මහාචාර්ය පියසීලී විජේගුණසිංහ....
සම්ප්‍රදායෙහි සරු ලක්ෂණ අගයමින් නිසරු පැති විවේචනයට ලක්කිරීමට ඇය පෙලැඹුණේ නව යොවුන් වියේදීම ය. භරතමුණිගේ රසවාදී විචාර සිද්ධාන්තයන්ට ප්‍රතිපක්ෂ ව මාක්ස්වාදී සෞන්දර්ය විද්‍යාව නමින් විචාර මතවාදයක් ගොඩනැඟීමට පෙරමුණගත් මහාචාර්ය පියසීලි විජේගුනසිංහ අදටත් අපෝහකභෞතිකවාදී දෘෂ්ටියකින් ලෝකය විවරණය කරන මාක්ස්වාදී විචාරිකාවකි.
“මම බොහොම සම්ප්‍රදායික ග්‍රාමීය සිංහල බෞද්ධ පවුලක උපන් කෙනෙක්. සුළු වෙළෙන්දෙක් වුණු මගෙ තාත්තාත්, සාමාන්‍ය ගැමි කාන්තාවක් වුණු මගෙ අම්මාත්, විශේෂයෙන් ම මට වඩා අවුරුදු විස්සක් වැඩිමල් වුණු මගෙ අක්කාත් බොහොම දැඩි විදිහට ආගමික හා සංස්කෘතික සම්ප්‍රදායන්ගෙන් හික්මුණු උදවිය.
මට යමක් කමක් තේරුම් ගන්න පුළුවන් වයසෙදි වුණත් ඒ අයට මාව පෙනුණේ පුංචි දැරියක් විදිහට. ඒ වෙනකොට ඉංග්‍රීසි ගුරුවරියක් වෙලා හිටපු අක්ක වුණත් බාහිර සමාජයෙන් මාව පරිස්සම් කරන්න හරියට උත්සාහ කළා. සමාජය යනු ඉතා විෂම තැනක් නිසා සමාජ ඇසුරට යොමු වීම අවදානම්සහගත දෙයක් හැටියටයි කුඩා කාලෙදි ඒ අය මට පෙන්වා දුන්නෙ.
මේ සම්ප්‍රදායික බවේ හොඳ පැත්තක් වගේ ම නරක පැත්තකුත් තියෙන බව කාලයක් යනකොට මට වැටහුණා. පස්සෙ කාලෙදි මාක්ස්වාදී මතවාද කෙරෙහි මා නැඹුරුවීමට මේ කාරණත් බලපාන්න ඇති කියා මට හිතෙනව.”
කලබලකාරී නගරයෙන් තරමක් දුරස් වූ පන්නිපිටියට යාබද නිදහස්කාමී පරිසරයක පිහිටි තම නිවහනෙහි විශ්‍රාම දිවිය ගත කරමින් සිටින මහාචාර්ය පියසීලි විජේගුණසිංහ මා හා කතාබහට ප්‍රවේශ වූයේ මෙවන් වැකි කිහිපයක් ප්‍රකාශ කරමිනි.
සොබාදම් මෑණියන්ගේ ආශිර්වාදය නොමද ව ලද ගාල්ලේ මුහුදුබඩ ගම්මානයක් වන මහ මෝදර ඇගේ උපන් ගමයි. 1943 පෙබරවාරි මස 20 දින ඇය උපත ලබන විට ඇගේ වැඩිමහල් සොයුරිගේ වයස අවුරුදු 20 ක් සම්පූර්ණ වී තිබුණි.
ඒ නිසා ම ඇය පවුලේ සුරතලිය වූවා සේ ම ඇගේ සොයුරිය ඇයට දෙවෙනි මවක් වූවා ය. පේන තෙක් මානයක වූ සුන්දර මුහුදු තීරයත්, ඉර හඳ තාරකාවන්ගේ මනස්කාන්ත දර්ශනයත් සොබාදහමේ අසිරිය විඳින්නට කුඩා වියේ දී ම ඇයට බල කළ සාධක විය.
ඇගේ දීර්ඝ අධ්‍යාපන චාරිකාවේ ආරම්භය සනිටුහන් වූයේ 1949 දී මහමෝදර සිංහල කනිෂ්ඨ විද්‍යාලයෙනි. අනතුරුව තෙවන වසරේ දී ඇතුළත්වීමේ විභාගයකින් සමත් වී ගාල්ලේ සවුත්ලන්ඩ්ස් බාලිකාවට පිවිසීමේ වාසනාව ඇයට උදාවිණ.
