මහාචාර්ය සෙනරත් පරණවිතානයන් අනුරාධපුරයේ රාජකාරි කරන කාලයේදී අනුරපුරයේ පිහිටි රජයේ නිල නිවාසයක නතරවී සිටියේය. එක් දිනක පරණවිතාන මහතාගේ සුවදුක් සොයා බැලීම සඳහා ඔහුගේ සොහොයුරියක් වූ සිසිලියා පරණවිතාන මහත්මිය මෙම නිල නිවසට පැමිණියාය. ඇය පරණවිතාන මහතාගේ සුවදුක් සොයා බැලීමෙන් පසු ටික දිනක් මෙම නිල නිවසේ නතරවී සිටියාය.
එක් දිනක උදැසන සිසිලියා පරණවිතාන මහත්මිය විසින් දොඩම් යුෂ වීදුරුවක් පරණවිතාන මහතාට පිළිගැන්වූවාය. කොයින්ද? අක්‌කේ දොඩම් පරණවිතාන මහතා ඇසුවේය. මේ වත්තේ ගහෙන් කඩා ගත්තා සිසිලියා පරණවිතාන පිළිවදන් බැන්දාය.
ආණ්‌ඩුවේ වත්තේ තියෙන දොඩම්ගස්‌වල දොඩම් මට අයිති නෑ අක්‌කේ. ඒ දොඩම් ගෙඩි අක්‌කා කැඩුවත් මම කැඩුවා වාගේ නේ පරණවිතාන මහතා කියන්නට විය. ඉක්‌බිති පරණවිතාන මහතා එවකට දොඩම් ගෙඩියක මිල ශත පහක් වූ හෙයින් දොඩම් ගෙඩි හය සඳහා ශත තිහක මුදල් ඇනවුම් පතක් පුරාවිද්‍යා කාර්යාලයට යෑවීමට කටයුතු කළේය.
මහැදුරු පරණවිතාන ශූරීන් රජයේ දේපළ පරිහරණය කළේ ඒ අයුරිනි. පරණවිතානයන් අපේ සංස්‌කෘතික උරුමයන් ලෝකයාට මෙන්ම සිංහලයන්ටත් හරි හැටි කියා දීමට සමත් වූ විද්වතෙකි. ඔහුගෙන් පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයට සිදුවූයේ සුවිශේෂි වූ කාර්ය භාරයකි. මේ විද්වතාගේ ජීවිතය නොයෙකුත් රසවත් සිද්ධීන්වලින්ද ගහනය. අප මේ කියන්නට යන්නේද පරණවිතාන ශූරීන්ගේ ජීවිතය හා බැඳුණු රසවත් කතාන්දරයන්ය.
වඳුරන්ගේ රජදහනක
එක් දිනක් පරණවිතාන මහතා පුරාවිද්‍යාත්මක කටයුත්තක් සඳහා මිහින්තලය බලා මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියේය. මෙසේ ගමන් කරමින් සිටින අතරතුරේ පුත්තලම අනුරාධපුර මාර්ගයේ වඳුරු රෑනක් පාර වසාගෙන රැස්‌ව සිටියහ. මෝටර් රථයේ රියෑදුරු වාහනය නතර කොට වඳුරු රෑළ එළවා දැමීම සඳහා රථයේ නළාව නාද කරන්නට විය.
ඇයි ඩ්‍රැයිවර් උන්නැහේ මොකක්‌ද ප්‍රශ්නේ පරණවිතාන මහතා ඇසුවේය. වඳුරෝ රංචුවක් ඉන්නවා සර් පාර මැද කොච්චර හෝන් කළත් උන් අයින් වෙන්නේ නැහැ. රියෑදුරු පරණවිතාන මහතාට උත්තර බැන්ඳේය. එහෙම කරන්න එපා කාර් එක නවත්තපන් වඳුරෝ උන්ගේ රාජ සභාව පවත්වනවා ඇති. අපේ මැති ඇමැති ගොල්ලෝ රාජ සභාව පවත්වන වේලාවට එලවා දැමුවොත් මොකද වෙන්නේ රියෑදුරුගෙන් එසේ ප්‍රශ්න කළ පරණවිතාන මහතා වඳුරු රැළ මාර්ගයෙන් ඉවත්වූ පසු යන්නට ගියේය.
