728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Friday, 21 February 2014

පූජකවරුන්, යතිවරුන්, පල්ලි, පන්සල් හා නොයෙකුත් දෘෂ්ටිගත විශ්වාසයන් යන මේ කිසිවක් ආගම නො වේ....ජේ. කි‍්‍රෂ්ණමූර්ති

ඒවා කිසියම් සතුටුදායක තත්ත්වයකට පත් කර ගැනීමට ය. එහෙත් ගැඹුරු ආධ්‍යාත්මික අවබෝධයකින් යුතු ව නොසිටින තෙක් අප නිර්මාණය කර ගන්නේ තව තවත් අවුල් වියවුල් හා සෝ තැවුල් පමණකි. පූජකවරුන්, යතිවරුන්, පල්ලි, පන්සල් හා නොයෙකුත් දෘෂ්ටිගත විශ්වාසයන් යන මේ කිසිවක් ආගම නො වේ.

අප බොහෝ දෙනකුට කොතෙකුත් ගැටලුවලට මුහුණ දීමට සිදු ව ඇත. සමාජ සංශෝධනය වූ කලි ඉන් එකකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී, සමාජවාදී හා ඉතාමත් කාරුණික වූ සමාජ සංශෝධකයන් ආදි වශයෙන් වූ නොයෙකුත් කණ්ඩායම් සැලැකිලිමත් ව සිටිනුයේ ලෝකයෙහි ඇතැම් වෙනස්කම් ඇති කිරීමේ ප‍්‍රයත්නයක ය.
වෙනස් කිරීම් අවශ්‍ය බවට සැකයක් නැත. ඇතැම් රටවල සැලැකිය යුතු ප‍්‍රමාණයක සමෘද්ධියක් ඇති නමුදු, සමස්ත ලෝකයෙහි ම තව දුරටත් දක්නට ලැබෙනුයේ බඩගින්න ය; හාමත ය; දස ලක්ෂ ගණන් මිනිසුන්ට හරි හමන් ඇඳුමක් නැත; ඉන්න හිටින්නට වාසස්ථාන නැත. ඉදින් තව තවත් අවුල් වියවුල්, දුක්ඛ දෝමනස්සයන් හා ආරවුල් ඇති කර ගැනීමකින් තොර ව සංශෝධනයක් සිදු කළ හැකි වනුයේ කෙසේ දැයි යනු අප අබියස ඇති සැබෑ ගැටලු ව ය.
කෙනකු ඉතිහාසයෙන් බිඳක් කියවන විට ද, එ සේ ම අද දවසේ දේශපාලන ප‍්‍රවණතාවන් දෙස විමැසිලිමත් ව බලන විට ද, පසක් වන එක් කරුණක් ඇත්තේ ය. එනම්, අප හඳුන්වා දෙන සංශෝධනය කොපමණ ප‍්‍රයෝජනවත් වුව ද, එ සේ ම එය අත්‍යවශ්‍ය වුව ද, ඉන් ඇති වන දුර්විපාක හේතුවෙන් නිතර නිතර වෙනත් විදියක ද අවුල් වියවුල් හා ගැටුම් ඇති වන බව ය.
තව ද මෙලෙස අමතර ව ඇති වන දුක් ගැහැට සමනය කර ගනු වස්, තව තවත් නීති රීති පැනවීමත්, තව තවත් එහි හරි වැරැදි සොයා බැලීම හා ඉන් පසු ව ද වඩාත් සුරක්ෂිත වනු පිණිස එහි නිරවද්‍යතාව ගැන විමැසිලිමත් ව සිටීමත් අවශ්‍ය වන්නේ ය.
එහෙයින් සංශෝධනය හේතු කොට ගෙන ඇති වනුයේ අලුත් අවුල් වියවුල් ය. මේ අවුල් නිවැරැදි කොට පිළියෙල කිරීමෙන් පසු තවදුරටත් අවුල් ඇති වෙයි. එබැවින් එක හේතුවකට පසු තවත් හේතුවක් වශයෙන් අවිච්ඡින්න වූ විෂම චක‍්‍රයක් දිගට ම පවතින්නේ ය. අප මුහුණ පා සිටිනුයේ මේ ගැටලුවට ය. මේ වූ කලී කෙළවරක් නොපෙනෙන කි‍්‍රයාදාමයකි.
