728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday 18 May 2013

ඔවුන්ගේ රේස්‌ වලට අත්පුඩි ගසනවා හැරෙන්නට අපටත් වෙන දෙයක්‌ කළ නොහැකි වීමය


ජාතික උරුමය මඩ කරගෙන රේස්‌ පදින බුවාලා!

අපි තූෂ්නිම්භූතව බලාගෙන හිඳිමු. මේ මොහොතේ මේ කුල්මත් මිනිසුන් අතර අපට වෙන කරන්නට දෙයක්‌ නැත.



ප්‍රමෝදිත මිනිස්‌සු දහස්‌ ගණනක්‌ වටවී සිටිති. උන්ගේ ප්‍රීති ඝෝෂා මැද ජිප් රේස්‌ එකක්‌ සූදානම් වී තිබේ. එය off රෝඩ් ජිප් රේස්‌ එකකි. රේස්‌ එක සංවිධානය වන්නේ පසුගිය ඉරිදා (28  / 05 /2013) ගම්පහ උඩුගම්පොල පැවති අවුරුදු උත්සවයට සමාන්තරවය. ජිප් එකොළහක්‌ පමණ මෙම තරගයට සහභාගී වේ. කඳුගැට මඩ වගුරු හා දුර්ග බිම් මතින් වැටුණු දුෂ්කර මාර්ගයක්‌ අඩුම කාලයක්‌ තුළ තරණය කිරීමේ අභියෝගය සහිත මේ තරග ලෝකයේ ජනප්‍රියය. 


ඒ සඳහා නිශ්චිත ගමන් මාර්ග හා තෝරාගත් ප්‍රදේශ ඇත. මේ උඩුගම්පලට මෙවැනි ජිප් රේස්‌ පැමිණි මුල්ම අවස්‌ථාවය. මිනිස්‌සුන්ට මැජික්‌ය. මඩ තුළ ගිලී යමින් තරගකරුවෝ ජිප් පදවන්නෝය. ජිප් රථ මඩේ එරී පෙරළී යන්නේය. යළි කේබල් ආධාරයෙන් වාහනය ඇදගෙන එන්නේය. උස්‌ පස්‌ කඳු මතින් යන්නේය. බලා ඉන්න උදවිය ප්‍රීතියෙන් කුල්මත් වන්නේය. ප්‍රීති ඝෝෂා තබන්නේය.
මේ  off රෝඩ් ජිප් රේස්‌ එක පැවැත්වෙමින් තිබුණේ ඓතිහාසික උඩුගම්පල රාජධානිය එකෙළි කළ උත්තම පුරුෂයා වූ උඩුගම්පල සකලකලාවල්ලභ රජතුමා විසින් නිර්මිත, එතුමා විසින් මේ ප්‍රදේශය සශ්‍රීක කිරීම සඳහා ඉදි කළ ඓතිහාසික පොකුණේ වෑකඳු සිප ගනිමිනි. වෑකන්ද පාමුල මේ දියවලින් පෝෂණය වූ කුඹුරු යාය මඩ කරමින් පැමිණෙනා off රෝඩ් ජිප් රථ එක්‌ අවස්‌ථාවක පුරාණ වැවේ සොරොව්ව පැවති ස්‌ථානය යෑයි උපකල්පිත, ඒ මොහොතේ වගුරක්‌ සේ දිස්‌වෙමින් පැවති ස්‌ථානය තුළ කිමිදෙන්නේය. යළිත් කේබල් ආධාරයෙන් රථය මඩ විසිරුවමින් ගොඩට ගන්නේය. මේ off රෝඩ් ජිප් ධාවනයෙන් අනතුරුව මෙම ඓතිහාසික ජලධාරකයේ වෑකන්දට සමාන්තරව ගොඩකර ජොගින් ට්‍රැක්‌ එකක්‌ හදන්නට සූදානම් වන පථයේ ජිප් රේස්‌ යන්නේය. මිනිස්‌සු ඔල්වරසන් දෙන්නේය.

