728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday 7 July 2013

‘13’ වන දේපළ ලියා ඇත්තේ මධ්‍යම රජයට ප‍්‍රාණ භුක්තියවත් නොතබා

මධ්‍යම රජයට ප්‍රාණ භුක්තියවත් තබා නොගෙන 13 වන සංශෝධනයෙන් දේපළ පවරා තිබෙන නිසා පළාත් සභා බලතල අන්තවාදී බෙඳුම්වාදි පක්ෂ අතට ගියොත් ව්‍යවස්ථාදායකය අසරණවෙන එක වැළැක්විය නොහැකි බවත්  වැඩිහිටි දෙමව්පියන් ඔවුන්ගේ දේපළවල අයිතිය දරුවන්ට පැවරීමේදී පවා ප්‍රාණ භුක්තිය තබාගෙන එම දේපළ පවරන බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ  පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ “සොබා කැකුළු” පරිසර ප්‍රදර්ශනයේ සමාප්ති උළෙල වෙනුවෙන් තලංගම උතුර, බත්තරමුල්ල එම්.ඩී. එච්. ජයවර්ධන විද්‍යාලයේදී පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා “ලැබුණු සාමය හා  ස්ථාවරභාවය  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  තියෙන සිදුරුවලින්  රිංගලා නැවත නැති කරන්න ඉඩදෙන්න බැහැ. මේ  ව්‍යවස්ථාවේ  සිදුරු තියෙනවා. ඒ සිදුරු තියෙන්නේ හරි දේට  නොවෙයි. වැරදි දේට. දැන් සමහරු කියනවා,  උතුරට පළාත් සභා දෙනකොට තමයි  මේ අය විරුද්ධ කියලා.  නැහැ.  බස්නාහිර පළාත් සභාව වගේම නම් උතුරු පළාත් සභාවත් බලය ගත්තාට පස්සේ කටයුතු කරන්නේ අපි විරුද්ධ නැහැ.  ව්‍යවස්ථාවේ බලයදීලා තිබුණට බස්නාහිර පළාත් සභාවේ වෙනම  පොලිසියක් නැහැ. වෙනම පොලිසියක් හැදුවා නම්  ඇතැම් විට මහ ඇමති යටතේ තමයි  පොලිසිය තියෙන්නේ.  සමහර  විට එය අනිවාර්ය වෙනවා.  මහ ඇමතිගේ විධානයට   ඒ පොලිසිය ක්‍රියාත්මක වෙනවා.  අපි හිතුවොත් පළාත් 9 ටම  පොලිසි  9 ක්  හැදුවොත් ව්‍යවස්ථාවේ දීලා  තියෙන  බලය අනුව  මධ්‍යම ආණ්ඩුවේ  පොලිසිය කොහෙද  ඉන්නේ. පොලිස්පතිතුමාගේ කාර්යාලය කොහිද තියෙන්නේ?  දැන්  ඔයවගේ බලය ෆෙඩරල්  ක්‍රමයට හදපු රටවල් වල ප්‍රධාන අගනුවර මධ්‍යම රජයට ඉතුරුකර ගත්තා.
දැන් අපේ පළාත්  9 යේම පොලිසි 9 යම හැදුනාම, පළාත් 9 හිම නියෝජ්‍ය පොලිස්පතිලා මහ ඇමති යටතේ  බලය පාවිච්චි කරන්න ගත්තාම,  මහ ඇමතිවරුන්ට ඕන විදිහට පළාත් 9  හිම නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ පත්වීම් ආදිය දෙන්න ගත්තහම, මධ්‍යම රජයේ  පොලිසිය කියන එක  ප්‍රායෝගිකව නැති වෙනවා. පළාත් 9 යේ  පොලිසි 9 යම  හැදුනහම ආයේ  මධ්‍යම රජයේ  පොලිසියකට ඉන්න  තැනක් නැහැ.  එහෙම  ඉන්න තැනක් ගැන හිතලවත් නැහැ. අඩුමගාණේ පොලිස්පතිතුමාට ඉන්න වෙන්නේ බස්නාහිර පළාතේ අවසරය අනුමැතිය ඇතිව එම පළාතේ කාර්යාලයක් හදාගෙන. මේ නිසානේ    බලතල  බස්නාහිර පළාතේ පාවිච්චි කරන්නේ නැත්තේ ගැටළු ගොඩක් මතුවෙන නිසා. ඉඩම් බලතලත් ව්‍යවස්ථාවේ දීලාතියෙන  විදිහට මේ පළාත් සභා පාවිච්චි කරන්නේ නැහැ. නැතිහින්දා තමයි අපි කියන්නේ  මේ පළාත් සභාව වගේ හැසිරෙන්නේ නැහැ අනිත් පළාත් සභා බලය ගත්තම.
