728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Friday, 28 February 2014

ජනවාර්ගික සුහදතාව වර්ධනය කරගැනීම සඳහා ජන මාධ්‍යයේ වගකීම

1988 මාර්තු මස 20 වැනිදා කොළඹ ටවර් රඟහලේදී පවත්වන ලද ‘ඕ.සී.අයි.සී. උත්තමාචාරය - 88’ උත්සවයේදී ප‍්‍රවීණ පුවත්පත් කලාවේදියකු වූ අභාවප‍්‍රාප්ත අජිත් සමරනායක  විසින් කරන ලද දේශනය ඇසුරෙනි.
‘ජනවාර්ගික ගැටලුව’ යන පදයම මෑත කාලයේ පැතුරුණු, 1983 අපකීර්තිමත් ජාතිවාදී කෝලාහලයට පසු සිංහල හා ද්‍රවිඩ ජනතාව අතර පරතරය දුරස්ථ වීමේ ප‍්‍රතිඵලයක් ලෙස ජනපි‍්‍රය වූ, යෙදුමකි. ඊට පෙර ‘ජාතිවාදී ප‍්‍රශ්නය’ ‘ද්‍රවිඩ ප‍්‍රශ්නය’ වැනි පදවලින් මෙය හැඳින් වුණත් 1983 ජූලි වලට පසුව සිදුවූවාක් මෙන් ප‍්‍රබල ලෙස එය ජනතාවගේ විඥානය ආක‍්‍රමණය කිරීමට පොහොසත් නොවීය.

මේ නිසා ජනවාර්ගික ගැටලුව හා සිනමාව අතර කුමන සම්බන්ධයක් තිබේදැයි කිසිවකු ප‍්‍රශ්න කරන්නට පුළුවන. මීට දිය හැකි පිළිතුර නම් සිනමාව හා දැන් දැන් පැතිර ඇති රූපවාහිනිය ප‍්‍රබල ශ‍්‍රව්‍ය- දෘෂ්‍ය මාධ්‍ය නිසා ඒවා මෙරටේ ජන කොටස් කෙරෙහි දක්වන ආකල්පය හා ඔවුන් අතර සම්බන්ධතා නිරූපණය කරන ආකාරය සමාජ සෞඛ්‍යයට බෙහෙවින් බලපාන බවයි.
මෙරටේ බිහිවූ චිත‍්‍රපට ගැන මූලිකවම කල්පනා කරනවා නම් කිසියම් කම්පනයක ස්වරූපයෙන් අපට වැටහී යන්නේ මෙරටේ ජනකොටස් අතර සම්බන්ධතා සිනමා කැටපතෙහි නිරූපණය වී ඇත්තේ ඉතා අල්ප ලෙස බවය.
බහු ජාතික හා බහු ආගමික සමාජයක් ලෙස නිදහස ලැබූ දින සිට අප පැවැතියත් මෙරටේ විවිධ ජන කොටස්වල ජීවන ශෙලී හා විලාස සිනමාවෙන් නිරූපණය වී ඇත්තේ ඉතා මඳ වශයෙනි. මේ රටේ සිනමාව මූලික වශයෙන් සිංහල සිනමාවක් නිසා මෙහි කුමන වරදක් තිබේදැයි කෙනෙකුට ප‍්‍රශ්න කරන්නට පුළුවන.
එහෙත් ප‍්‍රශ්නය ඊට වඩා ගැඹුරුය. අපගේ සාමූහික ජීවිතයෙන් සම්පූර්ණ කොටසක්ම අපගේ ප‍්‍රබලම සන්නිවේදන මාධ්‍යයකින් ගිලිහී යෑමක් මෙයින් පෙන්නුම් කැරේ. 1983 ජූලි කෝලාහලවලින් පසු බිහි වූ භාවාතිශය ටෙලි නාට්‍ය පෙළ පව් සමාකර ගැනීමක් ලෙස අපට දිස්වන්නේ මෙනිසා ය.
එහෙත් මෙය සිනමාවෙහිම දොසක් නොවේ. මෙය ඊට වඩා පළල් දෝෂයක ප‍්‍රතිබිම්බය පමණි. එක් එක් ජන කොටසෙහි සංස්කෘතිය හා ජීවන විලාශය හා මේවායේ අදීනතාව සහ අනන්‍යතාව ආරක්ෂාව වන අතර ඊට වඩා පුළුල් ජාතික දෘෂ්ටියක් සකස් කර ගැනීමට ජාතියක් වශයෙන් අප අපොහොසත් වීමේ වරදකි, මෙය.