“ඒක මිෂනාරි පාසලක්. ගුරුවරියන්ගෙන් වැඩි දෙනෙක් යුරෝපීය අය. බටහිර සංස්කෘතික ලක්ෂණ තමයි හැම තැන ම දකින්න තිබුණේ. පියානෝවකට සින්දුකීම, ඉංග්‍රීසි කතාව, බාහිර ආටෝපය... ඉතිං මේ අලුත් පරිසරයේ ආස්වාදයත් වගේ ම වේදනාජනක පැත්තකුත් තිබුණා. ආස්වාදනීය පැත්ත තමයි අධ්‍යාපනයේ ගුණාත්මක බව හා බටහිර සංස්කෘතිය දෙසට මගේ ඇස් විවර කරවීම. නමුත් ගමෙන් ආපු දුප්පත් ළමයෙක් හැටියට නාගරික ඉහළ මැද පංතියේ ළමයි අතර අසරණවීම තමා දුක්මුසු පැත්ත.
ඇඳුම් පැලඳුම්, සපත්තු මේස්, පොත්පත් ආදී හැම පැත්තෙන් ම මගේ දුප්පත්කම කැපී පෙණුනා. අපෙ තාත්තාගෙ සුළු වෙළෙඳාමෙන් ලොකු ආදායමක් ලැබුණෙ නැහැ. හැම අවුරුද්දෙම පරණ පොත් ටික විකුණලා පාවිච්චි කරපු පොත් ටිකක් අරන් දෙන එක තමා තාත්තට කරන්න සිද්ධ වුණේ. ගමේ ඉස්කෝලෙදි දැනුණු හෘදයාංගම බව මෙහෙ තිබුණෙ නැහැ.
දවසක් විවේක කාලයෙන් පසුව පංතියට එනවිට මගේ පෑන කඩලා තිබුණා. ඒක මට අරන් දුන්නේ අක්කා. මට හොඳට ම දුක හිතුණා. ඒත් මම ඒක විඳ දරා ගත්තා. කවදාහරි මේ ළමයි පරදවනවා කියලා අධිෂ්ඨානයක් ඇති කරගෙන පුළුවන් තරම් මහන්සිවෙලා ඉගෙන ගත්තා.”
මේසය මත රැඳුණු දෑත් චලනය කරමින් ඇය අතීත මතකයන් අවදි කරද්දී ඇගේ දෑසින් අමුතු ම දීප්තියක් මතුවෙනු මට පෙනිණ. මෙසේ එදා ඇය අදිටන් කරගත් ලෙස ම ඇගේ පැතුම් සඵලවීමට වැඩි කලක් ගත වූයේ නැත.
පාසලේ විනයගරුක හා දක්ෂ ශිෂ්‍යාවක් ලෙසින් ගුරුවරියන්ගේ පැසසුම් ලබමින් ඕතොමෝ පංතියේ මතු නොව පාසලේත් කැපී පෙනෙන්නට වූවා ය. 1960 වනවිට පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස ඇය නම් කෙරිණි.
දුප්පත් බෞද්ධ ශිෂ්‍යාවක් ශිෂ්‍ය නායිකා තනතුරෙන් පිදුම් ලද ප්‍රථම අවස්ථාව එය විය. වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදී වැඩි ම ජයග්‍රහණයන්ට හිමිකම් කියූ සිසුවියන් අතර ඇගේ නම ද අනිවාර්යය විය. විශේෂයෙන් ම සිංහල හා ඉංග්‍රීසි රචනාවල ප්‍රථම ස්ථාන ඇයටම වෙන්වූවාක් මෙනි.
ඕනෑ ම නිර්මාණශීලී දරුවෙක් පිටුපස මාර්ගෝපදේශකයන් පිරිසකුත් ඉන්නවානේ... ඇත්තට ම සාහිත්‍ය කලා කටයුතු පිළිබඳ ව උනන්දුවක් ඇති කරන්න බලපෑමක් කළේ කවුද...? ඇගේ මතකයේ වෙනත් පැතිකඩක් විවර කර ගැනීමේ අටියෙන් මම විමැසීමි.
