ඉහත සඳහන් ප්‍රශ්නයට උත්තර සපයන අය තුන් ආකාරයකින් පිළිතුරු දෙනු ඇත. එක්‌කෙනෙකුගේ පිළිතුර ඔව්. අපට සැබෑ නිදහසක් තිබෙනවා යන්නය. අනිත් තැනැත්තා දෙන පිළිතුර අපට සැබෑ නිදහසක් නැත යන්නය. තුන්වැනියා ඔව්ද නොකියා නැත ද නොකියා මධ්‍යස්‌ථව සිටී. මෙයින් පළමු දෙදෙනා උත්තර දෙන්නේ පක්‍ෂග්‍රාහීත්වයෙහි සිටය. තුන්වැනියා මේ ප්‍රශ්නය දෙස බලන්නේ මැදහත් භාවයෙනි. එසේ නැතහොත් උපේක්‍ෂාවෙනි. ඔහු නිදහසක් ඇතැයි ද නොකියයි. එසේම නැතැයි ද නොකියයි.
පක්‍ෂයකට ගැති වී සිටින්නා ඒ පක්‍ෂය මොනවා කළත් ඔහුට හොඳය. සැබෑ නිදහස නැත කියන්නා එසේ කියන්නේද විරුද්ධ පක්‍ෂග්‍රාහිත්වයෙනි. මේ දෙදෙනාගේම පිළිතුරු ගැති භාවය තුළින් සාවද්‍ය වන්නේය. මධ්‍යස්‌ථ මතධාරියා දෙපිලටම නොසිට කරන්නේ ද අනර්ථයකි. ඕන දෙයක් වෙයන් කියා සිටීම මහා සාවද්‍ය වැළඳ ගැනීමක් වන්නේය. එයින් ඇතැයි කියන පක්‍ෂයටවත්, නැතැයි කියන පක්‍ෂයටවත් කවර වූ හෝ ප්‍රයෝජනයක් නැත. එය නිකං බලාගෙන සිටීමක් පමණක් වන්නේය.
නිදහස කියන වචනයට මිනිසාගේ ආරම්භය හා සමාන ඉතිහාසයක් ඇත. සමාරම්භක මිනිස් සමාජය නිදහස් සමාජයක් විය. එය ඒ සමාජය තුළම යම් යම් ප්‍රශ්න ඇති වීම නිසා යම් යම් ප්‍රමාණ දුරට නැති විය. එය එසේ නැති වූයේ ජීවත්වීමේ ක්‍රම පදනම් කර ගෙනය. එයට මූලික හේතුව වූයේ ආර්ථික, සාමාජික, ආගමික හා සංස්‌කෘතික අංශයන් ය.
සමාරම්භක සමාජය ක්‍රමයෙන් ඉදිරියට ඒමේදී එක්‌තරා දුරකට ප්‍රාග් වෛදික යුගයේ මිනිසාට එක්‌තරා ප්‍රමාණයක නිදහසක් විය. එහෙත් වෛදික යුගයේදී ඒ නිදහස මිනිසාට නැති විය. එසේ නැති වූයේ බ්‍රාහ්මණයන්ගේ බලයට වැසියාට යටත් වීමට සිදුවීම නිසාය. බ්‍රාහ්මණ නීති පද්ධතිය යටතේ සමාජයේ ඉහළම තැන සිටියෝ බ්‍රාහ්මණයෝ ය. දෙවැනි තැන සිටියෝ පාලකයෝ ය. පාලකයන්ට රට පාලනය කිරීමට සිදු වූයේ බ්‍රාහ්මණයන්ගේ උපදෙස් මතය. තුන්වැනි තැන සිටියෝ ආර්ථික සම්පාදකයෝ ය. හතරවැනි තැන සිටියෝ වහල්ලුය. වහලුන්ට සමාජයේ කිසිම තැනක් නැති විය. ඔවුන්ට සිදු වුයේ කසල සෝධනය සහ ඔවුන්ගෙන් ඉහළ පන්ති තුනට බැල මෙහෙවර කම් කිරීමය.ඔවුන්ට අධ්‍යාපනය තහනම් විය. ආගම ඇදහීම තහනම් විය. රැකීරක්‍ෂා කිරීම තහනම් විය. සමාජයේ පැවැත්වෙන පොදු කටයුතුවලට සහභාගි වීම තහනම් විය.
