728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Friday 17 May 2013

ඔව්....! මට ඒඩ්ස්‌ තමයි.

ඔව්! මට ඒඩ්ස්‌ තමයි.... එච්.අයි.වී. ආසාදිත ගැහැනියකගේ ආත්ම කථනය එච්.අයි.වී. ආසාදිත පුද්ගලයකු සමග එකට වාඩිවී කතාබහ කිරීම ගැන මුලින්ම මා තුළ වූයේද තේරුම් ගත නොහැකි තිගැස්‌මකි. එම නුහුරු හැඟීමට හේතු වන්නට ඇත්තේ එච්.අයි.වී. ආසාදිත රෝගීන් පිළිබඳ මේ සමාජයේ මුල් බැසගෙන ඇති දුරාචාර ආකල්ප වන්නට ඇත. එහෙත් නොකළ වරදකට විඳවමින් අද එච්.අයි.වී. ආසාදිත තැනැත්තියකව හිඳින ප්‍රින්සි මංගලිකා මහත්මිය සමග කතාබහ කළ හෝරා දෙක තුළදී ඇගේ ජීවිතය විනිවිද එච්.අයි.වී. ආසාදිත රෝගීන්ගේ මනෝ භාවය දුටුවෙමි. මේ සමාජය ඔවුන් කෙරෙහි දැක්‌විය යුතු ආකල්පය තේරුම් ගතිමි. ඇගේ මේ ජීවිත තොරතුරු හෙළිදරව්වද එවැනි රෝගීන් පිළිබඳ යහපත් සමාජ ආකල්පයක්‌ වෙනුවෙනි.


ඔබේ ජීවිතේ ගැන විවෘතව කතා කරන්න පුළුවන්ද...?aids ඔව්. කිසිවක්‌ සඟවන්න මට ඕනකමක්‌ නෑ. ඔබ ඕන දෙයක්‌ අහන්න. මම පිළිතුරු දෙන්නම්. ඔබට එච්.අයි.වී. ආසාදිතයි කියල මුලින්ම දැන ගන්තෙ? මීට වසර 13 කට පෙර කොළඹ ජාතික රෝහලේ දී කළ රුධිර පරීක්‍ෂණයකට පස්‌සෙ මමත් එච්.අයි.වී. ආසාදිතයි කියල දැන ගත්ත. එදා එය දැනගත් මොහොතෙ ඔබට මොනවද හිතුණෙ? ඒ මොහොත පැහැදිලි කරන්න බෑ. ඒඩ්ස්‌ කියල දැනගත්ත කෙනෙක්‌ට මුලින්ම මැරෙන්නම තමා හිතෙන්නෙ. ඒත් ඒක බරපතල වැරැදි තීරණයක්‌. අද මට ආපහු හැරිල බැලුවහම ඒ බව වැටහෙනවා. ඔබට එච්.අයි.වී. වෛරසය ආසාදනය වූ අයුරු වැටහීමක්‌ තියනවද? "ඔව්. මට වෛරසය ආවෙ මගේ මහත්තයගෙන්. වෙන කවුරුත් සමග මම ලිංගිකව හැසිරිලා නෑ. ඒ නිසා මම දන්නව මට එච්.අයි.වී. ආසාදනය වුණේ මගේ මත්තයගෙන් කියල. ඒත් මහත්තයට වෛරසය ඇතුල් වෙන්න ඇත්තෙ කොහොමද කියල මම දන්නෙ නෑ. එයා නිතරම විදේශ රටවල යන එන කෙනෙක්‌. එයා කරපු කියපු දේ අනුව මොනව වුණාද කියල මම දන්නෙ නෑ." මහත්තයට වෛරසය ආසාදනය වී ඇති බව දැනගත්තෙ කොහොමද? අසනීප වෙලා එයා කොළඹ ජාතික රෝහලට ඇතුල් කළා 2001 ජූලි දෙවැනිදා. එයාට එච්.අයි.