728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday, 3 April 2014

"දුටුගැමුණු රජුගේ ජය කුන්ත"

රටක පාලකයා කෞතුකාගාර කඩා "දුටුගැමුණු රජුගේ ජය කුන්ත" සොයන තරමේ විඥාන වාදියෙක් වූ විට රට යන්නේ කොයි දෙසටද.............?


රට සහ රජු රැකි රණ අවි....


ඕනෑම දේශයක ජනතාවකට සිය ස්‌වාධීනත්වය හා ස්‌වෛරී භාවය රැක ගැන්මෙහිලා ඒ ඒ කාල වකවානුවල භාවිත වූ රණ අවි මගින් සුවිශේෂී මෙහෙයක්‌ සිදුවිය. ඉතා ඈත අතීතයේ සිට මානවයා විසින් අවි යොදා ගන්නා ලද්දේ ආහාර සපයා ගැනීම හා සතුරන්ගෙන් ආරක්‍ෂා වීම සඳහා වෙයි. තාක්‍ෂණය දියුණුවත්ම විවිධ වර්ගයේ අවි නිපදවා ගැනීමට ඔවුහු පෙළඹහුනාහ. පසු කාලයක රණ විද්‍යාවක්‌ බවට පත් වූ මෙම ආයුධ විවිධ ශිල්පීය ක්‍රම ඔස්‌සේ නිපදවා ගන්නා ලදී. ගල් මුගුරුවල සිට යකඩ වානේ හරහා ගමන් කළ මෙම රණ අවි පරමාණු බෝම්බය දක්‌වා අද විකාශනයව තිබේ. අතීත රණ අවි නිපදවීම හා භාවිතය පිළිබඳ වසර දහස්‌ ගණනකට එහා අතීතයේද පැහැදිලි සාධක මේ වන විට ලැබී තිබේ.


කෞටිල්‍යගේ අර්ථ ශාස්‌ත්‍රය ද වෛජයන්තය හා යුධන්නාව වැනි ග්‍රන්ථ ද පුරාණ රණ අවි භාවිතය පිළිබඳ පැහැදිලි තොරතුරු දක්‌වනු ලැබේ. ලෝකය පුරා රටවල් අතීතයේ සිට තවදුරටත් අනාගතය කරා ගමන් කරනුයේ යුද විද්‍යාව භාවිතයට ගනිමින්ය. යුද අභ්‍යාස මධ්‍යස්‌ථාන, උපදේශකවරු, යුද ශිල්ප පුහුණුකරුවෝ, සංගීත කණ්‌ඩායම්, නැටුම්, ගැයුම් ආදී විවිධ අංශ යුද සටන් බිමට යන ගමනේදී සපිරිවර වූහ. එහි කොඩි, කුඩ, සේසත් ගෙන ගියොද, රණ සක්‌ පිම්බෝ ද වූහ. විවිධ වූ අවි ආයුධ දැරුවෝ ඒවායෙහි කෙළ පැමිණි දැනුමැත්තෝම විය. "රණ විද්‍යාල" මගින් බිහි කළ ශිල්පීන් සිය ඉලක්‌ක කරාම ගිය අතර ඔවුහු ජීවිත පරිත්‍යාගයෙන් ම සටන් කළෝය. වෛජයන්තය වැනි ග්‍රන්ථයෙහි ආයුධ තැනීම හා ඒ සඳහා භාවිත කළ ලෝහ වර්ගයන් ගැන ද සඳහන් වේ. යකඩ, කළුකුඹ, සුදුකුඹ, ලෝකඩ, පිත්තල, තඹ, රන් ආදිය තවත් ලෝහයන් හා මිශ්‍ර කිරීමෙන් ආයුධ තනා ගත් බව සඳහන් වේ. මෙසේ තනා ගන්නා යුද සරඹ පාන ආයුධ භාවිත කළ යුතු ආකාරයන් හා ඒවායෙහි ප්‍රමාණයන් ද යුද විද්‍යා පොත්වල නිශ්චිතව දක්‌වා තිබේ. මහනුවර යුගය වන විට සුදලියේ සහ මරුවලියේ යුද අභ්‍යාස විද්‍යාලවල යුද පුහුණු කටයුතු සිදුකළ බව සඳහන් වේ.