සමාජය හා සම්බන්ධ වැදගත්ම කොටස වූ අධ්‍යාපන අංශයේත්, ආගමික අංශයේත්, සංස්‌කෘතික අංශයේත් බලධරයෝ වූවෝ බ්‍රාහ්මණය` ය. මේ අනුව සැලකීමේදී මිනිසාගේ නිදහසට ප්‍රථමයෙන්ම වැට බැන්දෝ බ්‍රාහ්මණයෝ ය. බ්‍රාහ්මණ බලය හීන වී ගිය තැන බලවත් වූවෝ පාලකයෝ ය. ඒ පාලකයන් කටයුතු කළේ ද බ්‍රාහ්මණයන් අත තිබුණු බලය තමන් අතට ගැනීමෙන්. එසේ බ්‍රාහ්මණයන් අත තිබුණු බලය ධනවත් පාලකයන් අතට පත්වීම නිසා ඒ පාලකයෝ හැඳින්වූවෝ බමුණු කුලය නමිනි.
ක්‍රි. ව. 1956 වර්ෂයේදී ලංකාවේ එතෙක් පැවැති පාලනය වෙනස් විය. ඒ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා එතෙක් පැවැති එක්‌සත් ජාතික පක්‍ෂයේ ආණ්‌ඩුව පෙරළා 1956 මහා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, බොරළුගොඩ සිංහයා නමින් ප්‍රකටව සිටි මහජන එක්‌සත් පෙරමුණේ නායක සමාජවාදය කරපින්නා ගත් පිලිප් ගුණවර්ධන මහතාත් එක්‌සත් වී එම වර්ෂයේ පැවැති මහා මැතිවරණයට මුහුණ දීමෙනි. 1948 වර්ෂයේ සිට 1956 වර්ෂය දක්‌වා බලයේ සිටි එක්‌සත් ජාතික පක්‍ෂයේ ආණ්‌ඩුව පරාජය කරමින් ඔවුන්ගේ බලය මන්ත්‍රීධුර අට දක්‌වා පහතට හෙළීමට ඉහත කී නායකයන් දෙදෙනා ඇතුළු පිරිසට හැකි විය.
මහාමාන්‍ය ඩී. ඇස්. සේනානායක (දොන් ස්‌ටීවන් සේනානායක) ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක, සර් ජෝන් ලයනල් කොතලාවල යන මේ ප්‍රතාපවත් නායකයන් තිදෙනා නායකත්වය දැරූ එක්‌සත් ජාතික පක්‍ෂයේ ආණ්‌ඩුව පරාජයට පත් වූ පසුව හෙළදිව මහාගත්කරු නම් විරුදාවලී ලැබූ මාර්ටින් වික්‍රමසිංහ ජාතික පුවත්පතකට ලිපියක් සැපයූයේ එක්‌සත් ජාතික පක්‍ෂයේ එම පරාජය බමුණු කුලයේ බිඳ වැටීමක් ලෙස හඳුන්වමිනි. ඒ ලිපියේ මාතෘකාව වූයේ බමුණු කුලයේ බිඳ වැටීම යනුවෙනි.
මාර්ටින් වික්‍රමසිංහ කියන මේ බමුණු කුලයට වෛදික බ්‍රාහ්මණයන් සතුව තිබුණු බලය පිරීහී පාලක පන්තිය බමුණු බලය අතට ගත් දා සිට පාරම්පරිකව පාලනයෙන් ඉදිරියට ආ ලෝක දේශපාලනයේ හැම පාලක පන්තියක්‌ම සම්බන්ධ වේ. ලංකාවේ බමුණු කුලය බිඳ වැටීම යන මැයින් මාර්ටින් වික්‍රමසිංහ අදහස් කළේ එතෙක් බලයේ සිටි ධනේශ්වර පාලක පන්තියේ බිඳ වැටීමයි. එ aබිඳ වැටීමෙන් නව පොදු ජන යුගයක් උදා වූ බවය.
මාර්ටින් වික්‍රමසිංහ කියන පරිදි 1956 න් පසුව ලැබූ මේ පොදු ජන යුගයේදී සැබෑ නිදහසක් ලැබූ බව ඔහු වක්‍රෝක්‌තියෙන් කියයි. සැබවින්ම එවැනි සැබෑ නිදහසක් ලංකාවේ ඇතිවුණාද යන්න 1956 කාලයේ භද්‍ර යෞවනයෙහි සිටි අද දක්‌වාත් ජීවත්වන මෙරට වැඩිහිටි ජනතාවගෙන් අසා දැන ගැනීමට කිසිම බාධාවක් නැත.
