728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Friday 17 May 2013

තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ

මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට කියා සිටින්නීය. උගත් හා සුන්දර තැනැත්තියක වන වික්ටෝරියා කැචීවා පමණක් නොව අයුක්තියට අසාධාරණයට අවනීතියට ගොදුරු වන සෑම සියලු දෙනාගේ දැවෙන, පිපාසය, යුක්තිය, සාධාරණය හා නීතියේ පිළිසරණ බව කිවමනා නොවේ. කාමුක අතවරයකට බඳුන් වූ කාන්තාවකට සිය නාමය වසංකර ගැනීමට නීතියෙන් ඇති අයිතියද අතහරිමින් යුක්තිය හා සාධාරණය වෙනුවෙන්  සටනට බසින්නී ඒ දේශයේ නියම තතු වග විභාග කොට නිසි අයුරින් දැන සිටින නිසා වන්නට ඇතැයි සිතේ.

යුක්තිය සාධාරණය පතා අතොරක් නැති වැලපුම් ඇසෙන යුගයක, කුඩමසුන් මිස තෝරු, මෝරුන් නීතියේ දැලට හසු නොවන කලෙක යුක්තිය සාධාරණය පතා මෙම විදෙස් කත කරන හඬගෑම කවරෙකුට නම් ඇසේදැයි සිතාගත නොහැකි වුවද දේශයේ බහුලව භාවිත වන බසින් ඇයගේ අයැදුම අකුරු කර තබන්නට අපි සිතමු. නිවාඩු පාඩුවේ විනෝදයෙන් දින කිහිපයක් ගත කරන්නට 'ආසියාවේ ආශ්චර්යය' ලෙසින්ද 'දහම් දිවයින' ලෙසින්ද මුළු ලොවටම හඳුන්වා දෙන ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී තමාගේත් තම පණවන් පෙම්වතාගේත් ජීවිත ගොදුරු කරගත් පාපතර අදමිටුවන් නීතියට කොටුවන වගක් දැකගන්නට නොමැති තැන පසුගියදා වික්ටෝරියා කැචීවා හඬ අවදි කොට තිබුණාය. ඇය එසේ කතා කළේ මහා බි්‍රතාන්‍යයේ සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදී ඩේවිඩ් ජේම්ස් ස්මිත්ටය. 'ශ්‍රී ලංකාවේ නිවාඩු නිකේතනයකදී අතවරයට ලක් වූ තැනැත්තිය පළමුවරට ඇය මුහුණ දුන් ඛේදාත්මක සිදුවීම සම්බන්ධයෙන් කතා කරයි, යන හිසින් යුතු වූ එම සන්ඩේ ටයිම්ස් ලිපියේදී ඇය යුක්තිය වෙනුවෙන් සටන් කරන බව පැවැසූ බවද ඩේවිඩ් ජේම්ස් ස්මිත් මාධ්‍යවේදියා සටහන් කොට තිබේ. 2011 දෙසැම්බර් මාසයේ ඒ දෛවෝපගත දිනය සිදුවීම ඇය එකිනෙක විස්තර කොට තිබුණේ අතවරයට ගොදුරු වූ කාන්තාවක වශයෙන් සිය නමේ රහස්‍ය භාවය රැකගැනීමට ඇයට ඇති නීතිමය අයිතියද අතහරිමිනි. රුසියානු භාෂා උපාධිධාරිනියක වන වික්ටෝරියා කැචීවා මෙම සිද්ධියට මුහුණ දෙද්දී විසිහතර හැවිරිදි වියේද, රතු කුරුස හමුදාවේ කෘත්‍රිම අත්පා සවි කිරීමේ විශේෂඥයකු ලෙස සේවය කළ ඇයගේ පෙම්වතා වූ කුරාම් ෂෙයික් තිස් දෙහැවිරිදි වියේද පසුවූහ. වික්ටෝරියා කැචීවාට අනුව ඔවුහු ශ්‍රී ලංකාවට පැමිණ තංගල්ලේ නේචර් රිසෝට් නම් නිවාඩු නිකේතනයේ සිය නිවාඩුව ගත කරමින් සිටියහ. එසේ සිටින අතරවාරයේ 2011 දෙසැම්බර් මස