728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday 15 December 2013

තම රහත්බව ප්‍රශ්න කළ නාහිමිවරුන්ට පිටිදූවේ සිරිධම්ම ගෙන් පිළිතුරක් ..

මනෝ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් වීමට වුවත් සූදානම් බව පවසති - ප්‍රසිද්ධ වාදයකටත් ඇරයුම් කරති ....

 ගරු අගලකඩ සිරිසුමන , හෑගොඩ විපස්සි, බෙල්ලන්විල විමලරතන, ඉත්තෑපානේ ධම්මාලංකාර යන නාහිමිවරුන් දක්වා ඇති කරුණු සම්බන්ධයෙන් මාගේ අදහස ද ගෙනහැර දැක්වීමට මම අපේක්ෂා කරමි.පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් දක්වා ඇති පරිදි ධර්මයේ සඳහන් වන ආකාරයට කිසිවකු තමන් කෙරෙහි නොපවත්නා ගුණයක් ප්‍රකාශ කළහොත් පාරාජිකාවක් සිදු වන බව උන්වහන්සේ අවධාරණය කොට ඇත. නමුත් ත්‍රිපිටක බුද්ධ භාෂිතයේ සඳහන්ව ඇති ආකාරයට විනය පිටකයේ  කිසිදු තැනක, තමා තුළ  නැති ගුණයක්  පෙන්වීම පාරාජිකාවක් ලෙස සඳහන් කර නැත.
නැති ගුණයක්  ප්‍රකාශ කළහොත් භික්ෂුවකට වන්නේ ඇවතක් පමණි.  එහෙත් පාරාජිකා පාලියට අනුකූලව යම්කිසි භික්ෂුවක්  නොලැබූ උත්තරී මනුස්ස ධර්මයක්  ප්‍රකාශ කළහොත් පමණක්ම පාරාජිකාවක් වේ. පළමුව අගලකඩ සිරිසුමන  හිමියන් සිංහල භාෂාව අධ්‍යයනය කිරීම නවත්වා පාරාජිකා පාලිය අධ්‍යයනය කිරීමට අවධානය යොමු කළේ නම් මැනවියි මම සිතමි. අද ලාංකීය භික්ෂු  සමාජය දෙස බලන විට ඔවුන් ධර්මය පිළිබඳ ඔවුනොවුන්ට සිතැඟි පරිදි  විවිධ අදහස්  ප්‍රකාශ කරන බව අපට දක්නට ඇත. එයට ප්‍රධාන හේතුව  නම්  ත්‍රිපිටක බුද්ධ වචනය උගත් භික්ෂුන් නොමැති වීමයි. යම් භික්ෂුවකට සැබෑම බුද්ධ වචනය විග්‍රහ කිරීමට අවශ්‍ය නම් , ඒ භික්ෂුව ත්‍රිපිටක සම්බුද්ධ  භාෂිතය  අකුරක් නෑර අධ්‍යයනය කොට කරුණු කාරණා ගෙනහැර දැක්විය යුතු යැයි කියා මම විශ්වාස කරමි.
