728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday 16 August 2014

අරිසෙන් අහුබුදු

“වැටෙන වැටෙන විට නැගිට සිටින්නෝ
නැගිට නැගිට ඉදිරියටම යන්නෝ
දහසක් බාදා අකුල් සිඳින්නෝ
අපි කඩිසර දරුවෝ....................”



අරිසෙන් අහුබුදු පඩිතුමන් ස්වකීය ජීවිතයම කැප කළේ දැයේ දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් යැයි කීමෙහි අතිශයෝක්තියක් නැත. එතුමන් ස්වකීය ජීවිතයෙන් වැඩිම කාලයක් කැප කළේ දරුවන්ගේ නැණ නුවණ පෑදීමටය. පරමාදර්ශී ගුරුඋතුමෙකු ලෙස එතුමන්ට ඇත්තේ ඉමහත් කීර්තියකි. කුඩා වියේ පසුවෙන දරුවාගේ සිට නව යොවුන් වියට පා තබන දරුවා දක්වා විවිධ වයස් මට්ටම්වල දරුවන්ගේ වින්දනය උදෙසාත්, ආකල්ප වර්ධනය උදෙසාත් අහුබුදු පඩිතුමන් නිර්මාණය කළ, කව් ගී හා ළමා කතා ප්‍රමාණය විශාලය. ඒවා විශිෂ්ටය.

තමා වෙත පැමිණෙන දරුවෙකුගේ නම අසා, තමන් දරුවන්ට ලියූ ළමා ‍පොතක් ගෙන සැණෙකින් එහි කවක් ලියා දරුවාට තිළිණ කිරීම අහුබුදු සිරිතෙහි නිරතුරුව තිබුණ ගුණයකි. එවැනි හැම අවස්ථාවකදීම දරුවෙකුට ලියන කවෙහි ඇත්තේ පෙරමං බැලීමට ළෙන්ගතු අවවාදයකි.
කුමාරතුංග පඩිතුමන්ගේ සෙවණෙහි දී තමන් ලත් ආලෝකය පෙරටු කරගෙන අහුබුදු පඩිතුමන් කුමරතුඟු මග ගනිමින් නිර්මාණය කළ ළමා කතා, කවි හා ගීත දවෛනි වෙතොත් දවෛනි වන්නේ කුමාරතුංගයන්ගේ නිර්මාණවලට පමණක් යැයි මම සිතමි. ප්‍රමාණය සහ ගුණය යන කාරණා දෙකම සම්බන්ධයෙන් සලකා බලන විට අහුබුදු පඩිතුමන් කුමරතුඟුවන්ට ද වඩා ඉදිරියෙන් සිටින බවද කිව හැකිය.

අහුබුදු පඩිතුමන් දරුවන් වෙනුවෙන් නිර්මාණකරණයේ නිමග්න වන විට ඉතා සැලකිල්ලෙන් අවධානය යොමු කර තිබෙන්නේ දරුවන්ගේ ආකල්ප වර්ධනයට බව පෙනේ. එහිදී ඉතිහාසයෙන්, අපේ උරුමයෙන් , යමක් උකහා ගෙන ඊට සියුම් අර්ථ කථනයක් දෙමින් දැනුමක් හා මිහිරක් දරුවාට අත්පත් කර දෙන්නේය. දරුවා විඳින මිහිර මතකයෙන් ගිලිහී නොයේ. ඒ හේතුවෙන් පිබිදෙන කල්පනය ඔස්සේ දරුවෙකුගේ සිතෙහි මතු දවස වෙනුවෙන් වැදගත් ආකල්ප නිරුත්සාහගතව ගොඩ නැගේ. මෙය පහසු කටයුත්තක් නොවන්නේය. මේ අවබෝධය මේ විනය දරුවන් වෙනුවෙන් ලියන බොහෝ දෙනෙකුට අද නම් නැති බව පැහැදිලි සත්‍යයකි.