මේ මිනිසුන් අතර දී යළිත් අපට අප කන්නේ බත්මදැයි යන සැකය උපදින්නේය.

ලිංගික තෘප්තිය මනුෂ්‍ය සහජාශයකි. එසේ වූ පමණින් සංස්‌කෘතික මිනිස්‌සු ව්‍යභිචාරයේ නොයෙදෙති. යෙදෙන්නාහු ගර්හාවට ලක්‌කර සමාජයෙන්ම පලවා හරිති. off රෝඩ් ජිප් රේස්‌ පවත්වන්නාහු අභියෝග ජය ගැනීමේ නොතිත් ආශාවෙන් මඩිනා වීර පුරුෂයෝ ලෙස මිනිසුන්ගේ සම්භාවනාවට ලක්‌වෙති. එහෙත් වසර පන්සියයකට වඩා පැරණි ජාතික උරුම භූමියක්‌ තුළ off රෝඩ් ජිප් රේස්‌ යන විට සබුද්ධික මිනිස්‌සු මේ මනුෂ්‍යයින්ගේ චින්තන විකලතාවන් ගැන ප්‍රශ්න කරති. අප සිටින්නේ මේ ප්‍රශ්න කිරීම අතරය. උරුමය යන අකුරු හතරේ තේරුම ලියා තේරුම් වටහා දිය හැකි නොවේ. එය ලේ වල මුහුවූ ඇති උත්තම සංවේදනාවකි. ඒ සංවේදනාවන් හරහා උපදිනා අභිමානය නොදැනෙනා මිනිස්‌සු තැන් නොතැන් නොදනිති. කළ යුත්ත නොකළයුත්ත පිළිබඳ අනවබෝධ වෙති. අප දකින්නේ මේ අනවබෝධයේ ප්‍රමාණයය.

කරුමය වන්නේ උඩුගම්පල සකලකලාවල්ලභ නමැති මේ ඓතිහාසික ජන නායකයා කවුද යන්න උඩුගම්පල මිනිස්‌සුත්, ඔවුන්ව ආණ්‌ඩු කරවනා දේශපාලකයිනුත් නොදැන සිටීමය. මේ උදාර මනුෂ්‍යයා විසින් ජාතිය හෙබවූ ආකාරය ගැන නොදැන සිටීමය. ඔහු මේ ප්‍රදේශය රංජනය කළ ආකාරය ගැන නොදැන සිටීමය.

සකලකලා වල්ලභ

කෝට්‌ටේ හයවැනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදී යාපා පටුන දිනූ සපුමල් කුමාරයා පසුව ශ්‍රී බුවනෙකබාහු නමින් කෝට්‌ටේ රජවූයේය. මේ කාලයේදී සතර කෝරලය පාලනය කරමින් සිටියේ රණ ශූරයෙක්‌ වූ අම්බුලූගල කුමාරයාය. ශ්‍රී බුවනෙකබාහු රජතුමාගෙන් පසු අම්බුලූගල කුමාරයා රජය අල්ලාගෙන වීර පරාක්‍රමබාහු නමින් රජ වූයේය. සකලකලාවල්ලභ ගේ පියා මෙම වීර පරාක්‍රමබාහු රජුය.

සකලකලාවල්ලභ රජුට සොහොයුරෝ සය දෙනෙක්‌ වූහ. ඔවුන් පස්‌ දෙනා බිසෝවරුන් දෙදෙනකුගේ දරුවන්ය. ධර්මපරාක්‍රමබාහු, රාජසිංහ, විජයබාහු, රයිගම් බණ්‌ඩාර යන සොයුරන් රජුගේ අග බිසවගේ දරුවන්ය. සකලකලාවල්ලභ හා තනියවල්ලභ අග බිසවගේ සොහොයුරිය බිසෝ කොටගෙන වීරපරාක්‍රමබාහු විසින් ඉපදවූ දරුවන්ය. තනියවල්ලභ මාදම්පේ කටුපිටියේ සිට ප්‍රදේශය පාලනය කළේය. සකලකලාවල්ලභ උඩුගම්පොල ප්‍රාදේශීය රාජධානිය කොට පාලනය කළේය.