පුංචි දවස්වල හුදෙකලාව ඉන්න විට මා වැඩියෙන් ම කළ දේවල් තමා පොත් කියවීම හා මුහුදු වෙරළේ සෞන්දර්යය රස විඳීම. ලොකු අධ්‍යාපනයක් නොලැබුවත් අපේ තාත්තා පොත්පත් වලට බොහොම ඇලුම් කළා. පියදාස සිරිසේන, ඩබ්ලියු.ඒ. සිල්වා වගේ ලේඛකයන්ගෙ පොත් තාත්තා නිතර ම කියෙව්වා. ඊට අමතර ව මගෙ අක්කයි එයාගේ මහත්මයයි දෙන්නම ඉංග්‍රීසි පොත් කියවන අය.
චාල්ස් ඩිකන්ස්, බ්‍රොන්ටේ සහෝදරියෝ එහෙම කියවන්න පුරුදු වුණේ අක්කලාගෙන්. දක්ෂ ළමයින්ට අත දෙන ගුරුවරියන් කීප දෙනෙක් ම මුණ ගැහීමත් මට ලොකු රුකුලක් වුණු බව කියන්න ඕනෑ. මිෂනාරි පාසලක් වුණත් උසස් පෙළ පංතියේදී පාලි සංස්කෘත ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. ඒ වගේ ම සිංහල භාෂාවටත් තැනක් දුන්නා. ඒ කාලේ ඇම්.ඩී. ගුණසේන සමාගමෙන් දීප ව්‍යාප්ත පාසල් රචනා තරගයක් තිබ්බා.
සංස්කෘත උගන්වපු ඩයනා අමරදිවාකර ගුරුතුමයි සිංහල විෂයය භාර ව සිටි ඥානා මුණසිංහ ගුරුතුමියි මාව දිරිමත් කළා මේ තරගෙට ලියන්න. ඇත්තට ම මට ඒකෙන් ප්‍රථම ස්ථානය ලැබුණා.
පාසලේ වෙනත් තරගවලින් මා දිනූ විට, මට අවශ්‍ය පොත් මොනවද කියා අහලා ඒවා අරන් දෙන්න තරම් කුළුණුබර හදවතක් ඩයනා ගුරුතුමීට තිබුණා. ඥානා ගුරුතුමී මාව අන්තර් පාඨශාලීය රචනා තරගවලට එක්කරගෙන ගියා. නාට්‍යවලට සම්බන්ධ කරගත්තා. ඔන්න ඔය විදිහට තමා මගේ යෞවන මනස සාහිත්‍ය කලාවන් පැත්තට යොමුවුණේ.”
ම’හැදුරුතුමියගේ සරසවි ජීවිතය ඇරැඹෙනුයේ 1962 දී ය. සවුත්ලන්ඩ්ස් බාලිකාවෙන් පේරාදෙණිය සරසවියට පිවිසි මුල් ම ශිෂ්‍යාව වූයේ ද මෙතුමිය යි. පාලි සංස්කෘත ද සිංහල ගෞරව උපාධිය සඳහා එහිදී ඇය තෝරාගත් විෂය ධාරාවට ඇතුළත් විය.
කූඩුවක රඳවාගෙන සිටිනු ලැබ හදිසියේ ම විශාල අවකාශයට මුදා හළ කිරිල්ලියක් මෙන් ඕතොමෝ පේරාදෙණිය සරසවි භූමිය නමැති නිදහස් ලෝකයේ අතරමං වූවා ය. ඒත් වැඩිකල් නොගොසින් ම ඇය තුළ සැඟව සිටි පෙරළිකාර නිර්මාණ ශිල්පිනිය කරළියට පැමිණියා ය.
පේරාදෙණියට ආවට පස්සෙයි මට හොඳට ම දැනුණේ එපමණ කාලයක් මම ජීවත්වෙලා තියෙන්නෙ මොනතරම් පුංචි ලෝකෙක ද කියලා. මේක එහෙම පිටින් ම අලුත් ජීවිතයක් වුණා. කෑම බීම ඉඳුම් හිටුම් නිදහස වගේ දේවල් මම වගේ දුප්පත් පවුල් පරිසරයකින් ආපු කෙල්ලකට දරාගන්න බැරි තරම් ඉහළ මට්ටමකයි තිබුණේ. රාණි දුනුවිල, සිසිලියා ගණේගොඩ කියලා යෙහෙළියෝ දෙන්නෙක් මට හිටියා.