මෙය සිංහල සාහිත්‍යයෙන් ද ප‍්‍රකට වේ. සිංහල සාහිත්‍යයෙහි ප‍්‍රධාන ප‍්‍රවාහයට පරිබාහිර කෘතීන් අතලොස්සක් හැරෙන්නට මෙරට ජන කොටස්වල අන්තර් - සම්බන්ධතා නිර්මාණාත්මකව නිරූපණය වූ කෘතී ඉතා විරලය. ගුණදාස අමරසේකරගේ ‘ගන්ධබ්බ අපදානය’ කෘතියෙහි අවසන් භාගය හැරෙන්නට මෙබඳු නිරූපණයක් අපේ කිසිම ප‍්‍රධාන පෙළේ නවකථාකරුවෙකුගේ කෘතියක නැත.
සිංහල - ද්‍රවිඩ සම්බන්ධතා ක‍්‍රමානුකූලව පිරිහීම නිසා අප අද කොතරම් අනාථව සිටී ද යන්න කල්පනා කරන විට අප සංස්කෘතික ජීවිතයෙහි මේ ලක්ෂණය පිළිබඳ පුදුම වී සිටිය නොහේ.
සිනමාවටම දොස් කීම නොහැකි යයි මා මුලින් ද කියා සිටියේ මේ නිසාය. සිංහල සිනමාව දෙස බලන විට පෙනී යන ප‍්‍රධාන කරුණක් වන්නේ එහි ජීවිත කාලයෙන් විශාල කොටසක් සිංහල සිනමාව පවතින සමාජ ක‍්‍රමය හා ඒ හා බැඳුණු පුරුෂාර්ථ හා ආකල්ප සමඟ අනුගතව ගමන් කළ බවයි.
පවතින මතවාදය අභියෝගයට ලක් කිරීමට හෝ රැඩිකල් අදහස් ප‍්‍රචලිත කිරීමට සිනමාව බොහෝ දුරට යොමුවී නැත. මේ නිසා අප සමාජය ජන වාර්ගික ගැටලුව කෙරෙහි දැක්වූ අන්ධභාවයම සිනමාව ද දැක්වීම පුදුමයට කරුණක් නොවේ.
එහෙත් අනික් මාධ්‍යයන්ට වඩා බහු ජාතික සමාජයක සංකීර්ණභාවය පෙන්නුම් කිරීමට සිනමාවට හැකියාව තිබිණි. සිනමාව සාමූහික කලාවක් නිසා මුල් යුගයෙහි බොහෝ සිනමා කාර්මිකයෝ හා චිත‍්‍රාගාර සේවකයෝ ද්‍රවිඩයෝ වූහ. බොහෝ චිත‍්‍රපට නිෂ්පාදකයෝ ද ද්‍රවිඩයෝ වූහ. මුල් යුගයෙහි චිත‍්‍රපට බොහොමයක් ම මදුරාසියෙහි නිෂ්පාදනය කරන ලද අතර ඒවායෙහි කථා වස්තුව, චරිත හා සංගීතය අමු අමුවේම ද්‍රවිඩ චිත‍්‍රපටවලින් උකහා ගත් ඒවා විය.
මෙරට පිළිබඳ හැඟීමක් හෝ කිසිදු යථාරූපී බවක් නොතිබුණු මේ චිත‍්‍රපට නිසා තදබල විරෝධයක් සිංහල විචාරකයන් අතර පැන නැගිණි. දේශීය සිනමාවක් පිළිබඳ සටන් පාඨය ඉතා ප‍්‍රබල ලෙස නැංවූ විචාරකයා වූ ජයවිලාල් විලේගොඩ අනුකාරක සිංහල සිනමාව හෙළිදරව් කරන අතරම ද්‍රවිඩ විරෝධී ජාතිවාදයට ඇතැම් විට කිට්ටු වූ දැඩි දේශ පේ‍්‍රමී හැඟීම් ද පළ කළ බව ගුණසිරි සිල්වා වැනි තරුණ විචාරකයන් මෑතක දී පෙන්වා දී ඇත. දේශීය සිනමාවක් වෙනුවෙන් පෙනී සිටි සිනමාකරුවන් හා විචාරකයන් දැඩි රොමැන්ටික්වාදී ගමක ප‍්‍රතිරූපයක් ගොඩනගනු මේ යුගයෙහි අපට දැක ගත හැක.
