728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Tuesday, 25 February 2014

”එහෙමයි දේවයන් වහන්ස.”රජතුමකුට හිනා වූ උගතා

කවුද ඒ? මා මෙතැනට එනවාත් සමඟ ම හිනාවෙලා හහ් හහ් ගාලා ඈත් වෙලා ගිය මනුස්සයා?” රජතුමා පුරෝහිතයාගෙන් ඇසී ය. පුරෝහිතයා ඔහු කවුරුන් දැයි දැන සිටියේ ආරංචි මාත‍්‍ර මඟිනි.
”මේ රටේ ඉන්න උගතෙක්.” පුරෝහිතයා කී ය.
”උගතකු නම් මම එනකොට මොකද යන්නේ හිනා වෙලා. ඇයි මට බයෙන් ද?”
”ඒක නම් දේවයන් වහන්ස කියන්නට අමාරුයි.”
”වෙන මොනව ද ඒ මනුස්සයා ගැන දන්නේ?”

”ඒ මනුස්සයා තැන් තැන්වලට ගිහිල්ලා දේශනා පවත්වනවයි කියලා ආරංචි වුණා.”
”මොනවා ගැන ද?”
”සමාජ දර්ශනය ගැන.”
”එතකොට මනුස්සයා උගතෙක් විතරක් නො වේ දාර්ශනිකයෙක්?”
”එහෙමයි දේවයන් වහන්ස.”
”වෙන මොනව ද දන්නේ?”
”ඒ මනුස්සයා විකට කතා කියන්නට රුසියෙක් කියලත් කනින් කොනින් ආරංචි වුණා.”
”එහෙමනන් සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක් වෙන්න ඕන.”
”එහෙමයි දේවයන් වහන්ස.”
”ඒත් මට පුදුම, මම එනකොට ම හිනා වෙලා යන්ට ගිය එක ගැන යි’ මම කැමතියි ඒ කාරණේ දැන ගන්නට.”
”ඔය මනුස්සයා හුඟාක් වෙලාවට කරන කියන වැඩ ගැන අහන්ටත් පුදුමයි කියලයි ආරංචි.”
”මිනිහ රාජ අණක් නොපිළිපැද ඉන්න කෙනෙක් ද?”
”ඒකනන් කියන්න බැහැ.”
”මම කැමතියි මිනිහව රජ මැදුරට කැඳවලා ටිකක් කතා කර කර ඉන්න.”
පුරෝහිතයා තරමක් බිය වී සිටියේ ය. ඊට හේතු වූයේ ඒ කාර්යයත් තමන් පිට ම පැවරේ ය යන බියෙනි.
”මොකද පුරෝහිත කතාවක් නැත්තේ?”
”නෑ මම කල්පනා කෙරුවේ, මමත් ඔයිට වඩා යමක් දන්නේ නැතිකම ගැන යි.”
”ඒකට කමක් නෑ. ඔය කියාපු විස්තර ටික හොඳට ම ප‍්‍රමාණවත්. රටේ රජතුමා වන මා කියූ බව නිවේදනය කොට ඒ මනුස්සයට ඒ උගතාට රජ මැඳුරට එන්න කියන්න පුළුවන් වෙයි ද?”
”සන්දේශකරුවන් යවන්ඩ ද දේවයන් වහන්ස?”
”ඔව් ඒක හොඳයි.”
”මොන විදිහට ද අපි ඒ සන්දේශය එකතු කරන්නට වෙන්නේ? නිකම්ම රටේ රජතුමා තමාට රජ මැඳුරට එන්ට කියල නියෝග කරනවා කිව්වොත් ඒ උගතා එන එකක් නෑ.”
”කිසියම් උපාය මාර්ගයක් යොදා මේ මනුස්සයාට රජ මැඳුරට ගෙන්වා ගැන්ම තමයි කරන්නට ඕන.”