ක්‍රි. වර්ෂ 1500 පමණේ සිට ලංකාව කෙරෙහි විදේශීය මංකොල්ලකාරයන්ගේ නෙත සිත යොමු විය. පෘතුගීසීන්ගෙන් පටන් ගත් එම ආක්‍රමණය, ලන්දේසි ආක්‍රමණයෙන් සහ 1796 වර්ෂයේදී ඉංග්‍රීසීන්ගේ ආක්‍රමණයෙන් සම්පූර්ණ වූයේ 1948 දක්‌වා වර්ෂ හාරසිය පනහක පමණ කාලයක් මේ රට විදේශීය පාලන ක්‍රමය යටතේ පැවතීමෙනි.
1815 මාර්තු මාසයේදී ඉංග්‍රීසීන් කන්ද උඩරට බලය අල්ලා ගෙන ගිවිසුම ඇති කිරීමෙන් පසුව ඒ ගිවිසුමේ පොරොන්දු කඩ කළ ඉංග්‍රීසීන්ට එරෙහිව ජාති හිතෛෂී සිංහලයෝ කන්ද උඩරට ඇතුළු මුළු රට නිදහස් කර ගැනීමේ නිදහස් සටන් ව්‍යාපාරය ආරම්භ කළහ. එය උඩරට කැරැල්ල නමින් ප්‍රසිද්ධය. මෙම කැරැල්ල මහා පරිමාණ වශයෙන් ආරම්භ වූයේ ඌව වෙල්ලස්‌සෙනි. පුරන්අප්පු, ගොංගාලේගොඩ බණ්‌ඩා, කැප්පෙටිපොළ නිලමේ ආදී ජාති හිතෛෂී ජන නායකයෝ මෙම
කැරැල්ලෙහි ප්‍රමුඛස්‌ථානය ගත්හ.
ඉංග්‍රීසීහු ස්‌වකීය යකඩ සපත්තුවේ සහ බයිනෙත්තුවේද, කඩුවේද, බලය පාමින් මේ වීරෝදාර ජාති හිතෛෂී සටන්කාමී, නිදහස්‌කාමී ප්‍රතාපවත් එඩිතර සිංහල නායකයෝ මරා දැමූහ. එහෙත් ඔවුන්ගේ නිදහස් ජාතික ව්‍යාපාරය මරා දැමීමට මේ අධිරාජ්‍යවාදී බලලෝභී ඉංග්‍රීසි ජාතිකයන්ට නොහැකි වූහ.
ඒ අනුව ඉංග්‍රීසීන්ගේ පාලන සමයේදී ලංකාවේ නිදහස් ජාතික උද්ඝෝෂණ ව්‍යාපාරය ක්‍රමයෙන් ජයග්‍රහණය කරා ගමන් කරන්නට විය. එය වඩාත් උත්සන්න තත්ත්වයට පත් වුයේ රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේදී ය. ඊ. ඩබ්ලිව් පෙරේරා, සර් ඩී. බී. ජයතිලක, දොන් ස්‌ටීවන් සේනානායක, ඩී. සී. සේනානායක, ඇෆ්. ආර්. සේනානායක එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනාdයක, ඡේ. ආර්. ජයවර්ධන, මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද, හික්‌කඩුවේ ශ්‍රී සුමංගල, බත්තරමුල්ලේ සුභූති, මේ ආදී ගිහි පැවිදි නායකයෝ ක්‍රි.ව. 1940 පමණ වන විට 1817 වර්ෂයේදී ඌව වෙල්ලස්‌සෙන් ඇරඹුණු ලංකා නිදහස් සටන් ව්‍යාපාරයේ පෙරමුණේ සිටියෝ වූහ. ඔවුන්ගේ එම ජාතිමාමක, දේශමාමක, සත්කාර්ය ව්‍යාපාරයේ අග්‍රතම ප්‍රතිඵලය වූයේ ප්‍රතාපවත් එංගලන්ත රාජාණ්‌ඩුව නිදහස් සටන්කාමී සිංහලයන් ඉදිරියේ දණ නමා 1948 වර්ෂයේදී ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් ලංකාවට ලබාදීමෙනි. (ඩොමීනියන් තත්ත්වයේ නිදහස යනු යටත් විජිතියක් නිදහස ලැබූවත් එංගලන්තයේ මහ රජුගේ හෝ මහා රාජනියගේ නායකත්වය නිදහස ලබන රට පිළිගත යුතු බවය.)