ඒ අයත් කලාවට සාහිත්‍යයට ලැදියි. ඒ දවස්වල බෞද්ධ විශ්වකෝෂ කාර්යාලය තිබුණෙත් සරසවියට සම්බන්ධ කරලයි. ප්‍රවීණ නාට්‍ය ශිල්පියෙක් වගේ ම භාෂා විශාරදයෙකුත් වුණු බන්දුල ජයවර්ධන වැඩ කළෙත් මේ විශ්වකෝෂ කාර්යාලයේ. මගේ යෙහෙළියන්ගේ මාර්ගයෙන් එතුමා හඳුනා ගත්තා. ඒ ඇසුර මගේ ජීවිතය නව දිසාවකට යොමු කළ තවත් එක් මංසලක් ලෙස හඳුන්වන්න පුළුවන්.
කලාව සාහිත්‍ය විතරක් නොවේ දේශපාලනය පිළිබඳවත් එතුමා අපේ සිත් අවදි කළා. ඒ කාලයේ ම තමා ජයවර්ධන මහත්මයාගේ ‘ස්වර්ණහංස’ නාට්‍යය නිෂ්පාදනය වුණේ. මට එහි චරිතයක් රඟපාන්නත් අවස්ථාව ලැබුණා.
පසුව එතුමාගෙත් උපදෙස් ඇතුව මම රාණි දුනුවිලත් එක්ක එකතුවෙලා සරසවියෙ තරගයකට ‘සොහොයුරියෝ’ කියලා නාට්‍යයක් ඉදිරිපත් කළා. ඒක දෙවෙනි ස්ථානය දිනා ගත්තා. පේරාදෙණියේ සොඳුරු මතකයන් අවදිවෙද්දී ඇගේ කටහඬ තවත් ප්‍රාණවත් වන සෙයක් මට හැඟිණ.
සංස්කෘත සාහිත්‍යය දෙසට නැඹුරුවීමටත් ඉන්ද්‍ර ආර්ය ශිෂ්ටාචාරය ගැඹුරින් හැදෑරීමටත් ඇය පොලඹවනු ලැබුවේ මෙබඳු වටපිටාවක් විසිනි. එවකට ඇගේ සංස්කෘතික ඇඳුරුතුමා වූයේ මහැදුරු සිරි ගුණසිංහ ය. එදිරිවීර සරච්චන්ද්‍ර, ජේ.බී. දිසානායක බඳු දේශීය සාහිත්‍ය - භාෂා ක්ෂේත්‍රයේ කීර්තිමත් පුරුෂයන් සෙවණේ ශිල්ප ලබන්නට ද ඕතොමෝ වාසනාවන්ත වූවා ය.
එහෙත් ජීවිතයේ තවත් කිසියම් අඩුවක් තිබෙන බව ඇයට හැඟිණි. ජීවිතය හා ලෝකය දෙස වඩාත් පුළුල්වත් යථාර්ථවාදී ලෙසත් බැලුම් හෙලිය හැකි දාර්ශනික පදනමක් සොයා යාමේ අවැසිතාව ඇයට දැනෙන්නට විය.
පසුකලෙක ඇගේ ජීවන සහකරුවාවූත්, සමාජ දේශපාලන දැක්මේ මාර්ගෝපදේශකයාවූත් විජේඩයස් නම් ශිෂ්‍ය නායකයා සමඟ සමීප ඇසුරකට යොමු වුණේ ඉනික්බිතිව ය.
“විජේඩයස් සහෝදරය ව මම කලක ඉඳල දැනගෙන හිටියා. එයා රිච්මන්ඩ් විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයෙක්. උසස් පෙළ කරන කාලෙ විවාද තරගවලදිත් අපි මුණ ගැහිලා තිබුණා. විශ්වවිද්‍යාලයට ආවෙත් එකට. ස්වර්ණහංස නාට්‍යයේත් අපිත් එක්ක රඟපෑවා. නමුත් අවසාන වසර වෙන තුරුත් අපි අතර සමීප සම්බන්ධයක් ගොඩනැඟුණේ නැහැ.