පිබිදෙන පරපුරක් අපේ සාරධර්ම හා වටිනාකම් ගැන දැනුමකින් පිබිදිය යුතුය යන්න අහුබුදුවන්ගේ මතයයි. ස්වාධීන පෞරුෂයක් මෙන්ම, නිවහල් චින්තනයක් අනාගත පරපුර සතු නොවුණහොත් රටට අනාගතයක් නැත යන අදහස එතුමන් තදින් දැරුවේය. මේ වගකීම ඉටු කිරීම වැඩිහිටියන්ගේ යුතුකම ලෙසය එතුමන් සැලකුවේ. එහිදී දෙමාපියන් ගත කළ යුතු සාමකාමී දිවි පෙවතද, ආදර්ශයෙන් දරුවාට උරුම කර දිය යුතු පරමාදර්ශයන්ද ගැන පරිණත දැක්මකින් විශද කළ අවස්ථා බොහෝය. එහිදී එතුමන් ළමා ලෝකය ආශ්‍රයෙන් වැඩිහිටියන්ගේ කල්පනය පුබුදු කිරීමට ලියූ දෑ ද අපමණය. මේ කරුණු අනුව  පැහැදිලි වන්නේ අහුබුදු පඩිතුමන් දරුවන් වෙනුවෙන් ‍ලේඛන කාර්යයේ නිමග්න වූයේ රටේ අනාගත අභිවෘද්ධිය පිළිබඳව වූ දර්ශනයක පිහිටා බවය. දරුවන්ගේ මුවින් නිතරම පැවසීමට එතුමන් උත්සාහ කළේ වටිනා මානව ධර්මතා සම්බන්ධ සිතුවිලිය.  සමගිය ගැන අවබෝධය දරුවන් තුළ වැඩි වර්ධනය වීම රටේ අභිවෘද්ධියට අවශ්‍ය වේ. ඒ අවබෝධය ඇති විය යුත්තේ දරුවන් තුළ නොවේද? බහු වාර්ගික සමාජයක දිවි ගෙවන්නට සිදු වෙන දරුවා මානව ප්‍රේමයෙන් පෙරමං බැලිය යුතුය. අනාගත ලෝකය ගැන මේ කල්පනාව අහුබුදු පඩිතුමන්ගේ ජීවිත පරිඥානයද විදහා දක්වන්නකි.

“කොතැන උපන්නත් ලෝක ත‍ලේ
පුංචි ළමයි අපි එක පවු‍ලේ
බේද බිඳුම් නැති ලොවක් කරා යන
අනාගතේ අපිමයි
කෙලෙස් මලින් පිරිසිදු වන්නෝ
මිනිස් සුවඳ ලොව පතුරන්නෝ
මිනිස් ලොවේ දෙව් ලොවක් මවන්නෝ
අනාගතේ අපිමයි”

අදින් කලකට පෙර අහුබුදු පඩිතුමන් ලියූ ගීයකින් අපට පැවසුවේ ‘බාධාවලටද බාධා ගෙනැදී පෙරටම’ ඉදිරියට යාමට දිරිමත් වන ලෙසයි. සැබවින්ම පෙරමං බැලීමට අකම්පිත මනසකින් කටයුතු කළ යුතු වන්නේය. ඒ අවබෝධය නූතන දරුවන් ලැබිය යුතුවේ. ඒ සඳහා අදාළ සනාතන දහමක් ඉතා සියුම්ව ගෙනහැර ක්වමින්, යම් අවබෝධයක් ඇති කිරීමට උත්සුක වූ අවස්ථාවකි මේ.