කොළඹ කවියන්ගේ ආස්වාදජනක ගමට කිට්ටු වූ මේ ප‍්‍රතිරූපය සිරිසේන විමලවීරයන්ගේ චිත‍්‍රපටවලින් පටන්ගෙන “කුරුළු බැද්ද” “සිකුරු තරුව“ වැනි චිත‍්‍රපටවලින් කුළුගැන්විණි. දකුණු ඉන්දියානු නැත්නම් හින්දි බලපෑම් යටතේ පැකට් කරන ලද බොළඳ පේ‍්‍රමාලාප හා රොමැන්ටික් ගමක ප‍්‍රතිරූපයක් අතර කොටුවුණු මේ සිනමාවෙහි යථාරූපී ලක්ෂණයන්ට ඉඩක් නොවිණි.
එහෙත් 1960 දශකයට පසු ලෙස්ටර් ජේම්ස් පීරිස් ගෙන් පටන් ගත් යථාර්ථවාදී සිනමා සම්ප‍්‍රදායෙහි පවා මෙරට බහු - ජාතික විඥානයට වැඩි තැනක් නොලැබිණි. සිනමාකරුවාගේ පරිසරය හා චරිත භාවිතයෙහි වෙනත් ජන කොටස් පිළිබඳ හැඟීමක් පිළිබිඹු නොවිණි. මෙය මෙරට සිටින අන්‍ය ආගමිකයන් ගැන ගත්තත් නිවැරදිය.
දැන් දැන් බිහිවන ටෙලි නාට්‍යයන්හි ගමේ පන්සල හා එහි භික්ෂුන් වහන්සේලා නිරූපණය කිරීම අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇතත් වෙනත් ආගම් චිත‍්‍රපටවල හෝ ටෙලි නාට්‍යයන්හි නිරූපණය වූ අවස්ථා විරල ය. කතෝලික ගීත සම්ප‍්‍රදාය ගැන මහාචාර්ය සුනිල් ආරියරත්න වැනි විද්වතුන්ගේ අවධානය යොමු වී ඇත්තේ දැන් දැන් ය.
සිනමා මාධ්‍යයෙහි ජනපි‍්‍රය ආකාරයකට කතෝලිකාගම නිරූපිත චිත‍්‍රපටයක් ලෙස “දෙවියනි ඔබ කොහිද? සැලකිය හැකි ය. සිය කථානායකයාගේ විකෘති සන්තානය සංකේතවත් කිරීම සඳහා “තුන්වන යාමය” සිනමා පටයෙහි ධර්මසිරි බණ්ඩාරනායක කතෝලික සංකේත භාවිත කරයි.
බහු - ජාතික සමාජයක ජීවත්වන අතර සංවේදී ලෙසත් යථාර්ථවාදී ලෙසත් ජනවාර්ගික සම්බන්ධතා සාකච්ඡා කිරීම ලෙහෙසි කරුණක් නොවේ. මෙය ශී‍්‍ර ලංකාවේ වඩාත් බැරැරුම් ප‍්‍රශ්නයක් වන්නේ ජාතිවාදය අපේ සමාජයේ “අපකීර්තිමත් රහස” ලෙස තබා ගන්නට බොහෝ සමාජ කොටස් තැත් කර ඇති හෙයිනි.
මේ ප‍්‍රශ්නය පිළිබඳ විවෘත සාකච්ඡාවක් නොතිබීම නිසා එය ඩයිනමයිට් කරළක් බවට පත්ව ඇත. එබඳු ප‍්‍රශ්නයක් සාකච්ඡාවට ලක් කරන්නට සිනමා කරුවා මැළිවීම පුදුමයට කරුණක් නොවේ.
