728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Friday 6 December 2013

ආදි ධර්මපාලයේ ඓතිහාසික වාර්තාව

පන්දුවාර 35 යි ලකුණු 702 යි
1960 දශකයේ මෙරට ක්‍රිකට්‌ කෙතරම් සුන්දර වන්නට ඇතිද? ඒ සුන්දර අතීතයේ නොමැකෙන වාර්තාවක්‌ සිහිපත් කරන්නට සුන්දර මිනිසකු හමුවිය. ඔහු ටී.කේ. පාලිතය. 60 දශකයේ අන්තර් පාසල් ක්‍රිකට්‌ පිටියේදීත් ක්‍රීඩා සමාජ පිටියේදීත් ඔහු දක්‍ෂ කඩුලු රකිනෙකු විය. එමෙන්ම දක්‍ෂ පිතිකරුවෙකු විය. එතැනින් නොනැවතුණු ඔහු ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් ලද අත්දැකීම් සම්භාරයක්‌ පොදි ගසාගෙන පුහුණුකරු ලෙසද කටයුතු කළේය. ඒ ඔහුගේ ක්‍රිකට්‌ දිවියේ සාරංශයයි.



පන්නිපිටිය ධර්මපාල විදුහලෙන් ක්‍රිකට්‌ 'අ' යන්න හැදැරූ ටී.කේ. පාලිත පාසල් ක්‍රිකට්‌ පිටියේ දැක්‌වූ දක්‍ෂතා නිසා 1964 දී ශ්‍රී ලංකාවට පැමිණි ඔස්‌ටේ්‍රලියානු පාසල් කණ්‌ඩායම සමග තරගාවලියේදී ශ්‍රී ලංකා පාසල් කණ්‌ඩායම නියෝජනය කිරීමට වරම් ලැබීය. ඒ නිත්‍ය කඩුලු රකින්නා සහ ආරම්භක පිතිකරුවා වශයෙනි.

පාලිතගේ ක්‍රිකට්‌ දිවියේ නොමැකෙන වාර්තාවක්‌ ලෙස ඔහු සිහිපත් කරන්නේ 1985 දී පැවැති තරගයකදී වූ අපූරු වාර්තාවකි. එම වාර්තාව පුදුමයකි. එහෙත් සිහිනයක්‌ බදු වාර්තාවකි. එකල ක්‍රීඩා සමාජ 8ක්‌ අතර පැවැති අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියට එක්‌වීම සඳහා ආදි ධර්මපාල කණ්‌ඩායම දෙවැනි පෙළ තරගාවලියට සහභාගි වෙමින් සිටියේය. එම කණ්‌ඩායමේ පුහුණුකරු මෙන්ම නායකයා වූයේද පාලිතය.

පාලිතගේ ආදි ධර්මපාල කණ්‌ඩායමට දෙවැනි වටයට සුදුසුකම් ලැබීමේ අභියෝගය දැවැන්ත අභියෝගයකි. එහි ප්‍රතිවාදියා වූයේ යුනයිටඩ් ඡේස්‌ කණ්‌ඩායමය. අභියෝගය තරගයේ පූර්ණ ජයග්‍රහණයටත් එහා ගිය අභියෝගයකි. එහිදී ආදි ධර්මපාල කණ්‌ඩායම ලකුණු 950 කට වඩා එම තරගයේදී ලබාගනිමින් තරගයේ පූර්ණ ජය වාර්තා නොකළහොත් දෙවැනි වටයෙන් ඉවත විසිවෙයි. පාලිත සැලසුම් සකස්‌ කරමින් ඓතිහාසික ජයක්‌ ලබා ගත්තේය.

පළමුව පන්දුවට පහරදීමට පැමිණි ටී. කේ. පාලිත ලකුණු නොලබා දැවී ගියේය. එහෙත් සෙසු සගයන්ට ඉලක්‌කය ලුහු බැද යාමට ඔහු අවශ්‍ය උපදෙස්‌ දී තිබිණි. දිවා ආහාරයට ප්‍රථම පන්දුවාර 35 කදී කඩුලු 6 ක්‌දැවී ලකුණු 702 ක්‌ ලැබූ ආදි ධර්මපාල කණ්‌ඩායම ඉනිම අත්හිටුවා ප්‍රතිවාදී යුනියටඩ් ඡේස්‌ කණ්‌ඩායමට පන්දුවට පහරදීමට අවස්‌ථාව ලබා දුන්නේය. එම දැවැන්ත ලකුණු පුවරුව සඳහා ආදි ධර්මපාල කණ්‌ඩායම වෙනුවෙන් ආර්. විමලසිරි ලකුණු 170 ක්‌ද එස්‌ සිරන්ත ලකුණ 194 ක්‌ද කේ. රෝහණ ලකුණු 116 ක්‌ සහ ආර්. සමරකෝන් ලකුණු 54 ක්‌ වශයෙන් රැස්‌ කිරීමට සමත් වූහ.

