පෙරේරා මහතා කීවේය.

මේ අතර ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් විශේෂඥ ශල්‍ය වෛද්‍ය රොමේෂ් ගුණසේකර, විශේෂඥ ශල්‍ය වෛද්‍ය තුෂාන් බෙණරගම හා විශේෂඥ ශල්‍ය වෛද්‍ය නරේන්ද්‍ර විඡේමාන්න යන මහත්වරුන් රූපලාවන්‍ය සැත්කම් හෝ වෙනත් කිසිදු ප්ලාස්‌ටික්‌ සැත්කමක්‌ පුද්ගලික ආයතන තුළ සිදුකරන බවට ගෙන යන ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීම් කරයි. රූපලාවන්‍ය සැත්කම් සිදුකළ හැක්‌කේ මෙරට පුද්ගලික රෝහල් හරහා පමණක්‌ බවද ඔවුහු අවධාරණය කර සිටිති.

කොළඹ ජාතික රෝහලේ ප්ලාස්‌ටික්‌ ශල්‍ය අංශයේ  (13 දා) පැවැති මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය විය.

බම්බලපිටිය ප‍්‍රදේශයේ රූපලාවන්‍ය සායනයකදී ඊයේ වෛද්‍යවරියක් මරණයට පත්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා ලබන 18 වැනි දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අළුත්කඩේ අංක 05 මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත සැකකරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය කර ඇත.


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: වෛද්‍යවරියගේ මරණයේ පුවත් සමාලෝචනය.... Rating: 5 Reviewed By: Unknown