පුරාණ යුද අවි අතර කඩුව රජුද භාවිත කළ සටන් බිම අභීත රණ අවියකි. කඩු හරඹයෙහි නිපුණ යුද සටන්කරුවෝ අති දක්‍ෂ ලෙස හරඹ පාමින් රඹ කඳන් කපා හෙළන්නා සේ සතුරන් පොලු ගසන ලද ආකාරය ඉතිහාසයෙහි අපූරුවට විස්‌තර වේ. රජ කෙනෙකු විසින් භාවිත කරනු ලබන කඩුව සෑදිය යුතු විශේෂ විධි ශාස්‌ත්‍ර පොත්වල දක්‌නා ලැබේ. රජුගේ මඟුල් කඩුව නිරතුරුව භාවිත වන රාජ සංකේතයක්‌ බඳුය. එය අඟල් පනහක්‌ දිග විය යුතුය. තලයේ හරි මැද පළල අඟල් 2 1/2 සිට 3 දක්‌වා තිබිය යුතුය. මධ්‍යම ප්‍රමාණයේ කඩුවක්‌ අඟල් 49 ක්‌ දිගින් යුතුව ද තලය මැද අඟල් දෙකක්‌ තුනත් අතර ද විය යුතු බව සඳහන් වේ. එය සෑදිය යුත්තේ භාවිත කරන්නාගේ වියත හෝ අඟල මිම්ම ලෙස ගැනීමෙන්ය. කඩුවෙහි අලංකාරයට වැඩ දැමීම ද සිදු කෙරේ. මිට නෙළුම් පෙති මෝස්‌තරයෙන්ද, සිංහ ආදී අභීත ඉෂ්ට ඵලදායී සත්ත්වයන්ගෙන් තලය ද අලංකාරවත් කරනු ඇත. සුබදායී සටහන් සේම අසුබ සටහන් ද රණ අවි ග්‍රන්ථයන්හි විස්‌තර කොට තිබේ. දෙපිට කැපෙන දිග් කඩුවද, සටන් සඳහා ගන්නකි. ගෙඩිය, මිට, අත්වැස්‌ම, වරිසාක්‌කුව, අල්ලුව, ඉස, තුඩ ආදිය නිසි පරිදි නිමවා තිබිය යුතු වේ. පහත් නිලයන්ගේ කඩු ලී කොපුවෙන් යුතු වන අතර ඉහළ නිලයන් සඳහා රන්, රිදී කොපු භාවිත කෙරේ. කඩුවක්‌ සෑදූ පසු පණ පෙවිය යුත්තේ කුමන දියරකින් දැයි ශාස්‌ත්‍රානුකූලව විස්‌තර කොට ඇත. රජුගේ කඩුව ගිතෙලෙහි ද, රණ විරුවාගේ කඩුව රුධිරයෙහි ද, සාමාන්‍ය කඩු කිරිවලද බහා පණ තැබිය යුතුය. ඉරු, කුජ, ශනි යන දිනයන්හි සෑදීම, පණපෙවීම, පළමුවෙන් පාවිච්චි කිරීම ආදී කටයුතු අසුබය. පුස, රේවතී, පුවපල්, නැකතින් හා කන්‍යා ලග්න වලින් උපන් අයට යුද අවි භාවිතය නුසුදුසුය. ආයුධ භාවිත කිරීම සුදුසු දිනයන් වන්නේ සඳු, බුද, ගුරු හා කිවි දිනයන් ය. හස්‌ති, අශ්ව, සිංහ. මයුර, හංස, ශංඛ, ඡත්‍ර, ස්‌වස්‌තික ආදී ලකුණු යෙදීම සුබඵලදායී වන අතර, සිවලා, කොටළුවා, ඔටුවා, එළදෙන, බකමූණා, සර්පයා යන සත්ත්ව රූප යෙදීම අසුබ වේ. රාජකීය කඩු පිළිබඳ කටයුතු සියල්ල රහස්‌ ලෙස පවත්වා ගත යුතු වෙයි.

