728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday 13 July 2013

මෙහෙම ගියොත් ත්‍රිකුණාමලයේ කන්දක්‌වත් දකින්න ලැබෙන එකක්‌ නෑ.

උණුවතුර ළිං ටිකත් වනසන ත්‍රිකුණාමලයේ පස්‌ හොරු

ත්‍රිකුණාමලයම මහා ස්‌වභාවික සම්පතක්‌ වූයේය. ඒ අසිරිමත් ස්‌වභාවික සම්පතින් අමිල වටිනාකම විදේශ බලවේග ත්‍රිකුණාමලය අල්ලා ගැනීමට හේතුවිය. විශේෂයෙන්ම ත්‍රිකුණාමලය වරාය හා ඒ ආසන්නයේ ඇති භූමිය සංග්‍රාමික වශයෙන් අතිශයින් වැදගත් වූයේය.

ත්‍රිකුණාමලය කන්නියාව දක්‌වා විහිදෙන කඳුගැට පෙළ විශිෂ්ට ස්‌වභාවික සම්පතක්‌ව තිබිණ. සුප්‍රකට උණු වතුර ළිං තිබුණේ මේ කඳු පංති අතර නිම්නයේය. දුටුවන් මන පිනවන දැකුම්කළු සහිත මේ කඳු පන්ති මතින් ගලාඑන සුළං රැළිවලින් පරිසරය පෙළන කටුක ග්‍රීස්‌මය මඟහැරිණි.



අද ඒ කඳුගැට සාහසික ලෙස වැනසෙමින් තිබේ. මේ වන විට ඊනියා සංවර්ධනයේ මුවාවෙන් මේ කඳුගැට කපා ජය ලබා ගැනීමට දේශපාලන බලය සහිත කාළකණ්‌ණි පිරිසක්‌ කටයුතු කරමින් සිටිති.

ප්‍රදේශය සංවර්ධනය කළ යුතුය. මංමාවත් ඉදිකිරීමද කළ යුතුය. නමුත් ඒ සංවර්ධනය තාර්කික විය යුතුය. මේ කුඩා කඳුගැට අද බිමට සමතලා වන්නේ කිසිම පාරිසරික ඇගයීම් නිර්දේශයකට අනුකූලව නොවේ. දේශපාලකයන්ට හා උන්ගේ බත් බැලයන්ට උවමනා හැටියටය.

මේ වනසන්නේ ත්‍රිකුණාමලය උණු දිය ළිං ආශ්‍රිත කඳු පද්ධතියයි. දැඩි නියං කාලයේදීත් උණු දිය උල්පතේ ජලය ර¹ පවතින්නේ මේ කඳු පන්තිය නිසාය. නමුත් අද එම ප්‍රදේශයේ කඳු පද්ධතිය විනාශ කරන්නේ රජයේ අවසරය මතයි. යුද්ධ කාලයේ දී මේවා සියල්ල දිසාපතිවරයා යටතේ තිබුණු නිසාදෝ මෙතරම් විනාශයක්‌ සිදු නොවීය. නමුත් උදේ දකින කඳු පන්තියේ කොටස්‌ දවල් වන විට බිමට සමතලා වන්නේය. දකින සංවේදී මිනිස්‌සුන්ගේ දෙනෙත් කඳුලින් බොඳ වන්නේය. එම පරිසර පද්ධතිවලට ආවේනික ශාක මෙන්ම එම පරිසරයේ ජීවත් වූ සතුන්ද නෙත් අබියස වැනසෙන්නේය.

අද මේ රටේ නිතිය අනුව පස්‌ කඳු කැපීමට ආයතන හතරකින් අවසර ගත යුතුයි. භූ විද්‍යා හා පතල් කාර්යාංශය, වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවෙන් හා පරිසර අධිකාරියෙන් මෙන්ම නාගරික සංවර්ධන අධිකාරියද බලපත් දී සහතික කළ යුතුය. නමුත් මේ ආයතනවල සිටින කුමන හෝ ජඩ බලවේගයක්‌ නිසා මේ ආයතනවල නිලධාරීන් මේ පව්කාරකම් සඳහා අවසර ලබාදීමට සිදුවී ඇත්තේ ඇස්‌ දෙක පියාගෙනය. එසේ නොමැති වුවහොත් ඔවුන් දේශපාලනයේ උදහසට ලක්‌ වන්නේය. මේ අපට එම නිලධාරීන් කියන කතාවය.

මේ සම්බන්ධව අප ත්‍රිකුණාමල වන අඩවි නිලධාරි කාර්යාලයේ නිලධාරියකුගෙන් විමසූ කළ ඔහු අප සමග මෙසේ පැවසීය.