දිනෙක ඇය මැදියම් රැයේ මුහුදු වෙරළට ගොස් හුදකලාව නිස්කාංසුවේ වාඩිගෙන සිටියේ රාත්‍රි සුව විඳිමිනි. ඇයගේ නිස්කාංසු සුවයට බාධා කරමින් එක්වරම එහි පැමිණි මිනිසකු 'මොකක් හරි ප්‍රශ්නයක්' දැයි ඇසූ බව ඇයට මතකය. ඉන් අවුල් සහගත බවට පත්වූ ඇය ඉඳ සිටි තැනින් නැඟිට හෝටලය දෙසට දිව යෑමට සැරසුණත් මිනිසුන් කිහිපදෙනකු විසින් ඇයව වළකනු ලැබිණි. එතැන කී දෙනකු සිටියාදැයි ඇයට නිනව් නැත. 'මට ඔවුන් දෙස බැලීමටවත් බැරි වුණා. ඔවුන් මට පහර දෙන්න ගත්තා. මා බිම වැටුණා. මගේ අත්වලින් මං ඔළුව වහගත්තා' ඇය කියා සිටියාය. 'එය සිදුවුණේ නාන තටාකය ළඟ. එය හදිසි ප්‍රහාරයක්. ඔවුන් අතින් පයින් ගැහුවා.' අනතුරුව ඇයට පහර දුන් පිරිස ඇයව නාන තටාකයට තල්ලුකොට දැමිණි. "මම නාන තටාකයෙන් ගොඩ එන්න උත්සාහ කළත් ඔවුන් මට ඉඩ දුන්නේ නැහැ." "අවසානයේ මං නාන තටාකයේ වෙනත් පැත්තකින් ගොඩ ආවා. මගෙන් අඩි කිහිපයක් එහායින් මගේ පෙම්වතා කුරාම් ෂේක් (ම්ඩභපචථ ඉඩචඪඬඩ) වැටී සිටියා. මා ඔහු ළඟටම දුව ගිහින් නම කියා හඬ ගෑවා. නමුත් ඔහුගෙන් පිළිතුරක් ලැබුණේ නැහැ." 'මා ඔහුව සිහි එළවන්න උත්සාහ කළා. මුවට මුව තබා ආශ්වාස ප්‍රශ්වාස කළා. නමුත් මට ඔහුව සිහි ගැන්වීමට නොහැකි වුණා.' 'ඔහුව සිහි ගැන්වීමට නොහැකිව කර කියාගන්නට දෙයක් නැති වූ තැන මා ගොඩක් හයියෙන් කෑ ගැහුවා. එතැනින් එහාට මට කිසිවක් මතක නැහැ. මා හිතන්නේ මට සිහි නැති වුණා.' එසේ සිහි නැතිව නිරුවත්ව සිටි කැචීවා නත්තල් දා උදෑසන හෝටලයේ කාමරයකින් හමුවූ බවට සාක්කි තිබේ. ඇයගේ හිස් කබලද පැළී තිබිණි. මුහුණ බරපතළ ලෙස ඉදිමී ශරීරය තුවාලවලින් ගහනව තිබූ බව කියැවේ. ඇය අතවරයට ලක්ව තිබූ බවත් ලිංගේන්ද්‍රියට ඇති වූ තුවාල හේතුවෙන් වේදනා විඳිමින් සිටි බවත් පොලිස් වාර්තාවේ සඳහන් විය. වික්ටෝරියා කැචීවා ඒ අවාසනාවන්ත රැයේ පාපතරයන්ගේ අතවරයට ලක්වූයේ ඇයට සිහි නැති වූ අවස්ථාවේදී විය හැකිය. රෝහලේදී ඇයට සිහිය එද්දී ඇයගේ විළි වැසී තිබුණේ ටී- ෂර්ටයකින් පමණකි. ඇයගේ යට ඇඳුම් තවදුරටත් සිරුරේ නොවීය. එසේම ඇය ඇඟලාගෙන සිටි ලේ වැකුණු ඇඳුම් කිසිවිටෙක ඇයට නැවත සොයාගැනීමට නොහැකි වූවාය. එම ලේ වැකුණු ඇඳුම් හා යට ඇඳුම් යුක්තිය හා සාධාරණය ලබාගැනීම සඳහා ඇයට ඉතා හොඳ සාක්කි විය හැකිව තිබිණි. තමන්ට මෙම අපරාධය සිදුකළේ නත්තල් දිනට පෙර දින රාත්‍රියේ හෝටලයේ පැවැති සාදයට පැමිණි පිරිසක් විසින් බවද ඔවුන් තම පෙම්වතා වූ ෂේක් සමඟ එකී සාදයේදී සුළු ගැටුමක් ඇති කරගත් බවද ඇය පවසා තිබේ. 'කුරාම් මරා දමා මා ලිංගික අතවරයට ලක්කළ ඒ පිළිකුල් සහගත ක්‍රියාව මා කෙසේ අමතක කරන්නද?' කැචීවා විමසන්නීය. 