මේ තත්ත්වය තරමක් දුරට හෝ වෙනස් කිරීමට තැත් දැරූ යුගයක් ලෙස යාපනය විශ්ව විද්‍යාලයෙහි සිංහල අංශයක් තිබු කාලය මෙරට සංස්කෘතිය හා මතවාදය පිළිබඳ ඉතිහාසඥයන් විසින් තීරණය කරනවා නොඅනුමානය. මෙහිදී කෙටි කලකට වුවද සිංහල හා ද්‍රවිඩ බුද්ධිමතුන්ට තම තමන් ආශ‍්‍රය කිරීමට හා තම තමන්ගේ සංස්කෘති පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව ලැබිණි.
ධර්මසේන පතිරාජගේ “පොන්මනි” හා මහාචාර්ය සුනිල් ආරියරත්නගේ “සරුංගලේ” යන චිත‍්‍රපට දෙක (මේ දෙවන චිත‍්‍රපටයේ වස්තු බීජය ගාමිණි පොන්සේකා ගේ ය.) මෙම අත් දැකීමෙහි වැදගත් ප‍්‍රතිඵල දෙකකි. “පොන්මනි” නිරූපනය කළේ යාපනය සමාජයෙහි කුල භේදයට තිබෙන අනර්ථකාරී ස්ථානය හා එය අවාසනාවන්ත පෙම්වතුන් දෙදෙනකු වෙන් කරන ආකාරයයි.
“සරුංගලේ නිරූපනය කළේ ජාති භේද කෝලාහල සමයක නඩරාජා නම් ද්‍රවිඩ ලිපිකරුවකුගේ අත්දැකීම් හා ජාතිභේදය විසින් ඔහුගේ ජීවිතය ඛේදවාචකයක් බවට පත් කරන ආකාරයයි. මේ චිත‍්‍රපට දෙකම යාපනයෙහි දෘෂ්‍ය රූප හා ශබ්දයන් ගෙන් මනාව ප‍්‍රයෝජන ගත් අතර සාමන්‍ය සිංහල ජනතාවගේ විඥානයට මේ උතුරුකරයෙහි පරිසරය හඳුන්වා දුන් නිසා හෝ මේ චිත‍්‍රපට දෙක ලාංකීය සිනමා වංශ කථාවෙහි වැදගත් තැනකට පත් වෙති.
ද්‍රවිඩ චිත‍්‍රපටයක් වූ “පොන්මනි” සංකල්පය හා විලාසය වශයෙන් ගත් විට සමකාලීන අනික් ද්‍රවිඩ චිත‍්‍රපටවලින් කැපී පෙනිණි. එහෙත් කුල භේදය පිළිබඳ එය දැරූ ආකල්පය නිසා එය තම කාලයට පෙර පැමිණි චිත‍්‍රපටයක් ලෙස දිස්වේ.
“සරුංගලේ” චිත‍්‍රපටියෙන් දිස්වන්නේ සිංහල කාර්යාලයීය පරිසරයකට හා පහළ මධ්‍යම පංතික සමාජ පරිසරයකට හසුවුණු ද්‍රවිඩයකු තම ද්‍රවිඩ බව සමඟ කෙසේ පොර බදයි ද යන්නයි. නඩරාජා සිංහල කතකට පෙම් කර ජාතිවාදය නිසා අපේක්ෂාභංගත්වයට පත් වූවෙකි. ඔහුගේ නැගණිය කුලහීන ද්‍රවිඩ තරුණයෙකුට පෙම් කර පරාජය වූ තැනැත්තියකි.
නඩරාජාගේ අත්දැකීම් තුළින් ජාතිවාදී ගැටුම් සමයක දී සිංහල මධ්‍යම පාන්තික හා කම්කරු පන්තික ප‍්‍රතිකි‍්‍රයා සිනමාකරුවා ගවේෂණය කරයි. භීතියට පත් මධ්‍යම පන්තික කන්තෝරුකරුවා තම ද්‍රවිඩ මිතුරා අත්හැරියත් බජාර් එකේ දාමරිකයකු වන සයිමන් නඩරාජා ආරක්ෂා කරයි. එහෙත් කටගොන්නක් බීගත් පසු නඩරාජාට ජාතිවාදී ලෙස බැණ වදින්නේ ද ඔහුම ය.
ජාතිවාදය “තුට්ටු දෙකේ දේශපාලනයෙහි” ප‍්‍රතිඵලයක් ලෙස “සරුංගලේ” දකියි. එහෙත් නඩරාජා බිලිගන්නේ මේ දේශපාලනයයි. ‘තුට්ටු දෙකේ දේශපාලනඥයන්ට’ බැන වැදීමෙන් පමණක් ප‍්‍රශ්නය නොවිසඳේ.
