728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Tuesday, 11 February 2014

මාර්ටින් වික්‍රමසිංහ

මාර්ටින් විස්තර කරන දූවෙහිද, ලංකාවේ අන් හැම තැනක ම මෙන් ම, ඇත්ත වශයෙන් ම සැලකිය යුතු තරම් සර්පයෝ, වූහ.

“අපට කෑම මේසයට ආරාධනය කළ ගෘහමූලිකාව, අපගේ සාකච්ඡාව අතරමග නතර කොට දැම්මා ය.
“සුවඳ හමන ව්‍යංජන, නිපුණ ලෙස පිළියෙල කොට තිබිණි. කුකුළු මස් කැබලි හා මාළු ද බත් ද ආහාරයෙහි විය. නැහැය පිනවන කුළුබඩු යොදා සැකසූ හොද්දෙන් මේ සියලු දෙය නහවා තිබිණි. ඇත්තෙන්ම එයට නොමසුරුව රතු මිරිස් ප්‍රමාණයක්ද මුසු කොට තිබූයෙන්, මුඛයෙහි ගින්නක් හටගත්තාක් මෙන් විය.
ඒ ගින්න නිවාගත හැකි වූයේ, පොල් පැණි යොදා පිළිගන්වනු ලැබූ සිසිල් කරන ලද මුදවාපු කිරි බුදීමෙනි.
“දිවා භෝජනයෙන් පසු සිගරැට්ටුවක් ඉරීම මාර්ටින් පි‍්‍රය කෙළේ ය. දියණිය ඔහුට දිග සුරුට්ටුවක් රැගෙන ආවා ය. ඔහු වින්දනයෙන් දෑස් හකුලමින් සුරුට්ටුව ඉරුවේ ය. ඔහු එයාකාරයෙන් සිටිනු මම සේයා පටලයෙහි සටහන් කොට ගත්තෙමි.
“මම උරන්නෙ ලංකාවේ සැර දුම්කොළෙන් හදපු සුරුට්ටු විතරයි. මේ දුම්කොළ වැවෙන්නෙ යාපනේ” යි ඔහු පැවසී ය.
“අතරමග ඇණ හිටි සාකච්ඡාව, නැවත පණ ගන්වමින් “සිංහල බුද්ධිමතුන් ගෙන් කොටසක් ඉංගී‍්‍රසි භාෂාවත් එක්කම, පර චින්තන රටාවත් පිළිඅරගෙන යුරෝපයේ, සමාජ - දේශපාලන ආයතන ඉහළින් වර්ණනා කිරීම තමයි, අපේ විපත” යි ලේඛකයා පැවැසී ය.
“ඔබට බලපෑම් කරන්න එහෙම කවුරුවත් උත්සාහ දැරුවේ නැද්ද?”
“ඕවා කෙරුණා තමයි. ඒ උණාට වාසනාවට මම ඕවට අහුවුණේ නෑ. කියුමට කියනවා වගේ, ඇම ගිල්ලෙ නෑ” යි, වික්‍රමසිංහ මහතා පැවැසී ය. “මං පිළිගන්න එකම ඇම තමයි, මාළුන්ට දාන ඇම” යි හේ සිනාසුණි. “මට පොඩි කාලෙ ඉඳලම මාළු අල්ලන්න පුදුම ආශාවක් තියෙන්නෙ.
අපේ උගතුන් ගැන කියන කොට, ඔවුන් අතරෙ කොහොම උණත්, ජාතික සම්ප්‍රදායන්ට පක්ෂපාතී, ජනතාවත් එක්ක දැඩි ලෙස බැඳිල ඉන්න සෑහෙන පිරිසකුත් ඉන්නවා.”
“ආපසු එන ගමනේදී එකිනෙකා තුළ පැන නැඟුණු හැඟීම් ගෙනහැර දැක්විණි. වික්‍රමසිංහ මහතාගේ උද්‍යෝගිමත්භාවය හා සියුම් හාස්‍යය පිළිබඳව සඳහන් කළ තීහනොෆ් මහතා, ප්‍රසන්න සිත් ඇදගන්නාසුලු ඒ තැනැත්තා හඳුනාගන්නට ලැබීම බලවත් සතුටකැයි අවධාරණයෙන් සඳහන් කෙළේ ය...
“කලක් ගතවූ පසු මාර්ටින් වික්‍රමසිංහ මහතා වෙතින් තානාපති කාර්යාලයට ඉංගී‍්‍රසි පරිවර්තන ලැබෙන්නට විය. අපි ඔහුගේ නවකතා හා කෙටිකතා කියවූ පළමු සෝවියට් පාඨකයෝ වීමු. ඒවා අප තුළ බලවත් හැඟීමක් ජනිත කෙළේ ය.