”රටේ රජතුමා උයන් සක්මන් කිරීමට තම පුරෝහිතයා සමඟ පැමිණි විට හිනාවක් පා නැඟිට ගියේ කිනම් කරුණක් පසුබිම් කර ගෙන දැයි දැන ගැනීමට රජතුමා කැමැත්තෙන් සිටින බැවින් වහා පැමිණ ඒ වග සැල කරන මෙන් රජතුමා ඉල්ලා සිටිනවා. යනුවෙන් සන්දේශය සකස් කරමු ද?”
”පුරෝහිත ඔබ ගේ මනාපයක් අනුව ඒ සන්දේශය සකස් කොට ඔහුට මා හමුවට ඒමට සැලැස්වීම තමයි මා අපේක්‍ෂා කරන්නේ.” ඉන් පසු ව රජතුමා හා පුරෝහිත උයනේ තවත් දුරට සක්මන් කළහ. ඉන් පසු ව රජතුමා සිය මැඳුර පැත්තට ගමන් ගත්තේ ය.
පුරෝහිතයාට තම සන්දේශය සකස් කොට සන්දේශහාරකයකු මඟින් “අසවල් තැන අසවල් වේලාවේ රටේ රජතුමා සක්මන් කරන විට සිටිය උගතා රජ මැඳුරට කැඳවන සන්දේශය සකස් කොට යැවී ය.”
”ඒ උගතා එනතුරු පුරෝහිත තමනුත් මඳ වේලාවක් රජ මැඳුරේ නතර වෙනවා හොඳයි.” රජතුමා කී ය.
ඒ අණ අනුව පුරෝහිතයා ද උගතාට හිතින් බැන බැන රජ මැදුරේ ඉසුඹුලන්නට වී ය. සන්දේශහාරකයා, උගතා ගෙන් ලද සන්දේශයක් රැගෙන පැමිණියේ ය. පුරෝහිතයා එය කියැවූයේ ය.
”රජතුමා උයනේ සක්මන් කරන්නට පැමිණි විට මඳ සිනහවක් පා ඉවත් වී ගිය පුද්ගලයා මා වන අතර පැය කීපයක් වැඩකටයුතුවල නිරත වීමට සිදු වී ඇති බැවින් ඉක්මනින් පැමිණිය නොහැකි බවත් පසුවදා පාන්දරින් ඒමට තීරණය කර ඇති බවත්” දැනුම් දී තිබිණ.
”ඒ කියන්නේ රාජ අණත් ඒ හැටි සලකන උගතෙක් නොවන බවයි හැඟෙන්නේ.” රජතුමා පුරෝහිත දෙසත්, සන්දේශ හාරක දෙසත් බලමින් කී ය. ඔවුහු නිශ්ශබ්ද ව අසා සිටියහ.
”වෙන මොනව ද මේ උගතා කිව්වේ?” රජතුමා ඇසී ය.
”උගතා කිව්වා කැටුව ඒමට නිල වාහනයක් එවන්ට කියල.”
”ඇයි ඇවිදගෙන එන්ට බැරුව ද උගතකුට.”
”මම ඒ ප‍්‍රශ්නය ඇහුවේ නෑ.”
”හොඳයි නිල වාහනයක් යවල හෙට උදේ පාන්දර ම ඔහු ගෙන්වා ගනිමු.”
පසුවදා උදෑසන රජ මැඳුරින් යවන ලද නිල වාහනයේ නැඟී උගතා රජ මැදුරට පැමිණ රජතුමා හමුවේ පෙනී සිටියේ ය.
රජතුමා තම සිත් තුළ නලියන ප‍්‍රශ්නය ඇසුවේ පුරෝහිතයා ද කැඳවමිනි.
”දේවයන් වහන්ස මම ඇත්ත කිව්වොත් ඔබතුමා මා සමඟ උරණ වේවි ද මන්ද?” උගතා පැනයක් නැඟී ය.
”නෑ. පවසනු නොපැකිළ.”
