728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday 9 August 2014

හඳ මෝරන කල්හි හූ කියන නරි දිවා කල නගුට දෙපරංශයේ ගසාගෙන නිදිවදියි.....


නරි තමන්ට බැරි කල්හි අනෙකුකට පාවා දී හෝ සිය ගොදුර හෙවත් කුට්‌ටිය සපුරා ගන්නාහ. ඒ කපටි නරින්ගේ හැටිය. ඒ බව අපි අපේ ජනප්‍රවාදයෙන්ද අසා ඇත්තෙමු. 
එසේම හඳ මෝරන කල්හි හූ කියන නරි දිවා කල නගුට දෙපරංශයේ ගසාගෙන නිදිවදින බවද අපි දැන සිටින්නෙමු. ඒ බව අප දන්නේ ශ්‍රී ලාංකිකයන් වූ අපට එකී සොබා දහමේ පැවැත්ම පිළිබඳ මනා වැටහීමක්‌ තිබෙන බැවිණි. 


එමෙන්ම නරියා යනු හැඩරුවින් අපේ ගෙදර සිටින බල්ලාට සමාන එහෙත් බල්ලා මෙන් අපට ආදරය නොකරන වල් සතෙකු බවද කවුරුත් දන්නේය. බල්ලා මිනිසාට සමීප වෙද්දී අදටත් නරි කැලෑ වැදී සිටිනුයේද එනිසාය.

එහෙත් එකී සුනඛ සහ නරි කතා කෙසේ වුවද "නරි ගතිය" ජානගතව බිහිවූවාක්‌ මෙන් රඟන අමන රැලක්‌ මේ මොහොතේ ඇමරිකන් ඩොලරයට නැතිනම් ස්‌ටර්ලින් පවුමට ලොබ බැඳ කන පතේ පහරන න්‍යායන් අප උපන් බිම පාවා දී වැජඹෙන්නට කටයුතු කරමින් සිටින්නේ නම් අපි කුමක්‌ කරමුද?



පැහැදිලිවම කිවහොත් කරන්නට තිබෙන්නේ එවුන්ට වෙඩි තබා සැබෑ නරින්ට අනුභව කරන්නට කැලේට වීසි කිරීමය. නමුත් එසේ කරන්නට යෑයි කීමට අපට නොහැකිය. මන්ද එලෙස රට පාවා දෙන්නට කටයුතු කරන්නවුන්ට මෙන් ගෝත්‍රික මානසිකත්වයක්‌ අපට නොමැති නිසාය. 

එසේ නොහැකි වුවද මෙහිදී කරන්නට එක්‌ දෙයක්‌ පමණක්‌ අපට ඇත. ඒ මෙකී දෙපා නරි කවුරුන්දැයි රටටම වැටහෙන පරිදි එවුන්ගේ පෙකනිය කැපූ තැන සිට සියලු පැටිකිරිය හෙළි කර සිටීමය.

අද දවසේ ඉහත කී දේශදෝහීන් මෙතෙක්‌ කළ කී සියල්ල පසෙක තබා අලුත්ම වටයකින් උපන් බිම පාවා දීමේ සිය නින්දිත මෙහෙයුම අරඹා ඇත්තේද හරි අපූරු අයුරිනි. එහිදී මෙකී කාලකණ්‌ණි රැල එකට එක්‌ව විලි වසා ගැනීමට ඇති අමුඩ ලෙන්සුව ගෙන "මානව හිමිකම් ක්‍රියාකාරී" ලෙස ලේබලයක්‌ අලවා කරට දමාගනිමින් විජාතික ඩොලර් පොට්‌ටනි දෙස බලා රාජ්‍ය නොවන සංවිධාන ලෙසින් පෙනී සිට රඟන නිරුවත් නරි නාඩගමද සුළුපටු එකක්‌ නොවෙති.

