728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Friday, 7 March 2014

ජාතික ගුවන් විදුලියේ සුවිනීත පුත්‍රයා

(ගුවන් විදුලියේ හිටපු සභාපති - ලලිත් එස්‌. මෛත්‍රීපාලයන් දැයෙන් සමුගෙන දස වසරක්‌ පිරීම නිමිත්තෙනි)

ජනතා ආත්මය සහ බද්ධ වූ ප්‍රවීන නිවේදක ආචාර්ය ලලිත් එස්‌. මෛත්‍රීපාල මහතා 2004 මාර්තු මස 08 දා මළහිරු බැස යන සැඳෑසමයේ ගල්කිස්‌සේ පොදු සුසාන භූමියේදී සදහටම ලක්‌මවගෙන් සමුගත්තේය.
ඒ ගැඹුරු කටහඬ තවමත් අප සිත් තුළ නින්නාද දෙයි. අහිංසක නිහතමානී සිනහව නෙත් අභියස ප්‍රතීයමාන වේ. ඔහුතේ පන්හිඳෙන් ලියවුණු රස වෑහෙන කවි, ගී, ජීවිතයේ කටුක වියෝදුක කියාපායි. දහස්‌ ගණනකට පෙර මග කියාදුන් බහුශ්‍රැත පඬිවරයා පිරවිය නොහැකි හිදැසකට ඉඩ තබා ඇත. මෙතුමා මෙලොව හැර ගොස්‌ දස වසරක්‌ සපිරෙන 2014 මාර්තු මස 08 දිනට මෙතුමා ගැන නැවත ආවර්ජනය කරමු.

මෙතුමාගේ සීයා දකුණු ලක හික්‌කඩුව, තොටගමුවේය. සීයා එහි සිට පැමිණ තම ව්‍යාපාර කටයුතුවල නිරත වන අවධියේ ගල්කිස්‌සේ පදිංචිවී සිට ඇත. ලලිත් සුවිනීත මෛත්‍රීපාල උපත ලැබුවේත් ගල්කිස්‌සේය. ඒ 1933 අගෝස්‌තු 07 දාය. මෙතුමාගේ පියා එඩ්වින් ප්‍රනාන්දු මහතාය. එවකට දිස්‌ත්‍රික්‌ උසාවියේ සේවය කොට ඇත. මව මේබල් කමලාවතී මහත්මියයි. මෙතුමා විවාහ වූයේ ගැමි සුවඳ හොඳට හඳුනන කෙනෙක්‌ වූ අහංගම, කතළුවේ රාණි ශ්‍රීමතී පුංචිහේවා මහත්මිය සමඟය. එම අයද දැනට ජීවතුන් අතර නැත.

මෙතුමාගේ පවුලේ සහෝදර, සහෝදරියන් දොළොස්‌ දෙනෙක්‌ සිටිය අතර, මොහු පවුලේ වැඩිමලාය. එක්‌ බාල සහෝදරයෙක්‌ මහණ දම් පුරා ගල්කිස්‌සේ ධම්මවංශ හිමි නමින් පැවිදි ජීවිතයට ඇතුළත් වී ඇත. උන්වහන්සේ උපාධියට හින්දි භාෂාව විශේෂ විෂයක්‌ ලෙස ගත් නිසා දැනට හින්දි භාෂාව පිළිබඳ කථිකාචාර්යවරයෙකි.

මෙතුමා මූලික අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්‌සේ ශ්‍රී පුණ්‍යකාමී විද්‍යාලයේයි. 1948 දී ජ්‍යෙෂ්ඨ සිංහල විභාගය ඉතා උසස්‌ ලෙස සමත් වී, ඊට පසුව දෙහිවල ක්‍රිස්‌තුදේව විද්‍යාලයෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා 1951 වසරේ දී ජ්‍යෙෂ්ඨ ඉංග්‍රීසි මාධ්‍යයෙන් සමත් විය. මේ කාලය වනවිට, ගල්කිස්‌සේ සුමනාරාමාධිපතිව වැඩ විසූ මෙම අයගේ මාමා වන පූජ්‍ය ගල්කිස්‌සේ Æණරතන හිමියන්ගෙන් ජෝතිෂ විද්‍යාව හදාරන්නට පටන් ගත්තේය. ඒ අතරම වයස අවුරුදු 16 වන විට බෞද්ධාචාර්ය විභාගය, ධම්මපද අවසාන විභාගය සමත් වී සංස්‌කෘත ශ්ලෝක පොත්, අනුරාධ ශතකය දක්‌වා කටපාඩම් කළ මොහුට මුළු ධම්මපදයේම පාලි ගාථා එක එල්ලේම මුළුමණින් කටපාඩමින් කියවීමට හැකියාව තිබිණි.

