728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Monday, 24 March 2014

එදා නායකයන් නිදහස දිනා ගැනීමට ක්‍රියා කළේ තමන්ගේ ධනය වැය කරමින්...

යහපාලනය නොමැතිකමින් අද ජනතාවට දේශපාලනය එපා වී ඇති බවත් එය යළිත් ජනතාව අතරට දේශපාලන ක්‍රමය ගෙන යෑම සඳහා ඩී.එස්. සේනානායක මැතිතුමා ඇති කළ දේශපාලන ක්‍රමය අනුගමනය කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ  ප්‍රකාශ කළේය.
මාර්තු 22 වැනි දාට යෙදුණු ශ්‍රී ලංකාවේ පළමුවැනි අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ 62 වැනි ගුණානුස්මරණය පසු ගියදා නිදහස් චතුරස්‍රයේ පිහිටි එතුමාගේ පිළිරුව අබියසදී පැවැත්විණි.



එම අවස්ථාවට සහභාගි වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ  මෙසේ ද ප්‍රකාශ කළේය:
“මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභාපති ලෙසත්, මේ රටේ පළමු වැනි අගමැති ලෙසත් කටයුතු කළ කාලයේදී එතුමාගේ පාලනයේ විශේෂ ලක්ෂණයක් තිබෙනවා. එතුමාගේ පාලනය තුළ දූෂණය තිබුණේ නැහැ. කිසිවෙක් සතයක්වත් අයථා ලෙස පරිහරණය කළේ නැහැ. ඒ වගේම කිසිදිනකවත් එතුමාට දූෂණ චෝදනා තිබුණේ නැහැ. වැඩ කටයුතු කිරීම සඳහා සතයකවත් අල්ලසක් දීමට අවශ්‍ය වුණේ නැහැ. එතුමා අයත් වූ පරම්පරාවේ කිසිම නායකයකු මේ රටේ නිදහස ලබා ගැනීම සඳහා ක්‍රියා කරද්දී සතයක්වත් උපයා ගත්තේ නැහැ. මේ රටේ නිදහස ලබා ගැනීම සඳහා ඔවුන් තම ධනය වියදම් කළා.

ඩී.එස්. සේනානායක මැතිතුමා තමන්ට අයත් කහටගහ පතල ආදී මිනිරන් පතල්වලින් ලැබෙන ආදායම මේ රටේ නිදහස් සටන වෙනුවෙන් යෙදෙව්වා. නිදහස් සටනෙන් හම්බ කරන්නේ කෙසේ දැයි කල්පනා කළේ නැහැ. එතුමාගේ කාලයේ ඉදි කළ ගල්ඔය ව්‍යාපාරයේ ටෙන්ඩරය ලබාදීම සඳහා 25 ක කොමිස් මුදලක් ඉල්ලුවෙත් නැහැ. ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමා ලක්ෂපාන ජලාශය ඉදිකළේ ඩී.එස්. සේනානායක අගමැතිතුමාගේ කාලයේදී වන අතර, එය ඉදිකිරීම සඳහා 25 ක කොමිස් මුදලක් ඉල්ලුවෙත් නැහැ.
එතුමාගේ කාලයේත් මේ රටේ මහාමාර්ග ඉදිකළා. එහෙත් ඒ වෙනුවෙන් ගම් සභාවේ සභාපතිවරයා හෝ මන්ත්‍රීවරයා, ඇමැතිවරයා එසේත් නැත්නම් අගමැතිවරයාවත් සත පහකවත් පගාවක් ඉල්ලුවේ නැහැ. පරිපාලන සේවයේ කිසිවකුටත් සතයක්වත් අල්ලස් ගැනීමට ඒ කාලයේ ඉඩ තිබුණෙත් නැහැ. පරිපාලන සේවයට නිලධාරීන් පත් කිරීමේදී ඔවුන්ට දූෂණ චෝදනා තිබුණේ දැයි එකල සොයාබැලුවා.