වී. ආසාදිතයි කියල වෛද්‍යවරු කිව්වා. එය ඔබට දරාගන්න පුළුවන් වුණාද? "හැමදේම එකවිට කඩාවැටුණත් වෙන කරන්න දෙයක්‌ තිබුණෙ නෑ. වෛද්‍යවරු ඒ වෙලාවෙ කරන්න ඕන දේ ගැන උපදෙස්‌ දුන්නා. අපේ හිත හැදුවා. කාටවත් මේ ගැන කියන්නෙ නැතිව කිසිවෙකුට හානියක්‌ වෙන් නැති විදියට මහත්තය බලාගන්න හැටි කියල දුන්නා. ඒත් රෝහලේ වැඩ කරපු සුළු සේවකයෙක්‌ මේ ආරංචිය දැනගෙන එදාම ගමට ගිහින් කියල මහත්තයගෙ ටිකට්‌ කැපුවෙ ඒඩ්ස්‌ නිසා කියලා. ගමේ අය ඒ බව දැන ගැනීම මොන විදියටද ඔයාලගෙ පවුලට බලපෑවේ? වෛද්‍යවරු කාටවත් මේ බව කියන්න එපා කීවත් එදා රෑ ගමට යනකොට හැමෝම ඒ බව දැනගෙන. මිනිස්‌සු අපේ ගෙදරට ගල් ගැහුවා. නිර්නාමික ලියුම් එව්වා. ඒ අයගෙ බය තිබුණෙ අපේ පවුලෙ අනිත් අයටත් "ඒඩ්ස්‌" ඇති, අපි ගමේ ඉඳීමෙන් අනෙක්‌ අයටත් ලෙඩේ බෝවෙයි කියලා. පහුවදා උදේ අපේ දරුවො දෙන්නා පාසල් ගියාම දෙමාපියෝ ඇවිත් පංතිවලින් ඒ අයගෙ දරුවො අයින් කරගෙන ගෙදර එක්‌ක ගියා. එදා පංතියෙ ඉතිරි වුණේ මගේ දරුවො දෙන්නා විතරයි. මහත්තයා මේ හැමදේම විඳගන්න බැරිව හිතේ දුකට සියදිවි හානි කරගත්තා. මහත්තයා මියගියේ "ඒඩ්ස්‌" රෝගය නිසා නොවෙයි කියලද ඔබ කියන්නෙ? "ඔව්. එච්.අයි.වී. නිසා නෙවෙයි එයා නැතිවුණේ. ඒ නිසා ආව ප්‍රශ්නවලට ඇතිවුණ හිතේ දුකට වස බීපු නිසා එයා නැතිවුණේ. ඒත් කළුබෝවිල රෝහලේ වෛද්‍යවරු මහත්තයට එච්.අයි.වී. කියල දැන ගෙනත් වෙනසක්‌ නොකර මහත්තයගෙ ජීවිතේ ගොඩගන්න ගොඩක්‌ වෙහෙසුණා. "ඒඩ්ස්‌" කියල මහත්තයා වෙනම තැනකට දාල කොන්කළේ නෑ. රෝහලට ආව ගිය අය පවා අපි ගැන සානුකම්පිතව බලල අපේ හිත හැදෙන්න වචනයක්‌ කතා කරල ගියා. ඒ අවස්‌ථාවෙ කවුද ඔබට උදව් කළේ...? වෙන කිසිම විදියකින් ඒ අවස්‌ථාවෙ කවුරුත් උදව් කළේ නෑ. මහත්තයගෙ ජීවිතෙයි, ළමයි, ඒ හැම දෙයක්‌ම මගේ මත වැටිල තිබුණෙ. මහත්තයගෙ ජීවිතේ නැති වුණාම මමයි දරුවො දෙන්නයි තනිවුණා. අපි ගමෙන් නොගිය නිසා මිනිස්‌සු අපේ ගේ ගිනි තිබ්බා. හැබැයි ඒ අය එදා මේ දේවල් කරන්න ඇත්තෙ එච්.අයි.වී. කියන්නෙ නිකරුණේ බෝවෙන වෛරසයක්‌ නොවෙයි කියල නොදන්නකම නිසා වග අද මම දන්නවා. එච්.අයි.වී. ආසාදිතයන්ට ජීවත්වීම සඳහා උදව් කළ යුතුයි කියන අදහස ඔබට ඇතිවුණේ ඇයි? ළමයි දෙන්නට එච්.අයි.වී. නෑ කියල පරීක්‌ෂණවලින් හෙළිවුණාම ඒ දරුවො වෙනුවෙන් ජීවත් වෙනවා කියල මුලින්ම මම තීරණය කළා. මට සමාජයෙන් මෙච්චර කරදර ආවෙ එච්.අයි.