728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday 23 May 2013

පුරා විද්‍යා සංහාරය සහ ජන මාධ්‍ය

ලංකාවේ පුරා විද්‍යා සංහාරයට මුලිකවම වග කිව යුතු වන්නේ මාධ්‍යයි. මාධ්‍ය මගින් නිතරම හුවා දක්වන දඹ රන් පිළිම, මිල කල නොහැකි අනර්ඝ නිදන් වස්තු යන වැකි නිසා නුගත් ලෝභ දේශපාලකයන්ගේ සහ බල්ලන් මරා හෝ සල්ලි හෙවීමට පැහැදී සිටින ව්‍යාපාරිකයන් එකතු වී පුරා විද්‍යා ස්මාරක විනාශ කරති.  




දිනමිණ , ලංකාදීප , දිවයින , ලක්බිම, සිළුමිණ , සුබසෙත යනාදී පුවත්පත් මෙන්ම රුපවාහිනී නාලිකාද කාලයක් පුරා සිදුවන පුරා සිදුවන මෙම පුරාවස්තු සංහාරයේ වග උත්තරකරුවන් වෙති. ඒ අර්ථයෙන් ගත කල රටට ජාති ද්‍රෝහී වැඩ කොට  ඇත්තේ මේ ජනමාධ්‍ය වේ. එම නිසා උක්ත ජනමාධ්‍ය වලට මෙම චෝදනාවෙන් ගැලවිය නොහැකිය. 

ශ්‍රී ලංකාව යනු ගෝත්‍රික දේශයකි. මේ ගෝත්‍රික දේශයේ මිත්‍යා විශ්වාස එමටය. දුටුගැමුණු රජතුමාගේ කඩුව අත් කර ගත්තොත් සදාකාලික බලය ලැබෙන බව වැනි විනාශකාරී මිත්‍යා මත සමාජගත කොට තිබේ. මේ මිත්‍යා මත අධ්‍යාපනයක් විචාර බුද්ධියක් නොමැති  දේශපාලකයන් සහ ඔවුන්ගේ මෝඩ පුතුන් විසින් විශ්වාසයට ගෙන පුරා  විද්‍යා ස්මාරක ඩෝසර් කරති. ලංකා පොළවේ අනර්ඝ නිදන් වස්තු නැත. 

දඹ රන් පිළිම නැත. ලංකාවේ දකුණු අප්‍රිකාවේ, ඕස්ට්‍රේලියාවේ මෙන් විශාල රන් නිධි කවදාවත් තිබුනේ නැත. ඒ නිසා රන් භාණ්ඩ පිරි නිදන් මේ දේශයේ නැත. ඒ සත්‍ය ජනතාවට දෙනවා වෙනුවට අපගේ ජනමාධ්‍ය  ලංකාවේ නුගත් ගෝත්‍රික  ජනතාව තව දුරටත් අන්ධකාරයට හෙලා පුරා වස්තු විනශ කිරීමට අත හිත දෙති. 

මෑතකදී පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක නිදන් වස්තු සොයමින් පුරා විද්‍යා ස්මාරක විනාශ කිරීම ගැන මෙසේ පවසන ලදී. 

"මේ ගතවෙන්නේ පුරාවස්‌තු විනාශය පිළිබඳ රැල්ලක්‌ ඇතිවෙලා තියන කාලයක්‌. මිනිස්‌සු නිදන් කියලා ජාතියක්‌ හොයන්න ඉතාම බරපතල විනාශයක්‌ කරමින් ඉන්නවා. එහෙම වෙලාවකදි කෙරෙන මේ ප්‍රකාශ ඇත්තටම රටට ඉතාම හානිකරයි. හානිකර වෙන්නෙ පැති දෙකකින්. එකක්‌ හොරාගෙ උනත් කාලය, ධනය හා ශ්‍රමය අපරාදෙ. 