පක්ෂ නායකයාත්, කැබිනට් මණ්ඩලයත් දූෂණයෙන් තොර වුණා. මන්ත්‍රීවරයකු හෝ නිලධාරියකුට විරුද්ධව යම්කිසි දූෂණ චෝදනාවක් නැගුණොත් ඔවුන් කැඳවා ඒ පිළිබඳ සොයා බලා කරුණු පැහැදිලි කරන ලෙසත්, එසේත් නොමැති නම් ඉල්ලා අස්වන ලෙසත් ප්‍රකාශ කළා. එකල ඩී.එස්. සේනානායක මැතිතුමා දූෂණයෙන් තොර පාලනයක් ගෙන ගියේ ඒ ආකාරයටයි.
ඩී.එස්. සේනානායක අගමැතිතුමා ගෙන ගිය ශුද්ධ පාලනය නිසා පාර්ලිමේන්තුව තුළත් එතුමාට විශාල ගරු කිරීමක් තිබුණා. එදා පාර්ලිමේන්තුවේ සිටි ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට දූෂණ චෝදනා නොතිබූ නිසා සියලු දෙනාම ඔවුන් මහත්වරුන් ලෙස පිළිගනු ලැබුවා. එහෙත් අද ජනතාව විසින් මහජන නියෝජිතයන් පිළිකුල් කරනවා. මේ පාලන ක්‍රමය අනවශ්‍ය බව කියනවා.
අග්‍රාමාත්‍යවරයා ලෙස ඩී.එස්. සේනානායක මැතිතුමාටත් නිල වාහනයක් තිබුණා. එහෙත් එම වාහනය පිටුපසින් හෝ ඉදිරියෙන් කිසිදු වාහනයක් ගමන් කළේ නැහැ. පරිවාර වාහන අවශ්‍ය යැයි එතුමා කිසිවිටෙකත් කල්පනා කළේ නැහැ. සමහර අවස්ථාවලදී එතුමා තමන්ගේ අශ්වයා පිට නැගී ගමන් කරනවා. විහාර මහා දේවි උද්‍යානය, ගාලු මුවදොර ආදී ප්‍රදේශවල එතුමා තනියම සංචාරය කළා. මීට අවුරුදු හැට දෙකකට පමණ පෙර මාර්තු 22 වැනි දා එතුමා අශ්වයා පිටින් වැටුණේ ද ගාලු මුවදොරදීයි. අශ්වයා පිටින් වැටුණ අවස්ථාවේදී එතුමා සමීපයේ ආරක්ෂක නිලධාරීන්වත් සිටියේ නැහැ. එම නිසා එතැන සිටි පුද්ගලයකු එතුමා රෝහලට රැගෙන ගියා.
එලෙස ඩී.එස්. සේනානායක මැතිතුමා ඇති කළ සාමාන්‍ය පාලනය නිසා එතුමා අතරත්, මහජනතාව අතරත් කිසිදු වෙනසක් කිසිවකුත් දුටුවේ නැහැ. එහෙත් එතුමාට අගමැති ලෙස විශාල ගරු කිරීමක් තිබුණා. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන, එන්.එම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, ජී.ජී. ‍පොන්නම්බලම් වැනි එකල සිටි සමකාලීන දේශපාලන නායකයන් ද ඉතා සරල ජීවිත ගත කළා. ජී.ජී. ‍පොන්නම්බලම් මැතිතුමා කොළඹ කොටුවේ සිට යාපනය දක්වා දුම්රියෙන්ම ගමන් කළා. එදා සිටි වෙනත් පාලකයින් ද දුර බැහැර යෑම සඳහා දුම්රිය භාවිත කළා. ඔවුන්ට දුම්රියෙන් යෑම සඳහා බලපත්‍රයකුත් හිමි වී තිබුණා.
එවැනි යහපාලනයක් එකල මේ රටේ පැවැතුණා. රැකියාවක් ලබාදීමේදී එය ලබා දුන්නේත් සුදුසුකම් මත පමණයි. රැකියාවක් ලබා දීමට මුදල් ඉල්ලූ බව අපි කිසිකෙනෙක් අසා නැහැ. ඡන්දදායකයන්ට ලිපියක් ලබාදීම පමණක් සිදු වුවත් කිසිවකුටත් හිරිහැර කිරීමක් හෝ දේශපාලන පළිගැනීමක් වූයේත් නැහැ. ඉඩම්, ව්‍යාපාර පවරා ගන්නට කටයුතු කළෙත් නැහැ. සියලු දෙනාටම ඉතා හොඳින් සැලකීමේ යහපාලනයක් ඩී.එස්. සේනානායක යුගයේදී ක්‍රියාත්මක වුණා.
