728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday 14 July 2013

‘මා දැන් මහලු වියේ’ ගීතය විකෘති කරයි

මහ වැස්සට පෙර අඳුර ගලනවා
සිරි සිරි පොද වැහි බිඳු ද සැලෙනවා
මේ සිසිලස මැද උණුසුම් වන්නට
හිත සැකයක් ඇත හමු වේ දැයි ඔබ
බලාන උන්නා තාම ඇවිත් නැහැ
කිසිම දෙයක් මට හිතා ගන්න බැහැ....





පාළුයි හිතට මගේ
දෑසට දැක්කම සුබ දසුනක් වන්
ආදර සොඳුර ඔබයි
මගේ හඳ මඬලේ රඟන සුරංගන
මියුරු වදන් මට මුමුන මුමුන ඔබ
කියනා හඬ දෙසවන් නොගැටේ
ඔබ නෑවිත් පාළුයි
මට ළෙන්ගතු මුදු සුවඳ විඳින්නට
ඔබ හමු නොම වේදෝ
එපා එපා මහ වැස්ස වහින්නට
එපා එපා මහ වැස්ස වහින්නට
හඳ බැඳි ළඳ එනතුරුම සොයා
එනතුරු මාව සොයා
බලාන උන්නා තාම ඇවිත් නැහැ
කිසිම දෙයක් මට හිතා ගන්න බැහැ
පාළුයි හිතට මගේ

පද රචනය - ෂේහාන් සංකල්ප
ගායනය - ඩබ්ලිව්. ඩී. ආරියසිංහ
පණ්ඩිත් ඩබ්ලිව්. ඩි. අමරදේවයන්ගේ හඬින් ඔබ අසා හුරු පුරුදු “මා දැන් මහලු වියේ” ගීතය විකෘති කර ගායනා කෙරෙනු අසන්න ලැබුණෙන් ඒ පිළිබඳ අපි විමසිලිමත් වූවෙමු. අභාග්‍යක්මය, වසර කිහිපයකට පෙර එළිදැක් වූ ඩබ්ලිව්. ඩී. ආරියසිංහ ගී ගැයූ නීල් වර්ණකුලසූරිය ප්‍රමුඛ “සන්ෆ්ලවර්” සංගීත කණ්ඩායම සංගීතවත් කළ ගීත ඇල්බමයක ඇතුළත් වූ ගීතයකි ඒ ඇසෙන්නේ. පණ්ඩිත් අමරදේවයන් ගැයූ ශ්‍රාවක සිත් ගත් “මහලු වියේ” ගීතයේ පදමාලාව විකෘති කර පෙර තනුවටම සමාන හඬකින් ගායනා කිරීම අමරදේවයන්ගේ නාමයට මෙන්ම මේ ගීතයට ආදරය කරන ශ්‍රාවකයින්ට ද කරන ලද අවමානයක් නොවේ ද? බුද්ධිමය දේපළ පනතින් සූක්ෂ්ම ලෙස රිංගා යමින් කවරෙකු හෝ ගී පද රචක නැසී ගිය කේ. ඩී. කේ. ධර්මවර්ධනයන්ගේ පාර්ශ්වයෙන් හෝ මෙම ගීතයේ තනුව නිර්මාණය කළ මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි වෙතින් හෝ මෙලෙස විකෘති ගීතයක් බිහි කිරීමට අවසර ගත්තා ද නැත්නම් හිතුවක්කාර ලෙස ධර්මවර්ධනයන්ගේ බුද්ධිමය දේපළ විනාශ කිරීමක් මෙලෙස සිදු කළේ ද...?
එම ප්‍රශ්නවලට පිළිතුරු සොයා මේ පිළිබඳ තවදුරටත් විමර්ශනය කිරීමේ දී දැනගන්නට ලැබුණේ මේ අයුරින් විකෘති කළ තවත් ගී ගණනාවක් ඇති බැව් ය. ශ්‍රාවක සිත් ගත් ජනප්‍රිය ගීත පදමාලා මෙලෙස විකෘති කර නැවත ගායනා කිරීම මොනතරම් දුරට සදාචාරාත්මකදැයි අපි නොදනිමු. එහෙයින් මෙම විකෘති ගීතය ඇතුළත් “සන්ෆ්ලවර් සමඟ ඩබ්ලිව්. ඩී. ආරියසිංහ - කොලොම් තොට” ගීත එකතුවට ගී පද රචනයෙන් දායක වී ඇති ප්‍රවීණ ගී පද රචකයින් වන ආචාර්ය අජන්තා රණසිංහ, ලූෂන් බුලත්සිංහල, බුද්ධදාස ගලප්පත්ති සහ දැනට ජීවතුන් අතර නොමැති ගී පද රචකයින් වන කරුණාරත්න අබේසේකර සහ කේ. ඩී. කේ. ධර්මවර්ධන වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් සමඟ ද අප කළ කතාබහ ඔබේ දැන ගැනීම පිණිස මෙසේ අකුරු කරමු.

