728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Wednesday, 16 April 2014

අද ජනමාධ්‍ය මිනිසාගේ ස්වාධීන චින්තනය නැතිකොට තිබෙනවා




සන්නිවේදනයේ පෙර ගමන්කරුවා ලෙස සැලකිය හැකි ජනමාධ්‍යයේ කාර්යභාරය හා එහි වත්මන් ගමන්මඟ පිළිබඳ ව කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ කථිකාචාර්ය මනෝජ් පුෂ්පකුමාර ජිනදාස සමඟ කළ සංලාපයෙකි මේ. “සන්නිවේදන අධ්‍යයනය, බලි සන්නිවේදනය, බලි ඇඹුම් කවි පොත 1 - 2, සංවර්ධන පර්යේෂණය හා මහජන සම්බන්ධතාව, සන්නිවේදන මූලධර්ම හා විචාර අධ්‍යයනය ආදි කෘති ගණනාවක් රචනා කළ සන්නිවේදන පර්යේෂකයකු වන ඔහු මේ සංලාපයේ දී අවධාරණය කරන්නේ වත්මන් ජනමාධ්‍ය පැරැණි සන්නිවේදන ජන විද්‍යාවන් අධ්‍යයනය කර ජනතාවගේ සංවර්ධනය උදෙසා වූ ජනමතයක් නිර්මාණය කිරීමට උත්සුක විය යුතු බවයි.




මානවයාගේ සම්භවයත් සමඟ සම්භවය වී ඔවුන්ගේ පරිණාමනය සමඟ ක්‍රමික පරිණාමනයකට භාජනය වූ සන්නිවේදන ක්‍රියාවලිය විෂය මූලික අධ්‍යයනයකට පිවිසෙන්නේ ඉතා මෑත කාලීනවයි. වර්තමානයේ සන්නිවේදන කාර්යයේ ජනමාධ්‍ය මූලික වී ඇති අතර අතීතයේ ද විවිධ මාධ්‍යයන් මූලික කරගත් සන්නිවේදන ක්‍රියාවලියක් සිදු වූවා නොවේ ද?
මුල් ජන සමාජයේ සන්නිවේදනයේ තත්ත්වයත් මේ ආකාරය ම තමයි. විවිධ මාධ්‍යයන් මූලික වුණා. ඊට හේතුව ජීවි අජී වි ඕනෑම වස්තුවක් ක්‍රියා කළත් නොකළත් හැම විට ම යම් සන්නිවේදනයක් සිදු කරනවා. එමෙන් ම අප දන්නා ආකාරයට ප්‍රජනනය, ආහාර, ආරක්ෂාව, බය වැනි මූලික ජීවන ගැටලු හමුවේ ඒවාට අභියෝග කළ ගෝත්‍රික මානවයාගේ ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් ලෙස සංගීත, නාටක, ලේඛන, අභින ආදි විවිධ කලාවන් බිහි වුණා. මේ ආකාරයට ගොස් ඒ ක්‍රියාවලියේ නො නවතින රේඛාව තමයි සන්නිවේදනය. එය එතරම්ම පුළුල්. අද අප අසන මූලික ම ප්‍රශ්නය වන්නේ සන්නිවේදනය නො වන්නේ කුමක් ද? යන ප්‍රශ්නය යි.
මේ මොහොතේ මා කතා කළත් නොකළත් සන්නිවේදනයක් සිදු වෙනවා. වයලීනයක් වාදනය කරන විට එහි සන්නිවේදනය සංගීතඥයා අවබෝධ කරගන්නවා සේම එය නිශ්චලව තිබිය දී සිදු කරන සන්නිවේදනය චිත්‍ර ශිල්පියා, මූර්ති ශිල්පියා කැටයම් ශිල්පියා හෝ ඡායාරූප ශිල්පියා අවබෝධ කරගන්නවා. නව සන්නිවේදන අධ්‍යයනයෙන් සිදු කෙරෙන්නේ මේ අවබෝධය ලබාගැනීමයි. ඒ නිසා සන්නිවේදන අධ්‍යයනයට මව් විෂය ක්ෂේත්‍රයක් නැහැ. ඒ වගේ ම සන්නිවේදනය අනිර්වචනී වෙනවා. ඒ එය නිබඳ ව වෙනස් වන නිසා යි. ඔබත් මමත් දන්නේ නැහැ අප ඊළඟ මොහොතේ සිතන්නේ කුමක් ද කියා. සන්නිවේදනය මානව පරිණාමනයට සමගාමීවත් ඇතැම් විට ඊටත් වැඩි වේගයෙනුත් පරිණාමනය වෙනවා. එහෙත් අද මූලික සන්නිවේදන සංකල්ප බිහි වී තිබෙන්නේ දෙ වැනි ලෝක යුද්ධයෙන් පසු සමයේදි යි.