සකලකලාවල්ලභ යනු ලංකා ඉතිහාසයේ රාජාවලිය ආශ්‍රිතව හමුවනා උත්තම පුරුෂයා ලෙස සම්භාවනාවට ලක්‌විය යුතු චරිතයකි. ඔහු තරම් යුක්‌ති ගරුක, අභිත, පරහිතකාමී උත්තුංග මනුෂ්‍යයෙක්‌ රුධිරයෙන් හා ව්‍යභිචාරයෙන් දූෂිත, ගර්හිත මනුෂ්‍යකම් සහිත බලලෝභී දේශපාලන ඉතිහාසය තුළ තවමත් ඉපදී නැත. ඔහුගේ ජීවිත ප්‍රවෘත්තිය ඒ සඳහා දෙස්‌ දෙයි. හේ තමුන්ට සමාජය විසින් පිළිගන්වන ලද ලංකා රාජ්‍යයේ රජකම යුක්‌තියේ නාමයෙන් දෙවරක්‌ම ප්‍රතික්‌ෂේප කළ ජන නායකයෙකි. ජාතික ව්‍යසනයකදී කොන්දේසි රහිතව ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරිපත් වූ උදාර පුරුෂයෙකි. ඔහු ගැන ඉතිසාසය ලියෑවෙන්නේ මෙසේය.

වීර පරාක්‍රමබාහු රජුගේ ඇවෑමෙන් කෝට්‌ටේ රජ වන්නේ රජුගේ වැඩිමහල් පුත් ධර්ම පරාක්‍රමබාහු ( ක්‍රි ව 1491 - 1513 ) රජතුමාය. මේ වනවිට ප්‍රදේශ පාලනය කළ උඩුගම්පල සකලකලාවල්ලභ, මාදම්පේ තනියවල්ලභ, මැණික්‌කඩවර රාජසිංහ හා විජයබාහු කුමාරවරු රජතුමාට සොහොයුරන් සේ රාජ්‍ය පාලනයට උදව් කළහ. මෙහිදී රණශූර වික්‍රමාන්විතයා වන්නේ සකලකලාවල්ලභය.

වරෙක ඉන්දියාවේ කාලයපට්‌ටනමේ කදිරායන නම් යොනෙක්‌ තවත් යොන් පිරිවර ද කැටුව ලංකාවට පැමිණ බලහත්කාරයෙන් සලාවත මුතු කිමිදීමට හා රටේ ඇතුන් කොල්ල කෑමට පටන් ගත්තේය. මේ අවස්‌ථාවේදී ධර්මපරාක්‍රමබාහු රජ තුමා මේ ගැටලුව විසඳන්නට රටේ සේනාව භාර දෙන්නේ සකලකලාවල්ල රජුටය. ඔහු මාදම්පයට ගොස්‌ තමන්ගේ සොහොයුරු වූ තනියවල්ල රජ කතා කර ගෙන දෙඅමුණෙන් ගොස්‌ යොන් සේනා මැදට පැන බොහෝ යොනුන් මරා කදිරායන මුදලියාටත් ඇන මරා මුතු කිමිදෙන්නට ආ යොන් ගොල්ලත් අල්ලා සම්බාන් ඇතුන් ලවා පොඩි කර දමා අසුන් නවදෙනෙකුත් අල්ලාගෙන ජයවර්ධන නුවරට ඇවිදින් පරාක්‍රමබාහු රජ දුටු අයුරු රාජවලිය වර්ණනා කරන්නේය. මේ මහා යුද්දයෙන් අනතුරුව රජුට සේනා බාර දී ඔහු උඩුගම්පලට එන්නේය.