ඒගොල්ලෝ  ව්‍යවස්ථාවේ තියෙන හැම සිදුරකින්ම  රිංගනවා. බස්නාහිර පළාත් සභාවේ මහඇමතිතුමාලා ව්‍යවස්ථාවේ සිදුරු සොය සොයා  රිංගන්න යන්නේ නැහැ. ලැබුණු බලයෙන් ඒ වැඩ කොටස කරනවා. අරගොල්ලො  එහෙම  නෙවෙයි ඒ අය බලන්නේ. එන්නේ සිදුරු සොය සොය ඒවායින් රිංගන්න. එහෙම රිංගන්න සිදුරු නැත්නම්  සිදුරු හදන්න බලනවා. නැත්නම් දරුවන්ට “ සොබා කැකුළු ” වැනි වැඩසටහන් හදලා දෙමළ දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවන්න නෙවෙයි.  එන්නේ මධ්‍යම රජය සමඟ  බල ගැටුම හදන්න. එන්නෙම බෙඳුම්වාදි දිශාවට තව පියවරක් තියන්න. ඒ නිසා තමයි කියන්නේ මෙතන පාවිච්චි නොකරන බලතල එතන පාවිච්චි කරන්න දෙන්න එපා. මෙහෙ පළාත් ඒකාබද්ධ කරන බලතල පාවිච්චි  කරන්නේ නැහැ. බස්නාහිර පළාත් සභාව  පාර්ලිමේන්තුවෙන් එන  අණපනත් හරවලා යවන්නේ නැහැ.  බස්නාහිර එහෙම වුණාට උතුරු නැගෙනහිර එහෙම වෙනවද?  නැහැ. 13 හරියට ක්‍රියාත්මක වුණොත් මධ්‍යම රජයට කරන්න දෙයක් නැති වෙනවා. අපි හිතුවොත් පාර්ලිමේන්තුව නීතියක් හදනවා.  ඒ නීතියට පළාත් 9 ට  විරුද්ධ වෙනවා. ඒ නීතිය සරල බහුතරයෙන්  පාර්ලිමේන්තුවේදී සම්මත කරගත්තත් පළාත් 9 ට විරුද්ධ වුණොත් එය ලංකාවට නීතියක් වෙන්නේ නැහැ. එතකොට ව්‍යවස්ථාදායක බලය  සම්පූර්ණයෙන්ම පළාත් සභා මතයට  ඉඩදීලා ඉවරයි.  අද ඒ ගැටළු අපට  දකින්න නැහැ.  ජාතික දේශපාලන පක්ෂ මත පළාත් සභා බලය  තියෙන නිසා. හැබැයි මේ බලය අන්තවාදී බෙඳුම්වාදී බලවේග අතට  ගිය දවසක බලාගන්න පුළුවන් ව්‍යවස්ථාදායකය, මධ්‍යම රජය දුර්වල වෙන්නේ කොහොමද කියලා. අපි කියන්නේ අනිත් පළාත් සභාවලට දීලා තියෙන  බලතලම උතුරු නැගෙනහිරටත් දෙන්න කියලා. මෙහෙ ප්‍රමානයටම එහෙත් තියන්න කියලා.  මෙහෙ දීලා තියෙන බලතල එහෙම දෙන්න එපා කියලා නොවෙයි.