එදා තිබූ යහපාලනය අද මේ රටේ ක්‍රියාත්මක නොවන නිසා ජනතාවට දේශපාලනය එපා වී තිබෙනවා. පළාත් සභා ඡන්දයක් පැවතුනත් කුමන පක්ෂයක ජන රැලියකට වුවත් ජනතාව එම රැස්වීම්වලට සහභාගිවන්නේ නැහැ. තමන් ගැන මෙන්ම තම දරුවන්ගේ අධ්‍යාපනය ගැනත් සොයා බලන්නේ කවුදැයි ජනතාව ප්‍රශ්න කරනවා. ඩී.එස්. සේනානායක මැතිතුමා අගමැති වන විට පාසල්වලට ඇතුළත් කිරීම සඳහා ගාස්තු ගෙවීමට සිදුවී තිබුණා. එහෙත් එතුමා එම ගාස්තු අහෝසි කොට නිදහස් අධ්‍යාපනය ඇති කළා. අද දරුවකු පාසලකට ඇතුළත් කිරීමට නිල වශයෙන් ගාස්තු අය නොකළත් විශාල මුදලක් ගෙවීමට සිදු වනවා.
ඩී.එස්. සේනානායක මැතිතුමාගේ කාලයේදී නිදහස් සෞඛ්‍ය සේවාව ඇති කළා. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස නිදහස් සෞඛ්‍ය ක්‍රමයක් ගෙන එනු ලැබුවා. මැ‍ලේරියාව ආදී රෝගවලට අවශ්‍ය ඖෂධ වෙනුවෙන් ආණ්ඩුවෙන් මුදල් ගෙව්වා. අද උණක් ඇති වුණත් ඩිස්ප්‍රීන් පෙත්තටත් මුදල් ගෙවීමට ජනතාවට සිදු වෙලා.
එදා පාලකයන් මේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය දියුණු කිරීමට ක්‍රියා කළා. ඒ වගේම අධ්‍යාපන තත්ත්වය දියුණු කළ අතර, නීතිය සියලු දෙනාටම ‍පොදුවේ අකුරටම ක්‍රියාත්මක කළා. එදා සුද්දන්ට සහ ලංකාවට එක් නීතියක් තිබෙන බව ප්‍රකාශ වුණත් අද සුද්දන්ටත් මේ රටේ නීතියක් නැහැ. මේ ආකාරයට අද රට විශාල වශයෙන් කඩාවැටීමකට ලක් වෙලා.
මේ රටේ පරිපාලන කටයුතු දේශපාලනීකරණය කිරීම වැළැක්වීම සඳහා අපි සියලු දෙනාම එකතු වී පාර්ලිමේන්තුවේදී 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගත්තා. ඒ යටතේ ස්වාධීන ‍පොලිස් කොමිසම හරහා ‍පොලීසිය දේශපාලනීකරණය කිරීම වැළැකුණා. ඒ වගේම රාජ්‍ය සේවා කොමිසම මගින් රාජ්‍ය සේවකයින් දේශපාලනීකරණය කිරීම ද අධිකරණ සේවා කොමිසමෙන් අධිකරණය දේශපාලනීකරණය කිරීම ද වැළැක්වුණා.