අවසර ඉල්ලන්න ආවා මං දුන්නේ නැහැ

මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා
කවුළුව අතරින් හිරිකඩ එනවා

(පද - කේ. ඩී. කේ. ධර්මවර්ධන)
“මගේ සැමියා කේ. ඩී. කේ. වියෝ වී අවුරුද්දකට පමණ පසුව රොහාන් රූපසිංහ නමැති කෙනෙක් ඇවිත් මාව මුණගැහිලා ‘මහ වැස්සක’ ගීතය නැවත පටිගත කරන බව පවසා එම පද රචනය නැවත පටිගත කිරීමට අවසර ඉල්ලුවා. ඒ අවස්ථාවේ ඔහු මට කිව්වා තනුව නැවත පටිගත කරන්න අවසරය ලැබුණා කියලත්, ගීතය නැවත පටිගත කරන්නේ පණ්ඩිත් අමරදේවයන් නොවේ වෙනත් ගායකයෙකු විසින් කියලත්. එම නිසා මම එකඟ වුණේ නැහැ, මේ පද රචනය නැවත පටිගත කරන්න අවසර දීමට. ඔහු කිසියම් මුදලකුත් මේ ගී පද රචනය වෙනුවෙන් ගෙවීමට සූදානම් වුවත් මම එම මුදලුත් ප්‍රතික්ෂේප කළා.”
“පසුව දිනක් මම ගුවන් විදුලියේ ආපන ශාලාවේ සිටිද්දී එහි කැසට් යන්ත්‍රයකින් මේ වචන වෙනස් කළ ගීතය එක්වර අහන්න ලැබුණාම මගේ හිතට පුදුමාකාර වේදනාවක් සහ කම්පනයක් ඇති වුණා. ජීවතුන් අතර කේ. ඩී. කේ. උන්නා නම් කොහොම විඳ දරා ගනියි ද කියා මට නම් හිතා ගන්නවත් තවමත් බැහැ. ඒ තරම්ම මේ ගීතයට ඔහු ආදරය කළා. මේ කර ඇත්තේ ප්‍රාණ ඝාතනයකටත් වඩා වැඩි පවක් කියලයි මම නම් කියන්නේ. මොකද මේ ගීතය විකෘති කරලා තියෙන්නේ හොඳට සැලසුම් කරලානේ.
බොහෝ දෙනෙකු මීට විරුද්ධව බුද්ධිමය දේපළ පනතට අනුකූලව නඩු පවරන්න කිව්වත් මම උන්නේ කේ. ඩී. කේ. ගේ වියෝවෙන් වේදනාවට පත් වී හින්දා එවැන්නක් කරන්න තරම් ශක්තියක් මගේ හිතට ආවේ නැහැ. කෙසේ හෝ මේ ගීතය මෙලෙස වචන වෙනස් කර විකෘති කොට විනාශ කිරීම මා දකින්නේ අපරාධයක් ලෙසයි.”