ඔබ දන්නවා අම්මා තාත්තා වුණත් දරුවෙකුට දෙපළක් ලියන විට ලියන්නේ ප්‍රාණ භුක්තිය තියාගෙන. දරුවට ලියන්නෙත් ප්‍රාණ භුක්තිය තියාගෙන.  නමුත් 13 වන දේපළ ලියලා තියෙන්නේ  මධ්‍යම රජයට ප්‍රාණ භුක්තියක්වත් තියාගන්නේ නැතිව පළාත් 9 යේ  පොලිසි 9 හැදුණොත් පොලිස්පතිතුමාට ඉන්න තැනක්වත් නැතිවෙනවා. පනතක් සරල බහුතරයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත  වුණත් පලාත් 9 ම විරුද්ධ නම් එයින් වැඩකුත් නැහැ. ඒකයි මම කිව්වේ ප්‍රාණ භුක්තිය තියාගෙන වත් නොවෙයි ලියලා තියෙන්නේ කියලා. දෙමව්පියන් දරුවන්ට කරන්නෙත් බලය ලබාදෙනකොට  එහෙම නම්  රටක  ප්‍රධාන ව්‍යවස්ථාදායකයේ බලය සම්බන්ධයෙන්  කටයුතු කරනකොට  කොහොම කරන්න ඕනෙද?  මේ රජය අද  ඒ  අවශ්‍යතාවය තදින්ම අවධාරණය කරන තැනකට ඇවිල්ලා තියෙන්නේ. සමහරු මේවාට සහයෝගය දෙන්නේ නැතුව එක එක විදිහට    මේවා වළක්වන්න බලනවා. නමුත් අපිට පේනවා අපේ රට  අභියෝග ජයගනිමින් ඉදිරියට යනවා. මේ දරුවන් වෙනුවෙන්  බෙඳුම්වාදී අරගල තියෙන අනාගත ලංකාවක් හදන්න අපිට අයිතියක් නැහැ.  මියගිය දරුවන් ජීවිත පූජා කළේ  එහෙම රටක් හදන්න නෙවෙයි.  ඒ නිසා තමයි අද අතිගරු ජනාධිපතිතුමා   ඒ ව්‍යවස්ථාවේ තියෙන , බෙඳුම්වාදීන්ට රිංගන්න හැකිවෙන සිදුරු ටික වහලා  ව්‍යවස්ථාවෙන් බෙඳුම්වාදීන්ට  රිංගලා යන්න පුළුවන් අවස්ථා නැති කරන්න පුළුවන් පියවර උපරිමයෙන්ම ගන්න තීරණය කරලා තියෙන්නේ. සාමය ලැබුණේ මේ දරුවන්ට.  ස්ථාවරභාවය ලැබුණේ මේ දරුවන්ට. ඒ දරුවන්ට තමයි අනාගතයේ ප්‍රදාන අඩිතාලම වැටෙන්නේ. රටේ ස්ථාවරභාවය, ව්‍යවස්ථාදායකයේ බලය ආරක්ෂා කිරීම යන මේ කරුණු 2 පිළිබඳව අපි ඉතාම සංවේදීව කටයුතු කළ යුතුව තියෙනවා.
