728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday 27 April 2014

පියසේන කහඳගමගේ

මේ ජනශ්‍රැතිවේදියාගේ ප්‍රථම කෘතිය වූයේ 1979 ලියූ ඉබේ ම නැළවියන් පුතේ කාව්‍ය සංග්‍රහයයි. අනතුරුව ‘විත්ති’ සාහිත්‍ය කෘති දෙකක් ද, නවකතා කෘති පහක් ද, යොවුන් සාහිත්‍ය කෘති හයක් ද, ළමා සාහිත්‍ය කෘති තුනක් හා අපේ දේශයේ අනන්‍යතාව මනාව පසක් කළ ශාස්ත්‍රීය පර්යේෂණ කෘති හතක්ම ද මෙතුමාගේ පෑන් තුඩින් ගිලිහිනි.

මේ අතර අපේ පියසේන කහඳගමගේ වියතාණන්ගේ 1992 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පුද ලද ‘කමත’ කෘතිය, මෙතෙක් කමත පිළිබඳ ලියැවුණු පුළුල් ම කෘතිය බව මහාචාර්යවරු සපථ කරති.




සුසිනිදු උඩිවියන් පහස නොලද මුත්, සිවිසිතුරු නෙකවරණ සුපුෂ්පිතයන් මල්වර වුණු වන වදුලු ඔහු සිරස මත වියන් බැඳින. රළුපරලු ගල් බොරළු මෙන් ම ‘පහය්යාපත්’ (පරඬැලා පත්) පාවහන් නොපැලඳි ඔහුගේ දෙපා සිපගත් විල්ලූද පා වියන්ම වි. පැල පිළ හා ‘දිබ්බැද්ද’ (මහ කැළෑව) පුරාවට නිරතුරුව විනිවිද යැවුණේ ඔහුගේ තියුණු බැල්මයි.
එමෙන් ම කැලේ කොළේ පැලේ පිළේ ලැගි ඇත්තන්ගේ දහදිය පුසුඹින් මුව දොවාගත් දහදිය නොහිමි සුවඳින් ම යුත් ගැමිකම හරිහමන් අයුරින් පිළිබිඹු කරන අව්‍යාජ ගැමියකු වූ මොහු සත් වසරකට පෙරාතුව අප අතරින් සමුගත් ‘පියසේන කහඳගමගේ’ නැමැති අපූරුතම ජනශ්‍රැතිවේදියා වන්නේ ය.
1944 - 12 - 03 වන දින මාතර ඌරුගමුවේ වෙහෙරගොඩ ගොවි පවුලක උපත ලද පියසේන දරුවාට දෙමහල්ලන්ගේ වාසස්ථාන මාරුවත් සමඟ අම්පාර කොහොඹානේ වෑරන්කැටගොඩ ගොවි ජනපදයට යෑමට සිදුවිය. ජනපදික ගැමි පාසලක් වූ ඌරුගමුවේ රජයේ පාසලේ උසස් පෙළ දක්වා ඉගෙන ගත් පියසේන කාලයාගේ ඇවෑමෙන් 1964 ශිෂ්‍ය ගුරු පත්වීමක් ලබා ගුරු සේවාව නමෝ විත්තියෙන් ම ඇරඹූයේ අම්පාර බණ්ඩාරදූව රජයේ විද්‍යාලයෙනි.
ඉනික්බිති ව ගුරු පුහුණුව සඳහා 1966 දී මොහු හිඟුරක්ගොඩ ගුරු අභ්‍යාස විද්‍යාලයට පිවිසියේ ය. එහි ගුරු සොයුරකු ලෙස මට මුණ ගැසුණු යාවජීව හිතවතා වූයේ ද පියසේන කහඳගමගේ ගුරු සොහොයුරා බව, දෙවසරක් පුරාවට අප දෙදෙනා අතර පැවැති හිතෛෂීභාවය සැබෑ දෙස් ය. 1968 වසරේ සිට සිංහල පුහුණු ගුරුවරයකු ලෙස සේවය සඳහා මහ ඔය උණු වතුර බුබුල විදුහලට පැමිණි පියසේනයෝ වන්නිකරයේ ගැමි දරු දැරියන්ගේ ශිල්ප පිපාසාව සංසිඳවීමට අපරිමිත වෙහෙසකර වෑයමක යෙදුණාහ.