මම අවසර දුන්නේ නැහැ

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පති කුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ...!
(පද - අජන්තා රණසිංහ)
“මම කේමා (සංගීතඥ ප්‍රේමසිරි කේමදාස) එක්ක ඩබ්ලිව්. ඩී. ආරියසිංහට ‘ප්‍රේම සැඳෑවෝ’ ගීත එකතුවට ගයන්න දුන්නු ගීතම යොදා ‘සන්ෆ්ලවර්’ සමඟ ආරියසිංහගේ ගීත එකතුවක් කරන්න මං අවසර දුන්නේ නැහැ. ඒ සඳහා කිසිම සම්බන්ධයක් මගේ නැහැ. මගේ පද රචනා තමයි එහි වැඩිපුරම තියෙන්නේ. ඒක ඇත්තයි. ඒත් එහෙම ගීත එකතුවකට මම කිසිම සම්බන්ධයක් නොවූ බවට ඕනෑ තැනක අත්සන් කරලා සහතික වෙන්න මට පුළුවන්. මුල් නිර්මාණ කරුවන්ගේ අවසර නැතුව ජනප්‍රිය ගීතවල පද වෙනස් කර විකෘති කිරිම බරපතළ වරදක්.”
“මම කුලරත්න ආරියවංශ ලියූ ‘සඳ හොරෙන්’ ගීතයේ තනුවට අලුත්ම ගී පදමාලාවක් ‘ප්‍රේම සැඳෑවෝ’ ගීත එකතුවට ‘කොඳ කුසුම්’ නමින් රචනා කළා. එයත් මේ ගී එකතුවේ ඇතුළත් වෙලා තිබෙනවා. ඒත් මම කුලේගේ අවසරය ඇතුව තමයි ‘කොඳ කුසුම්’ ගීතය රචනය කෙරුවේ. එම ගීතය මම අලුතින්ම පද රචනය කළ ගීතයක්. කේමාගේ තනුවට මං ලියූ අලුත්ම ගීතයක්. මගේ වත්, කේමාගේ වත් කිසිම සම්බන්ධයක් ඔය ගීත එකතුවට නැහැ. එහෙම සම්බන්ධයක් තිබෙනවා නම් එය ඔප්පු කරන්න කියා මං අභියෝග කරනවා.”

අවසර දුන්නා ද කියා මට මතක නැහැ

ඉපිද මැරේ යළි ඉපදේ
නොතිර සසර සාගරේ
අතරතුරේ නොමැරි මැරේ
දස දහස් වරේ
නිසල නැතේ සසල වෙතේ
නොතිර සසර සාගරේ...!
(පද - කරුණාරත්න අබේසේකර)
“ජනප්‍රිය වූ ගීතයක පදමාලාව වෙනස් කිරීම කියන්නේ ඒ ගීතය විකෘත කිරීමක් තමයි. එහෙම කර තිබෙනවා නම් එය වරදක්. මට නම් මතක නැහැ ඔය කියන විදිහේ ‘සන්ෆ්ලවර්’ සමඟ ගීත එකතුවකට කරු ලියූ ‘ඉපිද මැරේ’ ගීතය යොදා ගන්න මා අවසර දුන්නා කියලා. මම ගීත සඳහා අවසර දෙනවා නම් ලියවිල්ලක් අත්සන් කර පිටපතක් ගන්නවාමයි. ඒත් ගෙදර අලුත්වැඩියා කරද්දී පොත්පත් එහෙ මෙහෙ වෙලා හින්දා දැන් හදිස්සියේම එහෙම ලියවිල්ලක් තිබුණත් සොයා ගන්න අමාරුයි. (කරුණාරත්න අබේසේකරයන්ගේ බිරිය ඉරානි සිය අදහස් එලෙස පවසද්දී කරුගේ පුත් දිලීපව ද අපි මේ කතාබහට එක්කර ගතිමු.)
“ගී තැටි, පටි නිෂ්පාදකයින් තමයි ඇතැමුන් සමඟ එකතු වෙලා මෙවැනි වැරදි කරන්නේ. මේ වගේ තත්ත්වයන් හරිම කනගාටුදායකයි. හරිම කලකිරීමකින් ඉන්න වෙලා තියෙන්නේ මේවා හින්දා. අපේ කලාකරුවන් එකතු වෙලා මෙවැනි වැරදි කරන පුද්ගලයින්ට විරුද්ධව පියවර ගන්න ඕනේ. මේවා හෙළි කිරීම අත්‍යවශ්‍යයි. මෙලෙස හෙළිදරව් කිරීමෙන් වැරදිකාරයින් තරමක් දුරට හෝ මෙල්ල කරන්න පුළුවන් වෙයි. ඇත්තටම මේවා හෙළි කරන කෙනෙකුට අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. පැහැදිලිවම ‘සන්ෆ්ලවර්’ සමඟ ආරියසිංහගේ ගීත එකතුවට මගේ පියාගේ ‘ඉපිද මැරේ’ පද රචනය යොදා ගන්න අපි අවසර දුන්නු මතකයක් නම් අපිට නැහැ.”