ගිනි පෙට්‌ටිය දෙපාර්තමේන්තුවේ නිසා සිගරට් බීමත් එපාවෙලා
පරණවිතාන මහතා සිගරට් බීමට ප්‍රිය කළ පුද්ගලයෙකි. ඔහු පර්යේෂණ කටයුත්තකට යමින් සිටියදී සිගරට්‌ටුවක් බීමට අවශ්‍ය විය. සිගරැට්‌ටුව දල්වා ගැනීම සඳහා වැඩ අධිකාරිගෙන් ගිනි පෙට්‌ටියක් ඉල්ලුවේය. සර් ගිනි පෙට්‌ටියක් නම් තියෙනවා හැබැයි ඒක දෙපාර්තමේන්තුවේ වැඩ අධිකාරි කීවේය. එහෙනම් ඉතිං සිගරට් නොබී ඉන්නයි වෙන්නේ. මේ ගිනි පෙට්‌ටියෙන් සිගරට් පත්තුකරන එක හොඳ මදි පරණවිතානයන් කීවේය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ගිනි පෙට්‌ටියේ එක් ගිනි කූරකින් හෝ සිගරැට්‌ටුව දල්වා ගැනීමට අකමැති වූ පරණවිතාන මහතා ගිනි පෙට්‌ටිය ආපසු දී සිගරැට්‌ටුව බීමේ අදහස අතහැර දැම්මේය.
මේ පරණවිතාණයන්ගේ ජීවිතය හා බැඳුණු තවත් කතාන්දරයකි.
පුරාවිද්‍යා වැඩමුළුවකට යැම සඳහා ඉක්‌මනින් තමාට මෝටර් රථයක් සූදානම් කරන ලෙසට පරණවිතාන මහතා රියෑදුරුට දැන්වීය. මෝටර් රථය ඉදිරියෙන් කූඹී රැළක් ගමන් කරනු පරණවිතාන මහතා දුටුවේය. දැන්නම් ඉතිං මේ ගමන යන්න වෙන් නැහැ. පරණවිතාන මහතා මුමුණන්නට විය. ඒ ඇයි සර් රියෑදුරු ඇසුවේය. උඹට පේන්නේ නැද්ද වාහනය ඉදිරියෙන් කූඹි රැළක් යනවා පරණවිතාන මහතා සැරෙන් කීවේය.
කූඹි රැළ නම් පේනවා සර් මුන් යනකම් කොච්චර වෙලාවක් බලාගෙන ඉන්නද? රියෑදුරු ප්‍රශ්න කළේය. කරන්න දෙයක් නැහැ. ඔය කූඹී පේළිය ගිහින් ඉවර වුණහම මේ ගමන යමු. පරණවිතාන මහතා රියෑදුරුට කීවේය. ඉක්‌බිති පරණවිතානයන් කූඹී රැළ දෙස දැස් දල්වා බලාගෙන සිටියේය. සැබවින්ම පරණ විතානයන් කූඹීන්ට පවා ආදරය කළ මිනිසෙකි. එමෙන්ම ගහ කොළ සතා සිවුපාවන්ට මෙන්ම පුරාවස්‌තුවලට දැඩිව ආදරය කළ විද්වතෙකි.
