728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Wednesday, 2 April 2014

රජකාලේ දඬුවම්





“හූනියම්” ද එකල සමාජයේ බරපතළ වරදකි. ඇතැම් විටෙක එය රාජද්‍රෝහී ක්‍රියාවක් ලෙස ද සැලකිණි. හූනියම් කරන්නවුන් මරණ දණ්ඩනයට පවා ලක්වූයේ එබැවිනි.
මේ හූනියම් හා දඬුවම් ගැනය, “නොමැකෙන පියසටහන්” මෙවර සොයා යන්නේ.



ගැලවීමකට ඉඩ නොදී තම පසුපස හඹා එන කරදරයක් එකල ගැමියකු හැඳින්වූයේ හූනියමක් ලෙස ය. මෙකල වුව ද එසේ පවසන්නෝ හිඟ නොවෙති. “හූනියම” ඒතරමට තමන්ට විපත් ගෙන දෙන්නේ යැයි ගැමියෝ තරයේ ඇදවූහ. ඊට හේතුවක් තිබිණි. එනම් ලක් වැසියෝ දෙවියන්ගේ බලය මෙන් ම යකුන්ගේ බලය ද එක ලෙසම ඇදහූ බැවිනි.

තමාට අවැසි යහපත් දේ ඉල්ලා ගැනීම පිණිස බොහෝ විට දෙවියන් පසුපස පිහිට පතා ගිය ගැමියකු අනෙකා වෙනුවෙන් හූනියම් කරනු ලැබුවේ යකාගේ පිහිට පතමිනි. දෙවියන් බුදුන් වදින දෑතින් ම යකුන් ද වන්දනා මාන කළ සහ කරන මේ දනෝ තෙලින් මලින් මේ දෙපිරිසම පුදති.
සිංහල සාහිත්‍ය වංශයට හූනියම් ගැන සටහනක් තබන මහාචාර්ය පුංචි බණ්ඩාර සන්නස්ගල මහතා පවසන්නේ හූනියම් හෙවත් අණවින සීතාවක යුගයේ පටන් තිබූ බව පැහැදිලිව පෙනෙන වගකි.
හූනියමට දඬුවම ද එසේ මෙසේ එකක් නොවිණි. හූනියම බරපතළ වරදක් ලෙස සැලකූ සමහර රජුන් විසින් හූනියම් කරන අය මරණයට පත්කරනු ලැබූහ. පළමුවන රාජසිංහ රජු දොඩම්පේ ගණිතයා මරා දැමුවේ හූනියම් කළ නිසා බව රාජාවලියෙහි එන කරුණු අනුව සන්නස්ගල මහතා පවසයි.
පළමුවන රාජසිංහ අතින් හූනියම් කිරීමේ වරදට දඬුවම් ලැබුවේ “ගණිතයා” පමණක් නොවන වග පැහැදිලි වන්නේ රජු සම්බන්ධයෙන් වූ වෙනත් පත පොත හැදෑරීමේදී ය.
ඓතිහාසික සටහන් අනුව යමින් ඩී.ආර්. ජයවර්ධන විසින් රචිත ‘ත්‍රි සිංහල සංග්‍රාමය’ නැමැති කෘතියේ පළමුවැනි රාජසිංහ රජු ගැන වූ කතා වස්තුවකි. එහි එන පරිදි රජු හූනියම් කළ පිරිස් කිසිදු සමාවකින් තොරව මරා දමා ඇත. ඒ බව කතුවරයා සටහන් කර ඇත්තේ මෙලෙස ය.
“රජතුමා විනාශ කර දැමීමට භික්ෂූන් විසින් දරන ලද ප්‍රයත්න බොහෝ ය. සීතාවකට නුදුරු විහාරස්ථානයෙක රාජ ද්‍රෝහී කුමන්ත්‍රණයක් කැරෙන බව ඇසූ රාජසිංහයන් භට පිරිසකුත් කැටිව රාත්‍රි කාලයෙහි එහි ගිය බව කියති.