ඉදින් කෙනකු මේ විෂම චක‍්‍රය බිඳ ගෙන ඉදිරියට යන්නේ කෙසේ දැයි සොයා බලමු. සංශෝධනය අත්‍යවශ්‍ය දෙයක් බව පැහැදිලි ය, එහෙත් තවදුරටත් අවුල් වියවුල් ඇති නොවන පරිදි සංශෝධනයක් කර ගත හැකි දැයි යනු ප‍්‍රශ්නයකි.
මේ වූ කලි කල්පනාකාරී ව කටයුතු කරන කවර පුද්ගලයකු විසින් වුව ද සලකා බැලිය යුතු මූලික ගැටලුවලින් එකක් ලෙස මට පෙනේ. ප‍්‍රශ්නය වනුයේ, අවශ්‍ය සංශෝධනය කිනම් ආකාරයක ද, නැතහොත් කිනම් තරාතිරමක ද යන්න නො ව, කෙසේ හෝ ගැටලු මතු ව, නැවත සංශෝධනය කිරීම අවශ්‍ය නොවන විදිහේ සංශෝධනයක් කර ගත හැකි දැ යි කියා ය.
ගැටලුවක් නිරාකරණය කර ගත හැක්කේ, කාල්පනික ව හෝ මූල ධර්මවලට අනුකූූල ව හෝ දාර්ශනික ලෙස කරුණු ගෙන හැර දැක්වීමෙන් හෝ ඒ ගැන පොත පත ලිවීමෙන් හෝ නො ව, එය විසඳ්‍ර ගත හැකි සැටි අනාවරණය කර ගනු වස් ඇති සැටියෙන් ම ඊට මුහුණ දීමෙනි. සැබැවින් ම මේ වනාහි පාසලක හෝ විශ්වවිද්‍යාලයයක හෝ දෙනු ලබන අධ්‍යාපනය සතු කාර්ය භාරයකි.
තව දුරටත් දුක් කරදර ගෙන දෙන මේ සංශෝධන කි‍්‍රයාවලියෙන් වියුක්ත වූ ජීවන රටාවක් තිබෙන බව මම කල්පනා කරමි. ඇතැම් විට එය ආගමික වූවක් ලෙස ද හැඳින්විය හැකි ය.
සැබෑ ලෙසින් ම ආගමික වූ පුද්ගලයා සංශෝධනයෙහි සැලැකිලිමත් නො වේ. හෙතෙම සමාජ ක‍්‍රමයෙහි හුදු වෙනසක් ඇති කිරීම ගැන ද උනන්දු නැත. ඔහු විමසා බලන්නේ යථාර්ථය ය. තව ද ඒ විමැසීම සමාජයෙහි පූර්ණ වෙනසකට ද හේතු වන්නේ ය. අධ්‍යාපනය යනු මූලික වශයෙන් සත්‍යය හෝ දෙවියන් හෝ පිළිබඳ ව විමසා බලනු පිණිස ශිෂ්‍යයනට සහාය වන සමාජ කාර්යයක් විය යුතු වනුයේ එහෙයිනි. නො එ සේ ව ඔවුන් හුදෙක් නියමිත සමාජ ආකෘතියට ගැලැපෙන ලෙස සූදානම් කිරීම නො වේ.
මා කල්පනා කරන්නේ අප තරුණ වියේ දී ම මේ කාරණය තේරුම් ගැනීම ඉතාමත් වැදගත් බව ය. මක් නිසා ද යත්, අප වැඩිහිටියන් වන විට පලක් නැති විහිළු තහලුවලට හා විනෝදවීම්වලට ද, සිත වෙනතක යොදවා ගෙන සිටීමට ද, අපේ ලිංගික ආසාවන්ට හා වැදගැම්මක් නැති දැඩි බලාපොරොත්තුවලට ද, අපේ ජීවිතය වෙන් කැරෙන හෙයිනි. අප වඩාත් උනන්දුවෙන් දැනුම්වත් ව සිටිනුයේ, ලෝකය අබියස ඇති අප‍්‍රමාණ වූ ගැටලු පිළිබඳ ව ය.
