විජේ මහත්තයා ට වෙඩි තියලා....ඉස්කෝලේ ඇරුණු ගමන් එළියට එන මොහොතේදී පාසල් ගේට්ටුව අසල සිටියෙක් තවකෙකුට කියනු යාන්තමට ඇසුණි.
එකල වෙඩි තැබීම, බෝම්බ ගැසීම, මරා දැමීම සාමාන්‍ය එදිනෙදා කටයුත්තක් වූ හින්දා එය ගණන් නොගෙන හනි හනිකට 'කුමරි' පුවත් පත් කාර්යාලයට යන්නට 176 බස් රථයට ගොඩවුනේ මා පුවත් පත වෙනුවෙන් සතිපතා සංස්කරණය කළ 'බුද්ධි මෙහෙවර' අතිරේකයේ පිටු සැලසුම් කටයුතු නිම නොවී තිබුණු බැවිනි.
අද වාගේ හැමෝම ළඟ ජංගම දුරකථන තිබෙන කාළයක් නොවූ හින්දා ඒ අවාසනාවන්ත ආරංචිය අපේ සවනත වැටෙන්නට පැය දෙක තුනක් ප්‍රමාද වී තිබිණි.
'කුමරි' කාර්යාලය හිස්ව තිබුණේය. කාර්ය සහයකයා වූ වසන්ත හැරෙන්නට කිසිවෙක් දකින්නට නැත. ඔහුද කථා කළේ හඬමිනි.
"විජේ මහත්තයට වෙඩි තියලා, බන්දු මහත්තයි සේරම කට්ටියයි ඉස්පිරිතාලෙට ගියා..."
ඒ මගේ ජීවිතේ මට අසන්නට ලැබුණු ඉතාම අවාසනාවන්ත ආරංචි වලින් එකකි.
'කුමරි' කාර්යාලයේ එපිටින් පේන්නේ විජය ඉගෙන ගත් කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ක්‍රීඩාංගණයයි. ඉඳහිට අපේ පත්තර කන්තෝරුවට ගොඩ වැදී අපේ ප්‍රධාන කර්තෘ බන්දුල පද්මකුමාර මහතා සහ මල්ටි පැක්ස් කළමණාකරණ අධ්‍යක්ෂක වරුන් වු ලාල් වික්‍රමතුංග, ලසන්ත වික්‍රතුංග දෙසෝයුරන් හා අල්ලාප සල්ලාපයේ යෙදෙන 'විජය මහත්තයා' කාර්යාලයෙන් එපිට පේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ක්‍රීඩාංගණය දිහා මොහොතක් බලා හිඳ නික්ම යෑම අපි හැමෝටම ඉතා හුරු පුරුදු දසුනකි. ක්‍රීඩාංගණයේ ක්‍රිකට් තරඟයක් පැවැත්වේ නම් තරඟයේ ඕවර තුන හතරක් නරඹන්නට ඔහු උත්සුක වෙයි.
'විජේ මහත්තයා' ක්‍රිකට් බලද්දී අපි ඔහු දෙස බලා සිටියෙමු. ඔහුගේ රුව එතරම්ම ප්‍රසන්න කඩවසම් එකකි. එතරම් ලස්සණ මිනිස් රුවක් තවමත් මට මගේ ජීවිතයේදී මුණ ගැසී නොමැත. කර්තෘ මණ්ඩලයේ හැමෝම එක්ක වගේම මුද්‍රණාලයේ කටයුතු කළ කම්කරුවාට පවා එතුමා පෑ සෙනෙහසේ සිනහව සැබෑ අව්‍යාජ නිහතමානී මිනිසෙකුගේ හදවතේ අභ්‍යන්තරය පන්නුම් කරන්නක් විය.
එනිසාම මේ සොඳුරු මිනිසා අපි හැමෝගෙම නොමඳ ආදර ගෞරවයට ලක්වූ සහෘද කළා කරුවෙක්, මිතුරෙක්ම විය.
වෙඩි ප්‍රහාරයෙන් විජය මිය ගිය පුවත රෝහලට යන්නට නැවත බස් රථයට ගොඩ වූ විගසින් දැන ගන්නට ලැබිණි. බොඳවූ දෙනෙත් වල කඳුළු බිමට වැටුණේ මහ රෝහල අසලදීය. එතන එකම හිස් ගොඩකි. විලාපයකි. විජේ මහත්තයාට මිනිසුන් මේ තරමට ආදරය කළ බව හරියටම දැනගත්තේ එදාය. ග්ලිසරීන් කඳුළු වලින් සිනමාවේ හඬා වැටුණු නළු නිළි පරපුරම සැබෑවටම අඬනවා දුටුවේ එදාය.
මිනිමරුවන්ගෙන් පළිගන්නට ප්‍රසිද්ධියේ සපථ කෙරූ මිනිසුන් දුටුවේ එදාය.