වීරෝදාර සිංහල ගිහි පැවිදි දෙපිරිසේ මෙන්ම නිදහස්‌කාමී දෙමළ මුස්‌ලිම් ජන නායකයන්ගේ කැපවීම නිසා ඩොමීනියන් තත්ත්වයේ හෝ නිදහසක් ලංකාවට ඒ අවස්‌ථාවේ ලබා ගැනීමට හැකිවීම අල්ප කොට සැලකූ පිරිසක් ඒ අවස්‌ථාවේ සිටියත් එකී නිදහස ලබා ගැනීමට හැකිවීම, ඉංග්‍රීසීන්ට යටත් වී සිටිනවාට වඩා සිය දහස් ගුණයකින් වැදගත් කොට සැලකීම ජාතික වැදගත්කම වන්නේ ය.
එහෙත් එම නිදහස ලබා ගැනීම පිළිබඳව විතණ්‌ඩවාදී දේශපාලන අදහස් දැරූ ඇතැම් අය එයට එකඟත්වයක් පල නොකළහ. ඔවුහු ක්‍රියා කළෝ පරගැතිවාදයම ගරු කළ නිසා යෑයි සිතීම නිවැරදි වන්නේය.
1948 නිදහස ලබා ගැනීම හා සම්බන්ධ ප්‍රථම නිදහස් උත්සවයේදී අග්‍රාමාත්‍ය මහාමාන්‍ය දොන් ස්‌ටීවන් සේනානායක නිදහස් උත්සවය හා සම්බන්ධ ජාතිය ඇමතීමේදී මෙවැනි අදහසක් පල කළේය.
"ලංකාවට නිදහස ලැබුණා. මොකද ජනතාවට නිදහස අත්කර දීමේ සටන් දැන් තමයි තියෙන්නේ. ඒක සාර්ථක කිරීමට නම් පාලකයන් ඒ සඳහා උත්සාහවත් විය යුතුයි" මේ දොන් ස්‌ටීවන් සේනානායකගේ අගනා වටිනාකමකින් යුතු ප්‍රකාශයක් නොවේද? එතුමා මෙයින් අදහස් කළේ කුමක්‌ද? ශ්‍රී ලංකා රටවැසි ජනතාවට සැබෑ නිදහස භුක්‌ති විඳීමට නම් ආර්ථික සමාජ හා සංස්‌කෘතික පණ ගැන්වීමේ යුද්ධය ආරම්භ කළ යුතු බවය. 1948 - 1952 කාලය වන විට ලංකාව පැවතියේ ස්‌වයංපෝෂිත තත්ත්වයකය. එය එසේ කියන්නේ එකල අතිරික්‌ත ආර්ථිකයක් තිබුණු නිසා ය. එසේ තිබියදීත් රට සංවර්ධනය කිරීමේ ආර්ථික යුද්ධය ඉදිරියට තිබෙන බවට එතුමා ඉඟියක් දුන්නේ රට සංවර්ධනය කර ජනතාවට සැබෑ නිදහස ලබා දීමට එතුමා තුළ අධිෂ්ඨානයක් තිබුණු නිසාය. ඒ සඳහා එතුමා කෘෂිකර්මාන්තයෙන් මෙරට ගොඩනැංවීම සඳහා කටයුතු කළේය. ගොවිජනපද ඇති කළේය. උතුර - නැගෙනහිර පළාත් ආසන්නව සිංහල ජනපද පිහිටෙව්වේය. එතුමා ඒ අතර ගාලු මුවදොර පිට්‌ටනියේදී අශ්වයා පිsටින් වැටී මිය ගියේය.