1965 දී විතර විශ්වවිද්‍යාලයේ ලොකු ශිෂ්‍ය අරගලයක් ඇති වුණා. එතකොට විජේ ට්‍රොට්ස්කිවාදි ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයෙක්. ශිෂ්‍යයන් හා පොලිසිය අතර ප්‍රථම ගැටුම ඇති වුණෙත් මම හිතන විදිහට මේ අරගලයේදී තමා. විජේ ඇතුළු කණ්ඩායමකට තුවාල වෙලා රෝහල්ගත කළා. සරසවිය වැහුණා. අපට ගෙවල්වලට යන්ඩ සිද්ධ වුණා. හැබැයි ඒ වෙනකොටත් විජේ සම්බන්ධ මගේ හැඟීම් අප්‍රකාශිතවයි තිබුණේ.
නමුත් ඔහුත් සමඟ පැවැති දැනහැඳුනුම්කම නිසා ද කොහෙදෝ ශිෂ්‍ය අරගලයට නායකත්වය දීමේ චෝදනාව යටතේ මාස 6 ක් පංති තහනම් කළ ශිෂ්‍ය පිරිසට මාවත් ඇතුළත් වුණා. දේශපාලනය ගැන ශිෂ්‍ය අරගල ගැන ඇත්තට ම මගේ විශේෂ උනන්දුවක් තිබුණේ නැහැ.
නමුත් මට ගෙදර ආවට පස්සෙ දැනෙන්ඩ පටන්ගත්තා පොලිසිත් එක්ක ගැටෙන ලොකු දේශපාලන ව්‍යාපෘතියකට මාත් නොදැනුවත්ව ම වගේ ඇතුළු වී සිටින බව. ඒ පිළිබඳ ව තරමක ආඩම්බරයෙන් වගේ ම බියකුත් හිත ඇතුළේ හොල්මන් කළා.”
පංති තහනමකට ලක් ව සිටිය ද අවසාන විභාගයට පෙනී සිටීමේ අවස්ථාව ශිෂ්‍යයන්ට හිමි ව තිබිණ. එහෙත් නේවාසිකාගාර පහසුකම් නැති ව විභාගයට සූදානම් වීම මහත් ගැටලුවක් විය. මෙහිදී යළිත් ඔවුන්ට පිළිසරණ වූයේ බන්දුල ජයවර්ධන සූරීන් ය.
ඔහුගේ නිවසේ ඇයට ඉඩ ලැබිණි. මිතුරු මිතුරියන්ගෙන් සටහන් ඉල්ලාගෙන ඇය විජේඩයස් ද සමඟ එක් වී විභාගයට සූදානම් වූවා ය. එතෙක් අප්‍රකාශිත ව පැවැති ඇගේ ප්‍රේමනීය හැඟීම් කරළියට පිවිසියේ ද ඒ සමයේ ය.
පියසීලි විජේගුනසිංහ නමැති මාක්ස්වාදී විචාරිකාව බිහිවීමේ පදනම සැකසුණේ ද පාඩම් වැඩ අතරමැද විජේඩයස් සමඟ විවිධ දර්ශනවාද දේශපාලන මතවාද හා කලාවන් පිළිබඳ ව කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙනි.
විභාග ප්‍රතිඵල හිතුවාටත් වඩා යහපත් විය. දෙදෙනාටම දෙවන පෙළ ඉහළ සාමාර්ථ ලැබිණි. 1967 දී ඇයට කොළඹ සරසවියේ සහය කථිකාචාර්ය තනතුරක් ලැබුණු අතර විජේඩයස් බද්දේගම පිරිවෙනක ඉගැන්වීමට ගියේ ය. 1968 වසරේදී ඕතොමෝ විජේඩයස් ගේ අත ගත්තා ය. පසුව විජේඩයස් ට ද කොළඹ සරසවියේ ම කථිකාචාර්ය පත්වීමක් ලැබිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1969 දී දෙදෙනා ම ආචාර්ය උපාධිය සඳහා මහා බ්‍රිතාන්‍යය බලා පිටත් ව ගියහ. ඇය ලීඩ්ස් විශ්වවිද්‍යාලයටත් විජේඩයස් ලන්ඩන් හි වෙනත් සරසවියකටත් ඇතුළු විය. හතරවන ජාත්‍යන්තර කමිටුවේ නායක පක්ෂය වූ සමාජවාදී කම්කරු සංගමයට සම්බන්ධවීමට ඔවුන්ට අවස්ථාව ලැබෙනුයේ මෙහිදී ය.