විහාරය වටකොට කවුළුවෙන් එබී බැලූ විට එහි ඇතුළත භයානක දර්ශනයක් විය. මැටියෙන් තැනූ රජතුමාගේ රූපයක ජප කරන ලද දෙහි කටු අනිමින් කොඩි විනයක් කරන නැකති කට්ටාඩියෙක් ද එය ආශාවෙන් බලා සිටි භික්ෂු පිරිසක් ද රජතුමා විසින් දක්නා ලදහ.
වසා තිබුණු දොර කඩා ඇතුළු වූ රාජසිංහයෝ පළල් වූ පතක් සහිත දිලිසෙන කඩුව කොපුවෙන් ඇද සිය අතින් ම කොඩිවිණකාර පිරිස කැබලිවලට කපා දමන ලදහ. මේ සිද්ධියෙන් පසු රාජසිංහයෝ බෞද්ධ භික්ෂුන්ගේ නිරනුකම්පක සතුරා වූහ.”
සීතාවක රජු හා භික්ෂුන් අතර වූ ඒ නොමනාපය ගැන යමක් සඳහන් කළ යුතු ය. එනම් සීතාවක රජු පෘතුගීසින්ට විරුද්ධව දරුණු සටනක යෙදුණ වීර චරිතයකි. පෘතුගීසින් සම්පූර්ණයෙන් ම අඩපණ කොට ලක් දෙරණ සම්පූර්ණයෙන් ඔහු යටතට ගැනීම ඔහුගේ ඒකායන අභිමතය විය. මේ අභිමතය වෙනුවෙන් සුළු හෝ බාධා තැබීමට අකමැති වූ රජු ඇතැම්විට ගත් ක්‍රියාමාර්ගයන් සාහසික ලෙස පෙනී ගියේ ය. භික්ෂුන් එරෙහි වූයේ රජුගේ මේ ගුණයට බව කියැවේ. එහිදී භික්ෂුන් ගේ අදහස වී ඇත්තේ රජුගේ අරමුණ කෙසේ වුවත් ඒ සඳහා කෙරෙන ඝාතන අනුමත කළ නොහැකි බව ය. එබැවින් පෘතුගීසින් සමඟ වුව ද සමාදානයෙන් කල් යවන ලෙස භික්ෂුන් දේශනා කර ඇත්තේ. එහෙත් දෙසුම් පවා තම අරමුණට බාධා ලෙස රජු විසින් සලකනු ලැබීය. රජු හා භික්ෂූන් අතර මේ නොසමඟිය ඇති වී ඇත්තේ ඒ හේතු සාධක මත ය.
කෙසේ වුව ද ආදේශ රූපයක් තනා රජුට කොඩිවිණ කළ බවත් ඉහත කියැවිණි. මේ රූප තනා පුද්ගලයන්ට විරුද්ධ කෙරෙන හූනියම් අදට ද නැවතී නැත. පසුගිය දිනක සිය පවුලට කළ හූනියමක් සම්බන්ධයෙන් විද්‍යාවේදී උපාධිධාරිනියක මහත් කනගාටුවෙන් යුතුව කියූ අතුරු කතාවක් මාගේ සිහියට නැගේ.
ඇයගේ කතාවට අනුව ඇයගේ සහ සොහොයුරියන්ගේ රූප කෙටූ තඹ පතක් මුළුතැන්ගෙයි ළිපට යටින් තිබී හමුවී ඇත. ඔවුන්ගේ ජීවිත අඳුරු කරවීම හූනියම්කරුගේ අභිමතය වී ඇත.
එවැනි උදාහරණ එකල සමාජයේ මෙන් ම මෙකල සමාජයේ බොහෝ ය.
මේ ආදේශ රූකඩ අනුව හූනියම් කිරීම ගැන වූ කවක් සන්නස්ගල මහතා සිය සිංහල සාහිත්‍ය වංශය කෘතියේ සඳහන් කරන්නේ කැපුම්සළඹ සාන්තිය ඇසුරිනි. ඒ මෙලෙසිනි.

රූකඩ පෙතලි ගෙන නමකුරු ලියාලා
පේකොට එතැන සොහොනෙදි පන්නවලා
රූකඩ විනේ වරෙන්න උගුළුවා ලා
ලෝදර පතිනි සළඹේ අනුහස් විපුලා