අතිගරු ජනාධිපතිතුමා  2005 බලයට ඇවිල්ලා එතුමා වෙනත් රටාවකට හිතුවා. වෙනස් රටාවකට  හිතුවා කියලා  කියන්නේ  කලින් හිටපු  හැම පාලකයෙක්ම  හිතපු රටාවක් තිබුණා.  ඒ තමයි සාකච්ඡා මාර්ගයෙන්,  සම්මුතියෙන් මේ ප්‍රශ්න විසදගත යුතුයි කියලා. සම්මුතියෙන් බලය බෙදා හදා ගැනීමෙන්  මේ ප්‍රශ්නය විසදගත යුතුයි කියලා.  ඒ තමයි  කලින් හිටපු  හැම පාලකයෙකුටම  දීලා තිබුණු චින්තනය.  මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා  2005 බලයට ඇවිල්ලා  ඒ චින්තන රටාවටම  හිතන්න ගත්තා නම්  රට දෙකඩවෙලා  යුද්ධය සදාකාලික වෙනවා.   නමුත් ඒ චින්තන රටාවලට අනුගත නොවී  එතුමා වෙනස් චින්තනයක් මත ඉදලා රටේ පවතින බෙදුම්වාදී ත්‍රස්තවාදය පරද්දන්න ඕන  යුද්ධ කරලා නම්  යුද්ධ කළ යුතුයි කියන චින්තනයේ  හිටියා.  ඒ චින්තනය ඉපදුනේ  නැත්නම් වෙනස් විදිහට  කල්පනා කිරීමේ  හැකියාවක්  එතුමා තුළ ගොඩනැගිලා  තිබුණේ නැත්නම් එහෙම තීන්දුවක් නිර්මාණය වන්නේ නැහැ.  එහෙම  තීන්දුවක් ආවේ  නැත්නම්  රටට සාමට ලැබෙන්නෙත් නැහැ.  සම්ප්‍රදායික, ගතානුගතික   ආකෘතියකට අනුව කල්පනා   කරන දරුවෙකු වෙනුවට, දී තිබෙන විෂය නිර්දේශයට පමණක් කොටුවන  දරුවෙක් ගොඩනගනවා වෙනුවට  නිර්මාණාත්මකව  සමාජයේ අභියෝග ජයගත හැකි  නිර්මාණාත්මක  හැකියාවන්ගෙන් අනූන දරුවෙක්   බිහිකිරීමේ අභියෝගය අපට තියෙනවා.
වෙනස් විදිහකට හිතලා තීන්දු ගත්තු හැම අවස්ථාවලදී අපි ජය අරගෙන තියෙනවා .දැන් වෙනස්විදිහට හිතලා ජය ලබමින් ඉදිරියට යන කාලයක් නිසා තියෙන දේවල් පිළිබඳව වෙනස් විදිහට කල්පනා  කරන්න වෙනවා.
මේ දවස් වල 13 කියන ඉලක්කම ගැන තමයි වැඩිපුර සකච්ඡ කරන්නේ මට  ළඟදි කෙනෙක් කිව්වා ගමේ අපේ දෙමව්පියෝ සහල් ගනිනකොට 7යි , 8 යි  කියලා 8 හොදා කියලා කියනවා 9 කියන්නේ නැතිව .9 නපුරු කියලා ඊ ට පසුව 10 කියලා කියනවා .ඒ වගේම මට ඔහු කියනවා 13 ඉලක්කම අයින් කරලා 12 හොදා කියලා ඊට පස්සේ 14 කියනවා කියලා 13 දැන්  තමයි නපුරු කට්ටියට .මේ 13 පිළිබඳව වුණත් අද රට පුරා ක්‍රමානුකුලව එක තැනකට ඇවිල්ලා තියනවා .එදා යුද්ධ කරන්න තීන්දුව ගත්ත මුලදී රට එක තැනකට ඇවිල්ල තිබුණේ නැහැ. නමුත් අසීරු තීන්දු අරගෙන ජනාධිපතිතුමා ඉදිරීයට යනකොට රට එකතැනකට ආවා. එහෙම තමයි ඕනෑම දෙයක් ජයගන්නේ.රටට සාමය ලැබුණේ නැත්නම් අද අපි ලබන යම් යම් යහපත් වර්ධනයන් අපට ලබාගන්න බැහැ. ගෙවුණු අවරුදු 4 තමයි නිදහසින් පස්සේ ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ  වර්ධන වේගය වැඩියෙන්ම තිබුණු කාලය. කලින් 5% උපරිම වර්ධන වේගයක් තිබුණේ වසරකට. ගිය වසරේ වර්ධන වේගය 21% යි. ඒ වර්ධන වේගය ලැබුණේ අපේ දරුවන්ගේ ජීවිත මතින් ලබාගත් සාමය නිසයි. අපි කියනවා කෘෂිකර්මාන්තය වී වලින් ස්වයංපෝෂිතයි කියලා. එක ලැබුණේ උතුරු හා නැගෙනහිර ගම්, බිම් අස්වද්දන්න පුළුවන් වූණු හන්දා.මේ හැම ජයග්‍රහණයක් පිටුපසම සෘජුව හා වක්‍රව සම්බන්ධ වෙලා තියෙන්නේ සාමය.