එකල අගමැති ලෙස ක්‍රියා කළත් ස්වාධීන කොමිෂන් නිසා යහපාලනයක් ඇති කිරීමට මට කිසිදු බාධාවක් ඇති වුණේ නැහැ. එකල රට දේශපාලනීකරණය වීම ක්‍රම ක්‍රමයෙන් අඩු වුවත් 17 වැනි සංශෝධනය අහිමි කිරීම තුළ රට ශීඝ්‍ර ලෙස පරිහානියට පත් වුණා. මේ ක්‍රමය තවදුරටත් පැවතුණොත් ජනතාවට සම්පූර්ණයෙන්ම දේශපාලනය එපා වෙනවා. එම නිසා ජනතාව තුළ යළිත් විශ්වාසය ඇති කිරීම සඳහා අපි කටයුතු කළ යුතුයි. මේ රට හොරුන්ට, කුඩුකාරයින්ට පාලනය කිරීමට ඉඩ දිය යුතු නැහැ. නීතිය සෑම දෙනාටම එක සේ බලපාන ආකාරයෙන් ද ක්‍රියා කළ යුතු වනවා. එසේ කළහොත් පමණයි ඩී.එස්. සේනානායක මැතිතුමාට නියම ගෞරවය දැක්වීමක් වන්නේ යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එහිදී අදහස් දැක්වූ එක්සත් නායකත්ව මණ්ඩලයේ සභාපති සහ ඩී.එස්. සේනානායක ගුණ සමරු පදනමේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය,

1915 කැරැුල්ලට සම්බන්ධ වීම නිසා ඞී.එස් සේනානායක මැතිතුමාට සිරගත වෙන්න සිද්ධ වුණා.  ඒ අවස්ථාවේ දී පවා එතුමා කල්පනා කළේ, උත්සාහ කළේ  උණ්ඩයෙන් නොව සාමයෙන් නිදහස දිනා ගන්නා ආකාරය ගැනයි.
එතුමා අධිරාජ්‍යවාදීන්ට හඬ නඟා කිව්වේ ජනතාවගේ හා රටේ නිදහසට දෙවියන්ගේ නාමයෙන් ඇඟිලි නොගහන්න කියලයි.  එතුමා හිතපු විදියටම රටට නිදහස ලැබුණා. එතුමා හැම විටම සත්‍යයට ගරු කළා.  ආගම දහම විශ්වාස කළා. ඒක මං හිතන්නේ එතුමගේ මෑණියන්ගෙන්, පියාණන්ගෙන් ආපු සංසාර පුරුද්දක් වෙන්න ඇති. ‘ජාතියේ පියා’,  ‘කැලෑ ජෝන්’, ‘මහා කළු සිංහලයා’ , මේ විදියට නම් කිහිපයකින් හැ`දින්වූ එතුමා ජනතාවට සමීප වුණේ හුදු ළෙන්ගතුකමින් මිස පුහු ආටෝපයෙන් නෙමෙයි.
දාඩිය පෙරා ගත්තු ගොවි මහත්තුරු එක්ක හරි හරියට වැඩ කළ ගොවිකම පිළිබඳ අවබෝධයක් තිබුණු අගමැතිවරයෙක් මේ රටේ සිටියේ නම් හිටියේ ඞී.එස් සේනානායක මැතිතුමා විතරයි. අදටත් පරාක‍්‍රම සමුද්‍රය දකිද්දි, සෝමාවතිය චෛත්‍යය වන්දනා කරද්දී,  මහියංගණය වඳිද්දී  හැම කෙනකුටම එතුමා මතක් වෙන්නේ එතුමාගේ නම අපේ හදවතේ තදින් ලියවිලා තියෙන නිසායි.  

එතුමා අද ඉන්න සමහරු දේශපාලනඥයන් වගේ නම්බු නාම,  වරදාන පස්සේ හඹා ගියේ නෑ.  තමන්ට එංගලන්තයෙන් දීපු නයිට් නාමය පවා එතුමා ප‍්‍රතික්ෂේප කළා.
එතුමා මාධ්‍යවේදීන්,  මාධ්‍ය ආයතන සමග ළඟින් කුළුපගව වැඩ කළ කෙනෙක්.  තමන් ගැන ගිය කාටුන් දැකලා කවදාවත් එතුමා කෝප වුණේ නෑ.  ඒ සියල්ල උපේක්ෂාවෙන් විඳ දරා ගත්තා. අද ඉන්න සමහරු වගේ වැඩ කරද්දී මාධ්‍ය  ප‍්‍රචාර බලාපොරොත්තු නොවුණු එතුමා තම කටයුතු ආරම්භ කළේ ඒවා කි‍්‍රයාවට නැංවූයේ ප‍්‍රසිද්ධිය බලා ගෙන නෙමෙයි.   ජනතාවට, රටට සේවය කිරීම එතුමාගේ එකම අභිලාසය වුණා.

