728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday 22 December 2013

පළාත් සභාවේ සිට ඊළම දක්වා මාර්ග සිතියම මෙන්න

උතුරු පළාත් සභා මැතිවරණයේදි දෙමළ රාජ්‍යය පක්‍ෂය නමින් තරඟ කළ දෙමළ ජාතික සන්ධානය 80% කට අධික ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගනිමින් අතිවිශිෂ්ඨ ජයග‍්‍රහණයක් අත්පත්කොට ගෙන ඇත. එම තත්වය පශ්චාත් යුද නව ඊළාම් මාර්ග සිතියමේ ඉතා තීරණාත්මක සැතපුම් කනුවක් වෙත ලඟා වීමකි.
ඇත්තවශයෙන්ම බෙදුම්වාදි බලතල ඉවත් කිරිමකින් තොරව මතිවරණයක් ලබා ගැනීමට ඔවුන් ලද අති විශාල ජයග‍්‍රහණයක් බවට සැකයක් නැත. එයට හේතුව ආණ්ඩුව එම මැතිවරණයට පෙර බෙදුම්වාදි බලතල ව්‍යවස්ථාවෙන් ඉවත් කිරිම හෝ එතෙක් මැතිවරණය කල්දැමීම සඳහා ප‍්‍රභල උත්සාහයක් ගැනීමය. බෙදුම්වාදින් එම තීරණාත්මක හැරවුම් ලක්‍ෂය පසුකලේ ප‍්‍රධාන වශයෙන් ලබන වසරේ අපේ‍්‍රල් හෝ මැයි මාසයේදි පැවැත්වීමට නියමිත ඉන්දියාවේ මහ මැතිවරණය මුල්කරගෙන ඉන්දියානු ආණ්ඩුව විසින් ශ‍්‍රී ලංකා රජයට කරන ලද බලපෑම් යොදාගනිමිනි. ඊට අමතරව මානව හිමිකම් හෙවත් යුද අපරාධ බරවා කකුල සහ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව නැමැති එම කුකුලේ ගැට ගැසු ගල් ගෙඩියද ආණ්ඩුවේ ගමන වෙනස් කිරිමට හේතුවිය. එම ජාත්‍යන්තර බලපෑම් අහබු සිදුවීම් නොවන අතර ඒවා නව ඊළාම් සැලසුමේ ප‍්‍රධාන උපාය මාර්ගික උපාංග ලෙස හදුනා ගැනීම ඉතා වැදගත් වේ.
ටී.එන්.ඒ පක්‍ෂය ඉතා සුක්‍ෂම ලෙස සකස් කල තම මැතිවරණ ප‍්‍රකාශණය එළිදක්වන්නේ මැතිවරණය ප‍්‍රකාශයට පත්වී සෑහෙන කලකට පසුවය. එයට හේතුව මැතිවරණයට පෙර එම ප‍්‍රකාශයට එරෙහිව පියවර ගැනීමට ආණ්ඩුවට ඇති ඉඩ සහ පෙළඹවීම සීමා කිරිම බව පෙනේ. කෙසේවෙතත් දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය වැනි සංවිධාන එම ප‍්‍රකාශනය බෙදුම්වාදි අරමුණු සහිත ලේඛනයක් ලෙස ප‍්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 157 වැනි වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කලේය. ඒ අනුව මැතිවරණ දිනය වන විට එම ලේඛනය අධිකරණය ඉදිරියේ ප‍්‍රශ්න කිරිමට ලක්වුවකි. එසේනම් ඊට අදාලව මහජන වරමක් ඉල්ලීමේ අයිතියක් හෝ එම වරමේ වලංගු භාවයක් නැතැයි තර්කයක් මතුවේ. එම මැතිවරණ ප‍්‍රකාශනය ඉතා ගැඹුරින් අධ්‍යයනය කිරිමේදී පැහැදිලිවන කරුණු දෙකක් ඇත. පළමුවැන්න තම බෙදුම්වාදි මාර්ග සිතියම පැහැදිලිව ඉදිරිපත්කිරිම මගින් දැනට නිහඬව සිටින බව පෙනෙන එල්.