සමකාලීන ජාතිභේදවාදය මුදා හළ සමාජ බලවේග හඳුනා ගැනීම කලාකරුවාගේ වගකීමයි. ගාමිණි පොන්සේකාගේ ම “කොටිවලිගෙ“ චිත‍්‍රපටයෙන් ජාතිවාදී ප‍්‍රහාරයකට ලක්වන ද්‍රවිඩ තරුණයකු ත‍්‍රස්තවාදී කණ්ඩායමකට බැඳෙනු පෙන්නුම් කරයි. එහෙත් මේ ජාතිවාදී ප‍්‍රහාරයට වගකිව යුතු සමාජ බලවේග මොනවා ද?
ඒ චිත‍්‍රපටයෙහි එන අවංක පොලිස් නිලධාරියාට සිය සේවය කරන්නට බැරි පරිසරයක් සකස් කළ බලවේගයන් ම නොවේ ද? ජාතිවාදයෙහි මූලයන් පිළිබඳ සාකච්ඡා නොකර හුදු පුද්ගලවාදී ප‍්‍රවේශයකින් මේ පිළිබඳ චිත‍්‍රයක් මවාගත නොහැකි ය. අවාසනාවකට මෙරටෙහි ඒ සඳහා සුදුසු දේශපාලන සංවාදයක් නැතුවා මෙන්ම දේශපාලන හේතූ මත කරන වාරණය නිසා ප‍්‍රශ්නය තවත් උග‍්‍ර වේ.
දේශපාලන වශයෙන් අන්තරාකාරී ජනවාර්ගික සම්බන්ධතාවන් වැනි තේමාවකට අත ගැසීම ලෙහෙසි දෙයක් නොවන බව මා නැවතත් අවධානය කළ යුතුයි. ඇත්තෙන් ම කොතරම් සීමා තිබ්බත් මේ තේමාව ගවේෂණය කිරීමට තරම් එඩිතර වූ ඉහත නම් සඳහන් සිනමා කරුවන්ට අප ආචාර කළ යුතු ය.
ද්‍රවිඩ ජනතාව සම්බන්ධයෙන් වඩාත් සංවේදී හා ප‍්‍රගතිශීලී කලාකරුවන් කිසියම් ද්වේෂ චිත්තයකින් කටයුතු කරන මෙසමයෙහි විචාරාත්මකව හා නිර්මාණාත්මකව මේ තේමාව නිරූපණය කිරීම පහසු නොවේ. ඔවුන් අතින් භාවාතිශය නිර්මාණ නැත්නම් තමන්ටම දොස් කියා ගන්නා වධ දී ගන්නා නිර්මාණ බිහිවන්නට ඉඩ ඇත.
නැත්නම් අද සමහර ටෙලි නාට්‍යවල සුලභව දක්නට ඇති සිංහල ද්‍රවිඩ ගී ගයන කුඩා දරු දැරියන් ගෙන් නිරූපණය වන ඉහළ අහසේ පාවෙන මානව හිතවාදයක් මෙම නිර්මාණයන් ගෙන් එළිවන්නට ඉඩ ඇත. ඇත්තෙන්ම අප මේ අර්බුදයට තාමත් සමීප වැඩිය. එය විචාරාත්මකව සාකච්ඡා කිරීම කෙසේ වුවද හැඟීමෙන් තොරව දැක ගැනීමටවත් අපට තවම හැකිවී නැත.
මේ නිසා නුදුරු අනාගතයෙහි දී ජනවාර්ගික සම්බන්ධතා පිළිබඳ අර්ථවත් නිර්මාණයක් කෙරෙනු ඇතැයි මට නොසිතේ. දැනට මෙවැනි බොහෝ චිත‍්‍රපටවල අපට දකින්නට ලැබෙන්නේ ජාතිවාදය නිසා දෙදරා යන පේ‍්‍රම වෘතාන්තයන් ගෙන් බිහිවන භාවාතිශ හා අහඹු සිද්ධීන් ය.
ඇත්තෙන්ම “පොන්මනි” “සරුංගලේ” වැනි චිත‍්‍රපට බිහිවූ 1970 දශකයට පසු ඇතිවූ සිද්ධිදාමය නිසා ජාතික ගැටලුව පිළිබඳ අපගේ විඥානය ද මහත් සේ වෙනස් වී ඇත.