 එතුමා කි‍්‍රයාත්මක කළ කෘෂි ප‍්‍රතිපත්තියට ජනතාවගේ ඉහළම ප‍්‍රසාදය ලැබුණා.  සාමාන්‍ය ජනතාවගේ අදහස් උදහස් තේරුම් ගැනීමේ හැකියාව උපරිමයට එතුමාට තිබුණා.  ඒ එතුමා ගමේ උපන් ගැමිකම අමතක නොකළ සැබෑ අව්‍යාජ ගැමියෙකු වූ නිසයි.   එතුමා සාමාන්‍ය  ජනතාව ළඟින්ම ඇසුරු කළා.  මින්නේරිය, මැදිරිගිරිය, ඇළහැර,  පැරණි ජනපද අලූතින් ඉදි කරද්දී එතුමා ද ඒ ජනපදිකයන් සමග කරට කර වැඩ කළා. ඒ අගමැතිවරයා හැටියට නෙමෙයි,   ඒ කටයුතුවල හවුල්කරුවකු හැටියටයි.
එතුමා සැම විටම දේශපාලන සමගිය අගය කළා.  ඒ නිසාම එක්සත් ජාතික පක්ෂය පිහිටුවද්දී සියළු ජාතීන්ගේ නියෝජනයක් ඊට ඇතුළත් කිරීමට එතුමා වග බලා ගත්තා. ඔහු ඉතාම උසස් පාර්ලිමේන්තුවාදියකු වුණා.  හැම විටම නිදහස් මතවාදයන්ට ඉඩ දුන්නා.    අන් අදහස් නොපිළිගත්ත ද ඒවා ප‍්‍රකාශ කිරීමට ඇති අයිතියට ගරු කළා.  
එතුමා තමන්ගේ ළඟම කෙනෙක්ගෙන් වරදක් වුණත් ඒක වරදක් හැටියට දැක්කා.  නමුත් එහෙම වුණා කියලා ඒ අයගෙන් පළිගන්න ගියේ නෑ.   ඒක උතුම් කි‍්‍රයාවක්.
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිඃ
“රටක ජාතියක උදාර වීර පුරුෂයන් පහළ වන්නේ ඉතා කලාතුරකිනුයි. අලි රංචුවක සිටින්නේ දළ ඇති ඇතුන් එකෙක් හෝ දෙන්නෙක් පමණයි. ඒ අතරිනුත් ගජමුතු ඇති ඇතකු උපදින්නේ ඉතාමත් කලාතුරකිනුයි. ඒ වගේම රටක වීර පුරුෂයින්, උදාර පුරුෂයින් පහළ වන්නේත් ඉතාම කලාතුරකිනුයි. එම උදාර පුරුෂයින්ගේ පහළවීම යම් රටක ජාතියක විශාල යහපතක් බව බුදුන් වහන්සේ දේශනා කළා. එසේ කල්පනා කරන විට මුළුමහත් ජනතාවම ආදරයෙන්, ගෞරවයෙන් කතා කරන මහා කළු සිංහලයා දිවංගත ඩී.එස්. සේනානායක මැතිතුමා බව අවිවාදයෙන් සඳහන් කළ යුතුයි. මේ රටට ආදරයෙන් ජීවත් වූ නිසා එතුමාට ගමේ මිනිස්සු ආදරයෙන් කැ,ෑ ජෝන් ලෙස ආමන්ත්‍රණය කළා.
