728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday 8 December 2013

‘තිස්ස... තිස්ස...” එළිනුදුටුවේය.



35-1ආචාර්ය තිස්ස අබේසේකර සූරීන්ට උපහාර පුදමින් පසුගිය 27දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති අභිනන්දන උළෙ‍ලේදී  ‘තිස්ස... තිස්ස...” නමැති ග්‍රන්ථය එළිදැක්වීමට නියමිතව තිබුණත් එය එළිනුදුටුවේය.

අජිත් ගලප්පත්ති

 
තිස්සගේ කලින් විවාහයන්ට සම්බන්ධ අතිශයින් පෞද්ගලික කාරණා මෙසේ පළ කිරීමෙන් ඔහුගේ චරිතයට විශාල හානියක් විය හැකිව තිබුණා
- අසංකා මොණරවිල

 මෙම උළෙ‍ලේ ප්‍රධාන අංගයක් ලෙස මෙහි ආරාධනා පත්‍රයෙහි පවා ඉහළින්ම සඳහන් කොට තිබුණේ මෙම ග්‍රන්ථයයි. මෙම  උළෙ‍ලේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ අතිගරු  ජනාධිපතිතුමාට මෙම ග්‍රන්ථය  පිළිගැන්වීමට නියමිතව තිබිණි. මෙම උළෙල පැවැති දවසේ පළවූ පුවත්පත්වල පවා සඳහන්ව තිබුණේ මාගේ මෙම ග්‍රන්ථය එදින සවස් භාගයේ එළිදකින බවයි.
වඩාත් හාසේ‍යාත්පාදක කාරණය වනුයේ මෙම දැවැන්ත අභිනන්දන උළෙලින් පසු එනම් එදින රාත්‍රියේ ඇතැම් ගුවන්විදුලි නාලිකාවලින් සහ පසුදා පළවූ ඇතැම් පුවත්පත්වලද පළවූයේ මාගේ මෙම ග්‍රන්ථය එළිදුටු බවයි. සත්‍යය වනුයේ එදින මෙම ග්‍රන්ථය එළිනුදුටු බවයි. එදින සිදුවූයේ කුමක්දැයි බොහෝ දෙනෙකු එහි කර්තෘ වන මගෙන් විමසන බැවින් මෙහි සත්‍යය හෙළි කිරීම එම ග්‍රන්ථයේ කර්තෘත්වය දරන මා වෙත පැවරෙන වගකීමක් වෙයි. මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල පමණක් නොව දහසක් ඉක්ම වූ ආරාධනා පත්‍ර හැමෙකකම සඳහන් වූ මෙම ග්‍රන්ථය එදින නොපැමිණීමට හේතු නොදැක්වීමම මාගේ කීර්තිනාමයටද හානියකි. මෙය පාඨකයා සහ මාධ්‍යද මුලාකිරීමකි.
සැබැවින්ම මෙම ග්‍රන්ථය එදින එළිනුදුටුවේ තිස්ස අබේසේකර සූරීන්ගේ තෙවැනි බිරිඳ වන අසංකා මොනරවිල මැතිනියගේ විරෝධය මතයි. මෙම අනගි ග්‍රන්ථයේ ප්‍රකාශකයා ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයයි. එය ප්‍රවීණ හා ‍‍‍ජ්‍යෙෂ්ඨ කලාකරුවන් රැසකගෙන් සමන්විත ගෞරවනීය ආයතනයකි. ගතවුණු දශක දෙකක කාල පරාසය තුළ ඔවුන් දියත් කළ වගකිවයුතු ව්‍යාපෘති අතර මෙම ග්‍රන්ථය ප්‍රමුඛ තැනක් ගනු ඇතැයි සිතමි. මෙම ග්‍රන්ථයේ කතුවරයා මම වෙමි. මෙය මාගේ බුද්ධිමය දේපළකි. අබේසේකර මැතිනිය මුද්‍රණාලය වෙත ගොස් ප්‍රකාශකගේ හෝ කර්තෘගේ කිසිදු අවසරයකින් තොරව මෙම ග්‍රන්ථයේ සෝදුපත් බලමින් සිටි පිටපත ගෙදර ගෙනගොස් ඇත. එය එළිදක්වන්නට නොදෙන බවට හා එලෙස එළිදැක්වුවහොත් නීතිමය පියවරකින් එය අත්හිටුවන බවට අබේසේකර මැතිනිය මුද්‍රණකරුට පවසා ඇත. ඇයගේ තර්කය වී ඇත්තේ මෙම ග්‍රන්ථය තිස්ස අබේසේකර නාමයට ඉතා හානිකර විය හැකි දෑවලින් යුක්ත බවය. ඇයගේ පාර්ශ්වයෙන් එම තර්කය ඇයට අනුව සත්‍ය විය හැකි වුවද තිස්ස අබේසේකර වියතාණන්ගේ චරිතාපදානය ලියන කවරකුට වුවද ‘තිස්ස’ නමැති සත්‍ය චරිතය වෙනස් කළ හැකි නොවේ. යමෙකුගේ සුදුපැත්ත පමණක් වර්ණනා කිරීම චරිතාපදානයකැයි ගත නොහැකිය.
ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය සිය සංවිධානයේ පළමු සභාපතිවරයා වූ තිස්ස අබේසේකරයන්ගේ චරිත කතාව ලියන්නැයි මා හට ඇරියුම් කළේ මීට වසරකට ඉහතදීය. මම එම වගකිවයුතු අභියෝගය භාර ගතිමි. එබඳු අර්ථපූර්ණ අධ්‍යයනයකට මා හට ඇරයුම් කිරීම පිළිබඳව සහ එවැන්නකට මා සුදුසු යැයි තීන්දු කිරීම ගැන එදා සේම අදත් මම ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයට කෘතවේදී වෙමි. මෙම අධ්‍යයනය සිදුකරන අන්දම ගැන පූර්ව සැලැස්මක් ඔවුන් එකල මාගෙන් අපේක්ෂා කළ අතර මෙම ග්‍රන්ථයේ දළ සැලැස්මක් සකසා ඔවුනට දුනිමි. ඒ අනුව මම මෙම දැවැන්ත චරිතය විභාග කිරීම කොටස් 4කට බෙදීමි. එනම් ඔහුගේ ජීවිතය, ඔහුගේ කලා නිර්මාණ ජීවිතය, ඔහුගේ ශාස්ත්‍රීය හා මතවාදී ජීවිතය සමග ඔහුගේ වෘත්තීය සේවා ජීවිතය යනුවෙනි.
තිස්ස අබේසේකර සූරීන්ගේ වර්තමාන බිරිඳ විසින් මුද්‍රණයට සූදානම්ව තිබියදී වාරණය කරන ලද සිය සැමියාගේ ජීවිත කතාව පිළිබඳ ඇය සිය විරෝධය පාන්නා වූ කොටස වනුයේ තිස්සගේ ජීවිතය යන කොටසෙහි එන පරිච්ජේද කිහිපයකි. මා ඉදිරිපත් කළ යෝජනාවලියෙහි “තිස්සගේ ජීවිතය” යන කොටසෙහි මා එතුමාගේ පවුල් පසුබිම, ළමා විය, සිය පෙළපත් මහගෙදර, දෙමව්පියන්, පාසල් විය හා තරුණ විය මෙන්ම සැමියකු හා පියෙකු ලෙස ඔහුගේ පවුල් ජීවිතය ගැනද සිය දරුවන් 5 දෙනා ගැනද විමර්ශනය කරන බව සඳහන් විය. එම යෝජනාවලිය මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත්කරන ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය ඉහළින්ම පිළිගෙන අනුමත කළා පමණක් නොව එයට අබේසේකර මැතිනියද කිසිදු විරෝධතාවක් පළ නොකළාය. අනතුරුව ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය හා මා අතර අත්සන් කෙරුණු එකඟතා ගිවිසුමෙහි ද ඔවුන් මා වෙත පවරනු ලැබ ඇත්තේ “තිස්ස අබේසේකර චරිතාපදානය” ලියන ලෙසය. තිස්ස අබේසේකර වියතාණන්ගේ චරිතය සැබැවින්ම දැකීම සඳහා සිය දරුවන් පස් දෙනා ගැනද ලිවිය යුතු යැයි මා සිතුවේ එබැවිනි. ඔහුගේ විවාහ බන්ධන තුනම ගැන අධ්‍යයනය කිරීමෙන් මා වෑයම් කළේ මෙම අද්විතීය චරිතයේ ස්වභාවය සැබැවින්ම දකින්නටය. එසේ නොමැතිව මෙම මිනිසාට සුදුහුණු ගාමින් උපහාරාත්මක අභිනන්දන ග්‍රන්ථයක් යමකුට ලියන්නට පැවරුවා නම් එය ඉතා පහසුවෙන් කළ හැකි ව්‍යාජයකි. මා වැන්නකුගෙන් එවැනි ප්‍රශස්ත ගැයුම් සිදුනොවන වග දැනගත් අසංකා මොනරවිල මැතිනිය අවසන් මොහොතෙහි මෙම ග්‍රන්ථය තමා අතට ගන්නේ ඒ අනුවය.