මේ අතර කෙටි කලෙකදී අහිංසක දරු දැරියන්ගේ පමණක් නොව, කර්කෂ ජීවන වෘත්තිය සඳහා දිවා රෑ පොර බදන දෙගුරුන්ගේ ද විද්‍යාලයීය ගුරු මඩුල්ලේ ද, ගෞරවය නොමඳ ව ලැබුණු පියසේන කහඳගමගේ ගුරුතුමා කෙරේ අම්පාර දිස්ත්‍රික්කය ආවරණය කරන ලද ගුරු භවත්හු ද විශ්වාසනීය ගරුත්වයක් දැක්වූහ. ඔවුන් හමුවේ ඉඳුකිලක් සේ සෘජු ව කැපී පෙනුණ මොහු සියලු ම ගුරු භවතුන්ගේ සිත් දිනාගෙන ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ ප්‍රාදේශීය නායකත්වයට තේරී පත්විය.
එතැන් පටන් කොට ගුරු සේවාවේ අභිමානයත්, ගෞරවයත් වෙනුවෙන් කාර්යශීලී දක්ෂ නායකයකු ලෙස ඇපකැප වූ නිසා ම පියසේනයෝ ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ ජාතික තලයේ නායකත්වයෙන් පිදුම් ලැබූහ. ඒ අතරතුර බාලවියේ සිට ම කාව්‍යකරණයට සහජ දක්ෂතා දැක්වූ මොහුට ගුරු සංගමය මඟින් දියත් කළ ‘ගුරුරැස’ පුවත්පතේ (කාව්‍ය පත්‍රයේ) කතුවරයා වීමේ භාග්‍යය ලැබුණි. එනිසාම නිර්මාණ කුසලතා ඇති ගුරු භවතුන්ට අතහිත දී ඔවුන් පසිඳු කවීන් අතර ඔසවා තැබීමට “ගුරුරැස” කවිපතේ කතුවර පියසේනයන්ට හැකිවිය. එනයින් ම එදා ගුරුතරු ජනපි‍්‍රය කිවිවරු අම්පාර දිස්ත්‍රික්කයෙන් පහළ වූ බව නොරහසකි. ඔහු අත්වැලක් කරගත් ජනපි‍්‍රය කිවියන් අදත් අම්පාර දිස්ත්‍රිකය තුළ කීර්තිමත් කිවිපතීන් වී සිටින බව ඔවුන්ගේ කාව්‍යකරණයන්ගෙන් ම මතු ව එයි.
එසේ ම එවකට තාරුණ්‍යයේ පසුවුණු පියසේන කහඳගමගේ ගුරුතුමා සමාජයීය කුදුමහත් පොදු කාර්යභාරයන්හි පෙරමුණ ගෙන ක්‍රියා කළ නිසාවෙන්, වෘත්තිය සමිති ව්‍යාපාරයන් නව පණක් ගසා අයුක්තිය වෙනුවෙන් නැඟී සිටි අවස්ථා බෙහෙවි. වෘත්තීය සමිති ව්‍යාපාරයෙහි ප්‍රබලතම ක්‍රියා - කාරීක නායකයෙකු වී ජනතා අරගලවලදී ගර්ජන, තර්ජන හමුවේ ඉදිරිපෙළ නියෝජනය කළ පියසේනයෝ හැප්පිලි - පිප්පිලි හා අයුක්තිය හමුවේ අසිපතක් සේ (කගක්සේ) නැගී සිටියහ.
එපමණක් නොව අසාධාරණයට විරිදුව සෘජු ක්‍රියාකාරී වැඩපිළිවල් යෙදූ, මොහු කා අතරත් ප්‍රසිද්ධ වූයේ, පියසේන කහඳගමගේ නමින් නොව ‘ක. ග.’ නමිනි. සාධාරණයට නම්‍යශීලි වී හිස නමන අතර, අසාධාරණයට ‘කගක්’ සෙයින් පෙරමුණ ගත් මෙතුමෝ සිංහල ගුරුකම ක්‍රියාවෙන් පමණක් නොව ජාතික ඇඳුමෙන් පවා ප්‍රදර්ශනය කළහ.
නිරතුරු ව සිනහමුසු මුව බුලත් විටෙන් හැඩ වැඩ කරගත් මේ අනතිමානී පුංචි මිනිසාගේ (ගුරු භවතාගේ) සාධාරණ ප්‍රතිපත්තිවල තරම ඉවසා දරාගත නොහැකි වූ බලධාරීහු ඔහුගේ එඩිතර බව ආණ්ඩු මට්ටු කරන්නට ගත් නිවට ක්‍රියාවන් හමුවේ මේ යුක්තිසහගත ගුරු භවතාට වරින්වර ස්ථාන මාරුවීම් දෙමින් යැවිය හැකි අති දුෂ්කර පාසල්වලට යැවූහ. ඒ සියලු ම ස්ථාන මාරුවීම් වහා ම ක්‍රියාත්මක වන පරිදි සිදු කළහ. අප රට රාජ්‍ය සේවය ගත් කල්හි, රාජ්‍ය සේවකයකුට ලැබුණු ඓතිහාසික ස්ථාන මාරු සංඛ්‍යාවට උරුමකම් කියනු ලබන්නේ ද පියසේන ගුරුතුමා ම ය.