ආදි ධර්මපාල පිතිකරුවන්ගෙන් හොඳ හැටි හෙම්බත්ව සිටි යුනයිටඩ් පිතිකරුවන්ට ලබාගත හැකි වූයේ ලකුණු 91 ක්‌ පමණි. නැවත වරක්‌ කස හරඹයක්‌ මෙන් පිති ප්‍රහාරයකින් ප්‍රතිවාදීන්ට සංග්‍රහය කළ ආදි ධර්මපාල කණ්‌ඩායම දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවාර 20 කදී කඩුලු 6ට ලකුණු 315 ක්‌ ලබා ඉනිම අත්හිටුවා ප්‍රතිවාදීන්ට යළිත් අවස්‌ථාව ලබා දුන්නේය. යුනයිටඩ් ඡේස්‌ කණ්‌ඩායම දෙවැනි ඉනිම ලකුණු 75 කට සීමා විය. මතකයෙන් වියෑකී තිබෙන ඒ ඓතිහාසික ජය ආදි ධර්මපාල කණ්‌ඩායම ලැබීය. පන්දුවාර 55.1 කදී ආදි ධර්මාපල කණ්‌ඩායම ලකුණු 1007 ක්‌ ලැබීමට සමත් විය. එම ලකුණු පුවරුව සඳහා හතරේ පහර 102 ක්‌ සහ හයේ පහර 52 ක්‌ ඇතුළත්ව තිබිණි. මෙම වාර්තාව යළිත් සාක්‌ෂි සහිතව සිහිපත් කළ ටී.කේ. පාලිත එම තරගයේ ලකුණු සටහන් පොත් පිංචද මෙම ලියුම්කරුටද පෙන්වීය.

කඩුලු රකින්නකු ලෙස යාන්තම් දෙඅත් රැක ගැනීමට සුදුසු ආවරණය සමගින් සිය කාර්යයේ නියෑලුන ඔහු එකල වේග පන්දු යවන්නන්ට පළමුව කඩුල්ල ළගටම විත් කඩුලු රැකීමේ කාර්යයේ නියෑලුනද බවද පවසයි. එකල ශ්‍රී ලංකාවේ සිටි සුපිරි වේග පන්දු යවන්නකු වූ ටෝනි ඕපාත පන්දු යවන විට ඔහු කඩුල්ල ලගට විත් පන්දු රැකීමේ කාර්යයේ නියෑලුනේය. එවිට ටෝනි ඕපාත ඔහුට පවසා තිබුණේ, "මචං ළගටම ඇවිල්ල ඔය වැඩේ කරන්න එපා. එතකොට මම නෝන්ඩි වෙනවා." යනුවෙනි.

දිල්හාර ප්‍රනාන්දුට සෙමින් යවන පන්දුව යවන ආකාරය හඳුන්වා දුන්නේ ඔහු බවද පවසයි. නමුත් කිසි විටෙක දිල්හාර ඒ පිළිබඳව පවසා නැති බවද ටී.කේ. පාලිත සිහිපත් කරයි.

පසුකාලීනව එස්‌.එස්‌.සී. සහ සී.සී.සී. ක්‍රීඩා සමාජ නියෝජනය කළ ටී.කේ. පාලිත 86 වසරේදී ධර්මපාල විදුහල ඉතිහාසයේ දිනූ පළමු ක්‍රිකට්‌ ශූරතාව දිනා දීමේදී කණ්‌ඩායම් පුහුණුකරුවාද විය. අනතුරුව රාජගිරිය ජනාධිපති විදුහල ඇතුළු විදුහල් කිහිපයක පුහුqණුකරුවකු ලෙස කටයුතු කළ මොහු 1996-98 වසරවල ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ තරග කමිටුවේද සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය. ටී.කේ. පාලිතගේ ගුරු හරුකම් මැද ක්‍රිකට්‌ පිටිය වර්ණවත් කළ බොහෝ ක්‍රීඩකයන් සිටිති. ක්‍රිකට්‌ වෙනුවෙන් හැකි පමණින් සේවය කළ පාලිත අදටත් ක්‍රිකට්‌ වෙනුවෙන් කාලය ගෙවනු ලබයි. ඒ ජාතික සහ ජාත්‍යන්තර තරග නරඹමිනි. වයසින් මුහුපුරා ගියද පාලිත සතු ක්‍රිකට්‌ අත්දැකීම් තවමත් ශක්‌තිමත්ව ඇත.

අසේල විතාන
 
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ආදි ධර්මපාලයේ ඓතිහාසික වාර්තාව Rating: 5 Reviewed By: Unknown