728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Friday, 7 March 2014

"සුරතුර" පැළ බොන්සායි කර ලබා දෙන දේශපාළුවෝ ...






රටේ මහ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට පරම්පරාගතව පෙරුම් පුරමින්, ඇප කැප වෙමින්, වත්පිළිවෙත් පුරමින් පරාර්ථයම ජීවිතය කරගත් සත්ගුණවත් පලා බබාලා තාප්පවල පාප්ප නාගෙන සිනහ උතුරවමින් විළිස්සාගෙන සිටී.

අනිච්චං දුක්ඛේ! මේ කවරනම් අරමුණක් සඳහාද? දෙයි හාමුදුරුවනේ, මේ තරම් දත කන්නේ, වාහන පෙළපාළි යන්නේ, තෑගි බෝග දෙන්නේ, පොරොන්දු ඉස්මුදුනේ තබන්නේ, දිවා රෑ වෙහෙසෙන්නේ අපේ රටේ අහී දුප්පත් ජනතාවට සේවය කිරීමට මිස මොන කෙංගෙඩියකටද?
හත්ඉළව්වේ, ජනතාව වෙනුවෙන්ම තමා! ඉතිහාසය පුරා පැවැති මැතිවරණවලදී සැමදාම ජනතාව ගොනාට ඇන්දවූ දේශපාලනඥයෝ වේදිකාවල ඒ දිනවල පට්ටපතුරු ගසමින් දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කළා නම් අපේ රට සුරපුරයටත් එහාය.

රටේ ඡන්දයක් පැවැත්වෙන විට විවිධ වෙස්ගෙන, සිතූ පැතූ සම්පත් දෙන "සුරතුර" පැළ බොන්සායි කර ලබා දෙන දේශපාළුවෝ ජනතාව අභිමුවට එති. ජනතා කඳුළට, වේදනාවට, සුසුමට පිහිටවන බවට, විසඳුම් දෙන බවට හිස අත්ගසා පොරොන්දු වෙති. නමුත් මේ ඡන්ද යාචකයන් බලයට පැමිණි පසු කළේ කුමක්ද? කරන්නේ මොනවාද? දහ අතේ දුන් පොරොන්දු කන්දට උඩින් පැන ජනතාවට පශ්චාත් භාගය ලෙළවා පෙන්වති. පසුගිය අවුරුදු හැටහය පුරාවට සිදුවූ එකම දෙය එයම නොවේද?
හිසේ අමාරුවට කොට්ටය මාරු කරන්නා සේ ශ්‍රී ල.නි.ප.ය සහ එ.ජා.ප.ය වරින් වර බලයට පත් කෙරුවෝය. පෙරමුණු, සන්ධාන, පොදු අපේක්ෂක, පරිවාස ආදී විවිධ වෙස් ගෙන ජනතාව අතරට පැමිණි අයුරු ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ අපූරුවට ලියැවී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන ලේකම් ධුරය හොබවන ගරු මෛත්‍රිපාල සිරිසේනගේ වත්තේ වැල් අල බැස තිබෙන අයුරු මාධ්‍ය මඟින් අපි දුටුවෙමු. එම අල පඳුරේ කිලෝ 15ක අස්වැන්නක් තිබූ බවද වාර්තා විය. 'එෂුවා' නමැති මෙම අල වර්ගය වාර්ෂික බෝගයකි. මෙහි විශේෂය නම් අල බහින විට වැල මැරීයෑමය.
හරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදුව සහ සිදුවෙමින් පවතින දේ වගේය. 'එෂුවා' අල පඳුර පක්ෂයේ ලේකම්තුමාගේ ගෙවත්තේදීම එය ඔප්පුකර පෙන්වා ඇති අයුරු දෛවෝපගතය. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරැණි සාමාජිකයන්ට තැනක් ඇත්තේද යන්න පපුවට තට්ටුකර අසා ගත යුතු පැනයකි. අද පක්ෂයේ උප සභාපති ධුරයක් හොබවන්නේ කොටි සංවිධානයේ හිටපු සන්නද්ධ නායකයා වන කරුණා අම්මාන් ඇමැතිතුමාය. එක්සත් ජාතික පක්ෂයෙන් කිරි උරාබී හැදී වැඩී එ.ජා.ප. පාක්ෂිකයන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු ගිය දෙබිඩ්ඩෝ අද බහිරව වෙස් ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා කඳවුරු බැඳගෙන සිටිති. අද ආණ්ඩුවේ කෙරුමෝ වී ඇත්තේ හැදී වැඩුණු පක්ෂයටත්, ඔසවා තැබූ ජනතාවටත් අමුඩය නොඇඳ ඇඳිවත උස්සා පෙන්වූ පුබ්බඩයන්ය. තවත් පක්ෂ විනාශ කර ගෙන කඩාගෙන පැමිණි හම්පඩයෝද පැරැණි ශ්‍රී ල.නි.ප. පාක්ෂිකයනට වඩා හොඳින් රෙදි අපුල්ලති. කොමෝඩ්වලට අත දමාගෙනම සෝදති. අත නාසයට ළංකර බලති. 'අපූරුයි, සුවඳයි' කියාම කියති.