ආයුධ භාවිත කරන්නන් විසින් ඒවා සමාන ගණ අනුව නිමවා භාවිතයට ගත යුතු බව සඳහන් වේ. දේව ගණ ආයුද ජය නියතය. රාක්‍ෂ ගණ විශිෂ්ටය. මනුෂ්‍ය ගණ අයහපති. ගණ මාරුකොට භාවිත කිරීමෙන් අයහපත් ප්‍රතිඵළ උදා කෙරේ. දේව, රාක්‍ෂ, මනුෂ්‍ය යන ගණයනට නැකත් නවය බැගින් ඇතැයි සඳහන් වේ. ආයුධයක්‌ එහි ගණ අනුව රියන්, වියත් හෝ අඟල් වලට බෙදා එය යළි නවයෙන් බෙදා ගත් විටය එහි යෝනි ඵලය ලැබේ. ඒ අනුව යෝනිය දත හැකි අතර, අසුබ යෝනි හඳුනා ගැනීම ද රණ ශිල්පයෙහි දී වැදගත් වෙයි. මෙවැනි අසුබ යෝනි වලින් වැළකීම සඳහා ඒවා පිළිබඳව විස්‌තර වෙනම දක්‌වා ඇත.

පුරාණයෙහි භාවිතයට ගත් රණ අවි 32 ක්‌ පිළිබඳ පොත පතෙහි සඳහන් වේ. එහි ප්‍රධාන අවිය ලෙසින් ගැනෙන්නේ කඩුවයි. තෙබ, ඉෂ්ටි, තලිකොලේ, කොන්තෙ, යගදාව, ත්‍රිශූලය, ශේලායුධය, නරච්චිය, වඡ්‍රමුෂ්ටිය, තෝමරය, කෙටේරිය, පරාවළල්ල, චක්‍රය, සිරිය, කණ්‌ඩිතලය, කරවල, කැති, චන්දප්‍රඋෂ්ටිය, ඥනවලය, ඊදඬු, හෙණ්‌ඩුවලේ, ඉතලේ, මුගුර, යමුගුර, සුරිග. සොරකොල්ලය, තලිකොල, දැමුණු කොළ, සවලය, අඩයටි යන මෙම ආයුද වර්ග සඳහා පුරාණ ශිල්පීන් සිටි අතර මේවා භාවිත කරන රහස්‌ ශිල්ප ක්‍රම පිළිබඳව ද තොරතුරු සඳහන් වෙයි.

රණ විද්‍යාවෙහිදී උසස්‌ ආයුධ ලෙස සලකනු ලබන්නේ කඩුව, දුන්න. මුගුරු සිරිය හා හෙල්ලයි. ඕනෑම ආයුධයක්‌ අඟල් හතරකට නොඅඩුවද, හය රියනකට නොවැඩිව ද නිමවිය යුතුය. අඟල, රියන, වියත යන මිනුම් පමණක්‌ රණ අවි මිනුම ලෙස භාවිතයට ගනු ලබයි.

