728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday, 13 March 2014

වරෙන් හීන් සැරේ...... රිදී වළාවේ.......අයිවෝ ඩෙනිස්‌

අපේ ගීත අසන්නට ඉඩක්‌ නැත්නම්
එය ජනතාවට කරන අසාධාරණයක්‌
- සම්මානනීය ගායක අයිවෝ ඩෙනිස්‌

ඒ පනහ දශකයේ මුල භාගයයි. සුනිල් ශාන්තයන්
බම්බලපිටියේ නවාතැන්ගෙන සිටි කාලයේ එක්‌ උදෑසනක
ඔහු දිය නාමින් සිටියේය.




වරෙන් හීන් සැරේ.......

වරෙන් හීන් සැරේ...... රිදී වළාවේ.......

අනේ හෙමින් හෙමින්

ඇඳී යන්න වළාවේ..........

සිසිල් පවන් බිබී කිරා වැටී

සිහින ලොවේ අඩ නින්දේ

අඳුරු වළාවේ.........




තම ගීය ගුවනින් ප්‍රචාරය වන අයුරු ඔහුට ඇසිණි. ඒත් එකවරම සුනිල් ශාන්තයන් දිය නෑම මඳකට නතර කළේය. යළි ගීයට සවන් දුන්නේය. ගායනයේ තැනක්‌ දෙකක්‌ අඩුපාඩු සහිතය. හොඳින් ගීයට ඇහුම්කන් දුන්නේය. මේ නම් තමන්ගේ හඬ නොවේ යෑයි සුනිල් ශාන්තට ප්‍රත්‍යක්‍ෂ විය. ඒ ගීතය ගැයුවේ සීදූවේ අයිවෝ ඩෙනිස්‌...... යෑයි ගීය අවසන නිවේදකයා සඳහන් කළේය. වැඩ සටහන "ආධුනික පැයයි"

තම හඬට ආසන්න හඬකින් මේ ගීය ගැයූ ආධුනිකයා දැක ගැනීමට සුනිල් ශාන්තයන්ට අවශ්‍ය විය. ඔහු තම සිසුවෙකු කැඳවීය. සිසුවා අන් කවරෙකුවත් නොව පැටි්‍රක්‌ දෙනිපිටියයි. තම ගීය ගැයූ නවකයා සොයා ගැනීමේ කාර්යය සුනිල් ශාන්ත ප්‍රැට්‌්‍රක්‌ දෙනිපිටියට පැවරුවේය.

දින කිහිපයකට පසු පැටි්‍රක්‌ ඔහු කැඳවා ගෙන ආවේය. තොරතුරු අසා දැනගත් සුනිල් ශාන්තයෝ අයිවෝ ඩෙනිස්‌ නම් ආධුනිකයා තම පංතියට ඇතුළත් කර ගත්තේය. අයිවෝ.... සුනිල් ශාන්තයන් සෙවනේ ශිල්ප හදාරන්නට පටන් ගත්තේය. කෙටි කලකට පසු ඒ සෙවනේම සිටි සුධර්මන් සිල්වා ලියූ ගී වැලකට සුනිලුත් සංගීතය සහ තනුව නිර්මාණය කළේය. ගැයුම් පැවරුවේ අයිවෝ ඩෙනිස්‌ටය.

කුරුළු පරාදීසයේ
කුරුළු සිහින සාගරේ
ඔබ හා විසුමට එන්නෙමි
කුරුළු සුරපුරේ.......

ගැයූ පළමු ගීයෙන්ම අයිවෝ ඩෙනිස්‌ යන නාමය ජනප්‍රසාදයට පත්වීය. සුනිල් ශාන්තයන්ද අයිවෝට ප්‍රසාදය පළ කළේය.

ආචාර්ය ලෙස්‌ටර් ජේමිස්‌ පිරිස්‌ගේ රේඛාව සහ සංදේශය චිත්‍රපට දෙකේ ගී තනු නිර්මාණය කළේද සුනිල් ශාන්තය.

ඒ ගී තනු තැටිගත කිරීම සඳහා ඉන්දියාවට ගෙන ගියේත්, නැවත ගෙන ආවේත් අයිවෝය. ඔහු සිය පළමු සිනමාගීය ගැයුවේද රේඛාවටය. ඒ මර්සලිනු ජයකොඩි පියතුමා ලියූ අනුරපුර පොළොන්නරුව........ ගීයයි.

අයිවෝ ඩෙනිස්‌ට ගුරු පත්වීමක්‌ ලැබ රත්නපුර, මීගමුව ආදී ප්‍රදේශවල පාසල්වල ඉගැන්වීය. පසුව රජයේ සංගීත විද්‍යාලයේ ජන සංගීත උපදේශකවරයා වන ඔහු එවක රජයේ ප්‍රධාන සංගීත පරීක්‍ෂක ඩබ්ලිව්. බී. මකුලොලුව මහතාගේ සිත දිනාගනිමින් "හෙළ මිහිර" ගායන වෘන්දයේ මූලිකයා බවටද පත්විය. වීරසේන ගුණතිලක, ලයනල් රන්වල, රෝහන බැද්දගේ වැන්නෝ "හෙළ මිහිරේ" අයිවෝගේ සමකාලිනයන් වූහ. මකුලොලුව විසින් කරළියට ගෙන ආ "දෙපානෝ" නාට්‍යයේ ප්‍රධාන භූමිකාව රඟමින් අයිවෝ සිය රඟපෑමේ හැකියාවද පෙන්නුම් කළේය. ඉන් පසු සතිස්‌චන්ද්‍ර එදිරිසිංහගේ "තහංචි" ගීත නාටකයේද ප්‍රධාන නළුවා විය.