කැණීම් කටයුතු හා ගවේෂණ වලින් සොයා ගන්නා ලද පුරාවස්‌තු සඳහා නිසි ගෞරවය හා ආරක්‍ෂාව ලබාදීම සඳහා පරණවිතාන ශූරීන් හැම විටම කටයුතු කළේය. අඩුම තරමින් පුරාවස්‌තූන් ගැන තම බිරිඳ සමගවත් පරණවිතාන මහතා කතා බහ කළේ නැත. ඇතැම් අවස්‌ථාවලදී ඉතා වටිනා ධාතූන් වහන්සේලා නිසි ස්‌ථානයක ගබඩාකරන තුරු නිවසේ තබාගත් බව තම බිරිඳටවත් පරණවිතාන මහතා පැවසුවේ නැත.
ඔය කැණීම්වලින් ඉතා වටිනා දේවල් ලැබෙනවා නේද මහත්තයා පරණවිතාන මහතාගේ බිරිඳ එක් දිනක් පරණවිතානයන්ගෙන් ඇසුවේය. පරණවිතාන මහතා මේ සඳහා ලබා දුන්නේ හරි අපූරු පිළිතුරකි. වටිනාකම මනින්නේ රත්රන්, මැණික් වගේ දේවලින් විතරක් නෙවෙයි කෙරනා කැණීම්වලින් හමුවෙන රත්තරන්වලට වඩා මැටි කෑල්ලක කියන්න බැරි තරම් වටිනාකමක් තියෙනවා. පරණවිතාන ශූරීන් කීවේය.
පරණවිතානයන් තමන් දරන මතය නිර්භීතව ප්‍රකාශ කළ අයෙකි. තම අදහස් සෘජුව ප්‍රකාශ කිරීමට ඔහු කිසි විටෙකවත් පසුබට වූයේ නැත. දිනක් අනුරාධපුරයේ මහා ස්‌ථූපය අසලදී රාජ සභා මන්ත්‍රීවරයෙක් පරණවිතාන මහතාට හමුවිය. මහාචාර්යතුමා ඉස්‌සර කාලේ මිනිසුන්ට මේ වගේ ලොකු ගොඩනැඟිලි හදන්න පුළුවන් වුණේ කොහොමද? ඒ කාලේ මිනිසුන් යෝධයෝ වගේ ඉන්න ඇති මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
එහෙම යෝධයෝ හිටියේ නැහැ මන්ත්‍රීතුමා. අපේ තරමේ මිනිසුන් තමයි හිටියේ. ඒ කාලේ මේ තරම් වැඩකරන්න පුළුවන් වුණේ දැන් වගේ රාජ සභාවල දිග කතා පැවැත්වූවේ නැති නිසයි පරණවිතාන මහතා ඇඟට පතට නොදැනි මන්ත්‍රීතුමාට එසේ කීවේය. පරණවිතානයන් රජයේ දේපළ අයුතු ලෙස පරිහරණය කළේ නැත. ඔහු වනයටද දැක්‌වූයේ දැඩි ආදරයකි.
පරණවිතානයන් එක් දිනක තම ඔස්‌ටින් කාර් රථයෙන් පුරාවිද්‍යා කටයුත්තකට ගොස් ආපසු එමින් සිටියදී හිටි හැටියේම කාර් රථයේ දෝෂයක් ඇතිවිය. කාරය හදා ගැනීම සඳහා ගරාජයක නතර කළේය. කාර් රථයේ ඩිකියේ කළුවර ලී කොටයකි. ඩ්‍රැයිවර් උන්නැහේ කොහෙන්ද මේ කළුවර ලී කොටය පරණවිතානයන් රියෑදුරුගෙන් විමසුවේය. සර් ලී කොටය පාර අයිනේ තිබුණේ. ඒක නිසා මම කාර් රථයට දා ගත්තා.