මේ රටේ ජනතාවට මළත් අමතක නොවන එක්‌තරා බිහිසුණු මතකයක්‌ ඇත. ඒ අන් කිසිවක්‌ නොව වේලුපිල්ලේ ප්‍රභාකරන් නමැති ම්ලේච්ඡයා ඊළාම් සිහිනයක්‌ දකිමින් දශක තුනක්‌ පුරාවට අප වෙත මුදාහල ත්‍රස්‌තවාදයේ මතකය ය.

එකී කාල පරාසය තුළ ජාතියක්‌ වශයෙන් අප හඬා වැටුණු අවස්‌ථා අනන්තය. අප්‍රමාණය. කළ කැප කිරීම් බොහෝය. ඉතිහාසය විසින් අපෙන් ඉල්ලා සිටි පරිත්‍යාගයන් සියල්ල එකී තිස්‌ වසර තුළ සිදු කරන්නට ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට සිදු විය.

එහෙත් එසේ සිදු කළ සියලු පරිත්‍යාගයන්හි නිසි ප්‍රතිඵල අවසානයේ අපට ලැබුණේය. ඒ 2005 දී සිදුවූ මහින්ද රාජපක්‍ෂ රජයේ කූඨප්‍රාප්තියත් සමගිනි. යක්‍ෂයා වැනසී ගියේය. රටටම ව්‍යසනයක්‌ව තිබූ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය අවසන් විය. සාමය උදා වූවේය. මේ සියල්ල සිදු වූයේ දේශීය සහ විදේශීය ලෙසින් ආ බොහෝ බාධක කම්කටොලු මතින් බව රටේ ජීවත් වන මොලේ ඇති කිසිවකුටවත් අමුතුවෙන් පහදා දිය යුතුද නැත.

නමුත් එසේ යක්‍ෂයා පලවා හැරියේ යෑයි කියා එදා අපට එරෙහිව එල්ටීටීඊය වෙනුවෙන් පෙනී සිටිමින් නැගී සිටි ජාත්‍යන්තර බලවේග නිහඬ වූයේද? නැත. ත්‍රස්‌තවාදය අවසන් කිරීමේ පටන් මානව හිමිකම් කඩ කිරීම්, මිනිස්‌ ඝාතන ආදී ලෙසින් විවිධ චෝදනා හා අවලාද නගමින් රටක්‌ වශයෙන් අප හුදකලා කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක ඇමරිකාව ප්‍රධාන ප්‍රභාකරන් වෙනුවෙන් කඳුළු සලන බටහිර කඳවුර මේ මොහොතේද යෙදී සිටින්නේය.

ඔවුන් මෙහිදී අපට එරෙහි ප්‍රහාරයේ යුද බිම බවට පත් කර ගත්තේ ශ්‍රී ලංකාවද සමාජිකත්වය දරණ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය බව අද ලෝකයටම රහසක්‌ නොවන්නකි. 

එල්ටීටීඊය අතුගා දැමීමෙන් පසු හිතේ දුකට බිහි කර ගත් ඡායා ඊළමේ රටවැසියන් වන්නාවූ විදේශගත දෙමළ ඩයස්‌පෝරාවේ වුවමනාව අනුව කඩේ යන ඇමරිකාව ප්‍රධාන බටහිර කුමන්ත්‍රණකාරීන් ප්‍රභාකරන්ගේ අවසානයේ සිට අදියරෙන් අදියර අපට ඇඟිලි දිගු කරමින් පෙරට පැමිණ අවසානයේ ඇමරිකානු යෝජනාවකට අනුව එක්‌සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් ප්‍රධානී නවනීදන් පිල්ලේ නෝනා ලවා ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශනයට එක්‌සත් ජාතීන්ගේ පරීක්‍ෂණ මණ්‌ඩලයක්‌ පත් කර ගැනීම තුළින් එය හොඳින් පැහැදිලි වන්නේය.

මෙහිදී ඇමරිකාව ප්‍රධාන බටහිර කඳවුරෙන් අසන්නට දෙයක්‌ද ඇත. අද දවසේ ඊශ්‍රායල යුදෙව්වන් පලස්‌තීනයේ ගාසා තීරය සුණු විසුණු කරමින් සමූල ජනඝාතනයක යෙදී සිටියදී ඇහැක්‌ ඇර නොබලන නුඹලා ත්‍රස්‌තවාදය පැරදූ අපට මානව හිමිකම් චෝදනා නගන්නේ අහවල් එක දැතින් වසාගෙනද යන්නය. 