එදා ඩී. ඇස්. සේනානායක අග්‍රාමාත්‍යවරයා තුළ රට නැංවීමේ අධිෂ්ඨානය තිබුණත් අද වන විට නිදහස ලබා කාලසීමාව වසර හැටතුනක් ගෙවී ගියත් ඔහුගේ ඒ අධිෂ්ඨානය ඒ අදහස ඉටු වී නැත. මේ රටේ ජනතාව අදටත් සිටින්නේ එදා සිටි තැනමය. වැඩිදුරටත් ඒ පිළිබඳ සඳහන් කළොත් එදා සිටි ජනතාවට වඩා අද ජීවත්වන ජනතාව මහා ප්‍රපාතයකට වැටී ඇත. එයින් පැහැදිලි වන්නේ ආර්ථික වශයෙන් ලක්‌වැසි ජනතාව සැබෑ නිදහසක් නිදහසට වසර හැටතුනක් ගිය තැනත් ලැබී නැත. ඩී. ඇස්. ගේ වචන ගෙන සලකා බැලුවොත් එයින් පැහැදිලි වන්නේ මේ රටේ ඒ පක්‍ෂයේ මේ පක්‍ෂයේ දේශපාලනඥයන් පාලකයන් සැබෑ උනන්දුවක් අද වනතුරුත් දක්‌වා නොමැති බවය.
1948 දී අප දේශපාලන නිදහස ලබා ගත්තාය කියා කියන්නේ කුමක්‌ද? ඉංග්‍රීසි කාරයාගෙන් දේශපාලන මාරුවක් ලබා ගැනීමය. එය හුදෙක් ලංකාවේ සිදු වී ඇති දේශපාලන මාරුවක් පමණි. එදා වගේම අදත් මේ රටේ පොදු අසරණ ජනතාව ද අන්ත දුගී දුප්පතුන්ය. එදා වගේම අදත් දුප්පත් ජනයා දුගී බවෙන් මිරිකෙද්දී පාලකයෝ පොහොසත්ව කාලය ගත කරති.
නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය එකට ගමන් කරන කාරණා දෙකකි. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අද ඇත්තේ නාමිකව යෑයි කීවොත් එය නිවැරැදිය. මෙහි තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය නාමික ප්‍රජාතන්ත්‍රවාදයකි. ප්‍රජාතන්ත්‍රවාදය, සමාජවාදය, සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදය ගැන අපේ අය කතා කරති. එයින් කරන්නේ කුමක්‌ද? ජනතාව රැවටීමක් පමණය. එසේ රැවටෙන අපේ බුද්ධිහීන ඡන්දදායකයා කාගෙද මේ බලවේගේ අහවලාගේ බලවේගේ කිය කියා කෑම බීමක් හෝ නැතිව හුරේ දමමින් යති. මේවා රටවැසි ජනතාව රැවටීම මිස මේ හැටතුන් වසර තුළම සිදුවූයේ කුමක්‌ද? සිදුකර ඇත්තේ කුමක්‌ද?
පවුල්වාදී දේශපාලනය ගැන කතා කරන විට එදා සිටම වචනාක්‍ෂ වලින් එම පවුල්වාදය ප්‍රතික්‍ෂේප කළත් නිදහසින් පසුව අද දක්‌වාත් විශේෂයෙන් ම 1956 න් පසුව අද දක්‌වාත් (1970 - 1994 හැර) අද දක්‌වාත් ක්‍රියාත්මක වන්නේ එකී පවුල් වාදයම නොවේද? දේශපාලන ක්‍ෂේත්‍රය තුළ අද එය කෙතරම් දුරට ඇටුවන් බැස තිබේද? අද එය කොයිතරම් දුරට ඉහ වහා ගොස් තිබේද? ඒ ගැන විමසිලිමත් වුවහොත් දේශපාලනයට බැස සිටින පවුල් අතළොස්‌සකට හැර අන් කිසිවකුට දේශපාලනය කළ නොහැකි තත්ත්වයක් උදා වී නැද්ද? රටේ ඉහළම තැන සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීකම දක්‌වාම පක්‍ෂ භේදයකින් තොරව කියනවා නම් ක්‍රියාත්මක වන්නේ එයම නොවේද? මේකද මේ රටේ තිබෙන සැබෑ නිදහස?