ටි.ටි.ඊ සාමාජිකයින්ගේ සහ පොදුවේ ඩයස්පෝරාවේ විශ්වාසහ දිනා ගැනිමය. දෙවැන්න ඔවුන්ගේ මාර්ග සිතියම අනුව ඉදිරිකාලයේදි සිදුවිය යුතු ජාත්‍යන්තර මැදිහත් වීම සඳහා අවශ්‍ය මතවාදි සහ නීතිමය පදනම සකස් කිරිමය. වෙනත් වචනවලින් කියනවා නම් ඉදිරියේදි ජාත්‍යන්තර අධිකරණයට සහ එක්සත් ජාතිනගේ සංවිධානයට ඉදිරිපත් කිරිමට නියමිත පෙත්සම සඳහා ජන අනුමැතිය ලබා ගැනීමය. ඇත්තවශයෙන්ම එම මැතිවරණ ප‍්‍රකාශණය මැතිවරණය පැවැත්වීම ප‍්‍රකාශයට පත් කිරිමට පෙර ඉදිරිපත් වුවා නම් මැතිවරණ කල්දැමිම සඳහා ප‍්‍රභල බලපෑමක් දකුණේ ජනතාවගෙන් එල්ල වීමට ඉඩ තිබුණි. නමුත් බෙදුම්වාදින් ඉතා දක්‍ෂලෙස එම තත්වය පියමන් කිරිමට සමත් වී ඇත.
දැන් ටි.එන්.ඒ පක්‍ෂයට හෙවත් ඊනියා පළාත් ආණ්ඩුවට තිබෙන ප‍්‍රධානම අභියෝ්ගය වන්නේ ආණ්ඩුව කඩිනමින් ප‍්‍රහාරාත්මක ප‍්‍රවේශයකට තල්ලූවීම වලක්වාගෙන ආරක්‍ෂාණවාදී ස්ථාවරයකට තල්ලූ කිරිමය. ඒ අනුව සුමන්තිරන් නීති විශාරදයා දැන් කියන්නේ තමා බලාපොරොත්තු වන්නේ එක්සත් රටක් තුල බලය බෙදා ගැනීමට පමණක් බවය. වචන හරඹයක් මගින් ඔහු කියා සිටින්නේ තමා ස්වයං පාලනයක් ඉල්ලා සිටින්නේ නැති බවය. එහෙත් ඔවුන්ගේ මුලික අරමුණ ස්වයං පාලනයක් බව මැතිවරණ ප‍්‍රකාශනයේ පැහැදිලිව සඳහන් වී ඇත. ඔවුන් දැන් මතුපිටින් ඉල්ලා සිටින්නේ එක්සත් රටක්තුල බලය බෙදිමක්ය. එම අතරමැදි තත්වය පවතින ව්‍යවස්ථාව යටතේ ලබාදිය නොහැක. ඒ සඳහා ෆෙඩරල් ව්‍යවස්ථාවකින් එහාට යන බෙදුම්වාදි ව්‍යවස්ථාවක් සම්මතකර ගැනීමට සිදුවේ. ඔවුන් එසේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි රාමුවක් හෙවත් ව්‍යවස්ථාමය රාමුවක් තුල ප‍්‍රශ්න විසදා ගැනීමට තමා සුදානම් බව ප‍්‍රකාශ කරන්නේ ආණ්ඩුව තුල සිටින ෆෙඩරල්වාදින් ශක්තිමත්කර බෙදුම්වාදි විරෝධී තීරණාත්මක සටනකට ආණ්ඩුව තල්ලූවීම වලක්වා ගැනීමට බව පැහැදිලිව පෙනේ. ඔවුන් මුහුදු වෙරළට යන තෙක් මුහුදු යන බව කියන්නේ නැත. දැන් ඔවුන් කරන්නේ වෙරළට පමණක් යන බව රටේ පොදු ජනතාවට පවසා විරෝධතා සමනය කර ගැනීමය. නමුත් උතුරේ ජන මනස තුල ඔවුන් ඉතා පාහැදැලිවම මුහුදින් එතෙර වීමේ ගමන් මාර්ගය සලකුණු කොට ඇති බව ජනවරමින්ද පැහැදිලිවේ.