මූලික ජන සමාජයේ සන්නිවේදන ක්‍රියාවලිය නිරායාසයෙන් හා විවිධ උපක්‍රම භාවිතයෙන් සිදු වුවත් අද එය විවිධ මෙවලම් මූලික කරගෙනයි සිදුවන්නේ.
මිනිසා ශිෂ්ටාචාරගත වුණේ විවිධ මෙවලම් භාවිතයත් සමඟයි. එයින් සිදු වුණේ තමන්ගේ කටයුතු පහසු කරගැනීමයි. එහෙත් අද අප දෙදෙනකුගේ සන්නිවේදනයක් අතරටත් යම් උපකරණයක් ඇවිත් තිබෙනවා. එසේ වුවත් මානවයාගේ විශිෂ්ටත්වයට අද ජනමාධ්‍යයට කරන්න හැකි දෙයක් නැහැ. සත්‍ය වාර්තා කිරීමට, සෞන්දර්යය, කලාව, රසිකත්වය මවන්න අද ජනමාධ්‍යයට බැහැ. රටේ මිනිසුන්ගේ සංවර්ධනයට ජනමාධ්‍යයට කළ හැකි දෙයක් නැහැ. දූෂණ අපරාධ මිනිසුන් අතර බහුලයි. නගරයක් මැද මිනිසකු මරා දැමුවොත් එය දැක බලාගෙන විඳින්න මිනිසුන් ඕනතරම් එනවා.
මීට පරම්පරා දෙකකට කලින් මිනිසුන්ගේ ආකල්ප ජනශ්‍රැති මඟින් පරම්පරාවෙන් පරම්පරාවට සම්පේ‍්‍රෂණය වුණා. ජනමාධ්‍ය පැමිණෙන්න කලින් මානවයා හා මානවයාගේ සංපර්කයෙන් තමයි සංස්කෘතිය බිහි වුණේ. අද ඒ අතරට උපකරණ මෙවලම් ඇවිත් තිබෙනවා.
එදා තිබුණේ සැබෑවට ම එදා මිනිසුන්ට සිතුන දේයි. අද අපි ආතතිය ගැන කතා කරනවා. ජනමාධ්‍ය නොතිබූ මුල් සමාජයේ ආතතියක් තිබුණේ නෑ. පැල් රකින ගොවියාට හේනට අලි එන විට ආතතිය තිබුණේ නැහැ. ඔහු එහා පැලේ ගොවියා සම¼ඟ ජන කවියකින් සන්නිවේදනයේ යෙදුණා. පාරුවේ යන විට ගඟේ තිබු බියකරු බව දැනුණෙ නෑ පාරු කවිය ගායනා කළ නිසා. අද මේ මෙවලම්වලින් ඒ ආතතිය දුරු වෙන්නේ නැහැ.