තමුන් කරලා තියෙන්නේ ලොකු වැරැද්දක් වනය අයිති අපට නෙවෙයි මේ ලී කොටය අයිති වනාන්තරයට. රියෑදුරුට එසේ පැවසූ පරණවිතානයන් කාර් රථය හදා ගැනීමෙන් පසු කළුවර ලී කොටය තිබූ ස්‌ථානයටම ගෙනවිත් දැමීමට රියෑදුරුට උපදෙස් දුන්නේය. සැබවින්ම පරණවිතාන ශූරීන්ගේ චරිතයෙන් ගත හැකි පාඩම් බොහෝය. රට සහල් හිඟයකට මුහුණ පා ඇති අවස්‌ථාවකදී පරණවිතානයන් තමන්ට හිමි සලාක පොත රජයට පරිත්‍යාග කළේය. මේ ගැන එවකට හිටපු අගමැති වූ ඩඩ්ලි සේනානායක මහතා විසින් පරණවිතානයන් කළ ආත්ම පරිත්‍යාගය ගැන සඳහන් කරමින් ලිපියක්‌ද යෑව්වේය.
පරණවිතානයන් ගැන සඳහන් කරන විට සීගිරිය ගැනද සඳහන් කළ යුතුමය. මක් නිසාද යත් සීගිරිය පිළිබඳ අධ්‍යයනය කිරීමේදී අපේ මතකයට නිතැතින් නැඟෙන නාමයක් ලෙස පරණවිතාන නාමය සඳහන් කළ හැකි බැවිනි. කොටින්ම කිවහොත් සීගිරියයි පරණවිතානයි යනු දෙකක් නොව එකකි. සීගිරි කුරුටු ගී 685 කියවීම සඳහා පරණවිතානයන් සීගිරියට දහස් වරකට වැඩියෙන් ඉහළ පහළ ගමන් කරන්නට ඇත. කාශ්‍යප රජු විසින් සීගිරි ආලකමන්දාවෙන් මුසපත්ව එහි සිට මුළු රටම පාලනය කළා සේ පරණවිතානයන්ද සීගිරියට මුල්තැන දෙමින් මුළු මහත් දෙරණ මත වූ පුරාවස්‌තු පිළිබඳ පරීක්‍ෂා කළේය.
පරණවිතානයන් සීගිරිය කෙරෙහි තමන්ගේ වැඩිපුර අවධානය යොමු කරවන්නේ ඔහු 1940 න් පසු පුරාවිද්‍යා කොමසාරිස් ධුරයට පත්වීමෙන් පසුවය. සීගිරියේ ගවේෂණ කටයුතු සඳහා පරණවිතානයන් නතරව සිටියේ සීගිරියේ පොල්අතු බගංලාවකය. එවකට සීගිරිය අතිදුෂ්කර ගම්මානයකි. පරණවිතාන ශූරීන් මෙකී ගැමි පරිසරයට මෙන්ම ගැමියන්ටද දැඩිව ආදරය කළේය.
පරණවිතාන මහතාගේ කාලයේදී සීගිරියේ විවිධ වූ පුරාවිද්‍යාත්මක රාජකාරි ඉටු කළ තැනැත්තන් කිහිප දෙනෙකු අදත් ජීවතුන් අතර සිටිති. දැනට අසූවන වියේ පසුවන එම්. ජී. මුදියන්සේ මහතා ඉන් එක් අයෙකි. මුදියන්සේ මහතා පරණවිතාන මහතා සිටි කාලයේ කැණීම් හා තහවුරු කිරීම් කළ අයෙකි.
ඇත්තටම පරණවිතාන මහත්තයා කියන්නේ දෙවියෙක්. ඒ දවස්‌වල පඩිය වශයෙන් ලැබුණේ රුපියලක මුදලක්. වැඩ කරපු හැම කෙනෙක් ගැනම ඔහු හොඳට හොයලා බැලුවා. ඒ විතරක් නෙවෙයි සීගිරියේ ගැමියන්ට මෙන්ම සීගිරියටත් පුදුම විදියට ආදරය කළා. පැන්ෂන් යන්නට කලින් දවසේ සීගිරියට ඇවිත් ගියා. මටත් යන්නම් කියලයි ගියේ. මුදියන්සේ පරණවිතාන ශූරීන් ගැන සඳහන් කරන්නේ ඒ අයුරිනි.