සිය විමර්ශන මණ්‌ඩලය පත් කිරීමේදී ඇමරිකන් පදයට නටන පිල්ලේ නෝනා තුළ තිබූ කුහකත්වය සහ විනිවිධ(අ)භාවය පිළිබඳ මැනවින් පැහැදිලි වන සිදුවීමක්‌ ඉකුත් සතියේ ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා නුවරදී සිදුවිය.

ඒ පැන්ෂන් ගිය පිල්ලේ නෝනාට සමු දෙන්නට ස්‌වේච්ඡා සංවිධාන කිහිපයක්‌ එක්‌ව ජිනීවා නුවරදී පැවත්වූ උත්සවයකදීය. පිල්ලේ නෝනා වෙනුවෙන් පැවති මෙකී සමුගැනීමේ උත්සවයට පැමිණ සිටි අති බහුතරය බටහිර රටවල වෙසෙන කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාවේ සාමාජිකයෝ ය. 

ඒ අතර ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ වෙසෙන ප්‍රබල කොටි සාමාජිකයන් දහතුන් දෙනකුද සිටි වග ජිනීවා නුවරින් ලැබුණු වාර්තා තහවුරු කළේය. එකී උත්සවයේදී සිදුව ඇති දේද විශ්මිතය. පිල්ලේ නෝනා උත්සව ශාලාවට පැමිණෙද්දී ඇයට රන්සළු පොරවා පිළිගෙන තිබුණේ එහි සිටි කොටි ත්‍රස්‌තයන් විසිනි. 

ඇගේ ඇමරිකන් ගැති නොවන පරිපූර්ණ වූ ස්‌වාධීනත්වය කියන්නට එයම ප්‍රමාණවත් නොවන්නේද? අනේ වාසනාවන්, එල්ටීටීඊ ත්‍රස්‌තවාදීහු පිල්ලේට සළු පොරවා බුහුමන් දක්‌වන්නාහ. 

මෙසේ උත්සවයට පැමිණි පිල්ලේ එහි රැස්‌ව සිටි කොටි හිතවාදී ඩයස්‌පෝරාවේ දෙමළ පිරිස්‌ අමතා සිය ස්‌වාධීනත්වය රෙද්ද පල්ලෙන් බේරෙන අන්දමේ අපූරු ප්‍රකාශයක්‌ද කර තිබිණි. ඒ මෙරටට එරෙහි ජිනීවා විමර්ශනයට සාක්‍ෂි ලබා දෙමින් ඊට අඛණ්‌ඩ සහාය දක්‌වන ලෙස දෙමළ ඩයස්‌පෝරාවෙන් ඉල්ලීමක්‌ද කරමිනි.

මේ හමුවේ පිල්ලේ නෝනාට කියා දෙන්නට අපට එක්‌ දෙයක්‌ තිබේ. ඒ ඇය නොදැන සිටියාට "දී කිරට බළල්ලුත් සාක්‌කියි" යනුවෙන් වූ වටිනා කියමනක්‌ අපේ ජනවහර අපට කියා දි තිබෙන බවය.

අද දවසේ කුහකත්වය සහ අධිමානය සමග මෙරට මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේ මානව හිමිකම් කඩවූවේයෑයි නන් දොඩවමින් ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශනයට ජාත්‍යන්තර පරීක්‍ෂණ මණ්‌ඩලයක්‌ පත් කර ගනු ලැබුවද ඒ සඳහා සාක්‍ෂි එක්‌ රැස්‌ කර ගැනීම පිල්ලේ නෝනාට පමණක්‌ නොව ඇමරිකාව ප්‍රධාන බටහිර කඳවුරටම ගැටලුවක්‌ වී තිබෙන බවද කාටත් නොරහසකි. විමර්ශන කමිටුව තිබුණද සෘජු සාක්‍ෂි ලබා ගැනීමේ පිපාසාවෙන් එය දැන් පෙළෙන්නේය. 