මේ මොනවා සිදුවුණිද විජය කුමාරතුංග නම් ඒ අසාමාන්‍ය මිනිසා යළි අප හා හිනාවෙන්ට නොවෙන බව නම් සැබෑය. මුවින් වචන පිට නොවෙන නිසා කතා කරන්නට බැරිය. එනිසා සිදුවන දේ බලා සිටින්නට අසා සිටින්නට පමණක් සිදුවිය. කතා බහට අනුව ඝාතනය සිදුව ඇත්තේ දහවල් 12.45 ට පමණ විජයගේ පොල්හේන්ගොඩ නිවස ඉදිරිපිටදීය. මෝටර් බයිසිකලයකින් පැමිණි දෙදෙනෙකුගෙන් එකෙකු එකළ මහත් ජනප්‍රිය ඝාතක අවියක් වූ ටී 56 කින් ඔහුට වෙඩි වරුසාවක් එල්ල කොට ඇත. එපමණක් පමණක් නොව වෙඩි වැදී බිම වැටුණු විජය අසලට ගිය ඝාතකයා විජයගේ ලස්සණ මුහුණ සුණු විසුණු වෙන්නට තවත් වෙඩි වරුසාවක් එල්ල කොට ඇති බවය.
රෝහල් කොරිඩෝරය හඬා වැටෙන්නන්ගෙන් සාප කරන්නන්ගෙන්, පළි ගන්නට සපථ කරන්නන්ගෙන් පිරී ඉතිරී ඇත. රෝහල් කාර්ය මණ්ඩලයට පොළීසියට නොව සක්කරයාටවත් හසුරවාගන්නට බැරි තරම් වූ පිරිසක් විජය මහත්තයා ගේ වියෝව දරා ගත නොහැකිව විලාප තියමින් සිටිති. තවත් මෙහි රැඳී ඉන්නට හිතක් නොවූයෙන් නිවෙසට පැමිණියෙමි.
ඒ රාත්‍රිය මෙන්ම ඒ මුළු සතියේම මහා මූසල මහා කාළකන්නි දින කීපයක්ම විය.
හදවතින් අනන්ත වර හඬමින් බන්දුල පද්මකුමාර මහතාගේ සංස්කරණයෙන් මුද්‍රණය කළ 'සරසි' සිනමා පුවත් පතෙහි විශේෂ කලාපයට හැකි පමණින් දායක වීමි. විජයගේ දේහය ආදාහනය කළ දා බොරැල්ල කනත්තට එක්වූ ලක්ෂ සංඛ්‍යාත සහෘද මිනිසුන් අතරේ එකෙක් වීමි. මහා ගුණ සමුදායකින් යුතු වූ නිරහංකාර මිනිසෙකු චිතකෙයි ගිනිදැල් අතරින් නික්ම යනු දුටිමි.
විජයගේ දේශපාලනය හෝ ඔහු අයින් කළවුන්ගේ දේශපාලනය ගැන කතා නොකරමි.
නමුත් මා දුටු විජය කුමාරතුංග යනු තව චිරාත් කාළයක් ජීවත්විය යුතුව තිබූ අපූරු මිනිසෙකි. ඉතා වටිනා කළා කරුවෙකි. විජය ගෙන් පසු බිහිවූ මදේ පුස් නළු බට්ටන් එකෙකුට වත් අවුරුදු 26 ක් ගෙවිලත් විජය හා සමතැනට එන්නට නොහැකි වී ඇත්තේ එනිසාමය. සාධාරණ ජන්දයක් තිබුණහොත් අදටත් ලංකාවේ ජනප්‍රියතම නළුවා විජය කුමාරතුංග වන බවත් ජනප්‍රියතම ගායකයා වන්නේ එච්. ආර්. ජෝතිපාල වන බවත් මම අදහමි.
විජයගේ මරණින් දින දෙකකට පසු උදාවන මගේ උපන් දිනය විජයගේ අනුස්මරණයත් සමඟ මගෙන් බොහෝ ඈතට ඉගිල ගියේය. පසුගිය වසර විසි හය මුළුල්ලේම එය මගේ ජීවිතයට තවත් සාමාන්‍ය දවසක් පමණක් ම වූයේය..
විජය මිය ගිය බව ඇත්තකි.
එහෙත් අදටත් විජය අප අතරේ ජීවත් වන බව තවත් ඇත්තකි.
මේ සොඳුරු මිනිසා හැබැහින් දකින්නට, ඇසුරු කරන්නට ඉඩ ලැබීම ජීවිතයේ මහත් භාග්‍යයක් කොට සලකමි.
මරණ තර්ජන එල්ලවූ හැම මොහොතකම තම හිතවතුන් හා සමඟ විජය කියූ කතාවකින් මේ සටහන අවසන් කරන්නමි.
"මම කිසිසේත් මරණයට බිය නොවෙමි. එහෙත් ඇතැම් විට මට මරණය ගැන ද බියක් දැනේ. යම් හෙයකින් මා මළදාක, “ඔබගේ පියා මළේ කෙසේදැයි” පාසලේ සහෝදර ශිෂ්‍යයෙකු මාගේ පුතාගෙන් විමසූ විට, “මගේ පියා මළේ බයිස්කෝප් එකක තරුණියක් සමඟ මල් ගසක් වටා නටමින් ගීයක් ගයද්දී හැදුණු පපුවේ අමාරුවෙනි” යැයි පිළිතුරු දීමට මාගේ පුතාට සිදුවේ දැයි මම බියෙන් පසුවෙමි. මට ඕනෑ එවන් මරණයක් නොවේ. කොටියෙකුගේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ ගිනි අවියකින් හෝ මගේ හිස කුඩු පට්ටම් වී මිය යාමට ලැබුණොත් මට ඊට වඩා සැපයක් නොමැත.
විජය කුමාරතුංග නම් සොඳුරු සහෘදයාණෙනි,
ඔබට,
සවර්ග සුවය අත්වේවා...!
මේ වගත් එසේම,
සුදේශ් කරුණාතිලක...~
0 comments:
Post a Comment