"මහත්තයෝ... අපි මොනවා කරන්නද... පරිසර අධිකාරිය අවසර දෙනව නම් භූ විද්‍යා හා පතල් කාර්යාංශය අවසර දෙනවා නම් ඇයි අපි අවසර නොදෙන්නෙ කියා ප්‍රශ්න කරනවා. මේ කඳු කපනවා විතරක්‌ නෙමෙයි අද මේ අය වළවල් වාගේ හාරන්න පටන්ගෙන. හරියට ළිං වගේ. ඉතින් මෙහෙම ගියොත් ත්‍රිකුණාමලයේ කන්දක්‌වත් දකින්න ලැබෙන එකක්‌ නෑ.

අපි අවසර දුන්නෙ නැත්නම් කියනවා පාරවල් හදන්න එපා කියලද කියන්නේ කියලා. නමුත් පරිසරය අලංකාර කරන නගරය අසල තිබෙන මේ කඳු පද්ධතිය විනාශ නොකර පස්‌ ගන්න තැන් තියෙනවා. නමුත් අධික ලාභ ලබන්න ඕන නිසා අද මේවා විනාශ කරනවා. අපිත් මේවා දිහා පුළුවන්කමට බලන් ඉන්නවා නොවෙයි. ඔහු එසේ කීවේ මහා කළකිරීමකිනි. වේදනාවෙනි.

අප මේ සම්බන්ධව ත්‍රිකුණාමල ප්‍රාදේශීය ලේකම් ශෂීදේවී ජලදීපන් මහත්මියගෙන් විමසූ විට ඇය පැවසුවේ "අපට කිසි දෙයක්‌ කරන්න බැහැ. එහි වගකීම තියෙන්නේ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට" බවයි.

ත්‍රිකුණාමලය, ඉලුප්පුකුලම, පෙරියකුලම, කින්නියාව මෙන්ම අතිශය වටිනා පුරාවස්‌තු වටිනාකමක්‌ සහිත වෙල්ගම් වෙහෙර ප්‍රදේශවල මහා පරිමාණයෙන් මේ වන විට කඳු විනාශ කරන ආකාරය අපි අපේ දෑසින් දකිමින් හිඳිමු. එක්‌ කඳුගැටයකින් කන්දකින් පස්‌ කියුබ් සියයේ සිට දහස දක්‌වා ප්‍රමාණයක්‌ කපන බව ඉලුප්පුකුලම ගම්මානයේ ගම්වැසියෝ අප සමග පැවසූහ.

දිනකට ලොරි 50 ක්‌ 60 ක්‌ පස්‌ පටවනවා. ඩෝසර් යොදාගෙන මේ පස්‌ කැපීම කරන්නේ ප්‍රබල දේශපාලකයන් මෙන්ම දේශපාලන හිතවතුන් තමයි මේවා කරන්නේ. නීතියට පටහැනිව ප්‍රවාහනය කරනවා. නමුත් පොලිසියත් ඔහේ බලන් ඉන්නවා. මොනවත් කරන්නේ නෑ. අපි මොනවා කරන්නද මහත්තයෝ.... ඔවුන්ගේ බලාපොරොත්තු මියගොස්‌ය.

"මේවා අපේ උපන් බිම්. කරුණාකරලා මේවා කාන්තාර කරන්න ඉඩ දෙන්න එපා..." පස්‌ කපන අය එන්න එන්නම වැඩිවෙනවා. මේ පස්‌කාරයො අතරත් තරගයක්‌ ඇතිවෙලා . මේ පළාතෙ වගකිවයුතු මහත්තුරු වැඩි දෙනකුට මේ වැඩෙන් ජරාව යනවා... මේ පව්කාර වැඩේ කෙළවර කොතැනද?" මේ මිනිස්‌සු අපෙන් විමසති. අප ජීවත් වන්නේ කැලෑවට ගොස්‌ දර කෑල්ලක්‌ අහුලා ගන්නා අහිංසකයාටත් නඩු දමන රටකය. මේ අපරාධ සිදු වන්නේ ඒ රටේය.

අපට දුක අපේ ජීවිත සුවපත් කළ මහා අසිරිය වැනසී අපේ දෙනෙත් මානයේම අපේ ගම්බිම් කාන්තාර වන එකය. "සංවර්ධනය" යනු මරණය නොවේ. එහෙත් ඒ උතුම් සංකල්පයේ නාමයෙන් අපේ ගම්මානවලට මරණය පැමිණ තිබේ.

සමන් මල්ලවආරච්චි
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මෙහෙම ගියොත් ත්‍රිකුණාමලයේ කන්දක්‌වත් දකින්න ලැබෙන එකක්‌ නෑ. Rating: 5 Reviewed By: Unknown