තුන් ඈඳුතු නවකතාව තුළින් සිංහල සාහිත්‍යයේ නව වීරයකු පහළ වන බව, අපට නොදැක සිටිය නොහැකි විය. හේ, විශේෂ ස්වභාවයකින් යුතු තැනැත්තෙකි. එඩිතරව ජීවිතයට පිවිසෙන්නාවූ උද්‍යෝගිමත් චරිත ප්‍රකෘතියෙන් යුතු වූවෙකි. ලේඛකයා විසින් නිරූපණය කරන ලද තරුණ අර්ථ ශාස්ත්‍රඥ මාලින් කබලාන, වැඩ කරන ජනතාවට වාසනාව උදා කරදීම උදෙසා සටන් කරන්නෙකි.
ඔහු, සිය අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම පිණිස නැඟී සිටි කම්කරුවන්ගේ නායකත්වය දරයි. “කලකිරුණු මිනිහා මියගිය මිනිහෙක්. සම්පූර්ණ ජීවිතයක් ගත කරන මිනිසුන් අතරෙ උන්ට තැනක් නෑ... ලෝකේ තියෙන හැම නරක දෙයක් ම නැති කරල දාන්නයි මම සටන් කරන්නෙ.
එහෙම නැතුව, මම නිකම් බලාගෙන ඉන්නෙ නෑ. ලෝකය වෙනස් කරන්න අනෙක් අය දරන උත්සාහයට මම හෙමින් සැරේ හිනා වෙන්නෙත් නෑ” යි, ඔහු ප්‍රකාශ කරයි.
“මාලින් කබලාන යනු, රුසියාවේ විප්ලවය මෝරමින් පැවති යුගය චිත්‍රයට නඟන්නා වූ ගෝර්කිගේ ‘අම්මා’ කෘතියෙහි එන පාවෙල් ව්ලාසොෆ් නොවෙයි. යථාර්ථවාදී සාහිත්‍යකරුවකු වන වික්‍රමසිංහ මහතා අතින් නිරූපණය වූයේ, ලාංකික වැඩ කරන ජනතාවගේ එදා තිබූ පන්ති ස්වයං විඥානයේ මට්ටම ය.
“ලේඛකයාගේ කෙටිකතා අතර සැබෑ මුතු මතු වෙයි. උදාහරණයක් වශයෙන්, උපාලිස් නම් රෝගී ගැල්කරු හා ඔහුගේ ගොනු හඳයා, මිනිසෙකු හා සතෙකු අතර මිත්‍රත්වය පිළිබඳ කථනයක යෙදෙන ‘වහල්ලු’ කෙටිකතාව කෙරේ අපගේ අවධානය යොමු වූ බව දැක්විය හැකි ය.
1958 දී මොස්කව්හිදී පළ කරන ලද කතා සංග්‍රහයට මේ කෙටිකතාව ද ඇතුළත් විය. හද කම්පිත කරන්නාවූ මෙම අනුකම්පාව දනවන ශෝකජනක කතාව, සාහිත්‍ය විචාරකයෝ චෙකෝෆ්ගේ “කශ්තාන්කා” හෝ ජැක් ලන්ඩන්ගේ “සුදු දළය” වැනි ප්‍රකට නිර්මාණ හා සසඳති.
“වික්‍රමසිංහ මහතාගේ නිර්මාණ තුළ ඔහුගේ පොහොසත් ජීවන අත්දැකීම් ද සැබෑ මානව හිතවාදය ද නිරූපිත ය. ඔහු විසින් කරන ලද නවකතා, කෙටි නවකතා, කෙටිකතා සත්‍යවාදී ය. තම රටවැසියන් කෙරෙහි වූ අවංක ආදරයෙන් පිරිපුන් ය.
“ඔහුගේ කෘති බොහොමයක වීරයින් වනුයේ, සාමාන්‍ය මිනිසුන් ය. දරිද්‍රතාවයෙන් පීඩිත ගම්වැසියන්ගේ කරදර හා සිතිවිලි ද හොඳින් දන්නා ලේඛකයා, ඔවුන්ගේ මනෝභාවයන් සියුම් ලෙස හඟියි.
ලාංකික ගොවියන්ගේ කුසීතභාවයට ද මන්දෝත්සාහීභාවයට ද නෝන්ජල්භාවයට ද සැලකිය යුතු මට්ටමකින් හේතු වනුයේ, අර්ධ වැඩවසම් සම්බන්ධතාවන්ගේ සහ කුල ක්‍රමයේ ජීව ශක්‍යතාවය ද, බුද්ධාගමේ ගතානුගතික නියමයන් රැසකගේ බලපෑම ද, මිථ්‍යා විශ්වාසයන් ද බැව් ඔහු පෙන්වා දෙයි.
“ඒ සමඟම ආචීර්ණකල්පික ජීවන රටාවේ සමහර අංග පිළිබඳ ව, වික්‍රමසිංහ මහතා පහන් හැඟීමෙන් පසුවන බවට ද ඔහුගේ නිර්මාණ සාක්ෂ්‍ය දරයි. පැරණි සිරිත් විරිත් අනුගමනය කිරීම ද සම්ප්‍රදායන්ට ගරු කිරීම ද තුළ, ලාංකික සමාජය හා සිංහල සංස්කෘතිය කෙරේ යටත් විජිතවාදීන්ගේ ගති පැවතුම්වලින් හා දෘෂ්ටියෙන් එල්ල වන අහිතකර බලපෑමට මුහුණ දිය හැකි මාධ්‍යයක් ඔහු දුටුවේ ය.