සීගිරියේ රාජකාරි කරන අවදියේදී පරණ විතානයන් සීගිරි ගැමියන් ගැන දැඩි උනන්දුවකින් කටයුතු කළේය. සීගිරිය ගල අවට කුඹුරු පුරන්ව ඇති ආකාරය දුටු පරණවිතාන මහතා ඒ ගැන දිනක් ගැමියන්ගෙන් ප්‍රශ්න කළේය. අනේ සර් පුරාවිද්‍යාවේ වැඩට එන නිසා කුඹුරු වපුරන්න වේලාවක් නැහැ ගම්මුන් ප්‍රකාශ කළහ.
ඒකත් එහෙමද? තමුන්ලාට උදේ 6.00 ට වැඩට එන්න පුළුවන්ද පරණවිතාන මහතා ගම්මුන්ගෙන් ඇසුවේය. පුළුවන් සර් ගම්මුන් පිළිතුරු දුන්නා. එහෙනම් උදේ 6.00 ට ඇවිත් හවස 2.30 ට වැඩ අවසන් කොට ඉන්පසු තමන්ගේ කුඹුරු වපුරණවා පරණවිතානයන් කීවේය. ඉන්පසු සීගිරි ගල අවට කුඹුරු පුරන් වූයේ නැත. එම කුඹුරු යායන් කරලින් බරවූ විට පරණවිතාන මහතා ඒ දෙස ඉතා ඕනෑ කමින් බලා සිටින බැව් මුදියන්සේ උන්නැහේ කීවේය.
ඇත්තටම ඒ කාලයේ සීගිරියේ ගම්මුන්ට නම් පරණවිතාන මහත්තයා එනවා කියන්නේ රජෙක් ආව වගේ කියල තමයි කියන්නේ. සීගිරියේ ගැමි ජනතාව පරණවිතාන මහතා සීගිරියට එන දවසට වැසි වසින බව විශ්වාස කළා. සීගිරියේ බඹුරුන් වුවද එදාත් සිටින්නට ඇති. මාත් වසර දහයක් විතර සීගිරියේ වැඩ කළා. බඹරුන්ගෙන් කිසිදු කරදරයක් වුණේ නැහැ. ඇත්තටම කාශ්‍යප රජදහන සුරකින්නන් පරිසරය විසින් ආරක්‍ෂා කරනවා. පුරා විද්‍යාඥ ගාමිණී දොඩම්වල මා සමග කීවේය.
පරණවිතානයන් තම කෑම වේල පිළිබඳවද එතරම් උනන්දුවක් දැක්‌වූ අයෙකු නොවේ. පරණවිතාන මහතා පොල්අතු බංගලාවේ සිටින කාලයේදී ආහාර පිළියෙල කළේ බංගලාවේ භාරකරුය. දිනක් රාත්‍රි ආහාර සඳහා ලුණු දැමීමට බංගලා භාරකරුට අමතක විය. පරණවිතාන මහතාද මේ ගැන කිසිදු විශේෂත්වයක් නොමැතිව ආහාර ගත්තේය. පසුදින බංගලා භාරකරු මේ ගැන පරණවිතාන මහතාට පවසා තිබේ. ආ ඇත්තද ලුණු දාල නෙවෙයිද කෑම සකස් කළේ කියා පරණවිතාන මහතා විමසා ඇත.
සෙනරත් පරණවිතාන මහතාගේ අවසන් කාලයේ ඔහුගේ නිවසේ රැඳි සිටියේ ලයනල් රණසිංහ මහතාය. පරණවිතාන මහතා නිවසේ වැඩකටයුතු ගැන එතරම් හොයා බැලුවේ නැත. නිවසේ පරිපාලන කටයුතු සියල්ලක්‌ම සිදුකළේ ලයනල්ය.