එතුමා එදා පැවසූ ආකාරයට වහාම ක්‍රියාත්මක වීමේ ස්ථාන මාරු දෙසතළිසක් පමණ වෙයි. මේසා මහත් ස්ථාන මාරුවීම් කන්දරාවක් මොහුට ලැබුණත්, ඒ කිසිවකට නොසැලී, නිවට නියාලු බලධාරීන්ට ‘ඔච්චං’ කරමින් ඒ පාසල් සියල්ලට ම පියසේනයන් ගියේ බන්දේසියක තබා පිරිනැමු පරිත්‍යාග පිළිගන්නා ලෙසින් ඉමහත් සොම්නසිනි.
තමා කළ යුතු සේවය උපරීම අයුරින් අහිංසක දූ දරුවන් වෙනුවෙන් ඉටුකළ මොහු බලධාරී නිර්ලජ්ජිතයින්ගෙන් පළිගැනීමට සිතූ අයුරු අපූරු ය. පුදුම සහගත ය. එනම් ඔහු කළේ තමා මාරු කළ පාසල් පිහිටි ගම්බිම්වල හා පරිසරයන්හි සැබෑ තොරතුරු පර්යේෂණ මට්ටමින් සපයා ගෙන, ඒ පිළිබඳ අප දේශයට අනගිතම කෘතීන් බිහි කරමින් ඒ කෘතින් බලධාරීන්ට පිළිගැන්වීමයි.
එවන් මනුෂ්‍යත්වයකින් පිරිපින් මේ ගුරුතුමාගේ පරම අභිලාෂය වූයේ, ප්‍රාදේශීය වහර පිළිබඳ ව හා ජනශ්‍රැතීන් පිළිබඳ පර්යේෂණාත්මක ලෙස පොතපත ලියා අපේ බාල පරපුරට පුද දීමය. ඇරත් අපේ අනන්‍යතාව රැටියාට පමණක් නොව පිටරැටියාට ද පසක් කිරීමෙන්, අපේ දේශයේ, ජාතියේ අභිමානයේ කීර්තිය ලෝ සුපතළ කිරීම ය.
තම අපේක්ෂාවන් මල්පල ගන්වනු වස් රාජකාරි කාලයෙන් අනතුරුව ඒ ඒ ගම්බිම්වල, බැදිවල, කන්ද, ඇළ - දොළවල, සරමින් වනගහනයේ සිටින ජනගහනයේ හදගැස්ම, සතාසීපාවාගේ ගතිකයන්, භෞතික සම්පත්වල ස්වභාවයන් මොහු ගැඹුරින් අධ්‍යයනය කළේ ය.
ඒ අනුව මොහුගේ දෙපා සක්මන ගමක් බිමක්, කන්දක් ලන්දක්, ඇළක් දොළක් නෑර ක්‍රියාත්මක විය. එහෙයින්ම දෝ ඔහු නොදත් ගසක්, වැලක්, ඇළක් දොළක්, සතා සීපාවෙකු මෙන්ම ගැමියකු නැති තරමි. මොහු සැබැවින් ම දැන හඳුනාගත්තේ ගැමියා පමණක් නොව, සතාසීපාවා හා ගහවැල ද ඒ අතර විය. තව ද මොහුගේ කටහඬ මිනිසාට සතාට පමණක් නොව ගහවැලට ද කදිමට ම හුරුය. පුරුදුය. සතාසීපාවාට, ගහවැලට කතා කළ හැකි නම් මේ අපූරු මිනිසාගේ තුබූ ළෙන්ගතුකම, ලීලය හඬ නඟා සනාථ කරාවි.
මේ ජනශ්‍රැතිවේදියාගේ ප්‍රථම කෘතිය වූයේ, 1979 ලියූ ඉබේ ම නැළවියන් පුතේ කාව්‍ය සංග්‍රහයයි. අනතුරුව ‘විත්ති’ සාහිත්‍ය කෘති දෙකක් ද, නවකතා කෘති පහක් ද, යොවුන් සාහිත්‍ය කෘති හයක් ද, ළමා සාහිත්‍ය කෘති තුනක් හා අපේ දේශයේ අනන්‍යතාව මනාව පසක් කළ ශාස්ත්‍රීය පර්යේෂණ කෘති හතක්ම ද මෙතුමාගේ පෑන් තුඩින් ගිලිහිනි.