එක්සත් ජාතික පක්ෂයට වී ඇති හානිය සහ පිරිහීම ගැන කියන්නට ලියන්නට වචන නැත. රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂයේ තේමාව වී ඇත්තේ 'අන්ත පරාජය' යන්නයි. පක්ෂය, පාක්ෂිකයා සහ රට ගැන නොසිතන එ.ජා.ප. නායකයාගේ අදූරදර්ශී, උඩඟුකම් නිසා මෙවර බස්නාහිර සහ දකුණද එක්සත් ජාතික පක්ෂයට අහිමිවීම වැළැක්විය හැක්කේ නම් එය ආශ්චර්යයකි.
නාමයෝජනා ලබා දීමේදී එ.ජා.ප. නායකයා සහ නාමයෝජනා මණ්ඩලය නිවැරැදි කරගත නොහැකි වරදවල් රැසක් කිරීම නිසා අන්ත පරාජය නමැති වළ ඔවුන් විසින්ම කපා පක්ෂයත්, පාක්ෂිකයාත් එහි දමා පස් තද කර හමාරය.

දකුණේදී ගයන්ත කරුණාතිලක  යෝජනා කළ අපේක්ෂකයන්ට හිතාමතාම ජනමතයක් නොමැති පුස්සෙකුගේ වාතයකට එකඟව නාමයෝජනා නොදීම එ.ජා.ප.ය කළ බලවත් වරදකි.
බස්නාහිරද ඔවුන් ඒ දෙයම කළේය. ආණ්ඩුවේ සැලුන් ‍ෙදාර අසල එබිකම් කරමින් සිටින දූෂිත චෝදනා ලැබූවකුගේ හයිකාරකම් මත නගරාධිපති මුසම්මිල්ගේ බිරියට එ.ජා.ප. නාමයෝජනා නොදුන්නේය. බස්නාහිර පළාතේ මුස්ලිම් ජනතාවගේ ඡන්දයෙන් යම් පමණකට හෝ ජන පදනමක් මුසම්මිල් ඔහු වටා නිර්මාණය කරගෙන, රැස්කරගෙන තිබිණි. බහුවාර්ගික ජන පදනමක් ඇති බස්නාහිර මේ ඡන්ද පදනමේ දෙදරීමක් මේ ගොන් තකතීරු තීන්දුව නිසා සිදුකර ගත් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

හෙළ උරුමයේ උදය ගම්මන්පිලගේ නායකත්වය පිළිබඳවද සන්ධානයේ අළුයට ගිනි පුපුරු මතුවූ බව පිළිගත යුත්තෙකි. ගම්මන්පිලගේ සාධාරණ, නීත්‍යනුකූල, ආගමානුකූල පෝස්ටර්, කටවුට් නැති දේශපාලන න්‍යාය පත්‍රය අභියෝගයකි. ඔහුගේ දෙපසින් සිටින්නේ නාමයෝජනා දුන් දිනයේ පටන්ම මැතිවරණ නීති රීති අමු අමුවේ කඩා බිඳ දමන්නන්ය. මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන්ය. මත්පැන් අලෙවිසල් සහ බාර් හිමිකරුවන්ය. පෝස්ටර්, කටවුට් කප්පිත්තන්ය. කෝටි ගණන් මුදල් වියදම් කරනා ධන කුවේරයන්ය. පාතාලය සහපිරිවර කරගත් චණ්ඩින්ය. කණ්ඩායම් නායකයාගේ ප්‍රතිපත්ති සහ අනෙකුත් ඡන්ද යාචකයන් අතරේ ඇත්තේ මහා පරස්පරයකි. සම නොවන භූමිකාවන්ය. මේ අතරට මැදිව සිටින්නේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර නමැති දැවැන්ත රාජ්‍ය හිතෛෂියාගේ සුරූපී දියණිය හිරුණිකාය. දේශපාලනය වෙනුවෙන්ම තම ජීවිතය මහ මඟදී වෙඩි වරුසාවකට පූජා කළ භාරත ලක්ෂ්මන් වෙනුවෙන් දියණි හිරුණිකා එදා කළ ප්‍රකාශ, කළ කී දෙය මේ රටේ සමස්ත ජනතාවට හොඳින්ම මතකය. ඒ ඝාතනය වෙනුවෙන් චෝදනා ලැබූවන්ට සියල්ල අමතකය.
අනේ ඉතින් හිරුණිකා දුවටද සියල්ල සැණෙකින් අමතක වී ගිය අයුරුද ආශ්චර්යයකි.
දේශපාලන ගොහොරුවෙහි වැටෙන්නට සිදුවූ විට තත්ත්වය එසේමය.