වී. ආසාදිත රෝගීන් ගැන මිනිස්‌සු තුළ තිබූ වැරැදි ආකල්පය නිසා. ඒක නැති කරන්නත් මේ රෝගයට තවත් අය ගොදුරු වෙන එක වළකාගන්නත් සමාජය දැනුවත් කරන්න ඕන කියල එදා මම හිතුවා. ඒ හැඟීම ධෛර්යය තමා මාව ජීවත් කරවන්නෙ. එච්.අයි.වී. ආසාදිතයන් තවත් කෙනෙකුට එම වෛරසය බෝ කිරීමේ ආසාවකින් පෙළෙනවා කියන්නෙ ඇත්තද? නෑ. ඒක අමූලික බොරුවක්‌. මම එච්.අයි.වී. ආසාදිත කෙනෙක්‌. පිටතින් නොපෙනුණාට මේකෙ තියන දුක, වේදනාව නිසා හිත ඇතුළෙන් අපි විඳවනවා. ඒක තව කෙනෙකුට නොවෙන්න ඕන නිසා තමයි අපි ඒ ගැන දැනුවත් කරමින් වැඩ කරන්නෙ. රෝගය වැළඳුණ අයට අනිත් අයට බෝ නොවන ලෙස ජීවත් වෙන හැටි කියා දෙන්නෙ. මේ අත්දැකීම් අනුව එච්.අයි.වී. ආසාදිත රෝගීන් සමාජයෙන් කොන්වෙලා කියල හිතනවද? සමහරු අපි ඉදිරියෙ තියෙන පුටුවක මෙහෙම ඉඳගන්නත් බයයි. ඔබ මෙහෙම අපි ඉස්‌සරහ ඉඳගෙන කතා කරන එක ගැන අපි සතුටු වෙනවා. බය වෙන්න ඕන ඇත්තටම අපි ඉදිරියෙ ඉඳගන්න නෙවෙයි. දකින දකින අය එක්‌ක ලිංගික ආශ්‍රය පවත්වන එකට. ගෙදරදී වෙනම තුවායක්‌, කෝප්පයක්‌ පාවිච්චි කරන සමහර අය බස්‌ එකේදී හමුවන නොදන්න කෙනෙක්‌ එක්‌ක බැහැල ගිහින් ලිංගික කාර්යයේ නිරත වෙනවා. බයවෙන්න ඕන ඒකට. ලිංගික ඇසුරක්‌ පවත්වන්නේ නැත්නම් එච්.අයි.වී. තියෙන කෙනෙක්‌ට අතට අත දෙන්නවත් එයාගෙ කෝප්පයෙන් තේ බොන්නවත් බය වෙන්න ඕන නෑ. මේ රෝගීන්ට වැඩිපුර ආහාර ගැනීම අවශ්‍යයි කියන්නෙ ඇත්තද? ඔව්. හොඳට කෑම කන්න ඕන. විශේෂයෙන් හොඳ මානසිකත්වයක්‌ තියෙන අයට හොඳට ආහාර අවශ්‍යයි. ඔබේ සේවාව ලබාගන්න එන රෝගියෙක්‌ගෙ මුලින්ම තියන මානසිකත්වය කොහොමද? ගොඩක්‌ වෙලාවට ඉඳල වැඩක්‌ නෑ. මැරිල යනවා කියන මානසිකත්වය තමා තියෙන්නෙ. මොන වගේ වයස්‌ කාණ්‌ඩවල අයද ඔබේ සේවාව ලබා ගැනීමට ඇවිත් තියෙන්නෙ? පාසල් යන වයසෙ ළමයි තුන් හතර දෙනෙක්‌ ඇවිත් තියනවා. ගොඩක්‌ ඉන්නෙ අවුරුදු 20 ට වඩා වැඩි අය. සමාජ කණ්‌ඩායම් ගත්තොත්? හමුදා නිලධාරින්ගෙ ඉඳල ආගමික නායකයො දක්‌වා එච්.අයි.වී. ආසාදිත පුද්ගලයන් සිටිනවා. ඔය අතර ගෙදර අය දන්නෙත් නැති, සැමියගෙයි දරුවන්ගෙයි වැඩ කටයුතු කරගෙන ඉන්න අයත් ඉන්නවා. "කැදැල්ල" ව්‍යාපෘතිය ඔස්‌සෙ ඔබ ලබාදෙන සේවාව මගින් ලබාගත හැකි සේවාවන් මොනවද? උපදේශන සේවා, රෝගීන්ට ආදායම් මාර්ග සොයා දීම. නේවාසික පහසුකම් අවශ්‍ය අයට නේවාසික පහසුකම්. ප්‍රතිකාර සඳහා මඟපෙන්වීම්. "පොසිටිව් වුමන් නෙට්‌වර්ක්‌" නම් ඔබේ ආයතනයේ මේ වන විට සිටින රෝගී සාමාජිකයන් ගණන? මුළු ගණන 315 යි. දහසය දෙනෙක්‌ නේවාසිකව සිටිනවා. මේ අයගෙන් වැඩි දෙනෙක්‌ බස්‌නාහිර පළාතේ අය. ඔබේ දැනීම අනුව ලංකාවෙ එච්.