අදාළ කමිටුවට ශ්‍රී ලංකාවට පැමිණ සාක්‍ෂි ලබා ගැනීමේ අවස්‌ථාවක්‌ නොදීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණයත් ඉන්දියාවට පැමිණ එවැන්නක්‌ සිදු කිරීම සඳහා විමර්ශන කමිටුව කළ ඉල්ලීම් ඉන්දීය රජය ප්‍රතික්‍ෂෙප කිරීමත් ඊට ප්‍රධාන වශයෙන් හේතු සාධක වී තිබේ.

මේ අනුව ඇමරිකාව ප්‍රධාන බටහිර කඳවුර පමණක්‌ නොව පැන්ෂන් ගිය පිල්ලේ මෙන්ම ඇය පත් කළ විමර්ශන කමිටුවද මේ මොහොතේ සිටිනුයේ අවශ්‍ය සෘජු සාක්‍ෂි ලබා ගැනීම සඳහා වූ උපක්‍රමික ක්‍රියාමාර්ග ගනිමිනි.

අප මීට ඉහතද කී පරිදි ප්‍රභාකරන් මළ දා පටන් "මානව හිමිකම් ක්‍රියාකාරී" යන අමුඩ ලේන්සුව කරේ දමාගෙන ඩොලර් ඉදිරියේ නිරුවතින් රඟන දේශදෝහී නරි රැල අද දවසේ තවත් වටයකින් රට පාවා දීමේ මෙහෙයුමක නිරතව සිටිනුයේ පිල්ලේගේ කමිටුවට සාක්‍ෂි රැස්‌ කිරීමේ මෙකී විජාතික වුවමනාව මත යෑයි කිවහොත් එය නිවැරදි වන්නේය.

මෙරටට එරෙහිව ක්‍රියාත්මක ඇමරිකාව ප්‍රධාන විජාතික කුමන්ත්‍රණයේ සෑම අවස්‌ථාවකදීම නින්දිත ලෙස එහි කොටස්‌ කරුවන් වූ මෙකී කාලකණ්‌ණි අද දවසේ රාජ්‍ය නොවන සංවිධාන යන ලේබලය යටතේ සිය මෙහෙයුමේ නිරතව සිටිනුයේ "ජනමාධ්‍ය නිදහස" "සහ මානව හිමිකම්" නමැති මාතෘකා පෙරට දමමින් වීමද සුවිශේෂී වන්නකි.

මේ අන්දමින් විජාතික වුවමනාවන් අනුව ඩොල්ර් මත යෑපෙන රාජ්‍ය නොවන සංවිධාන දහයක්‌ පමණ මේ වන විට රට පුරා ක්‍රියාත්මකව සිටින බව අප කියනුයේ වගකීම් සහිතවය. මෙහිදී මොවුන්ගේ ඉලක්‌කය වී තිබෙනුයේ ජිනීවා විමර්ශන මණ්‌ඩලයට සාක්‍ෂි එක්‌ රැස්‌ කිරීම පමණක්‌මද? නැත තවත් අතකින් රාජපක්‍ෂ ආණ්‌ඩුව පෙරලා දැමීමේ කුමන්ත්‍රණයකද ඔවුහු නිරතව සිටින්නාහ. ඒ තවත් පසෙකින් රට අස්‌ථාවර කිරීමේ සැළසුමක්‌ද ඇතිවය.

මෙහිදී මෙකී රාජ්‍ය නොවන සංවිධාන සමග එක්‌ව ඩොලර් පොට්‌ටනි පිටින් පුදමින් මෙහෙයුමේ අණදෙන්නා බවට පත්ව සිටිනුයේ ඇමරිකානු මධ්‍යස්‌ථානය සහ තානාපති කාර්යාලය බවටද හෙළි වී ඇත. ඉකුත් දිනවල ඇමරිකානු මධ්‍යස්‌ථානය මගින් දේශපාලන මෙහෙයුමක්‌ කරන්නට ගොස්‌ හසුවීම තුළින් එය තවදුරටත් පැහැදිලි විය. 