මුගුර නමැති රණ අවිය වියත් 12 කුත් අඟල් තුනක්‌ දිගින් යුතුව සාදන ලද්දේ නම් ඒ උත්තම ගණයට අයත් වේ. උත්තම හෙල්ලයක්‌ නම් තලයේ දිග අඟල් 25 කි. දුන්න තුන් රියනක්‌ ද, හී දණ්‌ඩ ඉන් අඩක්‌ ද වනු ඇත. මී හරක්‌ අඟින් තනන සටන් අවිය තෝමරයයි. මල්ලවපොරකරුවෝ මෙම අවිය බහුලව භාවිත කෙරේ. මෙය මුෂ්ටිය, කලාකිරිඳ්ඳය යන නම්වලින් ද හැඳින්වේ. මුගුර නමැති අවිය තවත් ආකාර පහකින්ද, දැව, ලෝකඩ, රිදී වැනි වූ දෙයින්ද නිම වන බව සඳහන් වන අතර එය බෙහෙවින් භාවිතයට ගත් රණ අවියක්‌ බව වාර්තා වෙයි. "චJද්‍රචක්‌කය" නොහොත් "බූමරැංගය" මුගුරෙහිම තවත් විකාශයක්‌ සේ සලකනු ලැබේ. අරටුව සහිත ලීයෙන් නිමවා අලංකාර කැටයමින් ඔප දමා මෙය අඩසඳක ආකාරයට සකස්‌ කරනු ලබයි. මෙය විසිකර පහරදීම සඳහා භාවිතා කෙරේ. ලෝහ උලක්‌ සහිත පොරවක හැඩය ගත් අවිය "රණ පොරව" නම් වේ. මෙය අතීතයේද භාවිත වූවකි. විවිධ හැඩයෙන් තනා ඇති අතර කැපෙන පැත්තට විරුද්ධ පැත්තේ ලෝහ ගුලියක්‌ තිබේ. කෙටේරියද මෙහිම තවත් අවස්‌ථාවකි .බොරු කඩු ලෙස නිර්මාණය කරන ලද අගට වේවැලක්‌ සවි කළ අලංකාර මිටක්‌ සහිත හරඹ සඳහා යොදාගත් අවියක්‌ ගැන ද සඳහන් වේ. මේවා ශිල්ප හරඹ ප්‍රගුණ කිරීම සඳහා යොදා ගත් බව සුදලියේ සහ මරුවලියේ සටන් පුහුණු විද්‍යාලයේ විස්‌තර වලින් පෙනේ.

තලය සහිතව විවිධ හැඩයෙන් යුතුව නිමවන ලද ප්‍රකට රණ අවිය ලෙස සිරිය සැලකේ. මානව ශිෂ්ටාචාරයේ ඉතා ඈත සිට විකාශනයවී ආ මෙය තරංගාකාර හා ගිනි දළුවක ස්‌වරූප ගත් තලයකින්ද යුතු වෙයි. අත්වැස්‌ම, කැටයම් මිට, ඇඟිලි වැස්‌ම, තුඩ, නැමුණු තුඩ ආදී වශයෙන් සිරිය නිමවා තිබේ. පලිගු, ගරුඬ, පාෂාණ වැනි දෙයින් සාදන ලද මිටි සහිත සියුම් උල් ආයුධයක්‌ සේ දක්‌නට ඇත. උල් පිහිය, වක්‌ පිහිය, මන්නා පිහිය ආදී ස්‌වරූපයෙන් ද ඇති සිරිය දැව, ලෝහ, කඟවේන අං, හරක්‌ අං, ගෝන අං. ඇත්දළ මිටි සහිතව නිමවා ඇත. මෙය විවිධ හැඩ ගන්වා සාදන බැවින් සටන් කලාවට සේම කැටයම් කලාවට ද යොදා ගනු ලබන්නකි. උසස්‌ නිලධාරීන් ප්‍රධාන අවියට අමතරව සිරිය ද පාවිච්චියට ගනු ලබයි. කැත්ත ද මෙහිම එක්‌ ප්‍රභේදයක්‌ වෙයි. දික්‌ මිටි සහිත හා වක්‌ තල සහිත කැටි සටන්වලදී පහරදීම සඳහා යොදා ගැනේ.

දිගු මිටි සහිතව සටන් බිම දක්‌නට තිබූ අවියක්‌ වන්නේ "කුන්තයයි" ඉන් ඇණ සතුරා මරා දැමිය හැකි වේ. තද දැවයෙන් තැනුව උල් කුන්තය අගට සවි කරනු ලබන අතර ඊට යකඩ උල් ද සවිකර භාවිත කරන ලදී.