“ඉහළ නගින්නන් පහළ බහිනවා
පහළ බහින්නන් ඉහළ නගිනවා
ඉහළයි පහළයි දෙක පෙරැළෙනවා
ලෝකය කැරැකෙනවා

ඉහළ ගියත් නැහැ හිස ඉදිමෙන්නේ
පහළ ගියත් නැහැ හිත දුක් වන්නේ
දුක සැප එක වාගේ මයි එන්නේ
ලෝකය කැරැකෙනවා”

අරිසෙන් අහුබුදු පඩිතුමන් දරුවන්ට නිතරම කතා කළේ රසය ඔස්සේය. ඒ ගුරුවරයෙකු ලෙස ලත් පරිචය විය යුතුය. එතුමන්ගේ බොහෝ නිර්මාණවල අපූරු කතාවක් තිබේ. ඒ කතාව අනායාසීව ඉදිරිපත් කිරීමට ද එතුමන් සමත් වන්නේය. එපමණක් නොව කුළු ගන්වන අරුත රසවත් ලෙස, දරුවන්ට ප්‍රියතාව ඇතිවන ලෙස ඉදිරිපත් කිරීමටද එතුමන් සමත් වන්නේය. මතු දැක්වෙන්නේ ඊට එක් නිදසුනකි.

“මේ රන් ඉණි මග
ඇත කාගෙත් ළඟ
ගිය හොත් එහි නැග
දියුණුව අත ළග

ඇතැමෙක් ඉණි මග
බිම ලා එහි නැග
සුසුම් හෙළති ලැග
මෝඩකමෙක රග

සමහරු ඉණි මග
කරට රැගෙන නැග
පැටැලී යන මග
හති ලති බිම ලැග

නැග නැග ඉණි මග
කළහොත් වැඩි දඟ
පෙරැළී ඉණි මග
ගමන අතර මග

ඔබගේ ඉණි මග
හඳටම ඇත දිග
ගියහොත් නැඟ නැග
ඔබ වෙති ලොවැ අග

අරිසෙන් පඩිතුමන් කවියෙකු ලෙස පමණක් නොව ගීත රචකයෙකු ලෙසින්ද,
විශිෂ්ට අනන්‍යතාවයක් හිමිකර ගැනීමට සමත් වූ බව කිව යුතු නොවේ. එහිදී එතුමන් සතු සංගීත සංවේදීතාව කැපී පෙනෙන්නේය. එතුමන්ගේ රචනාවක් සංගීතඥයෙකු ඇස ගැටෙන  විටම ඊට අදාළ තනුවද මතු වෙන බවක් විද්‍යමාන වේ.

ගස නිල් වන්
මල රන් වන්
රේණු හැළෙනවා - තෙතඟු
රේණු හැළෙනවා

රේණු මැදින්
රැල්ල කපා
පාරුව යනවා - තෙතඟු
පාරුව යනවා

එහි බැලුවත්
මෙහි බැලුවත්
නිල්ල පෙනෙනවා - තෙතඟු
නිල්ල පෙනෙනවා

නිල්ල මැදින්
රැල්ල කපා
පාරුව යනවා - තෙතඟු
පාරුව යනවා

නූතන සමාජයේ දියුණුව අබිමුව මනුෂ්‍යාගේ ව්‍යසනය ගැන මනුෂ්‍යාම අසංවේදී වීම අහුබුදු ප¾ඩිතුමන්ගේ අවධානය යොමු වන තවත් විෂය ක්ෂේත්‍රයකි. පරිසර විනාශය ගැන දරුවන් නිසි අවබෝධයක් ලැබිය යුතු බවත්, පරිසරය රැක ගැනීමට කැප විය යුතු බවත් එතුමන් බොහෝ නිර්මාණවලින් පෙන්වා දී ඇත. එහිදී එතුමන්ගේ දැක්ම වඩාත් තියුණුය. නිරවුල්ය.