එදා නාලන්ද එල්ලාවල ඝාතනය සිදු වූ විට ඩලස්ලා, ඩිලාන්ලා ඇඟිලි දිගු කළේ කාහටද? චූදිතයෝත්, වින්දිතයෝත් අද එකට කති, බොති, වෙසෙති.
මානව හිතවාදී විජය කුමාරතුංග අවමඟුලේදී නිදහස් චතුරස්‍ර භූමියේ චන්ද්‍රිකා බණ්ඩාරනායක දෙඅත් ඉහළට ඔසවා දුන් ප්‍රතිඥාව ජනතාවට අමතක නැත. එනමුදු බලය ඉදිරියේ චන්ද්‍රිකා පරිවාස රජය පිහිටුවා ගත්තේ සියල්ල අමතක කර දමා හිත මිතුරු වීමෙනි.
රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකයාගේ චරිතයට මේ රටේ දේශපාලනය තුළ වැඩිපුරම පහර දුන්නේ, නින්දා, අපහාස කළේ, ජන-අප්‍රිය කරවීමේ මහා මෙහෙයුම් දිනපතාම සැලසුම් සහගතව දියත් කළේ මංගල සමරවීරය.


ඒ සියල්ල රනිල්ටද අමතකය. මංගලටද අමතකය. ජාඩියට මූඩිය සේ දෙදෙනාම එකතුව අද එක්සත් ජාතික පක්ෂය අගාධයට ඇදගෙන යන්නේය.
ඒ නිසා හිරු-නිකා නොසිට ඒ දේශපාලන අසම්මතයේ "අමතක පරම්පරාවේ" අලුත් සාමාජිකාව වීම අරුමයක් නොවේ.
මෙවරද එක්සත් ජාතික පක්ෂයේ පරාජය නියත වන්නට පාර කපා ගන්නේ නායකයා, නායකත්ව මණ්ඩල, කෘත්‍යාධිකාරී නිවටුන්ගේ අමනකම් නිසාවෙන්මය.
නව බලවේගයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සරත් ෆොන්සේකාගේ පක්ෂය දෙසට මැදිහත් මතයක් ගොඩනැංවෙමින් තිබුණද කට නිසා නෑසී යෑමේ ප්‍රවණතාවක් ඇතිවෙමින් තිබේ. එය ඉතා අවාසිසහගත තත්ත්වකි. එක් අතකට එය දේශපාලනයේ නොමේරූ අත්දැකීමේ දුර්වලකමකි.


ෆොන්සේකා විසින් මේ මොහොතේ කළ යුත්තේ දේශපාලන චරිතවලට ආක්‍රෝෂ පරිභව වහසි බස් දෙඩවීම නොවේ. රනිල් වික්‍රමසිංහගේ, මංගල සමරවීරගේ, රවි කරුණානායකලාගේ, වජිර අබේගුණවර්ධනලාගේ අසමඟිකම් වැපිරවීමේ, පළිගැනීමේ සහ අත්තනෝමතික තීරණයන් නිසා දිනෙන් දින කලකිරෙමින්, ඉවත් වෙමින් සිටින පාවෙන එක්සත් ජාතික පාක්ෂිකයාට ආමන්ත්‍රණය කිරීමයි. ඔවුන් නතුකර ගැනීමය. විය යුත්තේ එයයි. නොවන්නේද, නොකරන්නේද එයයි.
කිරිපිටි ගෙන්වන සමාගම් මාෆියාවට නතුව රුපියල් හැටඑකකින් කිරිපිටි මිල වැඩි කළ ආණ්ඩුව මේ නොබෝදා මයිසූර් පරිප්පු ආනයන බද්ද රුපියල් දහහතකින් අඩු කළේය.

ඒ ඡන්දයේදී ජනතාවට පරිප්පු කවන්නට කියා නොසිතිය යුතුය. මේ ඡන්දයේදී දකුණේත්, බස්නාහිරත් කුඩු, මත්පැන් සහ අවනීතිය ඉහවහා යන බව පෙනෙන්නේ අපේක්ෂක ලැයිස්තු දෙස බැලූ කලය. ඒ නිසා ජනතාවට කුඩු සමඟ මත්පැන් බී පරිප්පු කෑ හැකිය.
සංවර්ධිත යෝජනා, මැතිවරණ ප්‍රතිපත්ති, දේශපාලන දැක්මක් නොමැති කුකුල් පොර දේශපාලනය තුළ හැම අතින්ම හයි, හත්තිය ඇති එකා ජවය, බලය පෙරටු කරගෙන ජනතාවගේ පරමාධිපත්‍ය ඡන්ද බලය කවර ලෙසකින් හෝ කොල්ල කනු ඇත.
"සත්‍ය තීරණය කරනු ලබන්නේ බහුතර ඡන්දයෙන් නොවේ" යැයි ඩුග් ග්වේන් පවසා ඇත්තේය. එනිසා ඒ තාක්කල් ජනතාව හැම කල්හිම පරිප්පුම කනු ඇත.
පරිප්පුවන්ටම ගිය රටේ
පරිප්පුවන්ට ජය වේවා!

බණ්ඩාර
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: "සුරතුර" පැළ බොන්සායි කර ලබා දෙන දේශපාළුවෝ ... Rating: 5 Reviewed By: Unknown