මහත්තයා උදේ පාන්දරින්ම අවදිවෙනවා පළමුවෙන්ම කරන්නේ ලියන මේසය වෙත ගොස් සෙල් ලිපියක පිටපතක් කියවීම හෝ පත්තරයකට ලිපියක් ලිවීම වැනි ශාස්‌ත්‍රීය කටයුත්තක්. උදැසන ආහාර ගැනීමෙන් පසුවත් එම කාර්යේම නිරත වෙනවා. සවස් කාලයේ විවේකයෙන් තමයි ගත කළේ. සෑම දිනකම හවසට මට රුපියල් පහක් දෙනවා ටවුමට ගිහින් ඕන දෙයක් අර ගන්නවා කියමින්. කිසිම දිනක පරණවිතාන මහතා අපට වැඩකාරයන්ට වගේ සැලකුවේ නැහැ. ලයනල් රණසිංහ කීවේය.
පරණවිතාන මහතා තමා ළඟ සිටි සේවකයන් අමතක කළේ නැත. ලයනල් රණසිංහට වැඩ කළ සෑම වසරකටම රුපියල් 150 බැගින් ලබා දීමටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ රැකියාවක් ලබා දීමටත් කටයුතු කරන ලෙස තම අන්තිම කැමති පත්‍රයේ සටහන් කරමින් මහා භාරකාර තුමාගෙන් ඉල්ලා සිටියේය.
මහැදුරු සෙනරත් පරණ විතාන ශූරීන් ගැන මේ ආකාරයෙන් සඳහන් කළේ ඔහුගේ 114 වැනි ජන්ම දිනය නිසාය. මහැදුරු ආවර්ජනා නමින් ප්‍රදර්ශනයක්‌ද මේ දිනවල ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේදී පැවැත්වේ. මෙකී ප්‍රදර්ශනයේදී මහාචාර්ය පරණවිතානයන්ගේ ජීවිතයේ වැදගත් අවස්‌ථා විදහා දක්‌වන ඡායාරූප, එතුමා පරිහරණය කළ භාණ්‌ඩ දැක බලා ගත හැකිය. මහැදුරු පරණවිතානයන් පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයට කරන ලද කාර්ය භාරය සීගිරි කුරුටු ගී කියවීමේදී එතුමා දැක්‌වූ විශිෂ්ටත්වය, කැටයම් චිත්‍ර, මූර්ති සම්බන්ධයෙන් පරණවිතානයන් කළ සේවය මෙම ප්‍රදර්ශනයේදී අධ්‍යයනය කළ හැකිය.
මීට අමතරව පරණවිතානයන් පරිහරණය කරනු ලැබූ භාණ්‌ඩ, එතුමාගේ පෞද්ගලික, ලිපිගොනුව, ලබාගත් පදක්‌කම් සහතික පත්‍ර ආදි දුර්ලභ ගණයේ පුරාවස්‌තු රැසක් මෙම ප්‍රදර්ශනයේදී දැක බලා ගැනීමේ අවස්‌ථාව උදාවේ. මධ්‍යම සංස්‌කෘතික අරමුදලත්, ගාල්ල මහ නගර සභාවත්, ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයත් එක්‌ව සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය 26 වැනි දින දක්‌වා පැවැත්වෙන බැව් පුරාවිද්‍යාඥ ගාමිණී දොඩම්වල කීවේය.
පරණවිතාන ශූරීන් ගැන පැවැති ප්‍රදර්ශනයේදී ගාල්ල අතිරේක දිස්‌ත්‍රික් ලේකම් එම්. කේ. බන්දුල හරිස්‌චන්ද්‍ර මහතා සටහන් කළ වැකියකින් මෙම ලිපිය අවසන් කිරීමට මට සිත්විය. දෙරණ, පොරණ, සරණ, පරණ යනුවෙන් ඔහු සටහන් කළේය.
තොරතුරු ලබාදුන් පුරාවිද්‍යාඥ
ගාමිණී දොඩම්වල මහතාට විශේෂ ස්‌තුතිය
ලලිත් චාමින්ද - ගාල්ල
0 comments:
Post a Comment