“ගඟට දොළට දිය කොහෙන් ද එන්නේ
වලාකුළේ ඉඳලයි එන්නේ
වලාකුළට දිය කොහොමද යන්නේ
අව්වයි දිය බිඳු ඇදගන්නේ

අව්ව බිපූ දිය අව්ව වළක්වන
වළාකුළක් වී පා වන්නේ
එතකොට මහ ගස් අහසට එසැවී
වලාකුළින් වැහි කැඳවන්නේ

එකම ගහක් හෝ සිටුවන මිනිසා
ගන්නා හුස්මට ණය නැහැනේ
ගහකොළ සිටුවන සුදනන් දක්නට
වලාකුළුත් නිතරම එන්නේ

ගහකොළ වනසන මිනිසුන් ඉන්නා
ගම් බිම් නිතරම ගිනි ගන්නේ
එහෙවූ දනන් වැසි ගමට උඩින් වැසි
වලාකුළක් වත් නැහැ යන්නේ”

අහුබුදු පඩිතුමන්ගේ ළමා කතා විශාල සංඛ්‍යාවක් ඇත. ඒ අතර අම්මයි දුවයි, රාවණ හිනාව, බිසෝ කොටුව, සිඟිති උයන, නරසිහ උවදුර, අඹ දබරය, ‍පොදු විපත, රජ ගොනා, සෙල්ලම් මාලිගාව යනාදි කෘති එතුමන්ගේ දැක්ම මැනවින් විශද කරන ඒවා ලෙස හැඳින්විය හැකිය. ළමා කතාවකින් දරුවෙකුගේ මනසෙහි කුළු ගන්වන ජීවනාර්ථ සහ චමත්කාරය ගැන නිසි අවබෝධයක් ලැබිමට ආධුනික රචකයන්ට අහුබුදු පඩිතුමන්ගේ කෘති පරිශීලනය වැදගත් වන්නේය. ඒ ගැන ‘සෙල්ලම් මාලිගාව’ නමැති කෘතිය ඇසුරින් යමක් පැවසීමට කැමැත්තෙමි.

සෙල්ලම් මාලිගාවේ මුඛ්‍ය පරමාර්ථය සහෝදර ප්‍රේමය ගැන සියුම් අරුතක් කුළු ගැන්වීමය. අයියා සහ නංගී සෙල්ලම් ගෙයක් සෑදීම , සෙල්ලම් බත් පිසීම, අයියා බැහැරට ගිය වෙලාවක සුරංගනාවක් පැමිණීම, අයියා සහ නංගී සැදූ සෙල්ලම් ගේ මාලිගාවක් වීම යනාදි අපූරු සිද්ධි කිහිපයක් ඔස්සේ අපූරු හෘදයංගම සහෝදර බැඳීමක් ගැන රසවත් කතාවක් අහුබුදු පඩිතුමන් නිර්මාණය කර ඇත. සමගිය, සහෝදරත්වය , පමණක් නොව මානව පුරුෂාර්ථ විෂයෙහි  සියුම් දැක්මක් ද ඒ කතාවේ යටි පෙළේ තිබේ.

ස්වකීය ජීවිත කාලය අර්ථවත් අන්දමින් ගත කළ අරිසෙන් අහුබුදු පඩිතුමන් දැයේ දරුවන්ට ආදරය කළ උතුම් ගුරු උතුමෙකි. ගුරු පියතුමෙකි. එතුමන්ගේ කෘති අද දවසේ දරුවන්ගේ අතට දීම අන්කවරදාටත් වඩා අගනේය. නිසි භාෂා ඥානයක් ලැබිමටත් , යහ ගුණ සම්බන්ධ අවබෝධයෙන් දරුවන්ට පෙරමං බැලීමටත් , අපූරු මිහිරක් විඳින්නටත් අහුබුදු පඩිතුමන්ගේ නිර්මාණ අගනේය. දීර්ඝ කාලයක් අඛණ්ඩව දරුවන්ගේ වින්දනයට හා දැනුමට නිර්මාණකරණයේ නිමග්න වූ අහුබුදු පඩිතුමන්ගේ කෘති අනාගත දරුවන් අතට පත්කිරීම අගනා මෙහෙවරක් වන්නේය.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: අරිසෙන් අහුබුදු Rating: 5 Reviewed By: Unknown