දෙමව්පියන්ට අද දරුවන්ව නිදහසේ මේ ක්‍රියාකාරකම්වලට  යොමු කරන්න පුළුවන්වෙලා තියෙන්නෙත් සාමය නිසා.  මේ ලැබුණු  සාමය  රැකගැනීමේ  අභියෝගය අපි ඉදිරිපිට තියෙනවා.  ඒක පහසුවෙන්  දිනාගත්තු සාමයක් නොවෙයි. ජීවිත දන්දීලා  නිර්මාණය වුණු සාමයක්.  මහා පූජනීය කැපවීම් කරලා  නිර්මාණය වුණු සාමයක්. මේ අභිමානවත් ප්‍රදර්ශනය පවත්වන්න කටයුතු කරලා  අවසන් දිනයේ ප්‍රධාන අරාධිතයා වශයෙන් මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මැතිතුමාට  ස්තූතිවන්ත විය යුතුයි. එතුමාගෙන් සමහරු අහනවා පළාත් සභාවේ ඉන්න ගමන් මොකද මේ 13 ට විරුද්ධ වන්නේ කියලා. එහෙම  බැලුවොත් සිදුහත් කුමාරයා බුද්ධත්වය ලබලා ජීවිතය දුකක් කියලා අවබෝධ කරගත්තා. දැන් ඒ අනුව ජීවිතය නැතිකරගත්තද? එහෙම තර්ක කරලා වැඩක් නැහැ. කුමන  හෝ බලයක් තියෙනවා නම් ඒ බලයෙන් වැඩ කරන ගමන් එහි තියෙන වැරදිත් කතා කරනවා නම් ඒක තමයි අවශ්‍ය වන්නේ.  මේ රටේ පාර්ලිමේන්තු ක්‍රමය  පිළිනොගන්න අය  පාර්ලිමේන්තුවේ ඉන්නවා. එහෙම ඉදගෙන එහි වැරදි කියනවා. විධායක ජනාධිපති ක්‍රමය පිළිනොගන්න අය විධායක ජනාධිපතිධූරයට තරඟකරනවා. එහෙම තර්ක කළොත් දේශපාලනයේ කිසිම බලයක් පාවිච්චි කරන්න වෙන්නේ  නැහැ. කාගේ කාගේ හරි  අඩුපාඩු සොය සොය ඉන්නවා මිසක් ඒ බොරු තර්ක දාලා ප්‍රශ්නෙන් පැන යනවා වෙනුවට  අපට  වගකීමක් තියෙනවා මේ හැමෝම එකතුවෙලා ජීවිතවලින්, දේපළවලින් වන්දි ගෙවලා  හිමිකරගත්ත සාමය බිඳවැටෙන්න නොදී ආරක්ෂාකර ගැනීමට. බස්නාහිර පළාත් සභාව උදය ගම්මන්පිල අමාත්‍යතුමා  මූලිකවෙලා මේ කඩුවෙල පළාතේ පාසල්වල 5 වසර ශිෂ්‍යත්ව පංතිවල අධ්‍යාපනය ලබන දරුවන්ට ඒ අයගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම්, හැකියාවන්, නිර්මාණාත්මක කුසලතාවයන් වර්ධනය කරන්න මේ සිදුකරනු ලැබූ ප්‍රදර්ශනය ඉතා විශාල පිටිවහලක් වෙනවා. මෙබඳු ප්‍රදර්ශන දරුවන් ඔවුන්ගේ දෙමව්පියන් සමඟ එකට නරඹලා ඇගයීමක් ලැබෙනකොට  ඒ ඇගයීම පෙරළා උදව් වෙනවා දරුවන්ගේ ශක්තිය  වැඩිදියුණු කරන්න.  එම නිසා මේ ප්‍රදර්ශනය විශාල  සම්පතක් වෙනවා දරුවන්ට. කාලයක් තිස්සේ අපේ රටේ අධ්‍යාපනය පිළිබඳ  යම් විවාදාත්මක කරුණු  සාකච්ඡා වෙනවා. පසුගියදා කොළඹ විශ්වවිද්‍යාලයේ  ශිෂ්‍යාවක්  ගොඩනැගිල්ලකින් බිමට වැටිලා   හෝ බිමට පැනලා  ජීවිතක්ෂයට පත්වුණා.  මේ සිදුවීමත් සමඟ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් චෝදනාවක් ආවා.  ඉතාම අවිවේක අධ්‍යාපන රටාවකට  විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ව  ගැටගහලා තියෙනවා,   ඔවුන්ට හිතන්න පතන්නවත් අවස්ථාවක් නොලැබෙන ආකාරයේ  කාල සටහනකට   ගැටගහලා තියෙනවා, ඒ තත්ත්වය යටතේ  යහපත් සමබර මනසකින් මේ ජිවන අභියෝගවලට   මුහුණදෙන්න පුළුවන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්වවිද්‍යාලවලින්  නිර්මාණය වෙන්නේ නැහැ කියන චෝදනාව ඉදිරිපත් වෙලා තිබුණා.