අරාජික හා නාස්තිකවාදී ලෙස නැගී ආ ද්‍රවිඩ කැරලිකාරී තරුණ ව්‍යාපාරය, 1983 ජුලි මස ද්‍රවිඩ විරෝධි ප‍්‍රහාරය, සිවිල් යුද්ධය උත්සන්න වීම හා එහි ඵලයක් ලෙස බිහිවූ ඉන්දු - ලංකා සාම ගිවිසුම හා ඉන්දීය සාම සාධක හමුදාවෙහි ආගමනය නිසා හැමදෙනාගේ ම ආකල්ප වෙනස් විය.
සිංහල හා ද්‍රවිඩ ජාතීන් දෙක තුළම හැඟීම් උත්සන්න වී හා දැඩි වී ඇති අතර මේ කොටස් දෙක තුළම උපේක්ෂාවෙන් හා මැදහත් බැවින් ප‍්‍රශ්නය දෙස බලන කොටස් එන්න එන්නම තනි වෙමින් පවතී. මැදහත් සාකච්ඡාවක් අපහසු බවට පත් කරන තවත් සාධකයකි මෙය.
සිනමාවෙන් හෝ රූපවාහිනියෙන් මේ ප‍්‍රශ්න දැන්මම සාකච්ඡා කරන්නට බැරි වුවත් ජනපි‍්‍රය සංස්කෘතියෙහි ප‍්‍රචලිත අච්චුගත ජනවාර්ගික චරිතයන් ගෙන් කලාව මුදවා ගැනීමට කලාකරුවාට පුළුවන.
මේ ගැන කතා කරන විට සිංහල සිනමාව හෝ රූපවාහිනිය සිංහල වේදිකාව තරම් වැරදි කර නැති බව කිව යුතු ය. “නෙයිනගෙ සූදුව“ “සාජන්ට් නල්ල තම්බි” “සතාසිවම්” වැනි වාර්ගික කතා පුවත් හා චරිතයන් නැතිව සිංහල නාට්‍යයක් කරන්නට බැරි කාලයක් පසුගිය දා තිබිණි.
විවිධ ජන කොටස්වලට අයත් චරිතයන්ගේ වචන උච්චාරණය, අංග චලනය වැනි දේ අවධාරණය නොකර බහුවාර්ගික විඥානයක් කෙසේ ගොඩනැගිය යුතු ද යන්න අප ඉදිරියේ ඇති වැදගත් අභියෝගයකි.
මා මෙතෙක් කී දේ සම්පිණ්ඩනය කරන්නට නම් ජනවාර්ගික සම්බන්ධතාවන් සිනමාවෙන් හා රූපවාහිනියෙන් සාකච්ඡා කරන්නට පෙර එයට පාදක කරගත හැකි දේශපාලන සංවාදයක් අපට අවශ්‍ය වේ.
දැනට අප එම කි‍්‍රයාවලියෙහි හසුවී ඇති අතර එවැන්නක සැකිල්ලක් පමණි දැක බලා ගන්නට ඇත්තේ. එමෙන් ම ප‍්‍රධාන ජන කොටස් දෙකෙහි පරස්පරයන් කොයිතරම් තීව‍්‍රද යත් කිසිදු සම්මුතියකට පැමිණීමේ ලකුණක්වත් නො පෙනේ. මෙබඳු පරිසරයක කලාකරුවාට කළ හැක්කේ ඉතා ටිකකි.
එක්කෝ ඔහු පුළුල් මානව හිතවාදයක් පෙරදැරි කරගෙන දේශපාලන කඩ වීදියෙහි ඝෝෂාවට ඉහළින් ජනතාවගේ ආත්මයට ආමන්ත‍්‍රණය කළ යුතුය. නැත්නම් තෙමේම මේ ඝෝෂාවට යටත් වී ජාතිවාදී වනාන්තරයට ඇතුළු විය යුතුය. මීට වඩා වැඩි යමකට තත්ත්වයන් සකස් කිරීම අනාගතයට භාර ය.

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ජනවාර්ගික සුහදතාව වර්ධනය කරගැනීම සඳහා ජන මාධ්‍යයේ වගකීම Rating: 5 Reviewed By: Unknown