මේ සටනින් නොබෝ දිනකට පසු සතරකෝරලය කැරැල්ලක්‌ ඇතිවන්නේය. සකලකලා වල්ලභ රජ සේනාව රැගෙන ගොස්‌ යටි නුවරට පැමිණ වාඩිලා ගන්නේය. සකලකලාවල්ලභ නමැති රණ ශූරයා පැමිණි බව දැනගත් උඩරට කැරළි කළ ප්‍රාදේශීය නායකයා පැමිණ ඔහුව කමා කරන්නේය. ප්‍රාදේශීය නායකයාට රජයට පක්‌ෂපාතව සිටින්නට අවවාද කොට ඔහු නැවත පාලකයා ලෙස එහි පිහිටුවා ඔහු උඩුගම්පලට එන්නේය.

ලංකාවට පෘතුගීසීන් පැමිණයේ ධර්මපාරාක්‍රමබාහු ගේ වකවානුවේය. රජ ඉදිරියේ වන්නේ යුද්ද කරනවාද සාමයෙන් ගනුදෙනු කරනවාද යන්න පිළිබඳ රට වෙනුවෙන් ගතයුතු තීන්දුවය. මේ අවස්‌ථාවේදී සතුරාගේ ස්‌වරූපය ගැන සියෑසින්ම දැක අධ්‍යයනය කිරීමේ වගකීම භාරගන්නේ සකලකලාවල්ලභය. හේ අප්‍රකට වේශයෙන් පෘතුගීසීන් අතරට යන්නේය. ගොස්‌ අධ්‍යයනය කරන්නේය. මේ මොහොතේ මේ පිරිස සමග ගනුදෙනු කළහැකි ආකාරය ගැන රාජ්‍ය තාන්ත්‍රික විග්‍රහය සිදුවන්නේ සකලකලාවල්ලභ අතිනි.

ධර්මපරාක්‍රමබාහු රජතුමා 1513 මිය ගියේය. මේ වනවිට ජනතාවගේ ජාතික නායකයා වී සිටියේ සකලකලා වල්ලභය. රජ මිය ගිය වහාම මහා සේනා හා මන්ත්‍රීවරු කෝට්‌ටේ ජයවර්ධනපුර නුවරින් පිටත්ව උඩුගම්පලට පැමිණියහ. අනතුරුව සකලකලාවල්ල රජු පෙරහරින් වඩමවාගෙන ජයවර්ධන නුවරට පැමිණ මහරජ කමට ආරාධනා කළහ. මේ මොහොතේ නීති ප්‍රකාරව රජ කම උරුම විය යුතු තම පියාගේ අගබිසවගෙන් උපන් සොයුරා වන විජයබාහුව හේ මැජික්‌කඩවරින් ගෙන්වා ගත්තේය. ඔහුට ඔටුනු පළඳවා විජයබාහු ( ක්‍රි.ව 1513 - 1521 ) නමින් සිංහාසන ප්‍රාප්ත කළේය. අනතුරුව හෙතෙම උඩුගම්පලට ගියේය.

