728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Friday 17 May 2013

ගෙවුණු අවුරුදු 30 ඇතුළේ අපේ රටේ සියලුම දේ නැති වුණා...

මේ රටේ පවත්නා ඇතැම් විද්‍යුත් මාධ්‍යවලට සංස්කෘතික වගකීමක් නැති නිසා සංස්කෘතිය පරිහානියට පත්වී ඇති බවත් 30 වසරක යුද්ධය පැවති කාලයේ විනාශ වූ භෞතික පරිහානියට වඩා සංස්කෘතික පරිහානිය විශාල බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පෑලියගොඩ, විද්‍යාලංකාර පිරිවෙණේ ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ ඥාණරතන ස්වාමීන් වහන්සේගේ ගී පද සංකල්පනා ඇතුළත් දෙසනා දහම් සංයුක්ත තැටිය එළිදැක්වීමේ උළෙලට සහභාගී වෙමිණි. මෙම උත්සවය මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ කොළඹ 05, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවතේ පිහිටි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදීය.
smartduckමෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “ ගෙවුණු අවුරුදු 30 ඇතුළේ අපේ රටේ සියලුම දේ නැති වුණා. ඉන් ප්‍රධානම දෙය තමයි ජීවිත. ඒ වගේම අපේ රටේ විශාල ලෙස හානි වූ සංස්කෘතිය, සාරධර්ම නැවත අපට ලබාගන්න බැහැ. ඊට ප්‍රධාන වශයෙන් බලපෑ හේතු සාධක තියෙනවා. අපේ අධ්‍යාපනය තුළ සාහිත්‍යට තිබුණු ඉඩ ප්‍රස්තාව නැතිවීම, දරුවන්ගේ සංස්කෘතික ක්‍රියාකාරකම් සීමා කර තරඟකාරී විභාග ක්‍රමයකට දරුවන් හැඩගැස්වීම සහ පෞද්ගලික උපකාරක පන්තිවලට දරුවන් වේගයෙන් තල්ලු කරවීම යන කාරණා හැමදේකම ප්‍රතිඵලය වුණේ සංස්කෘතික රසයක් නොහඳුනන පරම්පරාවක් මේ පොළොවේ නිර්මාණය වීමයි. දැන් ඒ පරම්පරාව නියෝජනය වන ඇතැම් රූපවාහිනී නාලිකා තිබෙනවා. ඇතැම් ගුවන් විදුලි නාලිකා වලින් ජනතාවට අමතන්නේ “ ඔයා ” කියලා. ඔයා කියන්නේ සමාන වයසේ කෙනෙකුට එහෙම නැත්නම් වයසින් අඩු කෙනෙකුට. ඒ ගුවන් විදුලි නාලිකා ශ්‍රවනය කරන අම්මා, තාත්තා, ස්වාමීන් වහන්සේ හැඳින්වීමට ඒ වචනය සුදුසුද කියලා හිතන්න වෙනවා. කොහොම වුණත් ඒ සියලු නාලිකාවලින් අමතන්නේ ඒ නවීන පරම්පරාවට. ඒ නවීන පරම්පරාවට සංස්කෘතික පරිහානිය තෝරා බේරා ගන්න පුළුවන් අධ්‍යාපනයක් ලැබී නැහැ. ඒ නිසා විශේෂයෙන් සංගීතයේදී, ගීතයේදී මෙය වඩාත් පැහැදිලිව පේනවා. අද ඇතැම් විද්‍යුත් මාධ්‍යවලින් තරු බිහිකරනවා. නමුත් ඒවා තරු නෙවෙයි. විදුලි කොටනවා වගෙ එනවා යනවා. මේ ක්‍රමය අපේ ගීත සාහිත්‍යය එහෙම නැත්නම් රස වින්දනය නව පරම්පරාව යටතේ සුවිශාල පරිවර්තනයක් කළා. නමුත් ඒ දේ වුණේ හොඳ පැත්තට නෙවෙයි. නරක පැත්තටයි. ඒ නිසා අපේ සමාජය කුමන දේවල්වලින් ඉදිරියට යනවා කියලා උදම් ඇණුවද අපිට කියන්න පුළුවන් 4% විරැකියාව අඩු මට්ටමක පවතිනවා කියලා. අපට කියන්න පුළුවන් මේ රටේ සාමය උදාවෙලා කියලා. අපිට කියන්න පුළුවන් මේ රටේ මාර්ග පද්ධතිය නවීකරණය වෙලා කියලා. අපිට කියන්න පුළුවන් කොළඹ නගරය පිරිසිදු නගරයක් බවට පත්වෙලා කියලා. මේ මොන දේ කිව්වත් වහගන්න බැරි ඇත්තක් අප ඉදිරිපිට තිබෙනවා. ඒ ඇත්ත ලෙස බැරෑරුම් ලෙස