‘කොළොම්තොට ගීතය’ ගැයීමට කාටවත් අවසර දුන්නේ නැහැ

කොළොම් තොට නැත මහලු වී
අවන්හල නැති පැරණි වී
එදා හඳමයි අදත් යෞවනයේ
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ...!
(පද - ලූෂන් බුලත්සිංහල)
“ජනප්‍රිය ගීතයක වචන වෙනස් කර විකෘති කිරීම සිවිල් නෙමේ ජාතික අපරාධ ගණයටයි වැටෙන්නේ. ඔවැනි හොර තක්කඩියන්ට අපරාධ ගැන කිසිම සැලකිල්ලක් නැහැ. එපමණක් ද, බුද්ධිමය දේපළ ආරක්ෂාවට වෙනම පොලීසියක් හැදුවා. දැන් ඒ පොලීසියත් නැහැනේ. බුද්ධිමය දේපළ අපරාධ උදෙසා හැම රටකම වෙනමම පොලීසියක් තිබෙනවා. භූතානයේ පවා එය ක්‍රියාත්මකයි. අපේ රටේ තමයි copy right නීතිය නැත්තේ. එහෙම තිබුණා නම් මෙවැනි අපරාධ සිදු වෙන්නේ නැහැ.”
“ඔය කියන ගීත එකතුවට යොදන්න මම මගේ ‘කොළොම්තොට’ ගී පද රචනය උදෙසා අවසර දීලා නැහැ කාටවත්ම. ගුණදාස කපුගේ මේ ගීතයේ තනුව නිර්මාණය කළේ. ඒ නිසා කපුගේ පාර්ශ්වය වෙනුවෙන් ඔහුගේ බිරිය හෝ අවසර දිය යුතුයිනේ මේ ගීතය සඳහා. මං හොඳටම දන්නවා ඇයත් මේ ගීතය සඳහා ඔය කාටවත්ම අවසර දීලා නැති බව. කවුරු කොහොම කළත් ජනප්‍රිය නිර්මාණයක් විකෘති කිරීම ජාතික අපරාධයක් ලෙසයි මම දකින්නේ. මේවා වළක්වන්න නම් මේ රටේ copy right නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ඕනේ.”

ඉල්ලුවෙත් නැහැ දුන්නෙත් නැහැ

කඳුළු කතාවේ නිමක් දුටුව දා
සිහින ලතාවේ මලක් පිපුණු දා
සතුටු ගඟක් ගැලුවා
හදට හදක් බැඳුණා...!

(පද - බුද්ධදාස ගලප්පත්ති)
“මම පණ්ඩිත් අමරදේවයන්ට ලියපු එකම සින්දුව ඔය. මගේ විශේෂ ආදරයක් සහ බැඳීමක් තිබෙනවා මේ ගීතයට. මොකද අමරදේවයන් වගේ ශ්‍රේෂ්ඨ ගායකයෙකුට ගීතයක් ලියන්න ලැබීම නිසා. කෙසේ වුවත් මගේ පැහැදිලි මතකය ඔය ගීතය ‘සන්ෆ්ලවර්’ සමඟ කරන්න නම් මං කාටවත්ම අවසර දිලා නැහැ. කවුරුවත් මගෙන් ඉල්ලා ගත්තෙත් නැහැ. මං දුන්නෙත් නැහැ. කිසිම ගීත එකතුවකට ‘කඳුළු කතාවේ’ ගීතය කරන්න මං අවසර දීලා නැහැ. ඒ බව අනිවාර්යෙන්ම පවසනවා.”
“ජනප්‍රිය ගීතයක වචන වෙනස් කරනවා කියන්නේ හරියට කවුරු හරි හදා වඩා ගත්ත දරුවෙකුව අංග විකල කරනවා වගේ වැඩක්. කිසිම නිර්මාණයක අගයක් නොදන්නා අයෙකු තමයි එවැනි පහත් ක්‍රියාවක් කරන්නේ. නිර්මාණයකට, නිර්මාණකරුවෙකුට කරන්න පුළුවන් ඔය තරම් අපරාධයක් නම් තවත් නැහැ කියා තමයි මම හිතන්නේ. ගීතයක නිර්මාණකරුවන් තුන්දෙනාටම (ගායකයා, පද රචකයා සහ සංගීතඥයාට) මේක අවමානයක්.”
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ‘මා දැන් මහලු වියේ’ ගීතය විකෘති කරයි Rating: 5 Reviewed By: Unknown