විජයබාහුගේ දරුවන් වන බුවනෙකබාහු, රයිගම්බණ්‌ඩාර හා මායාදුන්නේ අතර ඇතිවන අරගල වලදී මැදිහත්වී සාමය ඇති කරන්නේ මේ ජන නායකයාය. උඩුගම්පල සිට ඔහු ප්‍රදේශයට කළ සේවයට සමාන සේවයක්‌ ඔහුගේ සොයුරු වූ තනියවල්ලභ මාදම්පේ කටුපිටියේ සිට කළේය. කෘතගුණ දත් මාදම්පේ මිනිස්‌සු අදත් තනියවල්ලභ දෙවියෙක්‌ කොට සලකා වන්දනා කරති. පුත්තලම පාරේ මාදම්පේදී හමුවන තනියවල්ලභ දේවාලයේ තනියවල්ලභ දෙවියන් මේ මොහොතෙත් ජීවමානය. උඩුගම්පල සකලකලාවල්ලභත් දෙවියෙක්‌ කොට පිදුම් දිය යුතු මිනිසෙකි. ඒ ප්‍රවේශයට පිවිසිය හැකිනම් ඒ තුළම ජන විඤ්Cදාණයට බද්ධ වන දේශපාලනයක්‌ තිබේ. එහෙත් උඩුගම්පොල මිනිස්‌සු තම ඓතිහාසික ජන නායකයා මළ පෙරේතයෙක්‌ කොට එතුමා අනාගතය වෙනුවෙන් ඉදිකළ ඓතිහාසික ජල ධාරකය තුළ ඕµa රෝඩ් ජීප් රේස්‌ යති. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේද ආශීර්වාද සහිතව වැව ගොඩකර වෑකන්දට යා කොට ජොගින් ට්‍රැක්‌ හදති. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් එක`ගවන පව්කාරකම් වලට රටෙන් විරෝධයක්‌ උපදින්නේ නැත. අපට පෙනෙන්නේ හාත්පස වන මැජික්‌ බලා ඔල්මොරොන්දන් වන මිනිස්‌සුය.

රටක්‌ අලංකාර විය යුතුය. කොළඹ නගරය හෝ ගම්පහ නගරය හෝ හම්බන්තොට නගරය මනරම් තැනක්‌ වනවිට එහි නොමසුරු සතුට විඳින්නේ අපය. එහි අභිමානයක්‌ වේ නම් ඒ අපටය. ඕලන්ද ඇළ පිළිසකර වනවිට, කොළඹ කුණු නැති මනාලෙස භූ දර්ශන ඉස්‌මතුවන ක්‍රමවත් නගරයක්‌ වනවිට, දියවන්නාව සුන්දර විවේකී තැනක්‌ වනවිට, බේරේ වැව මනරම් දසුන් මවන විට උපදිනා ප්‍රහර්ෂය නොවිඳින්නේ නම් ඒ කුහක කමය. අර්බුද නිර්මාණය වන්නේ තමන් කරන්නේ කුමක්‌ද, එය කරන්නේ කොතැනද, එය සිදුවන්නේ කෙසේද යන්න නොදැන ලොක්‌කන්ගෙන් ලකුණු ගන්නට පිස්‌සු කෙළිනා උදවියගේ ගොං පාට්‌ තුළය. අද අනුරාධපුර මහමෙව්නාව පුරාවිද්‍යා භූමිය තුළ පුරාවිද්‍යාවේ අණසක ඉක්‌මවා යමින් සිදුවන්නේත් මේ කාලකණ්‌ණිකමය.

වැවක්‌ යනු ජල ධාරකයක්‌ පමණක්‌ නොවේ. කුඹුරක්‌ යනු මඩ වගුරක්‌ පමණක්‌ නොවේ. මහා සංස්‌කෘතියකි. දුර්ග පරිසරයේ ගැහැට වි`ද බි`දී ගිය වෑක`දු සහිතව වන වැදුණු වැවක වුවද ඒ සංස්‌කෘතිය ජීවමානය. ඒ ජීවමාන සංස්‌කෘතියේ පණ ගැහෙනා රිද්මය හිත් පිත් සහිත මිනිසුන්ට නොදැනෙන්නට ඉඩක්‌ නැත. අවාසනාව වන්නේ අප අභිමුව සිටිනා බොහෝ දෙනෙක්‌ වියලීගිය අධ්‍යාත්මයන් සහිත මිනිසුන් වීමය. වේදනාව වන්නේ ඔවුන්ගේ රේස්‌ වලට අත්පුඩි ගසනවා හැරෙන්නට අපටත් වෙන දෙයක්‌ කළ නොහැකි වීමය.


ජානක ලියනආරච්ච්
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ඔවුන්ගේ රේස්‌ වලට අත්පුඩි ගසනවා හැරෙන්නට අපටත් වෙන දෙයක්‌ කළ නොහැකි වීමය Rating: 5 Reviewed By: Unknown