1947 ගුවන් විදුලියේ සිරි අයියාගේ ළමා පිටියේ වැඩ සටහන් මොහුගේ ගුවන් විදුලි ජීවිතයේ ආරම්භය සිදුවිය. 1947 දී සමස්‌ත ලංකා කවි ගායනා තරගයෙන් පළමුවැන්නා වී තෑගි දිනාගත්තේය. 1949 දී පැවැත්වූ සමස්‌ත ලංකා "කෝකිල හටන" තරගයේදී කවි තරගයෙන් හා ක්‍ෂණික කතා තරගයෙන්, තරග දෙකෙන්ම පළමු වැනියා වීම ජීවිතයේ සන්ධිස්‌ථානයක්‌ බවට පෙරලුණි. ගුවන් විදුලියට බැඳෙන විට ඔහුට ගයන්නට පුළුවන. නටන්නට පුළුවන, වාදනය කරන්නට පුළුවන, රබන් ගසන්නට, උඩරට බෙර, පහත රට බෙර, උඩැක්‌කි, තබ්ලා, සර්පිනා ආදිය වාදනය කිරීමට පුළුවන. මේවා උපයෝගී කරගෙන මෙතුමා ගුවන් විදුලි සහ රූපවාහිනී වැඩ සටහන් ඉදිරිපත් කළේය. කවිය ඔහුගේ ජීවිතය බව කියා ඇත. ඔහුගේ ජීවිතය එකම කවියක්‌ය, යනුවෙන් වරෙක හිටුවන කවි ගායනයේදී ඔහු ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලියේ සහන නිවේදකයකු ලෙස වෙළෙඳ සේවයට එක්‌වූ ලලිත් එදා සිට අද දක්‌වා නොයෙක්‌ මාදිලියේ විවිධ විචිත්‍ර වැඩ සටහන්, සංගීත සංදර්ශන, ජනාධිපති සම්මාන උළෙල, ආගමික, සාහිත්‍යයික වශයෙන් මෙතෙක්‌ වැඩ සටහන් 15,000 ටත් වඩා ඉදිරිපත් කොට ඇත. "මධුමාධවී" කවි සඟරාව වෙළෙඳ සේවයේ ආරම්භ කොට අවුරුදු 20 පමණ සිංහල) කවි රසය අසන්නන් හුරුපුරුදු කළේය. ඒ අතරම ඉතිහාසයේ ප්‍රථම වරට ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී රස වෑහෙන කවි තාල 22 ක්‌ ගයා කාව්‍ය සමාධි ඒක පුද්ගල කාව්‍ය ප්‍රසංගය ඉදිරිපත් කළ දිනයේ දී එහි පැමිණි ප්‍රේක්‍ෂකයන් සමාධිගත කරන්නට කවියට හැකි බව ඔහු පසක්‌ කර දුන්නේය.

මෙතුමා අවුරුදු 25 කට වැඩි කාලයක්‌ ඉදිරිපත් කළ "වාසනා උදාව" වැනි ප්‍රශ්නෝත්තර වැඩ සටහන් වලින් සාමාන්‍ය දැනුම ලබාගත් ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක්‌ අදත් ඒ ගැන කතා කරයි. මෙතුමා ලබාගත් භාෂා පිළිබඳ දැනුම මෙතුමාගේ ගුවන් විදුලි වැඩ සටහන් සාර්ථක වීමට එක්‌ හේතුවක්‌ වුණා. සිංහල, ඉංග්‍රීසි, ලතින්, සංස්‌කෘත, පාලි, බෙංගාලි, හින්දි ආදී භාෂාවන්ගෙන් ලත් පෝෂණය මෙතුමාගේ ජීවිතයට අලෝකයක්‌ විය.