ශ්‍රී ලංකාවේ සදාචාරාත්මක මහත්මා දේශපාලනයට සුදුස්‌සෝ බහුල වශයෙන් සිටිති. රාෂ්ට්‍ර පාලනය පිළිබඳ රාජ්‍ය පරිපාලනය පිළිබඳ සුදුසුකම් ලත් දේශපාලන විචාරාත්මක භාවයක් ඇති බහුශ්‍රැතයෝ බොහෝ වෙති. එහෙත් මෙහිදී රාෂ්ට්‍ර පාලනය පිළිබඳ කාලාන්තරයක සිට වැදගත් වී ඇත්තේ දේශපාලන පවුල්වාදය යයි. මේ තත්ත්වය යටතේ දේශපාලන බහුශ්‍රැතභාවයකින් තොර රාෂ්ට්‍ර පාලනය පිළිබඳ සුවිශද දැනුමක් හෝ පුහුණුවක් නැති ඕනෑම තරාතිරමක කෙනෙකුට පවුල් කේන්ද්‍රධීශ්වරත්වය යටතේ ඕනෑම ඉහළ තනතුරකට යැමේ භාග්‍යය උදා වී ඇත. මෙය දශක තුන හතරක සිට ක්‍රියාත්මක වන්නකි. අදාළ සුදුසුකම් ඇති සුදුස්‌සෝ මුල්ලට තල්ලු කර සිටිති. මේකද මේ රටේ සැබෑ දේශපාලනය. මේකද මේ රටේ සැබෑ නිදහස.
ශ්‍රී ලංකා දේශපාලනය තුළ නිදහස, නිදහස යෑයි මොර දී කීවත් තමන්ගේ බලය තහවුරු කොට පවත්වා ගෙන යැම සඳහා හරි හෝ වේවා, වැරැදි හෝ වේවා කුමන නම් නීතියක් වුවද බලය යොදා සම්මත කර ගැනීමට අපේ පාලකයෝ පෙළඹෙති. එය ස්‌වකීය දේශපාලන බලය තහවුරු කර ගැනීම සඳහා වූවක් මිස ජනතා හිතාධ්‍යාශය යටතේ සිදු කරන්නකැයි 1970 සිරිමාවෝ ආර්. ඩී. බණ්‌ඩාරනායක අග්‍රාමාත්‍යතුමියගේ කාලයේ සිට මේ දක්‌වා සිදු වී ඇති යම් යම් සිද්ධීන්ගෙන් මනාව පැහැදිලි වේ. ඒවා රටේ හෝ ජනතාවගේ හෝ නිදහස සඳහා හේතු භූත කර ගත් ඒවාද? නැත. ඒවා බලය තහවුරු කර ගැනීමේ නිදහස සඳහා සිදු කරන ලද දේ හැටියට සැලකීම වඩාත් උචිත වන්නේය.
තමන් බලයේ සිටියදී කඩිමුඩියේ සම්මත කරනු ලබන නීතිරීති අන්තිමේදී තමන්ටම පාරා වලල්ලක් වූ බව ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ විධායක ජනාධිපති ක්‍රමයෙන් හා සමානුපාතික මැතිවරණ ක්‍රමයෙන් මනාව පැහැදිලි වෙයි. එමගින් මේ රටේ නිදහසට ලැබුණු පිටිවහල කුමක්‌ද? ඒ තුළත් සැඟවී තිබුණේ බලය තහවුරු කර ගැනීමේ නිදහස් ෙච්තනාව නොවේද? සැබවින්ම එය එසේමය.
තමන් බලයේ සිටියදී බලයේ සිටින්නා කවර පක්‍ෂයක සිටියත් තමන් සම්මත කරවා ගන්නා නීති රීති වලින් ම බලයේ සිටියදීත් බලයෙන් පහ වූ පසුත් ඔවුන්ටම බැට කන්නට සිදු වූ ආකාරය පසුගිය හැටතුන් වසර තුළ ගත වී ගිය දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික ඉතිහාසයෙන් මොනවට පැහැදිලි වෙයි. ජර්මනියේ හිට්‌ලර්ට, පිලිපීනයේ පර්ඩිනන්ඩ් මාකෝස්‌ට, ප්‍රංශයේ දාහතරවන ලුවී රජුට, රුසියාවේ සාර් රජුට, ඉරානයේ ෂා රජුට වැනි අයට සිදු වූයේ සැබෑ ජනතා නිදහස වසා තම නිදහස තකා කටයුතු කිරීම නිසා ඔවුන්ට අත්විඳීමට සිදු වූයේ ඔවුන් කවරදාකවත් සිදු වේ යෑයි නොසිතූ ඛේදවාචකයන්ට මුහුණ දීමටය. වර්තමානයේ ඊජිප්තුව වැනි රටවල පාලකයන්ට එරෙහිව සැබෑ නිදහස පතා නැඟී එන ජනතා බලවේගයට මුහුණ දීමට සිදු වී ඇත්තේ රාෂ්ට්‍රපාලන තන්ත්‍රය ජනතාව උදෙසාය යන සද්භාවයෙන් තොරව එවැනි පාලකයන් කටයුතු කිරීම නිසා ය.