'සාධාරණය ඉටුවනතාක් කල් මට ඉවසුමක් නැහැ. මගේ තැන මගේ පෙම්වතා කුරාම් සිටියා නම් ඔහු මා වෙනුවෙන් අවසානය දක්වාම සටන් කරාවි. එනිසා මා විසිනුත් කළ යුතු දෙය එයමයි' මහා බි්‍රතාන්‍යයේ සන්ඩේ ටයිම්ස් පුවත්පත හා සාකච්ඡාවේදී යුක්තිය සාධාරණය වෙනුවෙන් සටනට බැස සිටින වික්ටෝරියා කැචීවා අවධාරණය කර සිටියාය. එදා ඒ අවාසනාවන්ත රැයේදී අර පාපතරයන්ගේ පහරදීමෙන් වික්ටෝරියා කැචීවාගේ ආදරණීය පෙම්වතා කුරාම් ෂේක් මෙලොව හැර ගොස් සිටියේය.victoria-alexandravna KhuramShaikhZamanMurder 2099Sampath_Vidanapathirana_MR_J khuram-shaikh වික්ටෝරියා කැචීවා නම් වූ ඇයත් කුරාම් ෂේක් නම් වූ ඔහුත් හමුවී ඇත්තේ 2009 වසරේදී උතුරු කොරියාවේදීය. අත් පා අහිමි වූ වැඩිහිටියනට හා දරුවනට රතු කුරුස සංගමය වෙනුවෙන් කෘත්‍රිම අත්පා සවි කිරීමේ යෙදී සිටි විශේෂඥයකු වූ ඔහු හා කොරියානු භාෂාව හැදෑරීමට උතුරු කොරියාවේ පියොන්යැං බලා පැමිණ සිටි වික්ටෝරියා කැචීවා අතර හාදකමක් ඇති විය. අනතුරුව කුරාම් ෂේක් ගාසා තීරයට උසස්වීමක් සහිත ස්ථාන මාරුවක් ලැබුවද ඔවුන්ගේ සම්බන්ධය වැඩිදියුණු වෙමින් පැවැතිණි. වැඩිදියුණු වෙමින් පැවැති ආදර සම්බන්ධය තුරුලු කරගත් ඔවුහු 'ආසියාවේ ආශ්චර්යය' යැයි නම් කැර ඇති දහම් ද්වීපයට ආ ගමන ඔවුන්ගේ ජීවිත ඩැහැගන්නා ඛේදවාචකයක් බවට පත්කර තිබුණේ මෙම භූමියේ වරදකටත් වඩා නීතිය අයාලේ යවමින් කටයුතු කරන දේශපාලන දුරාචාරය බව එළිවූයේ දිනක් ගතවන්නටත් මත්තෙනි. උපන් බිමටත් කැළැලක් වන අන්දමින් විදෙස් යුවළට මෙම සාහසික අපරාධය කළ පාපතර කණ්ඩායමේ ආණ්ඩු පක්‍ෂයට සම්බන්ධ තංගල්ලේ ප්‍රාදේශීය දේශපාලන නායකයකුද සිටි බව හෙළි විය. සිද්ධිය සම්බන්ධයෙන් වූ සාක්කිවලට අනුකූලව තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ යන අය හා තවත් අටදෙනකු අත්අඩංගුවට ගනු ලැබුණද පසුව ඔවුන් ඇප මත නිදහස් කරනු ලැබූ බව මහා බි්‍රතාන්‍යයේ සන්ඩේ ටයිම්ස් පුවත්පත සඳහන් කොට තිබේ. මේ කියන තංගල්ල ප්‍රාදේශීය සභාපති විදානපතිරණ සතු දේශපාලන බලය නිසා මෙම පරීක්‍ෂණයේ කටයුතු මන්දගාමී ස්වරූපයක් ගන්නා බව තමන් විශ්වාස කරන බවත් එහි තවදුරටත් සඳහන් වේ. තමාගේ නම වසන් කිරීමට ඇති අයිතිය අතහරිමින් තමන් මේ සම්බන්ධයෙන් තිබෙන ඕනෑම නඩු විභාගයක සාක්කි දීමට පැමිණෙන බව කියන කැචීවා සැකකරුවන් ඇප මත මුදාහැරීම ගැන ඇසීමෙන් තමන් බලවත් සිත් කම්පාවකට පත්වූ බවද කියන්නීය.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ Rating: 5 Reviewed By: Unknown