එමෙන්ම රත්මලානේ ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියන් ප්‍රකාශ කරන්නේ රහත් වූ කෙනෙක් පෘථග්ජනයන්ට අභියෝග කරනවාද යන්නයි. නමුත්  උන්වහන්සේම අවස්ථා කිහිපයකදීම බුද්ධ වචනයට විරුද්ධව විකෘති අදහස් දක්වා තිබුණු බව අවධාරණය කිරීමට කැමැත්තෙමි.  එසේම උන්වහන්සේ අවස්ථා කිහිපයකදීම මා ධර්මය විකෘති  කරන බව දන්වා සිටියත් ඒ විකෘති කරන ධර්මය කුමක්ද යන්න සඳහන් නොකිරීම ගැන මා කනගාටුවට පත් වන අතර ඔබ වහන්සේ විකෘති කරන ලද ධර්මය කුමක්දැයි පෙන්වා දීමට මා මෙය අවස්ථාවක් කර ගනිමි. උන්වහන්සේ ඉහත දක්වා ඇති රහත් වූ කෙනෙක් පෘථග්ජනයන්ට අභියෝග  කරනවාද යන පළමු ප්‍රකාශයම සාවද්‍යය.    එසේනම්  උන්වහන්සේ පවසන පරිදි, කුමාර කාශ්‍යප මහතෙරුන් වහන්සේ පායාසි රාජන්‍යත් සමග වාද කිරීමෙන්  කුමාර කාශ්‍යප මහ තෙරුන් වහන්සේ රහතෙකු නොවන බව විපස්සි හිමියන් වක්‍රාකාරයෙන් පවසයි. පායාසි රාජන්‍ය ඒ වන විටත් පුනර්භවය  පිළිනොගන්නා  අන්ත මිථ්‍යාදෘෂ්ටික අදහස් තිබූ අයෙකි. එහෙත් කුමාර කාශ්‍යප මහතෙරුන්  වහන්සේ ඔහුත් සමග වාද කොට ඔහුව වාදයෙන් පරදා  ඔහුට නිවැරදි මග පෙන්වන ලදී. එහෙත් රත්මලානේ ධර්ම පර්යේෂණාලයේ  අධ්‍යක්ෂ හෑගොඩ   විපස්සි හිමියන් ප්‍රකාශ කරන ආකාරයට කුමාර කාශ්‍යප  මහතෙරුන් වහන්සේ රහතෙක් නොවිය යුතුය. මන්ද පෘථග්ජනයෙකු සමග වාද කළ නිසාය. එය පළමු කරුණයි.  එමෙන්ම  උන්වහන්සේ එක්තරා පුවත්පතක පළ කර සිටියේ සකෘදාගාමී බවට පත් වූ කෙනෙක් සහමුලින්ම කම්සැප විඳීම අත්හරිනවා යන්නයි. නමුත් උන්වහන්සේ අංගුත්තර නිකායේ මිගසාලා සූත්‍රය පිළිබඳ නොදැනීම  පිළිබඳව මම කනාගාටු වෙමි. මිගසාලා සූත්‍රයේ මිගසාලා  උපාසිකාවත්  ආනන්ද තෙරුන් වහන්සේත් සකෘදාගාමී පුද්ගලයන් දෙදෙනකු පිළිබඳව බුදුන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරන ප්‍රශ්න කිරීමක් ගැන සඳහන් වෙයි. මෙම සකෘදාගාමී පුද්ගලයන් දෙදෙනාගෙන් එක් සකෘදාගාමී පුද්ගලයෙක් බ්‍රහ්මචාරී වුණ බවත්, අනෙකා විවාහ වී විවාහ ජීවිතය ගත කළ බවත්, එහෙත් දෙදෙනාම මියගොස් එකම තුසිත දෙව්ලොව ඉපදුන බවත් බුදුන් සඳහන් කරයි.  මෙය ඇසූ  මිගසාලා උපාසිකාව බුදුන් වහන්සේට වැරදුනේදැයි ආනන්ද තෙරුන් වහන්සේගෙන් ප්‍රශ්න කරයි. ආනන්ද තෙරුන් වහන්සේ මිගසාලාගේ මේ ප්‍රශ්නය ගැන බුදුන් වහන්සේගෙන් විමසූ විට බුදුන් වහන්සේ අසන්නේ හැඳිමිටේ නුවණ තියෙන මිගසාලා වැනි මෝඩ ස්ත්‍රියකට සර්වඥතාක් ඥානය තියෙනවාද කියාය. ඇය මෙවැනි ප්‍රශ්නයක් අසන්නේ ඒ ඥානය නැති නිසාය. මට විපස්සි හිමියන්ගෙන්ද අසන්නට ඇත්තේ ඒ ප්‍රකාශයමයි. ඔබ වහන්සේ ධර්මය විකෘති කරමින් සම්පූර්ණ සර්වඥතාක් ඥානයට අපහාසයක් කරන අතර මීගසාලාව වැටුණ තත්ත්වයට වැටුණ බව ඔබවහන්සේ නොකියා පවසයි.