“එම අදහස් ලේඛකයාගේ විවේචනාත්මක කෘතීන්හි නිරූපිත ය.
“අප දැන හඳුනාගත් මුල් දිනවලදී ම ඉංගී‍්‍රසි බසින් කළ සිය කෘති තුනක් ඔහු මට තිළිණ කෙළේය. Aspects of Sinhalese Culture, Landmarks of Sinhalese Literatature, The Buddhist Jataka Stories and the Russian Novel  යනු ඒවායි.
“ස්ථාපිත ක්‍රමයට පක්ෂපාතිත්වය දැක්වීම ද, නවමු දේ ප්‍රතික්ෂේප කිරීම ද, හැඟීම්බර ක්ෂණික ලොකු වෙනස්කම්වලින් මිදී සිටීම ද සිංහල ගම්වැසියන්ට ආවේණික ලක්ෂණ බව, ඉන් පළමු කෘතියේ ඔහු සඳහන් කරයි.
ඔවුන්ගේ හැසිරීම් රටාවන් අනුගමනය කිරීමට ද ගොවියා වැඩි නැඹුරුතාවයක් දක්වයි. විප්ලවකාරී පරමාදර්ශයන්, සියවස් ගණනාවක සිට පැවත එන සම්ප්‍රදායන්ට හා ආගමික අදහස්වලට ප්‍රතිවිරුද්ධය. එහෙත් නව ප්‍රවණතාවන් ක්‍රමයෙන් ලාංකික ග්‍රාමයට ඇතුළු වෙමින් පවතින බවද, ලේඛකයා සඳහන් කරයි.
“ධනවාදයේ වර්ධනය ද යුරෝපා සංස්කෘතියේ හා කලාවේ බලපෑම උත්සන්න වීම ද සමාජවාදී අදහස් පැතිරීම ද හේතුවෙන් නගරයෙහි බරපතළ ඉදිරි පිමි පැන නැඟෙමින් පවතින අතර, නවමු දේ වැටහීමෙන් පිළිගැනීමේ ක්‍රියාදාමය වඩාත් වේගයෙන් සිදු වෙමින් පවතියි.
“සිංහල සංස්කෘතියේ ප්‍රභවය හා වර්ධනය පිළිබඳ ප්‍රශ්න, වික්‍රමසිංහ මහතාගේ ගැඹුරු අවධානයට ලක්ව ඇත. සිංහල සංස්කෘතිය සතු ව ජාතික මූලයන් නොමැති බැව් ද, එය ඉන්දියානු සංස්කෘතියේ ප්‍රතිනාදයක් බැව් ද පැවසෙන අදහස, ලේඛකයා ප්‍රතික්ෂේප කරයි.
ලාංකික මූර්ති ශිල්පය හා චිත්‍ර කලාව අවිචාරවත් ලෙස ඉන්දියාවෙන් ගත්තක් බව දක්වන යුරෝපා ප්‍රාචීන ශාස්ත්‍රඥයන්ගේ මතය හා ඔහු එකඟ වන්නේ නැත. ඉන්දියානුවන් වෙතින් සිංහලයන් බොහෝ සංස්කෘතික වටිනාකම් ලබාගත්ත ද, සිංහලයෝ ඒවායේ ස්වරූපය වෙනස් කොට ප්‍රතිනිර්මාණය කළහ.
“ලාංකික කලාවේ වර්ධනය උදෙසා මුල් කාලීන බුදු සමයෙන් ලැබුණු පිටිවහල ගැන සඳහන් කරනු වික්‍රමසිංහ මහතා, ඉන්දියාවේ බෞද්ධ සංස්කෘතික සම්ප්‍රදායයන් හින්දු දහමෙන් යටපත් කරනු ලැබුවද, සිංහලයන් ඒවා රැකගත් බව සිහි ගන්වයි...
“මේ ලාංකික සම්භාව්‍ය සාහිත්‍යකරු, ජාතික සීමාවලට පමණක් කොටු නොවී ය. සෝවියට් ගවේශක වී.වී. විහුහොලෙෆ් මහතා සඳහන් කරන අන්දමට, ඔහු “කිසි ලෙසකින් ජාතික කටුව තුළ සිරවූවෙක් නොවේ.
ලෝකයේ සියලුම සාහිත්‍යයන් සමඟ ඔහු සමාගම සොයනුයේ, ඒවායින් තම නිර්මාණාත්මක ආත්මයට ද නිරන්තර ගවේෂණයන්ට ද අදාළ වන්නා වූද, ඒ සාහිත්‍යයන්ට ආවේණික වූද වටිනා සියලු ම දේ උකහාගන්නා බලාපොරොත්තුවෙනි.”

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මාර්ටින් වික්‍රමසිංහ Rating: 5 Reviewed By: Unknown