728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday 29 December 2013

ග්‍රේෂන් ආනන්දට සාධාරණය ඉටු නොවීම

ජනකාන්ත ගායකයෙකු - සංගීතවේදියෙකු හා ගීත නිබන්ධකයෙකුද වූ ග්‍රේෂන් ආනන්දයන් දිවියෙන් සමුගෙන වසර තුනක් සපිරෙන්නේ මෙම දෙසැම්බර් 30 වෙනිදාටය. ජීවතුන් අතර සිටියදී සාධාරණය ඉටු නොවූ කලාකරුවන්ගේ ගොඩට පැහැදිලිවම ඇතුළත් කළ හැකි ග්‍රේෂන්ට ඔහුගේ අකල් මරණයෙන් පසුවද සාධාරනය ඉටු වී නැත.
එය ඔහුගේම ෙදෙවයේ සරදමක්ද? නොඑසේ නම් ඔහු දෙවියන් වහන්සේට පමණක් දෙවැනි කොට ඇදහූ දේශපාලකයන් ඔහුට කළ සරදමක්දැයි මම තවමත් සොවින් බරව කල්පනා කරමි.
එච්.ආර්. ජෝතිපාලයන් සහ මිල්ටන් මල්ලවආරච්චිගෙන් පසුව සිංහල සිනමාවේ ප්‍රමුඛ පසුබිම් ගායකයා වූයේ ග්‍රේෂන්ය. ඔවුන් සිටියදීද ග්‍රේෂන් ගී ගැයුවත් පෙරමුණටම ආවේ ඔවුන්ගේ ඇවෑමෙනි. සිනමාවේ ප්‍රීති ගී ගැයුවත් ග්‍රේෂන්ගේ ජීවිතය පිරී තිබුණේ ශෝකාන්ධකාරයෙනි. පැතූ සතුට - සැනසීම හා ඇගැයීම ඔහුට නොලැබෙද්දී වඩවඩාත් “සුමිතුරු” වෙසින් ළං වූ මදුවිතම දුක්ඛදායක අවසානයක් වෙත ඔහු රැගෙන ගියේය. බිරිඳ හා දරු දෙදෙනාගෙන් දුරස් වී හුදෙකලා දිවියක් ගෙවූ අවසන් වසර පහක පමණ සංචාරක සමයේදී මදුවිත හා ඔහු දැඩිව මිතුරු වීම විමතියට කරුණක් නොවේ. එහෙත් ඔහුගේ සිත තුළ එක් ප්‍රබල පැතුමක් තිබිණ, ඒ තමන්ටම කියා නිවහනක් සතු කර ගැනීමේ පැතුමයි. එය ලදහොත් තම දරු පවුල සමග එක්ව යළි ජීවිය ගොඩනගා ගත හැකි බව ග්‍රේෂන් මා සමග කී වාර ගණන නිමක් නැත. එම අවසන් වසර පහේදී නවාතැන් රැසක ඔහු ජීවත් විය. මාද ඔහුට එබඳු නවාතැන් කීපයක් සොයා දී තිබේ. ඒ සෑම තැනකම සිට ඔහු ස්ථිර නිවසක් ඉල්ලා මැතිඇමැතිවරුන් රැසකට ලිපි යොමු කළේය. ඔහුගේ බොහෝ නවාතැන්වල මාද බොහෝ විට නතර වී සිට තිබේ. හිරුටත් පෙර අවදි වී බිම පෙරළීගෙන ග්‍රේෂන් ලිපියක් ලියන දර්ශනය මට මේ මොහොතේද මැවී පෙනේ. ඔහු ඒ ලියන්නේ නිවසක් ඉල්ලා ඇමැතියෙකුට යවන ලිපියකි. බොහෝ විට මම ඒ ලිපියේ වියරණ දොස් නිදෙස් කොට දෙමි.  ඊළගට ටයිප් කරන තැනකින් ටයිප් කරවා ලිපිය තැපෑලට දැමූ පසුව “මේ සැරේ නං වැඩේ හරි යයි නේද මචං..” කියා ග්‍රේෂන් අහිංසක ලෙස අසන අන්දමට දැනුදු ඇසෙන්නාක් මෙනි. හිතාදර මිතුරාගේ බලා‍පොරොත්තු සහගත මුහුණ ඉදිරියේ මම නිහඬ වෙමි. තිත්ත ඇත්ත නොකියමි. එහෙත් තිත්ත ඇත්ත නම් ඒ එකම මැතිඇමැතියෙකු හෝ ඔහුගේ ආයාචනය තඹදොයිතුවකට ගණන් නොගත් බවය. ජනපති වෙතින් පවා ප්‍රතිචාර නොලැබුණි. තමා සමග අතීතයේ ළඟින්ම සිටි කලාකරුවා ග්‍රේෂන් ආනන්ද බව ජනපතිවරයාට අමතක වන්නට හේතුවක් නැත. ග්‍රේෂන් සිය අසීරුතාවය කියා යැවූ ලිපි ඔහු අතට පත් නොවූයේ නම් ඒ කවර බලවේගයක් නිසාද. වරක් ජනපති මැදුරේ සාදයකදී ග්‍රේෂන් ඔහුට ළංව කතා කරනු ඉවසිය නොහැකි වූ ජාත්‍යන්තර සම්මාන දිනුවා යයි කියන අධ්‍යක්ෂවරයකු “මට හිතෙනව ගිහින් මූට කනට ගහල ඇදල