අනික්‌ පැත්තෙන් යළි කිසිම කලෙක ගොඩනැගිය නොහැකි ලෙස මේ රටේ උරුමයට වන හානිය අපරාදෙ. යම් පුරාවස්‌තුවක්‌ අර්ථ නිරූපණය වන්නෙ ඒ පරිසරයේ තියන සියලුම සන්ධර්භයන් එක්‌ක. ඒ සන්ධර්භයේ තියන එක කොටසක්‌ විනාශ කරල මොනවහරි යමක්‌ කොල්ලකෑවොත් ඒ තැනැත්තා හානිය කරන්නෙ භෞතිකව පෙනෙන පුරාවස්‌තුවකට විතරක්‌ නෙමෙයි. ඒ සමග අර්ථ විවරණය කරගත හැකි මහා ඉතිහාස කතාවකට.මේ රට පුදුමාකාර විදිහට මිථ්‍යාවෙ ගිලුන රටක්‌. 

තවමත් එහෙමයි. දැන් මේ රටේ හැම පුරාණ දාගැබක්‌ම කොල්ල කාල ඒ කුඩා ධාතු කරඬුත් හොරකම් කරලා හමාරයි. මම කියන්නේ බොහොම වගකීමකින්. රුවන්වැලි සෑය අභයගිරිය ෙ-තවනය පවා මීට දශක ගාණකට ඉහතදී කොල්ලකාපු දාගැබ්. ඒ පුරාවස්‌තු සංහාරකයින්ට හසු නොවී තිබුනෙ දැදිගම සූතිඝර චෛත්‍යය. ඒක ලෞකික චෛත්‍යයක්‌. මෙහෙම එකක තමයි නිධන් කරනවානම් මහා ධන සම්භාර නිධන් කරන්න ඕන. එතැනින් රන් පිළිම කියලා හමුඋනා කුඩා පිළිම පහක්‌. ඒව සෙන්ටිමීටර දෙකහමාරකට වඩා උස නෑ. 

ඉතා තුනී රන් පත් වලින් කරලා ඇතුළට සුවඳ කැවූ මැටි පුරවලයි ඒ ප්‍රතිමා නිර්මාණය වෙලා තිබුණෙ. මේ කුඩා පිළිම පහේම රන්බර පවුමක්‌ වත් නෑ. මෙතනින් මැණික්‌ කියලා හමුවන රබස්‌ කිලෝ එකක්‌වත් වෙළෙඳපළේ රුපියල් තුන්දාහකට අලෙවි කරගන්න බෑ. අපි අවුරුදු එකසිය විස්‌සක්‌ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විදිහට පුරාවස්‌තුත් එක්‌ක වැඩ කරනවා. 

කෞතුකාගාර දෙපාර්තමේන්තුව අවුරුදු එකසිය පනහක්‌ විතර වැඩ කරනවා. මධ්‍යම සංස්‌කෘතික අරමුදල අවුරුදු තිහක්‌ විතර වැඩ කරනවා. දැනටත් අපි අවුරුද්දකට ව්‍යාපෘති හයසීයක්‌ කරනවා. ඔහොම ධන නිධාන මේ රටේ තිබ්බනම් ඒව වලින් අපේ කෞතුකාගාර පිරී යා යුතුයි" 

එතුමා කියන්නේ සත්‍යකි.  දිනමිණ , ලංකාදීප , දිවයින , ලක්බිම, සිළුමිණ , සුබසෙත පුවත්පත්වල කතුවරුනි කරුණාකර පුරාවස්තු සංහාරයට උර නොදෙන්න. ඔබලාගේ මෝඩ ප්‍රාදේශීය වාර්තාකාරයන්  ලියන  දඹ රන් පිළිම, මිල කල නොහැකි අනර්ඝ නිදන් වස්තු යන වැකි නිසා තව ටික කාලයකදී සුද්දන්ට උජාරුවෙන් පෙන්වීමටවත්  පුරා විද්‍යා ස්මාරක මේ රටේ ඉතිරි වන්නේ නැත. 

එදාට පෙන්වන්නට ඉතිරි වන්නේ නෙලුම් පොකුණ පමණි. එම නිසා පුරා වස්තු සංහාරයට හේතු කාරක වන විනාශකාරී වදන් ඔබලාගේ පුවත් පත් වල භාවිතයෙන් වලකින්න.

- අමිල ගුණරත්න
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: පුරා විද්‍යා සංහාරය සහ ජන මාධ්‍ය Rating: 5 Reviewed By: Unknown