ජනතාවගේ ආදරයට පාත්‍ර වූ එම ජාතියේ පියා මේ රටට නිදහස ලබා දුන්නා. රටට නිදහස ලබා දුන් එතුමා ඊළඟට කල්පනා කළේ මේ රටට ආර්ථික නිදහස ඇති කරන ආකාරයයි. දුරදක්නා නුවණින් යුතුව ක්‍රියා කළ එතුමා සියලු ජාතීන් එකට එකතු කොට එක්සත් ජාතික පක්ෂය ගොඩනැගුවා. එක්සත් ජාතික පක්ෂය සියලු ජාතීන්ගේ සහ ආගම්වල එකතුවක් ලෙස එතුමා ගොඩනැගුවේ විශිෂ්ට නායකයකුගේ ප්‍රධාන ලක්ෂණයක් ප්‍රකට කරමිනුයි. එම සියලු ජාතීන් එකට එකතු කොට 1948 පෙබරවාරි 4 වැනි දා මේ රටට නිදහස ලබා දීමට එතුමා පුරෝගාමීව ක්‍රියා කළා.
රාජ්‍ය නායකයකු මේ රටට කළ යුතු අත්‍යවශ්‍ය දේත් අනවශ්‍ය දේත් හඳුනා ගත යුතුයි. මේ රටට ආර්ථික නිදහස ලබා ගැනීම සඳහා එදා ජරාවාස වී වල් බිහි වී තිබූ මින්නේරිය, පරාක්‍රම සමුද්‍රය ආදී වැව් අමුණු විශාල ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කළා. රාජ්‍ය කාලයෙන් පසුව එතුමා ගල්ඔය මිටියාවතේ සේනානායක සමුද්‍රය ආරම්භ කොට ගොවි ජනපද ඇති කළා. මේ රටේ ජනතාවට තුන් වේල බත් කන්නට තරම් රට ධාන්‍යාගාරයක් බවට පත් කිරීමට කටයුතු කළේ දුරදක්නා නුවණින් බව අද අපට පෙනෙනවා.
මේ රටට අත්‍යවශ්‍ය දේවල් කළත් අනවශ්‍ය දේවල් කරමින් කෝටි ගණන් ධනය නාස්ති කොට සුදු අලි බිහි කිරීමට එතුමා කටයුතු කළේ නැහැ. එම නිසා එතුමා විශිෂ්ට ආදර්ශමත් නායකයෙක් ලෙස 62 වැනි ගුණ සමරුව පවත්වන මේ මොහොතේත් අපට ජාතියක් ලෙස සතුටු විය හැකියි. එබඳු ශ්‍රේෂ්ඨ නායකයකු ගොඩනැගූ එක්සත් ජාතික පක්ෂය ලංකාවේ ප්‍රධානතම දේශපාලන පක්ෂයයි. සෑම පළාතකින්ම බිහි වූ ශ්‍රේෂ්ඨ නායකයින් පිරිසක් විසින් එම පක්ෂය මෙහෙයවනු ලැබුවා. එවැනි නායකයන් ගොඩනැගූ දේශපාලන පක්ෂය ඉදිරියට ගෙන යෑම අද සියලු දෙනාටම භාරයි. ඩී.එස්. සේනානායක මැතිතුමාට කරන උදාරතම ගෞරවය ඒකයි.
රටත්, ජන විඥානයත් හඳුනාගෙන ජනතාව අතර ජීවත්වුණු එතුමාට මුළුමහත් රටම අදත් ආදරය කරනවා. ඒ වගේම එදාටත් වඩා එතුමාට අද ගෞරව කරනවා. ඩී.එස්. සේනානායක මැතිතුමා වැනි ජන නායකයන් අද රටට අවශ්‍යව තිබෙනවා.”
මෙහිදී ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු  ද අදහස් දැක්වීය. මේ අවස්ථාවට ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් ඇතුළු, මහා සංඝරත්නය විශාල පිරිසක් ද වැඩම කොට සිටියහ. එක්සත් ජාතික පක්ෂයේ මහ‍ලේකම් තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක, කොළඹ පුරපති ඒ.ජේ.එම්. මුසම්මිල්, රුක්මන් සේනානායක යන  පිරිසක් ද එම අවස්ථාවට සහභාගි වී සිටියහ.
දෙනගම ධම්මික රණවීර
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: එදා නායකයන් නිදහස දිනා ගැනීමට ක්‍රියා කළේ තමන්ගේ ධනය වැය කරමින්... Rating: 5 Reviewed By: Unknown