උතුරේ මැතිවරණ ව්‍යාපාරය තුල ටී.එන්.ඒ පක්‍ෂය ද්විත්ව ප‍්‍රවේශයක් අනුගමනය කල බව පැහැදිලිව පෙනුනි. එක් පැත්තක් ඔවුන් ප‍්‍රභාකරන් දෙමළ ජාතිය ගලවා ගැනීම සඳහා දිවිපිදු විමුක්තිකාමියකු ලෙස වීරත්වයට පත්කරමින් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ගේ සහ හිතවතුන්ගේ සහයෝගය ලබාගත්තේය. අනෙක් පැත්තෙන් ඔවුන් යුද්ධයෙන් පීඩාවට පත්ව බෙදුම්වාදය පිළිබඳ විශ්වාශය ඇත්හැර සිටින බහුතරයක් දෙමළ ජනතාවගේ විශ්වාසය දිනාගැනීම සඳහා සුන්දර අනාගතයක් පිළිබඳව සංවර්ධනය න්‍යාය පත‍්‍රයක් ඉදිරිපත් කළේය. ඒ තුල පාරවල් සහ පාලම් සැදිමෙන් පමණක් උතුරේ ජනතාවගේ ජිවිත වෙනස් නොවන බව ඔවුන් කියා සිටියේය. එසේම ඔවුන් තරුණයාට රක්‍ෂාවල් ලබාදීම සඳහා කර්මාන්ත ඇතිකිරිම, ගොවියාගේ කෘෂි නිෂ්පාදන වලට හොඳ මිලක් ලබාදීම, අධ්‍යාපන මට්ටම් දියුණු කිරිම සහ නිවාස සංවර්ධනය ආදි මහජන අපේක්‍ෂා වලට පිළිතුරු ඉදිරිපත් කලේය.
ඒ සඳහා ඩයස්පෝරාවේ අරමුදල්, විදේශ ණය සහ විදේශ ආයෝජනය ආදිය මගින් ආණ්ඩුව නොකල දේ තමාට කලහැකි බව ජනමතයේ තහවුරු කිරිමට ඔවුන් සමත් විය.  ඉතා සරල උදාහරණයක් ගතහොත් දඹුල්ල ඊ නියා ආර්ථික මධ්‍යස්ථානයට උතුරෙන් රැගෙන යන ලද බීට් රූට් එළවළු කි.ග‍්‍රෑම් එකක් විකුණා ගත හැකි වුයේ රු. 5-6 ක් වැනි මුදලකයට. ඒ පිළිබඳව උතුරේ වැසියකු ප‍්‍රකාශ කලේ ඊළඟ වතාවේ ඒ එළවළු ලොරියක බීට් රූට් වලට අමතරව බොම්බ ගෝනියක්ද ගෙන ඒමට ඒ ගොවීන්ට සිතෙන්නට ඉඩ ඇති බවය. ඊට පිළිතුරු ලෙස, එසේ කලහොත් දකුණේ ගොවීන්ද සතුටුවනු ඇතැයි කීමට සිදුවන ආකාරයට අද දඹුල්ල වැනි ආර්ථික මධ්‍යස්ථාන අසාර්ථක වී ඇත. කෙසේවෙතත් උතුරේ ගොවියාටද සතුටුවිය හැක්කේ පොදුවේ රටේ ගොවීන්ගේ ජීවිත වෙනස්වන උපාය මාර්ගික සැලසුමක් තුල බව ටී.එන්.ඒ පක්‍ෂය කිසිදා කියන්නේ නැත. අවසානයේදී මිලේච්ජ යුද්ධයකින් ජනතාව නිදහස් කර ගත් (ජනතාව පමණක් නොව ටී.එන්.ඒ නායකයින්ද නිදහස් කරගත්) රජයට 20% ක් පමණක් ඉතිරිකොට සෙසු ජනයා දිනා ගැනීමට බෙදුම්වාදින් සමත් වී ඇත.