ජීවිතය හා ලෝකය පිළිබඳ ව විතරක් නෙවේ. කලාව සම්බන්ධයෙනුත් යථාර්ථවාදී අවබෝධයක් ලැබුණේ, විද්‍යාත්මක ලෝක දෘෂ්ටියක් හැටියට මාක්ස්වාදය හඳුනාගත්තට පසුවයි. මා අදටත් ඒක අගය කරනවා. දාර්ශනික පදනමකින් යුතු ව සාහිත්‍ය කලා විචාරය පැත්තට නැඹුරු වෙන්න බුද්ධිමය දායකත්වයක් ලැබුණේ සමාජවාදී කම්කරු සංගමයේ සාකච්ඡා හා සංවාදවලට සහභාගි වීමෙන් පසුවයි.”
මෙරට සාහිත්‍ය කලා විචාරයේ නිම්වළලු පුළුල් කිරීමට දායක වූ ‘සාහිත්‍යය, භෞතිකවාදී අධ්‍යයනයක්’, ‘නූතන සිංහල සාහිත්‍ය විචාරය මාක්ස්වාදී අධ්‍යයනයක්, ‘අරුන්දතී රෝයි විචාරයක් හා පිළිතුරක් කලා විචාරයේ මාක්ස්වාදී මූලධර්ම’ ආදී කෘති කිහිපයක් සම්පාදනය කිරීමට පියසීලී විජයගුණසිංහ පෙලැඹෙනුයේ මේ අධ්‍යයන කටයුතුවලින් ඉක්බිතිව ය.
එසේ ම ලාංකේය මාක්ස්වාදී විචාර කලාවේ පතාක යෝධයකු ලෙස ප්‍රකට මහාචාර්ය සුචරිත ගම්ලතුන් සමඟ ද එතුමිය ගැඹුරු විවාදයක පැටලුණා ය. ඒ විවාදයේ සුලමුල ඇගේ මුවින් ම අසා දැනගැනීමේ රුචියක් මට පහළ විණි.
“මගේ විචාර අධ්‍යයනවල පසුබිම ටිකක් විස්තර කරල ම ඔබේ ප්‍රශ්නයට උත්තර දෙන එක හොඳයි කියල හිතෙනවා. කොළඹ සරසවියේ නාට්‍ය සිද්ධාන්ත විෂයධාරාව උගන්වන කාලේ භරතමුණිගේ රස සිද්ධාන්තය ගැඹුරින් විශ්ලේෂණය කරන්න නැඹුරු වුණා. එහිදී පෙනී ගිය කාරණයක් තමා සාහිත්‍ය විචාරයේදී විඥානවාදී දෘෂ්ටියට යා හැකි උපරිම දුර රසවාදී සිද්ධාන්තය ඔස්සේ ගමන් කර ඇති බව.
ඒ වෙනකොට මම මාක්ස්වාදී විචාර න්‍යායන් හදාරමිනුයි සිටියේ. මට තේරුම් ගියා භරතමුණිගේ රස සූත්‍රයේ විඥානවාදී රාමුව පුපුරුවා හැර දෙපයින් සිටෙව්වොත් අපෝහක භෞතිකවාදී කලා විචාර න්‍යායක් එමඟින් ගොඩනඟා ගත හැකි බව. කලින් මා කියවා තිබූ අපරාධය හා දඬුවම, එමා බොවාරි, ඇනා කැරනිනා හා ඩිකන්ස්ගේ කෘති ආදියත් අලුත් කියවීමකට නතු කරගනිමිනුයි මා හිටියේ.
සම්ප්‍රදායේ නිසරුය කියා හැඟෙන අංශවලට එරෙහි ව කැරැලිගැසීමේ දැඩි අවශ්‍යතාවක් මට දැනෙන්න පටන් ගත්තා. මාක්ස්වාදී සෞන්දර්ය විද්‍යාව නමින් අලුත් විෂයධාරාවක් කොළඹ සරසවියේ ආරම්භ කරන්න මුල් වුණෙත් මේ කාරණය ම තමා. ඒකට ශිෂ්‍යයන්ගෙන් වගේ ම ආචාර්ය මණ්ඩලයෙන් උණුසුම් ප්‍රතිචාරයක් ලැබුණත් බාහිර ප්‍රතිගාමි බලවේගවලින් අභියෝග එල්ල වෙන්න පටන් ගත්තා.