ඇමරිකානු තානාපති කාර්යාලය සමග තවත් බටහිර රටවල් දෙක තුනක තානාපති කාර්යාල මෙකී මෙහෙයුමේ කොටස්‌කරුවන් වී සිටින බවද ඉකුත් සතියේ මරදානේදී ඇති වූ සිද්ධියකින් තහවුරු වූවේය. 

මෙකී රට අස්‌ථාවර කිරීමේ මෙහෙයුමේදී අදාළ තානාපති කාර්යාල සමග එක්‌ව සිටින දේශදෝහීන්ගෙන් සැදුම්ලත් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් ආකාර කිහිපයකටම සිය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද ඒ පිළිබඳ විමසිල්ලෙන් බැලීමේදී පෙනී යන්නකි. 

ඒ අතරිනුත් මෙකී දේශදෝහීන්ගේ ප්‍රධානම ක්‍රමවේදය වී තිබෙන්නේ "ජනමාධ්‍ය" නිදහස" යන ලේබලය අලවා උතුරේ ජනමාධ්‍යවේදීන් යෑයි කියාගත් තරුණ පිරිස්‌ විවිධ තැන් වෙත කැඳවා මුදල්, ජංගම දුරකථන ඇතුළු බොහෝ තෑගිබෝග දී සිය කුමන්ත්‍රණයේ කොටස්‌කරුවන් බවට පත් කර ගැනීමය.

මේ ආකාරයෙන් මොවුන් පසුගිය කාලයේ පවත්වා ඇති නේවාසික වැඩමුළු ගණන විසිපහකටත් අධිකය. නමුත් මෙහි ඇති බරපතළම තත්ත්වය වන්නේ ඇතැම් අවස්‌ථාවල මෙකී පාවා දෙන්නන් මාධ්‍යවේදී ලේබල් ගසා එල්ටීටීඊයට සම්බන්ධව සිටි ත්‍රස්‌තවාදීන්ද රටට එරෙහි සිය කුමන්ත්‍රණයේ කොටස්‌කරුවන් කර ගෙන තිබීමය. 

මීට සති තුනකට පමණ ඉහතදී නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරය මගින් කොළඹ නාරාහේන්පිට ප්‍රදේශයේ පැවත්වූ මෙවැනි වැඩමුළුවකට කලකට ඉහත යාපනය නගර සභාවේ ගබඩාකරුවකු ලෙස රාජකාරි කළ දයාබරන් නමැති ප්‍රබල ත්‍රස්‌තවාදියකු මාධ්‍යවේදියෙක්‌ යෑයි සඳහන් කරමින් සහභාගි කරවාගෙන තිබීම ඊට ඇති උදාහරණයක්‌ ලෙස පෙන්වා දිය හැකිය. 

මේ වන විට මෙකී දයාබරන් නමැති ත්‍රස්‌තවාදියා පිළිබඳ කොළඹ අපරාධ කොට්‌ඨාසය වෙත දේශමාමක සංවිධාන ක්‍රියාකාරිකයකු විසින් පැමිණිල්ලක්‌ද ඉදිරිපත් කර ඇත. මෙකී දයාබරන් යනු කවරෙක්‌ද? 

1998 වසරේ සැප්තැම්බර් 11 වැනිදා යාපනය හින්දු ලොඡ් නමැති ස්‌ථානයේ පැවති උත්සවයකදී සිදු කළ එල්ටීටීඊ බෝම්බ පිපිරවීමකින් එවකට යාපනය නගරාධිපති වූ පොන් සිවපාලන් මහතා සහ මේජර් ජෙනරාල් සුසන්ත මෙන්ඩිස්‌ ඇතුළු පස්‌ දෙනකු ඝාතනය කර තවත් 30 දෙනකුට තුවාල සිදු කිරීමේ සිද්ධියක ප්‍රබල කොටස්‌කරුවකු ලෙස දයාබරන් ක්‍රියා කර ඇතැයි ආරක්‍ෂක අංශ හඳුනාගෙන තිබෙන්නකි.