15-2එමෙන්ම හෑගොඩ විපස්සි හිමියන් පවසන්නේ මා මනෝ වෛද්‍යවරයකුට පෙන්විය යුතු බවයි. මාගේ කාරුණික ආරාධනාව  නම් ඔබවහන්සේ ඉඩ තිබෙන, ඔබ වහන්සේට පහසු වෙලාවක ඒ වෛද්‍යවරයාත් සමග පැමිණ මට බෙහෙත් නියම කරන ලෙසත්, ඒ ඕනෑම  වෙලාවක මා ඉදිරිපත් වීමට සූදානම් බවත්ය. එසේ බෙහෙත් නියම කිරීමට ඒ වෛද්‍යවරයාට නොහැකි වුවහොත්  ඔබවහන්සේ මට බෙහෙත් නියම කරන මෙන් මා ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.  ඔබ දෙපළටම නොහැකි වුවහොත් ඔබලා දෙදෙනාටම භව දුකට බෙහෙත් ලබාදීමට මම ‍පොරොන්දු වෙමි. එසේම  ඕනෑම ධර්ම සංවාදයකට මා ඔබ වහන්සේටද අභියෝග කරමි.
එමෙන්ම අප ආශ්‍රමයේ ආසන්නයේම වැඩසිටින මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන් වහන්සේ සඳහන් කරන ආකාරයට රහතන් වහන්සේලා කවුරුන්ද යන්න අපට කියන්නට බැහැ.  මා පවසන්නේද එයමයි . එමෙන්ම  උන්වහන්සේ සඳහන් කරනවා  රහත් බව තිබෙන්නේ තමා තුළ බවය.  මා පවසන්නේ ද එයමය.  එබැවින් උන්වහන්සේට මා බෙහෙවින්  ස්තූතිවන්ත වන්නේ මා ප්‍රකාශ කරන අදහස්ම ප්‍රකාශ කිරීම ගැනය.  එසේම බුදුන් වදාළ ධර්මය තුළින් ඕනෑම කෙනෙකුට අවබෝධ කරන්න පුළුවන් කියා උන්වහන්සේ සඳහන් කරනවා. මාද ‍පොදුවේ පිළිගන්නා කරුණ නම් බුදු දහම සජීවී දහමක් බවයි. අප ද ගේ දොර රැකී රක්ෂා සියල්ල අතහැර පැවිදි වූයේ බත්  කකා ඉන්න  නොව සසුන  වෙනුවෙන් යමක් කිරීමටය. මා ගෙනයන වැඩපිළිවෙළ හරිද වැරදිද යන්න ඔබ වහන්සේලා  විවේචනය කිරීම  ඉතා සාධාරණ වන්නේ පරීක්ෂා කිරීමෙන්  අනතුරුවයි. එමෙන්ම  උන්වහන්සේ සඳහන් කරන පරිදි  සත්‍යය අවබෝධ කිරීම ‍ලේසි පහසු  කාර්යයක් නොවන බවයි. එය සම්පූර්ණයෙන්ම බුද්ධ වචනයට ප්‍රතිවිරුද්ධ අදහසකි. බුදු දහමේ  පැහැදිලි කරන  ආකාරයට දහම සජීවී නම්,  නමුත් අවබෝධ කිරීමට  නොහැකි නම්,  එය ‍ලේසි පහසු කාර්යයක්ද නොවේ  නම්, ශ්‍රද්ධාව  ඇති කුලපුත්‍රයෙක් මේ සසුනෙහි  විසීමෙන් ඇති පලය කිම ? එසේනම් සියලු ශ්‍රද්ධාව ඇති කුලපුත්‍රයන්  මේ සසුනෙන් බැහැරව  නැවත  ගිහි ජීවිත ගතකරන්න කියා නොවේද  ඔය ඔබවහන්සේ වක්‍රාකාරයෙන් ප්‍රකාශ කර සිටින්නේ. එම නිසා ඒ ගැන තව වරක්  සිතා බලන සේක්වා.