අපට වුවමනා කරන්නේ ඒ ගැන යමක් කිරීමට ය; ඒවා කිසියම් සතුටුදායක තත්ත්වයකට පත් කර ගැනීමට ය. එහෙත් ගැඹුරු ආධ්‍යාත්මික අවබෝධයකින් යුතු ව නොසිටින තෙක් අප නිර්මාණය කර ගන්නේ තව තවත් අවුල් වියවුල් හා සෝ තැවුල් පමණකි. පූජකවරුන්, යතිවරුන්, පල්ලි, පන්සල් හා නොයෙකුත් දෘෂ්ටිගත විශ්වාසයන් යන මේ කිසිවක් ආගම නො වේ.
ඒ වනාහි හුදෙක් සිතීමේ දී හා කි‍්‍රයා කිරීමේ දී විශේෂිත ආකෘතියක් ඇතුළත අප හසුකර ගෙන සිටීම පිණිස වූ සමාජයේ පහසුකම් ය; යමක් අවංක ව විශ්වාස කැරෙන අපේ ගති ස්වභාවය, අපේ අපේක්‍ෂාවන් හා බියපත්වීම සිය වාසියට යොදා ගැනීමකි. ආගම යනු සත්‍යය, දෙවියන් යනු විසින් කුමක් අරුත් වන්නේ දැයි විමසා බැලීම ය. ඒ සඳහා අති මහත් ශක්තියක්, පුළුල් අවබෝධයක් හා සියුම් චින්තනයක් අවශ්‍ය ය. නිවැරැදි සමාජ කාර්යය වනුයේ එසේ විමසා බැලීම ය. නො එ සේ ව යම් විශේෂිත වූ සමාජයක් සම්බන්ධයෙන් කැරෙන ඊනියා සංශෝධනය නො වේ.
සත්‍යය නිරාවරණය කර ගනු වස් මනුෂ්‍ය සම්බන්ධතාවන් පිළිබඳ ළෙහි උපන් කරුණාවක් හා දයාවක් තිබිය යුතු ය; සිහි බුද්ධියක් තිබිය යුතු ය, එනම්, කෙනකු සිය දියුණුව හා අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් ම කැප වී නොසිටීම ය. සැබෑ ආගම වූ කලී සත්‍යය ඇති සැටියෙන් සොයා බැලීම ය.
හුදෙක් ආගමික පුද්ගලයා වනුයේ, එලෙස සොයා බලා විමසන පුද්ගලයා ය. එබඳු පුද්ගලයකු සමාජයෙන් බැහැර ව සිටිනුයේ සැබෑ ආදරයක් හා දයාවක් ඔහු තුළ ඇති බැවිනි. මේ නිසා සමාජය සම්බන්ධයෙන් ඔහු ගේ කටයුතු සමාජගත ව එහි සංශෝධනයන් ගැන ම වෙහෙසෙන පුද්ගලයාගෙන් සහමුලින් ම වෙනස් වෙයි.
සමාජ සංශෝධකයාට කිසි දිනෙකත් නව සංස්කෘතියක් ගොඩනැඟිය නො හැකි ය. ආගමික බලපෑමක් පදනම් කොට ගෙන හෝ විවිධ පරමාදර්ශයන් අනුගමනය කිරීමට හෝ එකමුතු වන හැම කෙනකු ම සැලකිලිමත් වනුයේ, සමාජය සංශෝධනය කිරීමට ය. එහෙත් ඒ වනාහි හුදෙක් සිර මැදිරියෙහි අවට බිත්ති අලංකාර කර ගැනීමත් පමණි.
යථාර්ථය විමසා බැලීමේ දී මනසෙහි ඇති වනුයේ අතිශයින් ම සංවේදී වූ ප‍්‍රතිභාපූර්ණ ශක්තියකි. ඒ වනාහි සැබෑ විප්ලවයකි. එසේ වනුයේ, සමාජයීය, බලපෑම් හා අනුදැනීම් හේතුවෙන් මනස තවදුරටත් දූෂ්‍ය වීමට අවශ්‍යතාවයක් නැති සේ එය සියල්ලෙන් ම නිදහස් ව පවතින බැවිනි. සත්‍යය අනාවරණය කර ගත හැකි වනුයේ එලෙස ආගමික වූ පුද්ගලයාට පමණි.
This Matter of Cultur නමැති කෘතිය
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: පූජකවරුන්, යතිවරුන්, පල්ලි, පන්සල් හා නොයෙකුත් දෘෂ්ටිගත විශ්වාසයන් යන මේ කිසිවක් ආගම නො වේ....ජේ. කි‍්‍රෂ්ණමූර්ති Rating: 5 Reviewed By: Unknown