දාන්න.” යනුවෙන් තවත් කලාකරුවෙකු සමග කී බව ග්‍රේෂන්ට හා  මට කීවේ එම කලාකරුවාමය. ග්‍රේෂන් ජනපතිට ළංවීම නොරිස්සූ එබඳු ගැත්තන් ඊයේ පෙරේදා ජනපතිට ළංවූවන්ය. සියල්ල ලබා ගත්තේත්, ලබා ගන්නේත් ඔවුන්මය. කොටින්ම තමාගේ තනු අනුව ගී ගැයූ ග්‍රේෂන්ගේ ඉල්ලීමක් ජනපති වෙත ගෙන යන්නට ජනපතිගේ කලා උපදේශක රෝහණ වීරසිංහ පවා ඉඩ සලසා දුන්නේ නැත. මරණයට මාස කීපයකට පෙර රුවන්වැල්‍ලේ රැස්වීම් රැසක ගී ගයන්නට ග්‍රේෂන්ව ගෙන ගොස් දින කීපයක් තබා ගත් ඇමැතියෙකු යළි ඔහුව කොළඹ එව්වේ බසයක නංවාය. දාහේ නෝට්ටුවක් සාක්කුවට දමා තිබුණි. කොළඹ පැමිණ මේ බව මා හා කී විට මම ග්‍රේෂන්ටත් බැණවැදුණෙමි.” කමක් නෑ මචං පක්ෂය වෙනුවෙන්නේ...” ඔහු එවිට කීය. ඒ තරම් පැහැදිලි ශ්‍රීලංකාකාරයෙකු වූ ග්‍රේෂන් ආනන්ද තම එකම පැතුම වූ නිවහනක සිහිනය සැබෑ කර නොගෙනම ජීවිතයෙන් සමුගෙන යද්දී එහෙන්මෙහෙන් පාත් වී රාජ - ප්‍රශස්ති ගී ගැයූ අය ගෙවල් ඉඩම් කඩකාමර ආදී සියල්ල ලබාගැනීම විග්‍රහ කරන්නේ කෙසේද...? අසාධාරණ දේශපාලකයන්ට වුවද මා දොස් නගනවාට අකැමැති වූ අවස්ථාවල ග්‍රේෂන්ටත් බනින්නට සිදු වූ වාර තිබේ. ග්‍රේෂන්ට අවසන් නවාතැන සැපයූ නුගේගොඩ නීතිඥ සරත් රනඹ පෙරේරා ඊට සාක්ෂි දරයි. එතරම්ම ළැදි පාක්ෂිකයෙකුට සාධාරණය ඉටු නොකිරීම ගැන ඉහළ සිට පහළ දක්වා සියලු වගකිව යුතු දේශ පාලකයන් ලැජ්ජා විය යුතුය. ග්‍රේෂන් මළ පසුව ඉරිදා ලක්බිමට ලිපියක් ලියමින් මා ජනපතිගෙන් ඉල්ලා සිටියේ දැන්වත් ඔහුගේ බිරිඳ ශ්‍රීමා චන්ද්‍රානි පෙරේරා - දුව දුලාංජලී චාතුර්යා සහ පුත් මාරියෝ ආනන්දට ඔහු වෙනුවෙන් සාධාරණයට ඉටු කරන ලෙසය. එහෙත් ඉකුත් වසර තුනේදීද එය ඉටු වී නැත.
වරක් මිතුරු නිවසකදි සිහිසුන් වූ ග්‍රේෂන් අගනුවර පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණි. ඒ ඔහු නොදැනුවත්වයි. දින දෙක තුනකින් රුපියල් එක්ලක්ෂ අසූපන්දහසක පමණ බිලක් ලැබුණි. රෝහ‍ලේ සිට මා ඇමතු ග්‍රේෂන් කැසට් නිෂ්පාදකයෙකු මගින් හෝ එම බිල ගෙවන්නට කටයුතු කරන්නැයි කීය. එය අසීරු විය. අවසානයේ ග්‍රේෂන්ව උසාවි ගෙන යන්නට රෝහල් පාලකයෝ කටයුතු කළහ. එම රෝහල් බලධාරියෙකු මුල් වී සිනමා ශිල්පී සුබසාධනය උදෙසා සංවිධානයක් පිහිටුවා තිබේ. එමගින් නළු නිළියන් ගී ගයන රඟන ප්‍රසංගයක් වාර්ෂිකව පැවැත්වේ. ඒ වන විට වසර අටක් හෝ නවයක් ග්‍රේෂන්ගේ ගීතද එම ප්‍රසංගයට යොදාගෙන තිබුණි. එහෙව් ග්‍රේෂන්ට එතැනින් “සුබසාධනයක්” නැද්ද? ඔහුගේ සුළු බිල කපා දමා සහනයක් නොදී නීතිමය පියවර ගත් එම සංවිධානය සිනමා ශිල්පී සුබසාධනය ගැන කතා කිරීම තරම් විහිළුවක් තවත් තිබේද? රිදී රැයක සුන්දරත්වයට යටින් ඇති මේ අන්ධකාරය ගැන අප කියන්නේ කාටද? අසන්නේ කවුරුන්ද...?

ආනන්ද පද්මසිරි

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ග්‍රේෂන් ආනන්දට සාධාරණය ඉටු නොවීම Rating: 5 Reviewed By: Unknown