එමෙන්ම මා සත්‍යය අවබෝධ කළාද නැද්ද යන්න උන්වහන්සේ නිගමනය කළ යුත්තේ මා සමග ධර්ම සාකච්ඡාවකින්ම පමණයි. පාරාජිකා පාලියේ හා විනය පිටකයේ දක්වන ආකාරයට භික්ෂුවක් පාරාජිකා වෙලාද නැද්ද යන්න පුවත්පතකටවත්, මාධ්‍යවේදියකුටවත්, පුවත්පතකට ලිපි ලියපු භික්ෂුවකටවත් කළ නොහැක.  සැබෑවටම  කළ යුත්තේ ඒ භික්ෂුව අදාළ මාර්ගඵල ලබා ඇතැයි කියන භික්ෂුව සමග සාකච්ඡාකොට තීන්දු තීරණ නිගමනයන්ට එළැඹීමය. තවද මා පාරාජිකාවකට හසුවන්නේ එය වැරදියට භාවිතා කළා නම් පමණි. එමෙන්ම ඔබ වහන්සේ එය නිගමනය කළ යුත්තේ ද මා සමග සිදුකරන ධර්ම සාකච්ඡාවකින්ම පමණි. එසේ එහි හරි වැරැද්ද නිගමනය කිරීමට ඔබ වහන්සේ මා සමග ධර්ම සාකච්ඡාවකට පැමිණෙන සේක්වා. තවද ඔබ වහන්සේ අවසාන ජේදයේ දක්වා ඇත්තේ මාර්ගඵල ලැබුවා යැයි පැවසීමෙන් කඩ වන්නේ උත්තරීතර මනුසද් ධර්මයයි කියාය. එයින් පැහැදිලි වන්නේ බුද්ධ කාලයේ ජීවත් වූ සියලු රහතුන් පාරාජිකා වී ඇති බවයි.
එමෙන්ම ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් පවසන්නේ තමා රහත් යැයි කියා ගන්නා පුද්ගලයා ළඟ රහත් බව ඇත්තෙම නැහැ කියායි. එසේනම් ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනාහිමියන් පවසන පරිදි මේ වැරැද්ද පළමුවම කොටඇත්තේ ගෞතම බුදුන් වහන්සේ විසිනි. මන්ද උන්වහන්සේත් සෘජුවම උපක ආජීවකයනට පවසා සිටියේ මේ ලෝකයේ සිටින එකම රහතා මම වෙමි, සම්මා සම්බුදුවරයාද මම වෙමි යනුවෙන් බැවිනි. (මජ්ක්ධිම නිකාය - අරිය පර්යේණ සූත්‍රය), එසේ නම් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ රහතෙකුද, බුදු කෙනෙකුද නොවේ. තවද සංයුක්ත නිකායේ පින්ඩෝල සූත්‍රයේ ඉතා පැහැදිලි වශයෙන් සඳහන් වන පරිදි පින්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේත් තමන් වහන්සේ සති, සමාධි, ප්‍රඥා වැඩූ හෙයින් අරහත් බවට පත්වූ බව ප්‍රකාශ කළහ. නමුත් එය භික්ෂූන් වැරදි යැයි ප්‍රකාශ කරන විට ගෞතම බුදුන් වහන්සේ එය නිවැරදි යැයි අනුමත කළ සේක. එසේනම් ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනාහිමියන් පවසන පරිදි පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේද රහතෙක් නොවේය. එමෙන්ම ථෙර ථේරී ගාථා පාලියේ සියලු තැන්හිම දක්වන්නේ ඒ තෙරුන් වහන්සේලා, තෙරණින් වහන්සේලා අකෘතය කරන ලද බව, කළ යුතු සියල්ල කර අවසන් බවයි. එසේනම් ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනාහිමියන් පවසන පරිදි ථෙර ථේරී ගාථා පාලියද වැරදිය.