කෙසේවෙතත් දකුණටත් අදාල පොදු කාරණාද  උතුරේ මැතිවරණයේදී රටේ පොදු විපක්‍ෂයට වඩා හොඳින් අලෙවි කිරීමට ටී.එන්.ඒ පක්‍ෂය සමත් වීම තුළ ඔවුනට විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබා ගැනීමට හැකි වී ඇත. දැන් එම ජයග‍්‍රහණය පෙන්වා ඔවුන් ජාතිකව සහ ජාත්‍යන්තරව ඉල්ලා සිටින්නේ තම පළාත්සභාවට ප‍්‍රජාතාන්ත‍්‍රවාදී රාමුව තූළ සියළු ඉඩකඩ විවර විය යුතු බවය. එම තත්වය තූළ බෙදුම්වාදී මාර්ග සිතියමට එරෙහිව ප‍්‍රහාරාත්මක ප‍්‍රවේශයකට යනවා වෙනුවට ආණ්ඩුව ආරක්‍ෂණවාදී ප‍්‍රවේශයකට තල්ලූවී ඇති බව පෙනේ. ඒ අනුව රජයේ ඇමැතිවරුන් ප‍්‍රකාශ කරන්නේ තමා උතුරු පළාත්සභාව සම`ග සහයෝගයෙන් වැඩ කිරීමට සුදානම් බවය. පවතින අවාසිදායක වාතාවරණය තුළ ජාත්‍යන්තරය හමුවේ එවැනි ප‍්‍රකාශයක් හැරවෙනත් දෙයක් කීමට ඉඩක් නැතැයි තර්ක කිරීමටද හැක.
උපාය මාර්ගිකව ටී.එන්.ඒ. පක්‍ෂය ආණ්ඩුව ප‍්‍රකෝප නොකර ක‍්‍රමාණුකූලව පළාත්සභාවේ බලය තහවුරු  කර ගැනීමේ සැලසුමක සිටිනවා විය හැක. එහෙත් ජනවරමේ පීඩනය සහ ඉන්දියානු මැතිවරණයට පෙර තිරණාත්මක කඩඉම් පැන ගැනීමේ  උපක‍්‍රමික උවමනාව නිසා ඔවුනට කඩිනම් වැඩ පිළිවෙලකට තල්ලූ වීමට සිදුවනු ඇත. ඒ අනුව ඔවුන්ගේ මැතිවරණ ප‍්‍රකාශනයේ සඳහන් වන ආකාරයට පොලිස්, ඉඩම් හා මුල්‍ය බලතල ලබා ගැනීම සඳහා ව්‍යවස්ථාමය ක‍්‍රියාදාමය කඩිනමින් ආරම්භවන  බවට සැකයක් නැත. ජාත්‍යන්තර පීඩනය නැමැති දඩු අඩුව මගින් ආණ්ඩුවේ අත කරකවා දැනටමත් රහසිගතව යම් දේවල් ඉටු කර ගැනීමට ඔවුන් සමත් වී ඇත. මැතිවරණය පැවැති දින කෙසේ හෝ උතුරේ හමුදාව කඳවුරු වලට සිමා කිරීමට තීන්දු කෙරෙන්නේ. ඒ අනුවය. එම තත්වය දිගටම පවත්වාගෙන යාම ඔවුන්ගේ මුලික උපාය මාර්ගිික අරමුණකි.