සබරගමුව, තිස්‌සමහාරාමය, උතුරු මැද යන පළාත් වලින් මෙම අවි ලැබී ඇත. දුටුගැමුණු රජු කුන්තය සිටුවන ලද ස්‌ථානයේ චෛත්‍යයක්‌ කළ බවට කතාවක්‌ මහාවංශයේ ඇත. දැති සහිත තලයෙන් යුතුව සාදන ලද කුන්ත තලය සතුරාගේ ඇඟ පසාරු කොට ගෙන ගොස්‌ ආපසු අදින විට මස්‌ වැදලි ගැලවී එන ආකාරයට සකස්‌ කොට තිබේ. මහනුවර කාලයේදී ප්‍රහාර ආවරණය සඳහා වූ පලිස්‌ දැරූ කුන්තායුධකරුවෝ ද සිටි බව පෙනේ. අඩි 6 1/2 තරම් දිග යකඩ කුන්තායුධ ගැන ද සඳහන් වේ. මෙහිම පරිණාමයක්‌ ලෙස හෙල්ල හැඳින්විය හැකිය. ඉතලයz නොහොත් කිතලය නමින් හැඳින්වෙන තවත් සටන් ආයුධයක්‌ වෙයි. විශාල තලයෙන් යුතු මෙය අඟල් 48 තරම් දිගු වෙයි. කැපෙන දාර හතරකින් යුතු වෙයි. මෙම දාර මුදුන් උලේදී එක්‌ව තිබේ. ඇත් හා අශ්ව සේනා සමඟ සටන් වලදී මෙය බහුලව භාවිතයට ගන්නා ලද අවියකි. එය බිම සිටුවා ඇත්, අස්‌ වැනි සතුන් බිලි ගැනීමට සලස්‌ වන ලද බව කියෑවේ. අඩි 7 ක්‌ තරම් දිග මිටක්‌ ඇති අඟල් 2 1/2 ක්‌ තරම් පළල තලයකින් යුතු ඊ ඉටිය තවත් අවියකි. මෙය සතුන් දඩයම සඳහා ද යොදා ගන්නා ලද්දකි. කුන්තායුධය ඇණීම සහ දමා ගසනු ලබන සටන් අවියකි. "අඩයටි" නමැති මිටි මිටක්‌ සහිත විසිකරන හෙල්ලක්‌ ද වෙයි.

ඉලුක, ඉලුක්‌ කොළය නමින් හඳුන්වන තෝමරය සුලබ අවියකි. යකඩින් නිම වූ පෙති හතරක්‌ මෙහි වෙයි. ඉලුක්‌ කොළයේ හැඩයට නිමවන ලද මෙය රජුන් පවා සටන් වලදි පාවිච්චි කරන ලද බව එළාර දුටුගැමුණු යුද විස්‌තරයේදී කියවෙයි. පාරා වළල්ල අතේ කරකවා විසි කරන්නකි. උල් කටු සහිත වළල්ලක්‌ සේ මෙය නිමවා තිබේ. කොකු හා දැල් ද ගල් පටිය ද තවත් සරල ආයුධ වර්ගයන් සේ සැලකේ. යාර 300 ක්‌ තරම් දුරට ප්‍රහාරයක්‌ යෑවිය හැකි සටන් උපක්‍රමයක්‌ ලෙස මෙය භාවිත වෙයි.

"දුන්න" ආදිතම සටන් ක්‍රමයක්‌ වු අතර මහනුවරදී ඉංග්‍රීසීන් වෙත උඩරැටියන් පහර දීමේදී ද මෙය භාවිත කරන ලදී. දුනු වර්ග 21 ක්‌ ගැන පොත පතේ සඳහන්වේ. නුග අරළු, පට්‌ටා, ගෝණ, බඩවැල් වැනි දේ දුනු වරපට සඳහා ගනු ලබයි. මින් යවන හී තලයකින් සතුරා මරා හෙලිය හැකි වේ. ගල් දුන්න නමින් ඇත්තේ හීතල වෙනුවට ගල් තබා විදිනයකි.