එමෙන්ම මා දේශනා කරන ධර්මය පිළිබඳව ඔබලා සිව් නමට කුමන හෝ ගැටලුවක් ඇත්නම් මජ්ක්ධිම නිකායේ ජබ්බිසෝධන සූත්‍රයට අනුව කෙනෙකු කුමන ආකාරයේ සත්‍යාවබෝධය හෝ මාර්ගඵල තත්ත්වයක් ලැබුවද අනෙක් භික්ෂුන් එය පිළිගන්නේද ප්‍රතික්‍ෂේප කරන්නේද නැතිව ඊට අදාළ ධර්ම මාර්ගය, නිවන් මාර්ගය ගැන ඒ අදාළ භික්ෂුවගෙන් ප්‍රශ්න කළ යුතුයි. එසේම ඒ සමාපත්තිය ගැන, සෝතාපන්න මාර්ගය ගැන, ඵලය ගැන, සමාපත්තියට පත්වෙන ආකාරය, එයින් ඉවත් වන ආකාරය, ශුන්‍යතා විහරණය, අනිමිත්ත චෙතෝ සමාධිය, ප්‍රඥා විමුක්තිය, චිත්ත විමුක්තිය ඒ නිර්වාණ මාර්ගය, පටිසෝතගාමී මාර්ගය ඒ සියල්ල පිළිබඳ මගෙන් ප්‍රශ්න කළ යුතුය. ඒ ප්‍රශ්නකොට ඔබ වහන්සේලා මා කියන දේට එකඟ නම් පිළිගත යුතුය. නැතිනම් ප්‍රතික්‍ෂේප කළ යුතු අතර ඔබ වහන්සේලා මට ඒ නිවැරදි නිර්වාණ මාර්ගය පිළිබඳ නිවැරදි ධර්ම විග්‍රහයක් ලබාදිය යුතුය. තවද මා අසන ප්‍රශ්නවලටද පිළිතුරු ලබාදීමට කාරුණික විය යුතුය. නමුත් මීට පෙර සිදුවූයේ මට හිංසා කිරීම, ඇවිත් පහරදීම, මා ඝාතනය කිරීමට සූදානම් කිරීම, දායකයන්ට පහර දීම, බණ අහන මිනිසුන්ට පහර දීමය. එසේම ඒ සියල්ල පිළිබඳව ඔබවහන්සේලා සියලු  දෙනාම කරුණු කාරණා ඉතා හොඳින් දන්නා බව මම දනිමි. නමුත් මා ඔබ වහන්සේලා සිව්නම ගැන ඉතාම සන්තෝෂයට පත් වෙමි.
ඔබවහන්සේලා සියලු දෙනාම සඳහන් කරන්නේ සිව් වන පාරාජිකාව පිළිබඳවයි. නමුත් අපි පසුගිය දිනවල ප්‍රසිද්ධ මාධ්‍යවලත්, අන්තර්ජාලය හරහාත් භික්ෂූන් වහන්සේලා ස්ත්‍රීන්ගේ මුහුණ සිපගන්නා ඡායාරූප, සොරකම්වලට සම්බන්ධ ඡායාරූප, මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ ඡායාරූප දැක ගත්තෙමු. මේවාට ලංකාවේ චිර ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා පවා සම්බන්ධ වූ අවස්ථා අප දැක ඇත. මා සිතන්නේ මේ වනවිටත් ඔබ වහන්සේලා සිව්වන පාරාජිකාව නොව පළමු, දෙවන හා තෙවන පාරාජිකා ගැන සලකා බලා ඒවාටද පිළිතුරු ලිපි සකස් කරනවා ඇත කියාය. එසේ සකස් නොවුවහොත් මා එය දකින්නේ ඔබ වහන්සේලා ඉහත පාරජිකාවන් ත්‍රිත්වය ඉවත්කොට (සමූහනය) ඇති බවයි.
ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දැක්වූ අදහස් පිළිබඳව මා කෘතවේදීව ස්තූතිවන්ත වෙමි. එමෙන්ම ඔබ වහන්සේලා සිව්නම සමග විවෘත සභාවකදී ධර්ම සාකච්ඡාවක් (වාද) කිරීමට කැමැති වෙමි. එවිට මධ්‍යස්ථ මතධාරීන්ටද, සියලු ජනතාවටද සත්‍ය, අසත්‍ය ප්‍රකාශ කරන්නේ කවුරුන්දැයි දැනගත හැකි අතර එසේ නොමැතිව පුවත්පත් මගින් සාකච්ඡා කිරීමෙන් සිදුවන්නේ වැරදි මිථ්‍යා අදහස් සමාජගත වීම පමණි.
සිරි සමන්තභද්‍ර හිමි (පිටිදූවේ සිරිධම්ම හිමි)
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: තම රහත්බව ප්‍රශ්න කළ නාහිමිවරුන්ට පිටිදූවේ සිරිධම්ම ගෙන් පිළිතුරක් .. Rating: 5 Reviewed By: Unknown