ටී.එන්. ඒ මැතිවරණ ප‍්‍රකාශනය මගින් එළි දක්වා ඇති උපාය මාර්ගික සැලසුමට අනුව ඔවුන් ක‍්‍රියාත්මක වන්නේ පියවර දෙකකිනි. පළමු පියවර පවතින ව්‍යවස්ථාමය රාමුව තුල පළාත්සභාවට අදාල සියලූ බලතල ලබාගැනීමේ සටන දියත් කිරිමයි. දෙවැන්න එම සටන තුලින් උපදින තත්වයන් මුල්කරගෙන පුර්ණ ස්වයං පාලනය ලබාගැනිමේ සටන දියත් කිරිමය. ඔවුනට අනුව ඒ දෙවන පියවර සඳහා යාමට ව්‍යවස්ථාවෙන් හෝ රජයෙන් ඉඩක් නොලැබෙන  බැවින් ඒ සඳහා ජාත්‍යන්තර ප‍්‍රජාවේ තීරණාත්මක සහයෝගය අවශ්‍ය වේ. එම තීරණාත්මක සහයෝගය ඔවුන්  ඉල්ලා සිටිනු ඇත්තේ පලාත් සභාවේ බලය තහවුරුකර ගැනීමට සහ හමුදාව කදවුරු තුලට සීමා කිරිමට ගන්නා උත්සාහය තුල ඇතිවන ව්‍යවස්ථාමය සහ දේශපාලන ගැටුම් උච්චතම අවස්ථාවට ලගාවන විටය. සම්බන්දන් මහතා සඳහන් කරන ආකාරයට එම ක‍්‍රියාවලිය තුල ආයුධ සන්නද්ධ ගැටුම් වෙනුවට අවිහිංසාවාදී මහජන සටන් යොදාගනු ඇත. විග්නේශ්වරන් මහතා නව සටනක් ලෙස හඳුන්වන්නේද එයම බවට සැකයක් නැත. ස්වයං පාලනයක් සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානයට සහ ජාත්‍යන්තර අධිකරණයට පෙත්සම හෙවත් පසුගිය මැතිවරණයේදි අනුමත වුවායැයි සැලකෙන මැතිවරණ ප‍්‍රකාශනය ඉදිරිපත් කෙරෙන්නේ එම ගැටුම් මුල්කරගෙනය.
එහිදි පළාත් සභාවට මධ්‍යම ආණ්ඩු විසින් ස්වාධිපත්‍යයෙන් යම් ප‍්‍රමාණයක් ලබාදී ඇතැයි යන පදනම මත පිහිටා එක්සත් ජාතින්ගේ අරක්‍ෂණ රාජ්‍යයක් හෙවත් ප්‍රොටෙක්ටොරේට් එකක් ප‍්‍රකාශයට පත්කිරිමට බෙදුම්වාදින් ඉල්ලා සිටිනු ඇත. තිම්පු සාකච්ඡුාවල සිට හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය ලබාදුන් නඩු තීන්දු දක්වා වන විවිධ මණ්ඩප තුල දෙමළ ජනතාවට ස්වයං තීරණ අයිතිය හෙවත් ස්වයං පාලන අයිතිය ඇතැයි නීතිමය වශයෙන් තහවුරු කෙරුනේ එම අරමුණට අදාලවය. ටී.එන්. ඒ මැතිවරණ ප‍්‍රකාශනය තුල ඉතා පැහැදිලිවම තිම්පු සංකල්ප ත‍්‍රිත්වය වන දෙමළ ජාතිය අනන්‍ය භාෂාවක් සහ සංස්කෘතියක් සහිතව ෙඓතිහාසිකව පැවති බව ඔවුන් උතුරු නැගෙනහිර නිජ භූමිය මුල් කර ගනිමින් වාසය කල බව සහ ඔවුනට ස්වයං නිර්ණ අයිතිය ඇති බව තහවුරු කොට ඇත. ඔවුන්ගේ තර්කය අනුව අධිරාජ්‍යවාදින් ශ‍්‍රී ලංකාව යටත්කර ගන්නා විට උතුරු නැගෙනහිර ප‍්‍රදේශ ආශ‍්‍රිතව පැවැති දෙමළ රාජ්‍යයද ඊට ආදා ගත්තේය. නමුත් නිදහස දෙන අවස්ථාවේදි ඔවුන් ඉල්ලා සිටියද ඔවුනට නිදහස ලැබුනේ නැත. එතැන් පටන් ඔවුන් නිදහස ඉල්ලා ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව තුල මෙන්ම යුද්ධමය වශයෙන්ද විමුක්ති සටනක හෙවත් නිදහස් අරගලයක යෙදී ඇත. ඔවුන් ප‍්‍රභාකරන් වීරයකු කරන්නේ ඒ විමුක්ති සටනට අදාලවය. ජාත්‍යන්තර නීතිය යටතේ ආරක්‍ෂණ රාජ්‍යය හෝ භාරකාර රාජ්‍ය යන දෙකෙන් කුමක් හෝ ප‍්‍රකාශයට පත් කිරිම සඳහා එසේ දිර්ඝ කාලින විමුක්ති සටනක නියැලී සිටීම අත්‍යවශ්‍ය කොන්දේසියකි. අනෙක් ප‍්‍රධාන කොන්දේසි වන තිම්පු කොන්දේසි 3 ඔවුන් වසර 30 කට පෙර සිටම තහවුරු කරමින් ඇත.