අද දරුවන්ට විශාල විභාග තොගයක් තියෙනවා. විශාල විභාග ප්‍රමාණයකට දරුවෝ හිරවුණා, විභාග නැමැති කඩයිම  පමණක් තරණය කිරීම  අධ්‍යාපනයේ  ප්‍රමුඛතම පරමාර්ථය බවට  පත්කර ගත්තාම, දරුවන්ගේ  නිර්මාණාත්මක හැකියාවන් වර්ධනය වෙන්නේ නැහැ. අවසානයේදී සමබර මානසිකත්වයකින් යුත්  දරුවෙක් නොවේ මේ අධ්‍යාපනයෙන්  ඉදිරියට එන්නේ. අසමතුලිත මානසිකත්වයෙන් යුක්ත දරුවෙක් විෂය අධ්‍යාපනයෙන් පමණක් ඉදිරියට එන්න පුළුවන්.   පාඩම්කරලා, උත්තර ලියලා,  විභාග සමත් වෙන්න පුළුවන්. හැබැයි ජීවන අභියෝග ජයගන්න නිර්මාණාත්මක හැකියාවන්  විදහාපෙන්වීම පැත්තෙන් දරුවන්ට මේ  අධ්‍යාපන රටාවෙන් ශක්තිය ලැබිලා නැහැ.  ඒ තත්ත්වය යටතේ  මෙවැනි ක්‍රියාකාරකම්  අධ්‍යාපනයට එන්නත් කිරීම අවශ්‍ය වෙනවා. ක්‍රීඩාව, කලාව වෙනුවෙන් අධ්‍යාපනය තුළ අවස්ථා වැඩි කරනවා වගේම අපේ දරුවන්ගේ විෂය හැකියාවන් ප්‍රායෝගික නිර්මාණාත්මක  ක්‍රමවේද මඟින්  සමාජගත කිරීමේ අවස්ථාව  වැඩි වෙන්නේ  මෙවැනි ප්‍රදර්ශන නිසා.  දරුවන් සමතුලිත මානසික තත්ත්වයකින්  තමන්ගේ අධ්‍යාපනික හා  ජීවන අභියෝග ජයගත හැකි  තත්ත්වයකට  පරිවර්තනය  කිරීමට  මෙවැනි  වැඩසටහන් වැදගත්  වෙනවා.  එහෙම නොවුණොත්  මොන සුදුසුකම්  තිබුණත්  තමන් ඉදිරිපට මතුවන  විවිධ අභියෝග  හා දුෂ්කරතා  වලින්  පලායන  දරුවෙක් අවසානයේදී  නිර්මාණය වෙනවා. එහෙම දරුවන්ගෙන්  රටට  ප්‍රයෝජනයක් නැහැ. මේ රට අද  ඉල්ලා සිටින්නේ වෙනත් අයට නොසිතන දේ හිතන්න පුළුවන් දරුවෝ. එහෙම පරම්පරාවක් බිහිවුණොත් පමණයි ඉදිරි අභියෝග ජයගත හැකි වන්නේ ” යනුවෙන්ද විමල් වීරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
DSC_3067
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ‘13’ වන දේපළ ලියා ඇත්තේ මධ්‍යම රජයට ප‍්‍රාණ භුක්තියවත් නොතබා Rating: 5 Reviewed By: Unknown