ඔබ පවසන්නේ සන්නිවේදන අධ්‍යයනයේ දී ජනශ්‍රැති අධ්‍යයනයත් අනිවාර්යයෙන් ම සිදු කළ යුතු බව ද?
හාවඩ් වැනි ලොව සුපරි විශ්වවිද්‍යාලවල පවා අද වන විට පුරාණෝක්තිවේදය උගන්වනවා. අතීත මිනිසුන්ගේ චර්යාවන් හා ඔවුන්ගේ ප්‍රකාශනයන් පිළිබඳ ඔවුන් පවා අද අධ්‍යයනයන් සිදු කරනවා. එය ලංකාවේ නම් සොකරි කෝලම්, බලි තොවිල් වැනි දේ අද අප අධ්‍යයනය කරන්නා සේ යි. සොකරියක, රිද්දි යාගයක ලිංගිකත්වය පිළිබඳ ඕනැතරම් කතා කරනවා. රිද්දි යාගය පවත්වන්නේ අලුත විවාහ වූ යුවලකට දරුවන් නොමැති නම් ඊට කරන ප්‍රතිකර්මයක් ලෙසයි. එහිදී ලිංගික උත්තේජනයක් ලබන ආකාරය පිළිබඳව අභිරූපණ සිදු වෙනවා. රෑ දොළහට පැදුරේ දැපවිල්ලක් කළා. මෙය කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වාත් එක පැදුරක සිට නරඹනවා. කවුරුත් අසභ්‍යයි කියල වාරණ කළෙත් නෑ, ප්‍රතික්ෂේප කළෙත් නැහැ. මේවා ප්‍රබල මනෝ චිකිත්සාවන් බව අද අපට හෙළිකර ගන්න හැකි වී තිබෙනවා. ඒ නිසා මේවා ජන විද්‍යාවන් ලෙසයි හැඳින්වෙන්නේ. භෞතික විද්‍යාව විසින් මානවයා භෞතිකත්වයෙන් කරනු ලබන වැරැදි විග්‍රහයට එහා ගිය විශ්වීය සම්බන්ධයක් මානවයාට තිබෙන බව අද සොයාගෙන තිබෙනවා. ඇතැමුන් මනසින් වඩාත් දියුණු වූ විට එබඳු මනසකින් අනෙක් මනසට සන්නිවේදනයක් සිදු කළ හැකි වෙනවා. දුරකථන වැනි මෙවලම් බහුල සමාජයක ඒ සන්නිවේදන අවශ්‍යතාව කෙනකුට අවැදගත් යැයි සිතෙන්න පුළුවන්. එහෙත් දුරකථන වැනි සන්නිවේදන උපකරණ නිසා මිනිසුන් හා ගැහැනුන් අතර සැකය වර්ධනය වී අද වන විට දික්කසාදවලින් යුග දිවි කෙළවර වන ආකාර අපට බහුල ලෙස දක්නට ලැබෙනවා. මනසකින් මනසකට කෙරෙන ප්‍රතිවේදාත්මක සන්නිවේදනය මේ උපකරණ නිසා දුර්වල වී මිනිසා - මිනිසා අතර ද්‍රව්‍යමය බැඳීම්වලට සීමා වී තිබෙනවා.

ජන මනස සුවපත් කළ අතීත මනෝ චිකිත්සක ජන විද්‍යාවන්හි කාර්ය භාරය වත්මන් ජනමාධ්‍යයන් විසින් වැලඳ ගත යුතුව තිබෙනවා නොවේ ද?
ඔව්. එහෙත් තත්ත්වය නම් ඊට වඩා වෙනස් වී තිබෙනවා. අද ජනමාධ්‍ය කියන්නේ ඉපයීම් මාර්ගයක්. සියදිවි නසා ගැනීමක් අද මාධ්‍ය වාර්තා කරන්නේ “තවත් එක් සංවේදී කතාවක්” ලෙසයි. නෝමි චොමිස්කි කියනවා රා තැබෑරුම් හරින්න බලපත්‍ර දෙන්න සිටි බලපත්‍ර හිමියන්ට ඒවා නැතිවන විට දුන්නේ ජනමාධ්‍ය සඳහා බලපත්‍රයි කියලා. තැබෑරුම් කරුවා ආයෝජනය කරන්නේ මත්පැන් සඳහායි. ජනමාධ්‍යයෙන් මත්පැන් හදන්න බැහැ. එහෙත් අවසන් ප්‍රතිඵලය එකක් කරගත හැකියි. ඒ තැබෑරුම්කරුවාගේ ගනුදෙනුකරුවා මෙන් මත් වූ උමතු භාවයක් ජනමාධ්‍යකරුවාට තමන්ගේ පේ‍්‍රක්ෂකයාට ලබා දිය හැකියි. එයයි අද ලෝක ජනමාධ්‍යයේ තත්ත්වය. අද ජගත් මාධ්‍යයන් අධ්‍යයන මූලාශ්‍ර කරගන්නවත් නොහැකි වී තිබෙනවා.
පසුගිය දා ගඩාෆි මැරෙන අවස්ථාවේ තමන් මරන්න එපා යයි කළ ප්‍රකාශය බී. බී. සී., සී. එන්. එන්. වාර්තා කළේ සල්ලි දෙන්නම් මරන්න එපා යැයි කියු බවටයි. මේ ජනමාධ්‍යයන් හසුරුවන්නේ ප්‍රබල දේශපාලන ආධිපත්‍යයන් විසිනුයි. එවිට කොහොමද ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය හැරුණුකොට ජනමාධ්‍යය හතරවැනි ආණ්ඩුවක් වෙන්නේ? ජනතාවට කොහොමද මනෝ චිකිත්සනයක් වෙන්නේ?