ඊළඟ ප‍්‍රධාන කොන්දේසිය මධ්‍යම රජය විසින් තමා නීත්‍යානුකූලව ලබාදී ඇති බලය භුක්ති විදීමට අර්ධ ස්වයං පාලන ප‍්‍රාන්ත රාජ්‍යයට ඉඩ නොදී බලය පාවිච්චි කිරිමය. අද වන විට ටී.එන්.ඒ සංවිධානයට ඇති එකම අභියෝගය එසේ මධ්‍යම ආණ්ඩුව බලය පාවිච්චි කිරිමේදි ඇතිවන ගැටුම නිවැරිදි මොහොතේ අවශ්‍ය ප‍්‍රමාණයෙන් මතුකර ගැනිමය. එහි දී ඊ නියා අවිහිංසාවාදි මහජන සටන් හරහා මළමිනි ප‍්‍රමාණයක් එකතු කර ගැනීමද අත්‍යවශ්‍ය සාධකයක් වනු ඇත. කොසෝවෝ බෙදා වෙන් කිරිමේ ජාත්‍යන්තර මෙහෙයුම තුල එසේ මළමිණි එකතු කිරිම සඳහා විමුක්තිකාමිනම දායක වු ආකාරය පිළිබඳ ප‍්‍රභල අත්දැකිම් ඇත. එම ගැටුම් සඳහා සුදුසුම කාලය වන්නේ ජාත්‍යන්තර න්‍යාය පත‍්‍ර 3 ක් එකට එක්වන සන්ධිස්ථානය බවට සැකයක් නැත. එනම් ඒ මුලික බෙදුම්වාදි න්‍යාය පත‍්‍රයට මානව හිමිකම් හෙවත් යුධ අපරාධ න්‍යාය පත‍්‍රය සහ ආණ්ඩු වෙනස් කිරිමේ න්‍යාය පත‍්‍ර එකට සම්පාත වන ස්ථානයයි.
ඊට අදාලව ලබන මාර්තු මාසයේදී මානව හිමිකම් න්‍යාය පත‍්‍රය තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණෙනු ඇත. මෙම පළාත් සභා මැතිවරණයේදී ඒ වන විට පන අදිමින් සිටි ආණ්ඩු විරෝධි පොදු අපේක්‍ෂක උපාය මාර්ගයට ෆොන්සේකා මහතා විසින් යම් ඔක්සිජන් ප‍්‍රමාණයක් ලබාදී ද ඇත. ඊට අමතරව එක්සත් ජාතික පක්‍ෂයට සහ ජ.වි.පෙ. ටද පොදු අපේක්‍ෂක වාහනයට නැගීම හැර වෙනත් ස්වාධීන විකල්පයක් නොමැති බවට මෙම මැතිවරණයෙන් පාඩමක් උගන්වා ඇත.