යාග පොත් අතර වැඩි කොටසක් ඇත්තේ හූනියම් කැපීම සඳහා බවත්, රූප තනා අකුරු පවා අසුකරමින් මේ හූනියම් කිරීම සියුම්ව කළ ආකාරය ඒ යාග පොත් වල ඇති බව සන්නස්ගල මහතා වැඩිදුරටත් පවසයි. ඉහත කව සටහන් තබනුයේ ඊට නිදසුන් ලෙස ය.
රාජ්‍යයට හූනියම් කිරීම මහනුවර යුගයේ තදින් ම කෙරුණු බව කියවේ. එකල සමාජයේ කොතැනක වුව ද මේ හූනියම් කිරීම සිදුව තිබේ.
ජෝන් ඩොයිල්ට ද හූනියම් ගැන සටහන් තබන්නට හැකිව ඇත්තේ ඒ නිසා විය යුතු ය. හූනියම් ගැන ඔහු තබන නිර්වචනයක් බඳු වූ විස්තරය මෙලෙස ය.
“අණවින කිරීමේ ක්‍රමයක් වූ මෙය පොදුවේ පිළිකුල් කරන ලද කටයුත්තකි. සතුරකුගේ රූපය අඹා හෝ ඇඳ හෝ එසේත් නැති නම් ඔහුගේ නම ලියා මන්ත්‍ර චාරිත්‍ර විධි සහ පළිගැසීම් යොදා ගනිමින් අදාළ ශිල්පීය දක්ෂතාව සහිත පුද්ගලයකුට සතුරා මරා දැමීමට රෝගාතුර කිරීමට හෝ වෙනත් බරපතළ උවදුරු ඇති කිරීමට හැකි යැයි විශ්වාස කරනු ලැබේ.”
ඩොයිලි දුටු උඩරට රාජ්‍යය - පරිවර්තනය - උපාලි රත්නායක)
නරේන්ද්‍රසිංහ රජු සමයේ ද හූනියම් කළ කිහිප දෙනෙකු මරණයට පත් කළ බවට කරුණු ගෙන හැර පාන්නේ ඩොයිලිය. මරණය ලක් කෙරුවන්ගේ දේපළ ඇතැම් විටෙක රාජසන්තක විය. එසේත් නැතිනම් හානියට පත් පාර්ශ්වයට එය පවරා දුන් බවට කරුණු කියැවෙන බව ද ඩොයිල් පවසයි.
කීර්ති ශ්‍රී රජු සමයේද රජුට විරුද්ධව හූනියම් කළවුන් අල්ලා මරණයට පත් කළ බව කියැවේ.
රජුට විරුද්ධව කෙරුණ හූනියම් රාජද්‍රෝහි හූනියම් ලෙස නම් කර ඇත. රාජද්‍රෝහිකමට ලැබුණ ඉරණම මරණයයි. රජුට විරුද්ධව හූනියම් කර අසුවූ පස් දෙනකු මරණයට පත් කර තිබෙන බව කියැවේ.
හූනියම් කර අසුවූවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ තවත් කරුණු කීපයකි. මේ හදි හූනියම් සම්බන්ධ නඩුවල දී වැරදිකරුවා සැබැවින් ම වැරදිකරු යන්න ගැන දිව්රන ක්‍රමයක් විය. ඒ අනුව සැකකරුවා උණු තෙලෙහි අත දමා දිව්රීම කළ යුතු ය. එහිදී ඔහු වැරදිකරු වුවහොත් මරණ දඬුවම නියම විය. එසේත් නැතිනම් ඔහුගේ සමාජයෙන් හා කුලයෙන්, හීන කුලයකට නෙරපා දැමිණි.
කෙසේ වුව ද ක්‍රමයෙන් මේ දඬුවම් හීන වී ගිය සැටියකි. ඒ ගැන ඩොයිලි තබන සටහන මෙලෙස ය.
“එහෙත් ගෙවී ගිය වසර පනහක හැටක කාලය තුළ දී කිසිවකුත් මේ අපරාධයට වන්දි වශයෙන් මරණයට පත් කරනු නොලැබිණි. වැරැදිකරුවන් බවට පත් කළ අවස්ථා ද ඉතා අල්ප විය. වැරැදිකරු සතුව තිබූ ඉඩම ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයට ලබාදුන් අවස්ථා එකකට හෝ දෙකකට හෝ වඩා වැඩි නොවීය.
මෑත වසරවලදී හදි හූනියම් පිළිබඳ පැමිණිලි බහුලව දක්නට නොලැබුණු අතර ඒ පිළිබඳව නඩු මඟට එළැඹි අවස්ථා ඊට ද වඩා අඩුය. මෙවැනි නඩුවකදී හූනියම් කළ බව ඔප්පු කිරීම සඳහා කරුණු ඉදිරිපත් කළ හැකි වන්නේ ඉතා කලාතුරකින් පමණයි. යළිත් එවැනි හූනියම් කටයුතුවල යෙදීම තහනම් කරමින් ප්‍රධානීන් විසින් මේ නඩු සමථයකට පත් කිරීම සාමාන්‍යයෙන් සිදුවේ.”
මේ අනුව පැහැදිලි වන්නේ හූනියම් පිළිබඳ වූ විශ්වාසය ක්‍රමයෙන් හීනවී ගිය සැටියකි. එහෙත් හූනියම් ගැන විශ්වාසය අදට ද නැත්තටම නැතිව ගොස් නැත.”
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: රජකාලේ දඬුවම් Rating: 5 Reviewed By: Unknown