මහනුවර යුගය වන විට තුවක්‌කු  භාවිතය ගැන අසන්නට ලැබේ. පහසුවෙන් ගෙන යා හැකි තුවක්‌කු හඳුන්වන ලද්දේ වඩන තුවක්‌කු යන නමිනි. ගල් තුවක්‌කුව බොන්ඩික්‌ කුල නම් විය. කොඩිතුවක්‌කු හා අත්තුවක්‌කු නම් වර්ග දෙකක්‌ ගැන ද සඳහන් වෙයි. කඳ, මානම, පාතාලේ, කොකා, කන්පඩිය, කන, අච්චුව වැනි කොටස්‌ වලින් යුතුව තුවක්‌කුව සාදනු ලබයි. පෘතුගීසීන්ගේ පැමිණීමත් සමඟ තුවක්‌කුව මෙරට පැතිරුණු බව ද එය පුදුම දනවන අයුරින් සීඝ්‍රයෙන් මෙරට ව්‍යාප්ත වූ බව ද ක්‌වේරෝස්‌ගේ වාර්තාවල සඳහන් වේ. අඩි තුනකුත් අඟල් 10 තරම් දිග කඳින් යුතු ගිනි තුවක්‌කුව ද කාල තුවක්‌කුව ද සිංහලයන් විසින් විශිෂ්ට ලෙස භාවිත කළ බව නොක්‌ස්‌ කියයි. කොඩිතුවක්‌කු හා කාලතුවක්‌කු දෙක මහනුවර යුගයේ විශාල අවි දෙකක්‌ විය. කඳුකරයේ සටන්වලදී කොඩිතුවක්‌කුව භාවිත විය. රෝද සවිකරන ලද්දක්‌ වූයේ කාලතුවක්‌කුවයි. කපොලු හා මිටියාවත්වල විශාල කාලතුවක්‌කු සවිකර උඩරට රකින ලදී.

යුද අවි සේම "සන්නාහ" ද ආරක්‍ෂාව සඳහා යුද බිමේදී වැදගත් වුවකි. එහෙත් ක්‌වේරෝස්‌ දක්‌වා ඇත්තේ සිංහලයා සන්නාහ භාවිතා නොකළ බවත්, එය බිය හා දුර්වලකම පෙන්වන්නක්‌ සේ ඔවුන් සලකන ලද බවත් ය. යකඩින් මුවහමින් කළ සැට්‌ට සටන් බිමේදී භාවිත කළ අතර පලිහ ඉතා ප්‍රකට වූවකි. කඩු පත් හෝ හී පහර වලකාලීමට පලිහ උපකාරී විය.පළඟ යනු ද එයයි. පලිහවඩන නිළමේවරුන් විසින් රජුට පලිහ ලබා දෙන ලදී. හැඩ දමන ලද දැව පළිස්‌ සෑදීම සඳහා ගන්නා ලද බව සඳහන් වේ. හරක්‌ හම්, අලවා වානේ හා ඊයම් දාර වලින් හැඩකර ගත් පලිස්‌ බහුලව භාවිත සන්නාහයක්‌ වූ බව පෙනේ.

සටන් බිමෙහි අතීතයෙහි පැවැතියේ මුහුණට මුහුණ ලා කළ සටන් ශිල්ප ක්‍රමයකි. ඒවා ක්‍රමයෙන් විකාශනය වීමත් සමඟ දුරස්‌ථව සිට ප්‍රහාර එල්ල කිරීම ලෙස විතැන් වූ අතර පසු කාලය වන විට තවත් තාක්‍ෂණික උපක්‍රම භාවිතයට ගනිමින් දියුණුවට පත්විය. මානවයා ශිෂ්ටත්වය කරා යන ගමනේදී යොදා ගන්නා ලද මෙවලම් අතුරින් අත් නොහැරම පෙරට ගෙනආ සහ අනාගතයට ගෙන යන එකම මෙවලම වන්නේ උනුන් මරා ගැනීම සඳහා භාවිත වන යුද අවිය පමණක්‌ම වීම ශිෂ්ඨත්වය පිළිබඳ ආධ්‍යාත්මික ප්‍රශ්නයක්‌ නොවන්නේද..?


ගුණපාල ජයතිස්‌ස

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: "දුටුගැමුණු රජුගේ ජය කුන්ත" Rating: 5 Reviewed By: Unknown