ආරක්‍ෂක අංශ තොරතුරු අනුව එවකට එල්ටීටීඊයේ ප්‍රබලයන්ව සිටි ඊලමුරුගන් සහ සබේසන් නමැති ත්‍රස්‌තවාදීන් සමග එක්‌ව දයාබරන් මෙම බෝම්බ ප්‍රහාරය සැළසුම් කර ඇති අතර එයට එකල යාපනය නගර සභාවේ මහජන සම්බන්ධතා නිලධාරිව සිටි රත්නසිංහම්ද එක්‌වී ඇත.

පසු කලෙක එල්ටීටීඊයේ ටැමිල් නෙට්‌ වෙබ් අඩවියට තොරතුරු සපයන්නකු ලෙසද ක්‍රියා කර ඇති මෙකී දයාබරන් අද දවසේ යාපනය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකු ලෙස ක්‍රියා කිරීමද සුවිශේෂී කරුණක්‌ බවද මෙහිදී කිව යුතුය. 

මේ අන්දමින් ඉහත කී දේශදෝහීන්ගෙන් සැදුම්ලත් රාජ්‍ය නොවන සංවිධාන එල්ටීටීඊ සාමාජිකයන් මෙන්ම එල්ටීටීඊයේ ඊනියා මහවිරු පවුල්වල පිරිස්‌ විවිධ අන්දමින් සහභාගි කරගෙන රට පවා දීමේ කුමන්ත්‍රණය දියත් කරමින් සිටින බව තහවුරු වන තවත් සිදු වීමක්‌ ඉකුත් සතියේ මරදාන සමාජයීය සහ සාමයික කේන්ද්‍රයේදී ඇති වූ සිද්ධියකින්ද තහවුරු විය. 

ඊනියා මහවිරු පවුල්වල සාමාජිකයන් හැටක පමණ පිරිසක්‌ එහි කැඳවූ දේශදෝහීන් කණ්‌ඩායමක්‌ ඉකුත් සතියේ තොරතුරු රැස්‌ කිරීමක මුවාවෙන් වැඩසටහනක්‌ ක්‍රියාත්මක කර තිබිණි. එහෙත් මෙම වැඩ පිළිවෙළ යන අතරේ 2011 වසරේ සිට මෙරට ක්‍රියාත්මක "අතුරුදන් වූවන්ගේ දෙමාපිය එකමුතුව" නමැති සංවිධානයක්‌ සිදු වන සියල්ල සැළ වී එහි ගියේය. ඒ මහා සංඝරත්නයද සමගිනි.

එසේ ගිය දෙමාපිය එකමුතුව නමැති සංවිධානයේ සාමාජිකයන් එහි සිදු වන්නේ කුමක්‌දැයි විමසන්නට වූ අතර එහිදී අදාළ සංවිධායකයන් පවසා තිබුණේ අතුරුදන් වූවන් පිළිබඳ තොරතුරු රැස්‌ කිරීමක්‌ සිදු වන බවය. ඒ අවස්‌ථාවේ තමන් සතුවද අතුරුදන් වූවන් පිළිබඳ තොරතුරු ඇතැයි කී දෙමාපිය එකමුතුවේ සාමාජිකයන් තමන්ටද එම තොරතුරු ලබා දීමට අවස්‌ථාවක්‌ දෙන මෙන් සංවිධායකයන්ගෙන් ඉල්ලීය. 

එහෙත් ඊට අදාළ සංවිධායකයන් වෙතින් නිසි ප්‍රතිචාර නොලැබීමෙන් අවසානයේ එහි මතබේදාත්මක තත්ත්වයක්‌ ඇති විය. එහිදී මෙරටදී පමණක්‌ නොව ඇතැම් අවස්‌ථාවල ජිනීවාවලදී පවා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙස පෙනී සිටි නිමල්කා ප්‍රනාන්දු ඇතුළු පිරිසක්‌ අතුරුදන් වූවන්ගේ දෙමාපිය එකමුතුවේ සාමාජිකයන් සමග බහින්බස්‌ වන අයුරුද එදින මාධ්‍ය මගින් ප්‍රචාර කෙරිණි.