ගත වූ නිදහස් ශ්‍රී ලංකාවේ හැටතුන් වසර තුළ මේ රටේ බලයට පත් වූ ඇතැම් නායකයන් ඇතැම් අමාත්‍යවරුන් රාජ්‍යයේ වියදමින් (මහජන මුදලින්) ලෝකයේ දියුණු යෑයි කියාගන්නා විදේශවලට පවුල්පිටින් ගොස් එහි සිරි නරඹා ආවා මිස මේ රටට ගෙන ආ ආදර්ශය කුමක්‌ද? එවැනි ආදර්ශයක් දියුණු යෑයි කියා ගන්නා රටකින් ගෙනවිත් මේ රටේ අභිවෘද්ධිය සඳහා එය යොදා ගත්තා නම් 1950 කාලයේ මේ රටේ පැවැති ආර්ථික අතිරික්‌තයත් සමඟ මේ වන විට ශ්‍රී ලංකාව තාවතිංස භවනයක් කිරීමට විදේශාධාර සඳහා යෙදූ සහ යොදන මහජන මුදල් කන්දරාව ප්‍රමාණවත් නොවේ යෑයි නොසිතිය හැකිය. මේ තුළ සැබෑ නිදහස ඇත්තේ කවුරුන් තුළ ද යන්න පස්‌වැනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා දරුවෙකුට වුවද තේරුම් ගත හැකි කාරණයකි.
ආචාර්ව සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මැතිතුමා එදා මේ රටේ නිදහස් අධ්‍යාපන ක්‍රමය තහවුරු කළේය. ලංකාවේ තැනින් තැන මධ්‍ය විද්‍යාල ඇති කොට අටවැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ක්‍රමයක් ද ක්‍රියාත්මක කළේය. එම නිදහස් අධ්‍යාපන ක්‍රමය තුළ නගරයේ මෙන් ම ඈත එපිට ගම්මානවල වසන දුගී දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට උසස් අධ්‍යාපනයක් කරා ගමන් කිරීමේ අවස්‌ථාව ලැබිණි. පසු කාලීනව බලයට පත් වූ ආණ්‌ඩුවල ඇතැම් අධ්‍යාපන ඇමැතිවරයෙක් නිදහස පාවිච්චි කරමින් කළේ මහා විද්‍යාලයත්, මධ්‍ය මහා විද්‍යාලයත් යන දෙකම ජාතික පාසල් නමින් හඳුන්වන බහුභූතයකි. ඒ ජනතාවගේ සැබෑ නිදහස නොව ඔවුන් ලබා ගෙන ඇති බලයේ නිදහසයි.
ඒ පියවර ගැනීම සඳහා බලයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, මේ රටේ විශාල ඡන්ද පදනමක් ඇති එක්‌සත් ජාතික පක්‍ෂයත් බලකාමය පසෙකට දමා රාෂ්ට්‍රකාමය ඇති කර ගෙන, තනතුරට ලෝභය පසෙක දමා ජනතා සේවා ලෝභය ඇතිකර ගෙන අල්ලසින්, දූෂණයෙන්, ගසාකෑමෙන්, වංචාවෙන්, තොර පිරිසිදු රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතුය. එසේම අපේ රටේ දේශපාලනය තුළ ක්‍රියාත්මක කෙරෙන සාටෝප සාඩම්බර පැවතුම් ක්‍රමය අත්හැර දමා ස්‌විට්‌සර්ලන්තයේ දේශපාලනඥයන් මෙන් නිහතමානී විය යුතුය. නිරහංකාර විය යුතුය.
ඒ අනුව පොදු වැඩපිළිවෙළක් සැලසුම් කරගෙන එය ක්‍රියාත්මක කිරීමෙන් වසර පහක් ඇතුළතදී අපට සැබෑ මිනිස් නිදහස ස්‌ථාපිත කර ගැනීමට හැකි වෙනවා ඇත.
ආචාර්ය එස්. අයි. ගමගේ
0 comments:
Post a Comment