”ඉස්සර වාගේ නෙවේ දැන්දැන් රජවරු මැති ඇමැතිවරු ගමන් ගන්නා මඟක නිශ්ශබ්ද ව කල්පනා කර කර ඉන්ටවත් මගේ දැන් මනාපයක් නෑ.”
”ඒ කුමන කාරණයක් නිසා ද?”
”රජ කෙනකුට මැති ඇමැතිවරයකු කිසියම් හදිසි අනතුරකට මුහුණ පාන්නට සිදු වුණොත් මටත් එය බලපාන්නට ඉඩ තිබෙනවා යැයි සැක හිතෙන නිසා.”
”ඔබ හිතනවා මටත් එහෙම අනතුරක් මතු මත්තේ සිදු වේ ය කියල?”
”මට එහෙම හැඟීමක් දැන් දැන් ඇති වෙලා තිබෙනවා දේවයන් වහන්ස.”
”හේතු දක්වන්නට පුළුවන් ද?”
”පුළුවන් ඒත් මෙහෙම හදිසියේ ඒ වැඩේ කරන්න බැහැ. අනිත් එක පෞද්ගලික ව කළ යුතු කාර්යයක්.”
”හොඳයි මම පුරෝහිතටත් සන්දේශහාරකටත් කියනවා නැවත කැඳවන තුරු මෙතැනින් ඉවත් වෙන්නට කියා.”
ඔවුහු ඉවත් වූහ.
උගතා රජතුමාට තවත් සමීප වී ය.
”මෙන්න මේකයි කාරණය දේවයන් වහන්ස. ඔබ වහන්සේට නිසි ලෙස මේ බකපණ්ඩිතවරුන් රජ කරන්නට ඉඩ නොදෙන නිසා ඔබතුමා ගේ ජීවිතයට මරණ තර්ජන පවා එල්ල වී ඇති බවක් දැන ගැනීම නිසා තමයි මට ඒ වෙලාවේ හිනා ගියේ. ඒ වාගේ ම එතැනින් ඉවත් වුණේ.”
”ඉතින් මා කුමක් කළ යුතු ද?”
”දැනට කි‍්‍රයාත්මක වන පුරෝහිත මණ්ඩලය සම්පූර්ණයෙන් ම ඉවත් කරන්නට වෙනවා.”
”ඔබ කැමති ද මගේ අග‍්‍ර පුරෝහිතකම බාර ගන්න?”
”කනගාටුයි දේවයන් වහන්ස, මම නිදහස් මතිකයෙක්. මගේ උපදෙස් ඔබවහන්සේට ඕනෑ ම වෙලාවක ලබා ගන්නට පුළුවන්. ඒත් මට පුළුවන්කමක් නෑ රාජ්‍ය සේවයේ නිල වශයෙන් අග‍්‍ර පුරෝහිත හෙවත් අග‍්‍ර උපදේශක තනතුරක් හොබවන්න.”
”ඒ ඇයි?”
”එවිට මට නිදහසේ ජීවත් වෙන්නට තිබෙන මාර්ගය අවහිර වෙනවා.”
”හොඳයි ඔබ කැමැති නම් අපි දෙදෙන පමණක් රජ උයනේ ටිකක් දුර සක්මන් කරන්න යමු ද?”
”මේ වෙලාවේ නම් පුළුවන්කමක් නෑ. අපි වෙනත් වෙලාවක් ඒ සඳහා යොදා ගනිමු.”
”ඔබ මට ලොකු සේවයක් කළේ, මෙන්න මේ දහසින් බැඳි පියල්ල තබා ගන්න තිළිණයක් ලෙස.”
”බොහොම ස්තුතියි දේවයන් වහන්ස. නුදුන් උපදේශයකට මුදල් ලබා ගැනීමට මම කැමති නෑ. මම පසු ව එන්නම්. රජතුමා ගෙන් සමුගෙන යන උගතා දෙස රජතුමා නිහඬ ව බලා සිටියේ ය.
 මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ”එහෙමයි දේවයන් වහන්ස.”රජතුමකුට හිනා වූ උගතා Rating: 5 Reviewed By: Unknown