සුචරිත ගම්ලත් මහාචාර්යතුමා සමඟ විවාදයකට පැටලුණෙත් ඔය කාලෙ ම තමා. මගේ ස්ථාවරය වුණේ කලාව යථාර්ථය ජය ගැනීමේ භාවිතයක් කියන එකයි. මිනිසා, මානව සමාජය ඇතුළු සොබාදහම ජය ගැනීම සඳහා කරන විප්ලවීය මැදිහත්වීමෙන් තමා කලාව ඇතුළු අධ්‍යාත්මික සංස්කෘතික උරුමය ගොඩනැඟෙන්නෙ. මහාචාර්ය ගම්ලත් ඊට එරෙහි ව කියා සිටියේ කලාවෙන් යථාර්ථය ජයගන්න බැරි බවයි..
එය ජයගත හැක්කේ විප්ලවයෙන් හා යථාර්ථය වෙනස් කිරීමේ භාවිතයෙන් බවත් ඔහු කියා සිටියා. ඒක අපෝහක භෞතිකවාදයට ප්‍රතිපක්ෂ යාන්ත්‍රික භෞතිකවාදී ආස්ථානයක් හැටියටයි මා දකින්නේ. කොහොම වුණත් අදටත් අපි දෙන්නාගේ ස්ථාවරවල වෙනසක් සිදු වී නැති බවයි පෙනෙන්නේ... ඔය ඇති නේද දැන්නම් මට මහන්සියි සහෝදරයා...”
මාක්ස්වාදී දර්ශනයට ඇති නැඹුරුව නිසාමදෝ ඇය මා ඇමතුවේ සහෝදරයා නමිනි. ඒ ලෙන්ගතු ආමන්ත්‍රණයට පසු ව තවදුරටත් ඇය වෙහෙසට පත්කිරීමට මගේ සිත ඉඩ නොදෙයි. එබැවින් සමාප්ත පැනය ලෙසින් ඇගේ ජීවන චාරිකාවේ ගෙවුණු සමය හා එළැඹෙන අවදිය පිළිබඳ සිතුවිලි කෙබඳු දැයි මම විමසා සිටියෙමි.
“මම අපෝහක භෞතිකවාදී දර්ශනය පිළිගන්න කෙනෙක්. ඒ නිසා සිදු වූ දේවල් හෝ සිදුවීමට තිබෙන දේවල් ගැන කිසිම කම්පනයක් මගෙ හිතේ නැහැ. මව්පියන් ආදරණීය සොයුරිය හා ගුරුවරුනුත් විශේෂයෙන් ම විජේ ඩයසුත් මගේ ජීවිතය මෙතැනට අරන් එන්න මඟ හදා දීපු අය හැටියට සඳහන් කරන්න ඕනෑ. සත්තකින් ම මා ජීවිතය පටන් ගත්තේ ඉතා ප්‍රමාදවෙලා.
ළමා විය සම්ප්‍රදායික සීමා බන්ධන යටතේ ගෙවී ගියා. ජීවිතය පටන් ගත්තේ දේශපාලනික වශයෙන් ලෝකය දුටුවාට පසුවයි. මෙතැනට එන්න කරපු අරගලය පීඩාකාරී වුණත් බෙහෙවින් ප්‍රීති ජනක ප්‍රතිඵල ලබාදී තිබෙනවා.
ඒ නිසා ආපසු හැරී බලන විට ලොකු සතුටක් දැනෙනවා. 2008 අවුරුද්දෙ නොවැම්බර් 26 වැනිදා අරඹපු විශ්‍රාම ජීවිතය ඉතා විවේකී ව ගත කරනවා.
මාක්ස්වාදී සෞන්දර්ය විද්‍යාව පිළිබඳ ව ශාස්ත්‍රීය ගවේශනයක මේ දවස්වල නිරත ව සිටිනවා. ඉදිරියටත් හැකි තරම් වැඩකරන එක තමා එක ම අරමුණ.
“පුළුන් කැටියක් බඳු ධවල පැහැ ගැන්වුණු කෙස්වැටිය සහිත හිස සෙමින් සොලවමින් පියසීලි විජේගුණසිංහ මහැදුරුතුමිය මට සමුදුන්නේ මෑණියකගේ හා ගුරුවරියකගේ සෙනෙහස ම’සිතේ සනිටුහන් කරමිනි.
0 comments:
Post a Comment