මේ අතර අපේ පියසේන කහඳගමගේ වියතාණන්ගේ 1992 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පුද ලද ‘කමත’ කෘතිය, මෙතෙක් කමත පිළිබඳ ලියැවුණු පුළුල් ම කෘතිය බව මහාචාර්ය වරු සපථ කරති.
එමෙන්ම 1995 රාජ්‍ය සාහිත්‍ය සම්මානනීය කෘතිය ලෙස ජනාදරයට පාත්‍ර වූයේ එතුමාගේ “දිගාමඩුලු ජනවහර” කෘතියයි. එපමණක් නොව එතුමා 1997 දී එළි දැක්වූ ‘කුඹුරු’ නම් වූ ශාස්ත්‍රීය පර්යේෂණ කෘතිය විද්වතුන්ගේ පැසසුමට නොමඳ ව ලක්විය. තෙවැනි වරටත් රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් පියසේන කහඳගමගේ සූරීන්ට හිමි වූයේ (2002) යොවුන් සාහිත්‍ය යටතේ වූ ‘වනතරණය’ නමැති කෘතියට ය.
මෙනයින් පියසේන කහඳගමගේ නමැති මේ යුග පුරුෂයාගේ මහා මෙහෙවරය වූයේ හුදෙක්ම අපේ දේශයේ අනන්‍යතාව, ප්‍රෞඪත්වය, මානවහිතවාදිත්වය මෙන්ම රැහේ බලය ලොවටම හඬගා ප්‍රකාශ කිරීම ය.
ඒ අතර, මෙතුමාගේ “වන වදුලේ වසන්තය” නමැති අනුවේදනීය නවකතාව සහ “බැද්දේ සෙනෙහස” නම් වූ අපුරු නවකතාව ටෙලි නාට්‍ය ගතවී ජනාදරණීයත්වයට පාත්‍ර විය. ඇරත් පාසල් දරු දැරියන් වෙනුවෙන් ලියැවුණු විශාල පොත් සංඛ්‍යාවක් අද ද පාසල්වල අතිරේක කියවීම් කෘතීන් වශයෙන් පරිහරණය වෙයි.
මේ අනුව පියසේන කහඳගමගේ නම් වූ ජනරංජන ජනශ්‍රැතිවේදියාණන් අපේ දේශයේ පිනට පහළ වූ වියතාණ කෙනකු බව කා හට වුවද පැහැදිලි ය. ලෝ දහම අනුව ‘උපත’ සමඟ හිස දරාගෙන එන ‘විපත’ පියසේනයන්ට ද පොදු විය. උරුම විය. එහෙයින්මදෝ මුළුමහත් දේශයේම කඳුළු ඇහැරවමින් 2003 - 08 - 16 දින පියසේන කහඳගමගේ ජනශ්‍රැතිවේදියාණන් සදහටම අපෙන් සමුගත්තේ ය.
දේශයේ අනන්‍යතාව මෙන්ම ප්‍රෞඪ ජාතියක උරුමකම් මේ මිහිමඬලේ හිරු සඳු සේ බැබළවීමේ විමලකර චේතනාවෙන් ම, සිය දිවිගමනේ නිමාව දකින තෙක් ම ස්වකීය පෑන හැසිරවූ පියසේන කහඳගමගේ විද්වතාණන් සද්භාවයෙන් ම පරිපූර්ණව කරන ලද අනූපමේය ජාතික මහා මෙහෙවරය මනුස්මෘතියෙන් පමණක් නොව, සතා සීපා ඉවෙන් ද, හරිත වරණ ගහවැලෙන් ද, ඇළ දොළ ඇතුළු පාරිසරික අංගෝපාංගයන්ගෙන් ද කිසි විටෙක වියැකී නොයනු නියති. සදාදර ‘ක. ග.’, ඔබ අප අතරින් වියෝ වී අදට සත් වසක් ගෙවී ගිය ද, ඔබ තවම අප අතර ජීවමාන ව සිටින බව නම් සැබැවි. දැයක් සනහන ලොවක් පුබුදන ඔබේ පොත පත ඊට කදිම සාක්ෂියෝ වෙත්.
පියසේන කහඳගමගේ හෙවත් ළයාදර ක. ග., ඔබ යළි යළි අප අතර ම ඉපදේවා මතු මත්තේ!



  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: පියසේන කහඳගමගේ Rating: 5 Reviewed By: Unknown