මෙහිදී නිමල්කා ප්‍රනාන්දු ඇතුළු එහි සිටි මානවවාදීන්ගෙන් අහන්නට අපටද ප්‍රශ්නයක්‌ තිබේ. ඒ ඉකුත් කාලයේ අතුරුදන්ව ඇත්තේ එල්ටීටීඊයේ මහවිරු පවුල්වල සාමාජිකයන් පමණක්‌ද යන්නය. ඒ සමගම එල්ටීටීඊ ත්‍රස්‌තයන් විසින් උතුරේ මෙන්ම දකුණේ ජනතාවද අතුරුදන් නොකළේයෑයි ලෙසින් නිමල්කා ප්‍රනාන්දු ඇතුළු පිරිසට හැඟීම් පහල වී තිබෙන්නේදැයි ද මෙහිදී විමසිය යුතුය.

කෙසේ වෙතත් මෙම සිද්ධිය අවසානයේ නිමාවට පත්වූයේ මරදාන පොලිසිය දක්‌වාම ගොසිනි. නමුත් බළලා මල්ලෙන් එළියට පැන්නේ එකී සිද්ධියත් සමග ඇමරිකානු තානාපති කාර්යාලය ඇතුළු බටහිර තානාපති කාර්යාල තුනක නිලධාරින් සහිත රථ එහි ළඟා වීමත් සමගිනි. 

සිද්ධිය වන අවස්‌ථාවේ එම ස්‌ථානයේ නීතිඥ ඡේ. සී. වැලිඅමුණ, රුකී ප්‍රනාන්දු, බ්‍රිටෝ ප්‍රනාන්දු, කිතුණු පල්ලියෙන් නෙරපා සිටින දේවගැති සච්චවේල් වැන්නවුන් සමග මෙරටට එරෙහිව ඉකුත් කාලයේ ජිනීවා වෙත තොරතුරු ගෙන ගිය පුද්ගලයන් ගණනාවක්‌ම එහි සිටි බව පසුව අනාවරණය විය. මෙහිදී උතුරේ සිට කැඳවාගෙන ආ ඊනියා මහවිරු පවුල්වල සාමාජිකයන් යොදාගෙන ස්‌කයිප් තාක්‍ෂණය ඔස්‌සේ ජිනීවා නුවර වෙත තොරතුරු ලබා දීමක්‌ සිදු වූ බව මේ වන විට හෙළිදරව් වෙමින් තිබෙන්නේය. 

අද දවසේ "රාජ්‍ය නොවන සංවිධාන" යන ලේබලය අලවාගෙන අමුඩය කරේ දමා අපි මානවවාදීන් යෑයි කියා ගනිමින් ඩොලර් කුට්‌ටි ඉදිරියේ රට පාවා දෙන අප ඉහත කී ආකාරයේ පට්‌ට "නරි" නිරුවතින් රඟමින් සිටින්නේ මෙසේය. මොකා හෙළුවෙන් නැටුවද අපට නම් ගැටලුවක්‌ නැත. එහෙත් ගැටලුව ඇත්තේ මුන් හෙළුවෙන් නටන අතරේ ලක්‌ මවගේ සළුපිළිද උනා දමන්නට කැසකවමින් සිටීමය. 

එහෙයින් මේ හමුවේ ආණ්‌ඩුවෙන් අසන්නට අපට ප්‍රශ්නයක්‌ ඇත. ඒ රටේ ජනතාව ආණ්‌ඩුවට ඡන්දය දුන්නේ මේ නරි නාටක හමුවේ බකන්නිලා සිටින්නටද යන්නය. 

සමන් ගමගේ
 
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: හඳ මෝරන කල්හි හූ කියන නරි දිවා කල නගුට දෙපරංශයේ ගසාගෙන නිදිවදියි..... Rating: 5 Reviewed By: Unknown