අවධානය යොමු කළේ නැත්නම් මේ මොන භෞතික ජයග්‍රහණයෙන්වත් සැබෑ ලෙස සතුටු වෙන්න පුළුවන් සමාජයක් අපිට අනාගතයේදී අපි ඉස්සරහ පිට දැකගන්න ලැබේද? කියන සැළකිය යුතු ප්‍රශ්නය අපි ඉදිරිපිට තිබෙනවා. සංස්කෘතිය, සාහිත්‍ය පරිහානියට ගිය ඇතැම් අවස්ථාවලදී බෞද්ධ භික්ෂූන් වහන්සේ කිහිපනමක් මේ රටේ සාහිත්‍යයට සුවිශේෂී මෙහෙවරක් කළා. උන්වහන්සේ සාමාජයට කැපී පෙනෙන බලපෑමක් ඇති කළා. බෞද්ධ සංස්කෘතිය හා ශිෂ්ටාචාරය අපේ ජීවිතවල මුල් බැසගත් යුගයක් තවමත් අපි අතර පවතින නිසා යන්තම් හෝ ගීයක් අපේ සමාජයේ ඉතුරු වී තිබෙනවා. ඒ මොනවා වුණත් වර්තමානයේ ගීත දෙවර්ගයක් අපේ සමාජයේ දක්නට ලැබෙනවා. එකක් පරුෂ ගීත කලාවක් අපි ඉදිරිපිට තිබෙනවා. මේ ස්භාවිත ගීතයට අද සමාජයේ මතවාදය පාලනය කරන මාධ්‍යයෙන් ලැබෙන ඉඩ ප්‍රස්ථාව ඉතාම අඩුයි. ගුවන් විදුලිය පමණක් තිබෙන කාලයේ ඒ ගීතයට ප්‍රමිතියක් තිබුණා. අද ගුවන් විදුලි නාලිකා බොහොමයක් තිබුණට ඒ ඔක්කොම එකයි. එසේම ගුවන් විදුලියට සංස්කෘතික වගකීමක් තිබුණා. නමුත් අද මේ දෙකම ගුවන් විදුලි නාලිකාවලින් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වගකීම නැති නිසා ඕනම පරුෂ ගීතයක් සමාජගත කරන්න එම නාලිකාවලට හැකියාවක් ලැබී තිබෙනවා. රස වින්දනය පිළිබඳ හැඟීමක් වර්තමාන සමාජයේ නැති නිසා ඒවා ග්‍රහණය කරගන්න විශාල වශයෙන් පෙළඹී තිබෙනවා. එකිනෙක පරයා යන බහුවිධ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ වැඩි කාල පරාසයක් ශ්‍රාවකයන් ග්‍රහණය කර ගැනීමට ඔවුන් නොයෙක් උපක්‍රම භාවිතා කරනවා. එක නාලිකාවක් ඇඳුමේ උඩ කොටස ගැලෙව්වොත් අනිත් නාලිකාව ඇඳුමේ යට කොටස ගලවන්න සැදී පැහැදී සිටිනවා. තර‍ඟෙට ඇඳුම් ගලවන නාලිකා මිසක් සංස්කෘතික වගකීමක් ඇති මාධ්‍ය සංස්කෘතියක් මේ විද්‍යුත් නාලිකාවලින් දැකගන්න බැහැ. ඒ නිසා මහා සංස්කෘතික බිඳවැටීම වගේම එහි ප්‍රතිවිපාක අප කරා නැවත පැමිණෙනවා කියන කාරණය අපි ඉදිරිපිට තිබෙනවා. ගීතය කියන්නේ අපේ හීන සුවපත් කරන ඔසුවක්. බෝධි මළුවට ගිහිල්ලා බෝධි පූජාව පවත්වලා වැලි මළුවේ ටික වේලාවක් ඉන්නකොට දැනෙන සුවයට සමාන සුවයක් සෞන්දර්යාත්මක ගීතයක් ශ්‍රවනය කළාම දැනෙනවා. ඇතැම් සිනමා කෘතින් පවා ගීතයේ අනුහසින් ජනප්‍රියත්වයට පත්වුණා. එවැනි ප්‍රබල මාධ්‍යයක් අද පරිහානියට පත්වීම ඉතා සුවිශාල සංස්කෘතික බිඳවැටීමක්. අද ඒ ගීතයේ තිබෙන සෞන්දර්යාත්මක බව යටපත් කරගෙන ඉතා රළු පරළු පද මාලා සහිත විකෘති, කණට අමිහිරි පදමාලාවක් සහිත ගීත නිර්මාණය වී තිබෙනවා. එවැනි සංස්කෘතික පරිහානියකදී මහා සඟරුවන මූලිකත්වය ගත්තා. අදත් එවැනි වූ මූලිකත්වයක් ආරම්භ වන මොහොතක් තමයි. සමාජය නිවැරදි කිරීමේ මහා ශක්තියක් එදා සිට අද දක්වා මහා සඟරුවනට තිබුණා ” යනුවෙන්ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටක් පැවසීය.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ගෙවුණු අවුරුදු 30 ඇතුළේ අපේ රටේ සියලුම දේ නැති වුණා... Rating: 5 Reviewed By: Unknown