ඇය විරෝධය දක්වන ලද්දේ මෙහි මා තිස්සගේ පෙර දරුවන් හා පෙර විවාහ ගැන වූ පරිච්ජේදවලටය. තිස්ස තම ළමා වියෙහි දුක් විඳි අන්දම විස්තර කෙරෙන පරිච්ජේදවලටය. තමා අන්ත දුක්ඛිත තත්ත්වයට පත්ව කුලී ගෙවල්වල විසූ වග තිස්සම ලියා ඇත. තිස්ස තම දරුවන් පස්දෙනාටම අසීමිතව ආදරය කළේය. සිය පෙර විවාහවල දරුවන්ගේ විවාහ උත්සවවලට පවා පියා ලෙස ඔහු සහභාගි වූයේය. මිල මුදල් වස්තුවෙන් හැකි පමණින් දරුවන්ට සිය යුතුකම් ඉටු කළේය. පෙර භාර්යාවන් පවා තිස්සගේ එවැනි උතුම් ගුණ වර්ණනා කළහ. මෙබඳු සුබවාදී මෙන්ම අසුබවාදී ගති ස්වභාවද මෙම පෘථග්ජන මිනිසා තුළ ඇති වග මම සංසන්දනාත්මකව විග්‍රහ කළේ මේ අද්විතීය චරිතය මතු කෙරෙන අන්දමිනි. අසංකා මොනරවිල මහත්මිය මුද්‍රණාලයට ගොස් ඩැහැගන්නා ලද මෙම කෘතියෙන් තිස්ස අබේසේකර වියතාණන්ගේ පෙර විවාහ හා එහි දරුවන් ගැන සඳහන් පරිච්ජේද සිය සිතැඟි පරිදි සංස්කරණය කොට ඇත්තේ මහා ‍ලේඛකයකුගේ දැනුවත් බිරිඳක ලෙස නොවේ.
මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කරන ටෙලි නිර්මාණවේදීගේ සංසදයේ උගත්, ප්‍රවීණ, ශ්‍රේෂ්ඨ කලාකරුවන්ගෙන් සැදුම් ලත් විධායක සභාව විසින් මුද්‍රණයට පෙර මෙහි මුල් පිටපත කියවා පිරික්සන ලදී. තිස්සගේ පෞද්ගලික ජීවිතයට අමතරව සිය කලා ජීවිතය, මතවාදී ජීවිතය හා වෘත්තීය ජීවිතය අරභයා තවත් පරිච්ජේද 45කි. ඒ කිසිවකට කිසිවකු අත තබා නොමැතිවීම සතුටකි. යමෙකුගේ චරිතාපදානය සිය නිවැසියන්ට වුවමනා ලෙසකට ලිවිය හැකිද?
ජෝ අබේවික්‍රම රංගවේදියාගේ ජීවිත කතාව ලියන මහාචාර්ය ආරියරත්න ඇතුගල දැව සංස්ථාවේ සභාපතිව සිටියදී මු. අරුක්ගොඩ මහතා සමග එක්ව කළ කී දෑ නම්ගම් සහිතව විස්තර කරනුයේ චරිත ඝාතනයකට නොවේ. ජෝ හෝ කිසිවෙකු ඒවාට වාරණ පැනවූයේ නැත. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චරිතාපදානය ලියන මහාචාර්ය සුනිල් ආරියරත්න මේ මහා සිනමාවේදියා කලින් විවාහ වූ විදේශීය කාන්තාව ගැන සිය ග්‍රන්ථයෙහි විස්තර කරයි. ලෙස්ටර් හෝ සුමිත්‍රා පීරිස් මහත්මිය උඩපැන්නේ නැත. මන්ද යත් ඊට වඩා උතුම් යමක් ඔවුන් සතු නිසාය. අසංකා මොනරවිල මහත්මිය “තිස්ස... තිස්ස” ග්‍රන්ථයේ පිටු කපාකොටා ඇති අන්දම දුටු විට මාගේ හිත කඩාවැටුණේ ‘විරාගය’ චිත්‍රපටය එහි නිෂ්පාදිකාව විසින් කපා කොටද්දී තිස්ස තුළ හටගත් සංවේගයට සමානවමය. “ටෙලිනිස” මෙම ග්‍රන්ථය අත්පා නොමැති දරුවකු ලෙස හෝ උපද්දවන්නට දක්වන උත්සාහයට මම කෘතවේදී වෙමි. මන්ද යත් තිස්ස අයිති මුළු ලෝකයටම වන බැවිනි.
අජිත් ගලප්පත්ති
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ‘තිස්ස... තිස්ස...” එළිනුදුටුවේය. Rating: 5 Reviewed By: Unknown