728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday 19 May 2013

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි


‘මේ විධායක ජනාධිපති ක්‍රමය, පළාත් සභා ක්‍රමය වගේම මනාප ඡන්ද ක්‍රමය අපේ රටට කිසිසේත්ම ගැළපෙන්නේ නැහැ. මේ සියලු දෙයින් සිදුවන්නේ මහා මුදල් විනාශයක් විතරයි. රටට වින කරන මේ ප්‍රධාන කරුණු තුන හැකි ඉක්මනින් අහෝසි කොට මේ රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් කඩිනමින් ස්ථාපිත කළ යුතුයි. නොමැතිනම් මේ රටට කිසි දිනෙක ගොඩයෑමක් නැහැ’ යි මල්වතු පාර්ශ්වයේ මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී  සුමංගල නාහිමියෝ පැවැසූහ.




ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මල්වතු නාහිමියන් බැහැදුටු අවස්ථාවේදී නාහිමියෝ මේ අදහස් පළ කළහ.පළාත් සභා ක්‍රමය ඉන්දියාව වගේ විශාල රටකට සුදුසු වුණාට අපි වගේ පොඩි රටකට කොහොමටත් ගැළපෙන්නේ නැහැ. ඉන්දියාවේ ප්‍රාන්තයක් අපේ රටට වඩා විශාල නිසා බලය විමධ්‍යගත කිරීම අවශ්‍යයි. එහෙත් අපිට මේවා අවශ්‍ය නැහැ. පළාත් සභා ආරම්භ කරලා වසර 30ක් වුණත් රටට වෙලා තියෙන විශේෂ දියුණුව මොකක්ද? මැති ඇමැතිවරුන්, නිලධාරීන් නඩත්තු කරනවා ඇරෙන්න මේවායින් සිදුවන්නේ මොනවද? මිනිහෙක් වැඩක් කරගන්න ගියොත් හරවලා අරිනවා මේක අයිති මධ්‍යම රජයට, ප්‍රාදේශීය සභාවට, නගර සභාවට කියලා. අද රටේ පාලකයන් වැඩි වුණාට වැඩක් කෙරෙන්නේ නැහැ. මුදල් ගසාකෑම විතරයි. පළාත් සභා අහෝසි කරලා ප්‍රාදේශීය සභාවට, ගම් සභාවට වැඩි බලය දීලා වැඩ කළොත් මහා මුදල් කන්දරාවක් ඉතිරි වෙනවා. එමඟින් රටට ණය නොවී විශාල සංවර්ධනයක් කරන්න පුළුවන් බවද නාහිමියෝ පැවැසූහ.

දැන් මැතිවරණයක් ළං වෙනකොට වසර 30ක් පැවැති ව්‍යවස්ථාව වෙනස් කරන්න තව පිරිසක් දඟලනවා. ඡන්දයක් කිට්ටු වෙනකොට ව්‍යවස්ථා වෙනස් කරන්න කටයුතු කළොත් ඒකත් ජිනීවාවලට තවත් ලොකු මාතෘකාවක් වේවි. ඡන්ද කිට්ටු වෙනකොට ව්‍යවස්ථා සංශෝධනය කරන්න ගියොත් අන්තර්ජාතික ප්‍රශ්නවලට මුහුණපාන්න වේවි. මේ ඉඩම්, පොලිස්, අධිකරණ බලතල විශාල ගැටලුවක්. ඒවා සියලු දේ දැනට ජනාධිපති අතේ තියෙන නිසා ප්‍රශ්නයක් නැහැ. එහෙත් ඉදිරියේදී මොන විදියේ කෙනෙක් මේ තනතුරට එයිද? මොන අයුරින් හැසිරෙයිද කියන එකයි ප්‍රශ්නය.

මනාප ක්‍රමය කියන එකෙනුත් රටට විශාල හානියක් වුණා. මේක නිසා සමහර කොට්ඨාසවලට වගකියන්න මන්ත්‍රි කෙනෙක් නැහැ. ඒ පළාත්වල සංවර්ධනයක් නැහැ. ජනතාව අන්ත අසරණ වෙලා. පැරැණි කේවල ක්‍රමයෙන් කොට්ඨාසවලට වගකියන කෙනෙක් ඉන්නවා. මේ ක්‍රමය නිසා ගහ මරා ගැනිලි කොච්චර වෙනවද? කොච්චර මුදල් නාස්තියක්ද? මේ තත්ත්වය ගැන අපි කොයිතරම් පැහැදිලි කළත් කවුරුවත් ඇහුම්කන් දෙන්නේ නැහැ. මුලදී අකැමැති වූ අයත් වැඩේ රස වැටුණාම නිශ්ශබ්දව ඉන්නවා. මේ විදියට මේ රට ගොඩයයි දැයි උන්වහන්සේ ප්‍රශ්න කරති.

මේ රට ගොඩනඟන්න නම් පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතුයි. ඒ ඉතිරිවන මුදල රට ගොඩනඟන්න සෑහේවි. ඒවායේ ඉන්න අයට වෙනත් ජීවන මාර්ග සලසා දිය යුතුයි. අද ආයතන වැඩි වෙලා. හැම තැනම භාගෙට වැඩ. පාරවල් හදන්න කියලා, පාසලට ළමයින් ගන්න කියලා වගේම හැම දෙයකටම උද්ඝෝෂණ. හරියට වැඩක් කෙරෙනවා නම් මේ තත්ත්වය උදා වෙයිද? අද රට පුරා මහා පරිසර විනාශයක් වෙනවා. කැලෑ විනාශ කරනවා. ගංගා හාරලා වැලි ගන්නවා. සිංහරාජය මැදින් පාරවල් කපනවාලු. රක්ෂිත අල්ලාගෙන හෝටල් හදනවාලු. මේ මහා විනාශය පිළිබඳ කවුරුවත් අවධානය යොමු කරන්නේ නැහැ. මේ මහා මුදල් නාස්තිය, වංචා, දූෂණ පිටුදැකලා, පක්ෂ, පාට භේද දුරලලා රට ගොඩනඟන්න ටික කාලයකට හරි සියලු දෙනා එක්වීම අද අත්‍යවශ්‍ය කාරණයක් වෙලා තියෙනවා. එහෙම නැතිව වාද භේද කරපින්නාගෙන ඇහැ කන පියාගෙන සිටියොත් මේ රට හැමදාම තියෙන තැනම තමයි, ඉදිරියට යෑමක් නැහැ. ආපස්සට යෑම අනිවාර්යයි යනුවෙන්ද නාහිමියෝ පැවැසූහ.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි Rating: 5 Reviewed By: Unknown