අයි.වී. ආසාදිතයන් ගෙන් වැඩිපුර සිටින්නෙ ගැහැනුද පිරිමිද? ගැහැනු සහ ළමයි වැඩියි. නමුත් ඒඩ්ස්‌ මර්දන වැඩසටහන අනුව ලංකාවෙ වැඩි පිරිමි. ගැහැනු අයගෙනුත් සියයට අසූවක්‌ සැමියගෙන් බිරිඳට හැදුන අය. එච්.අයි.වී. ආසාදිත කෙනෙක්‌ට ලෙඩක්‌ හැදුණොත් කුමක්‌ කළ යුතුද? අතන මෙතන ප්‍රතිකාර ගන්නවට වඩා අදාළ සායනයට යන්න. නැත්නම් තමන්ට එච්.අයි.වී. තියනව කියල වෛද්‍යවරයට කියන්න. එහෙම නොවුණොත් අවදානම්. ඒඩ්ස්‌ සඳහා සිංහල බෙහෙත් තියනව කියා අසා තිබෙනවද? මම දන්න විදිහට සිංහල බෙහෙත් බොන්න ගිහින් සමහර අය මැරුණා. පව් අපරාදෙ. මම කියන්නෙ නම් ඉංග්‍රීසි බෙහෙත් බීල තමයි ජීවත් වෙන්න පුළුවන්. මේ රෝගය බෝවෙන එක වළක්‌වා ගැනීමට සාමාන්‍ය පුද්ගලයෙකු සතු විය යුත්තේ? මේ රෝගය ගැනත්, ලිංගික ජීවිතය ගැනත් දැනුවත් වීම. කොටින්ම එදා මහත්තයා රට ගිහිල්ල එනකොට මට මේවා ගැන අවබෝධයක්‌ තිබුණ නම් එස්‌.ටී.ඩී. ක්‌ලිනික්‌ එකක්‌ කරනවා. එදා මම දැනගෙන හිටියෙ මහත්තයත් එක්‌ක හොඳ පවුල් ජීවිතයක්‌ ගත කරන්න විතරයි. ඔබ වැනි අයට ජීවත් වෙන්න උදව් කරන්නෙ කව්ද? විශේෂයෙන් සී.සී.එස්‌. ආයතනයත්, පවුල් සංවිධාන සංගමයත්, ලිවින් විත් හෝප් ආයතනයත් අපට උදව් කරනවා. විශේෂයෙන් කිව යුතු දෙයක්‌ තියනවද? මේ අයට සේවාව කරගෙන යන්න අපට ස්‌ථිර තැනක්‌ නෑ. මේ තැන පවත්වගෙන යන්නෙත් කුලියට ගත් තැනක. කව්රු හෝ අපිට අත දෙනව නම් ඒක රට වෙනුවෙන් කරන දෙයක්‌. ලොකු පිනක්‌. ප්‍රින්සි මංගලිකා මහත්මියගෙන් අප සමුගත්තේ ඒ බලාපොරොත්තු දෑසේ වූ දහසක්‌ බලාපොරොත්තු ඉටුවේවා යෑයි පතමිනි. මන්ද ඒ බලාපොරොත්තු සඵල වීම යනු මේ සමාජයේ අඩුවෙන්ම අවධානය යොමුවන අසරණ මිනිසුන්ගේ හෙට දවස වෙනුවෙනි. pwnprincy@gmail.com ඊමේල් ලිපිනයෙන් සම්බන්ධ වී ඔවුන් වෙනුවෙන් ඔබට යම් උපකාරයක්‌ කළ හැකිය. තිස්‌ස ගුණතිලක ඡායාරූප - කමල් බෝගොඩ


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ඔව්....! මට ඒඩ්ස්‌ තමයි. Rating: 5 Reviewed By: Unknown