එහෙත් ජනමතයක් ගොඩනැඟීමට ජනමාධ්‍ය තරම් ප්‍රබල මාධ්‍යයක් තවත් නැති තරම්. ඒ හරහා ජනතා සංවර්ධනයක් සිදු කළ නො හැකි ද?
සංවර්ධනය සඳහා තවමත් ප්‍රබල වන්නේ සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රමයි. මුඩුක්කුවකට ග්‍රාමීය පරිසරයකට නව ජනමාධ්‍යය ගෙනයන්න තවමත් නො හැකිවී තිබෙනවා.
ගුවන්විදුලිය රූපවාහිනිය අද ඕනෑ තරම් විනෝදාත්මක වැඩසටහන් ප්‍රචාරය කරනවා. එහෙත් රටේ ප්‍රචණ්ඩත්වයට හෝ වෙනත් ප්‍රශ්නවලට එය බලපෑමක් වී නැහැ. ඒ වැඩසටහන්වලින් ජනතාවට වූ සංවර්ධනය කුමක් ද?
ඒ වගේ ම මාධ්‍ය මඟින් නිරන්තරයෙන් රට මැද පුවත් වාර්තා කිරීමක් මිසක් ප්‍රාදේශීය පුවත් වාර්තා වෙන්නේ කලාතුරකින්. අපේ රටේ ප්‍රජා මාධ්‍ය ක්‍රියාත්මක නොවීම ප්‍රශ්නයක්. රටේ මූලික අවධීන් ආමන්ත්‍රණය කිරීමට මේ ජන මාධ්‍යයන්ට බැහැ.
ඔබ කියු ආකාරයට ජන මතය ගොඩනැඟීම අතින් ජනමාධ්‍ය ඉහළින් සිටිනවා. ඔබට මතක නම් පහුගිය වසරක බුදු පිළිමවලින් බුදුරැස් විහිදෙනවා යයි පුවතක් මුළු රටම එක පැයකින් දැනගත්තා. එයයි ජනමාධ්‍යයේ ප්‍රබලතාවය. අප තුළ නැති මතයක් වහාම අපට ඇතුළු කිරීමට ජනමාධ්‍යයට හැකියාව තිබෙනවා. ඒ මඟින් ජනතාවගේ ප්‍රතිවේදාත්මක චින්තනය, තමන් කවුද කියන සංකල්පය නැති කරන්නත් පුළුවන්. ඒත් ඒ ජනමතය හරහා සංවර්ධනය වන ප්‍රජාවක් අපට දකින්න බැහැ. බුදු දහම වුණත් ජනමාධ්‍යයට පැමිණ තිබෙන්නේ මුල් ත්‍රිපිටක ගත බුදුදහම ලෙස ද? ජනමාධ්‍යයට එන විට එයත් ජනපි‍්‍රය බුදු දහමක් වෙලා. ඒ නිසා මිනිසුන් ගමේ පන්සලෙන් ඉවත් වෙලා ජනපි‍්‍රය පන්සල්වලට ඇදෙන්න පටන් අරන්.
ජනමාධ්‍ය විසින් මිනිසාගේ ස්වාධීන චින්තනය යටපත් කර අධිපතිවාදියාගේ චින්තනය ඉස්මතු කර තිබෙනවා. මානවයාගේ මුල, ගෝත්‍රික සමාජය ගත්තම එහි තත්ත්වයත් මෙයමයි. ගෝත්‍රික නායකයාව කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගත යුතු වෙනවා. අප නැවත ප්‍රාථමික අවධියට ගොස් තිබෙනවා.

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: අද ජනමාධ්‍ය මිනිසාගේ ස්වාධීන චින්තනය නැතිකොට තිබෙනවා Rating: 5 Reviewed By: Unknown