මෙතුමා "සාරවිට" චිත්‍රපටයේ සොමී මීගම සහ ජීවරානි කුරුකුලසූරිය සමඟ රඟපා ඇත." එසේම "සේයාවක්‌ පසු පස" චිත්‍රපටයට ගීත ප්‍රබන්ධ කර ඇති අතර, ගුවන් විදුලි ගීත රාශියක්‌ ප්‍රබන්ධ කර ඇත. මෙතුමාගේ සමකාලීනයන් අතර, ප්‍රොස්‌පර් ප්‍රනාන්දු, ගුණතුංග කේ. ලියනගේ, ආරියදාස පීරිස්‌, තේවිස්‌ ගුරුගේ, කරුණාරත්න අබේසේකර, චිත්‍රානන්ද අබේසේකර යන මහත්වරුන් ඒ අතර වේ.

බස හැසිරවීමේ දී හා නිවේදන කටයුතු කිරීමේ දී අමුතුම ආරක යමින් ලලිත් අසන්නන් තමා වෙත නතුකරගනිමින් ආදරය සහ ජනප්‍රියතාව දිනා ගත්තේය. බුද්ධ ධර්මය හා ක්‍රිස්‌තියානි ධර්මය පිළිබඳවත් ඔහු සහතික ලබා ඇත්තෙකි. මැලේසියාව, සිංගප්පූරුව ආදී රටවලදී ගුවන් විදුලි කටයුතු පිළිබඳව කරුණු හදාරා ඇති ලලිත් ලෝකයේ විදේශ රටවල් දහ අටක පමණ සංචාරය කරමින් ගුවන් විදුලිය පිළිබඳ සම්මන්ත්‍රණවලට සහභාගි වී ඇත.

නිවේදකයකු වශයෙන් කටයුතු කොට නිෂ්පාදක, සංවිධායක තනතුරුවලට පත්වූ ඔහු ග්‍රාමීය වැඩ සටහන් පාලක තනතුරට සහ වෙළෙඳ වැඩ සටහන් පාලක තනතුරේද කටයුතු කළේය. කිහිප වතාවක්‌ම සිංහල සේවා අධ්‍යක්‍ෂ තනතුරේ වැඩබලා ඇත. මේ කාලයේ දී ඇතිවූ අනපේක්‍ෂිත සිදුවීමක්‌ නිසා ආත්ම ගරුත්වය ඇති කෙනෙකු ලෙස ගුවන් විදුලියෙන් ඉල්ලා අස්‌විය. ගුවන් විදුලියෙන් සමුගෙන රැඟුම් පාලක මණ්‌ඩලයේ සභාපති ලෙස කටයුතු කර ඇත. ඉන් පසුව....

1991 දී ගුවන් විදුලි සංස්‌ථාවේ සභාපති ලෙස පත්වූ ලලිත් එස්‌. මෛත්‍රීපාල ජපානයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලියට පරිත්‍යාග කළ නව මැදිරි සංකීර්ණයේ ගිවිසුම අත්සන් කිරීම සඳහා ජපානයට ගියේය. බාහිර පටිගත කිරීම් සඳහා ජංගම රථය ලබා ගැනීම එහි දී ඔහුගත් උත්සාහයක සාර්ථක ප්‍රතිඵලයකි. සිරිසරසවියෙන් බැලුම් ලද ඔහු මෙලොව හැර ගියද හැම කලා අංශයකින්ම කැපී පෙනෙමින් දශක හතරක්‌ මුළුල්ලේම තවමත් ශ්‍රාවකයන්ගේ සහ ප්‍රේක්‍ෂකයන්ගේ හදවත් තුළ ජීවත් වෙයි. රටක්‌ නලවා රටක්‌ හැඬවූ ඔබටයි අපේ ප්‍රණාමය. එතුමාට නිවන් සුව පතමු.

ඒ. වී. කරුණාදාස
බංගලාවත්ත, පූගොඩ.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ජාතික ගුවන් විදුලියේ සුවිනීත පුත්‍රයා Rating: 5 Reviewed By: Unknown