ඇත්තවශනේම පසුගිය කාලයේදි රටේ සිටින ප‍්‍රධානතම අධිරාජ්‍ය විරෝධියා බවට පත්වන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතාය. ඒ අධිරාජ්‍යවාදින්ගේ පොදු අපේක්‍ෂක න්‍යාය පත‍්‍රයට අකුල් හෙලිම හරහාය. ෆොන්සේකා මහතාට උපදෙස් දෙන මාදුළුවැවේ සෝභිත ස්වාමින් වහන්සේට අනුව වසරකදි විධායක ජනපති ක‍්‍රමය අවසන් කරන ජනාධිපති තනතුරක් ඇතිකිරිමේ ජනාධිපති අපේක්‍ෂකත්වය වෙන අයෙකුට ලබාදීමට රනිල් වික‍්‍රමසිංහ කැමැති වන්නේ නම් පමණක් ඔහුට විධායක අගමැති සිහිනයවත් සැබෑ කරගත හැක. ඊට අදාලව පළාත්  මැතිවරණ ප‍්‍රථිඵල වික‍්‍රමසිංහ මහතාට ප‍්‍රභල පාඩමක් උගන්වා ඇත. ඒ අනුව බලන විට පසුගිය උතුරු පළාත් සභා මැතිවරණය 1987 දී පැවැත්වූ උතුරු – නැගෙනහිර පළාත් සභා මැතිවරණයට වඩා සිය දහස් ගුණයකින් තීරණාත්මක වී ඇති බවට සැකයක් නැත.
ඊට අමතරව මේ වන විට මුස්ලිම් කොංග‍්‍රසය විසින් අනුගමනය කරන හැසිරිම තුල සහ ටී.එන්. ඒ සංවිධානය සහ ජාත්‍යන්තර බලවේග මුස්ලිම් කොංග‍්‍රසය සතුටු කිරිමට ගන්නා උත්සාහය තුල නැගෙනහිර පළාත් සභාවේ බලතුලනයද වෙනස් විමේ ලකුණු පහල වී ඇත. එවිට දෙමළ නිජ භූමිය වෙනුවට දෙමළ කථාකරන ජනතාවගේ නිජ භාූමිය යනුවෙන් ටී.එන්.ඒ සංවිධානය තම වාග්මාලා වෙනස් කරන්නේ කුමක් නිසා දැයි පැහැදිලිවනු ඇත. මුස්ලිම් කොන්ග‍්‍රසය බෙදුම්වාදි න්‍යාය පත‍්‍රය තුලට තල්ලූකර ගැනිමේ වැඩ පිලිවෙලට ටී. එන්. ඒ උපාය මාර්ගය තුල ඉතා වැදගත් තැනක් හිමිවන බවට සැකයක් නැත. විශේෂයෙන්ම ජාත්‍යන්තර මැදිහත්වීමේ ක‍්‍රියාවලියේදි උතුරු නැගෙනහිර පළාත් දෙකටම අදාලව නිජ භූමිය තහවුරු කිරිම හෙවත් ඉඩමේ භූක්තිය ගැටළුවකින් තොරව ඔප්පු කිරිම සඳහා එය ඉතා වැදගත් වේ. ගොඩනැගෙන තත්වයන් තර්කානුකූලව විග‍්‍රහ කිරිමේදි පෙනී යන්නේ ‘‘බලය බෙදිමෙන් ඊළම දක්වා ’’ නැමැති මාර්ග සිතියම වසර 37 කට පෙර සැලසුම්කල ආකාරයටම අවසාන සැතපුම් කණුව දක්වා දිග හැරෙමින් තිබෙන බවය. ඊට මුහුණදීම සඳහා ආණ්ඩුව දැන් තෝරා තිබෙන ආරක්‍ෂණවාදි ප‍්‍රවේශයෙන් වහාම ප‍්‍රහාරාත්මක ප‍්‍රවේශයටක මැරු නොවුන හොත් බෙදුම්වාදී ගමන් මාර්ගයේ අවසාන  භාගයේදී තිරිංග තද කිරිමට කිසිවකුට කිසිදු ඉඩක් නොලැබෙනු ඇත.
වෙද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
මහ ලේකම්, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: පළාත් සභාවේ සිට ඊළම දක්වා මාර්ග සිතියම මෙන්න Rating: 5 Reviewed By: Unknown