ආචාර්ය ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ගීපද පෙළකට තනුව සහ සංගීතය නිර්මාණය කළේ ප්‍රේමසිරි කේමදාසයන්ය. ගීත ගයන්න පැවරුණේ ටී. එම්. ජයරත්නටය. එහෙත් ඒ ගීයට තවත් ගැඹුරු හඬක අවැසිතාව මතුවිය. ටී. එම්. ජයරත්නයන් ඒ සඳහා කේමදාසයන්ට හඳුන්වා දුන්නේ අයිවෝ ඩෙනිස්‌වය.

අඳුරු කුටිය තුළ දොරගුළු ලාගෙන

ගයන ගීතිකා යදින යාතිකා

දෙවියන්හට නෑසේ......//

පොළොව කොටන තැන - පාර තනන තැන

ගිනියම් අව්වේ මහවරුසාවේ

දෙවියෝ වැඩ ඉන්නේ//

බලන් කඩතුරා හැර දෑසේ....

ටී. එම්. ජයරත්න සමග ඒ ගීය ගැයු අයිවෝ ඩෙනිස්‌ට තවත් චිත්‍රපට ගීයක ගැයීමට වරම් ලැබිණි.

උදුම්බරා..... හිනැහෙනවා...... ටී. එම්. ජයරත්න සුනිලා අබේසේකර සමග අයිවෝ ඒ ගීය ගැයූ අතර "හිම කතරට" ගැයූ ගීය වෙනුවෙන් ඔහුට ජනාධිපති සම්මානද හිමි විය. කේමදාසයන්ගේ "පිරිනිවන් මංගල්ලය" "මානසවිල" කැන්ටටාවේද ඔහුගේ හඬ ඇතුළත්ය.

අයිවෝ ඩෙනිස්‌ ගී ලොවට එක්‌ වූයේ 1952 දීය. අද වන විට ඔහුගේ සංගීත දිවියට වසර හැටකි. ඔහුගේ වයසද අවුරුදු අසූවද ඉක්‌මවා ඇත.

සුනිල් ශාන්ත ගී ආර - ඔබට බලපෑවේ කොහොමද?

එතුමාගේ ගී ශෛලිය දිගටම ගැයීම මට වාසියක්‌ මිස අවාසියක්‌ වුණේ නෑ. ඒ කාලේ සුනිල් ශාන්තයන්ගේ ආරට ගී ගයන්න හැකි අය වැඩිපුර හිටියේ නෑ. එතුමාගේ පංතිවල සිටි ගෝල පිරිස ඉදිරියට ආවේත් නෑ.

හදිසියේ සිදු වූ සුනිල් ශාන්තයන්ගේ වියෝව බවට දැනුනේ කොහොමද?

අපට විතරක්‌ නොවේ මුළු රටටම එතුමාගේ අභාවය විශාල පාඩුවක්‌ වුණා. එතුමා හඳුන්වා දුන් දේශීය ගී ආර ඇනහිටියා. එතුමාගේ පුතා හදිසියේ වියෝවුණා. ඒ පුතාට සුනිල් ශාන්තයන් දැඩිව ආදරය කළා. ඒ මරණයත් සමග පුතා ගැන සිතමින් එතුමා කාමරයට වෙලා හිටියා. පුතා මියගිහින් මාසයකට විතර පස්‌සේ එතුමන් වියෝ වුණා.

සුනිල් ශාන්තයන්ගේ ශෛලිය ඉදිරියට ගෙන ආ ඔබ....... අද පරපුර ගැන සතුටු වෙනවද?

ඒ ගැන නම් සතුටු වෙන්න බෑ. ඒත් විවිධ නාලිකාවලින් ඉදිරිපත් කරන රියෑලිටි වැඩ සටහන්වල බොහෝ දක්‍ෂ තරුණ තරුණියන් ගී ගයනවා. ඒත් ඒ අය ගයන්නේ ඒකාකාරී ගීත. සමහරුන් තමන්ගේ කට හඬ උපයෝගී කරගෙන උපරිමයෙන් ගැයීමේ හැකියාව තිබෙද්දීත් අනුකරණය කරනවා. ඒ වගේම තමයි අද ගීතවල වචන සුනිල් ශාන්තයන්, අමරදේවයන් ගැයූ අර්ථවත් ගීත ප්‍රබන්ධ අද ඇහෙනවා අඩුයි. ඒ පැත්තෙන් සතුටු වෙන්න බැහැ.

ඔබ වැනි ප්‍රවීණයන්ගෙන් අලුත් ගීත නෑසෙන්නේ ඇයි?

මාධ්‍යවලින් ඉස්‌සර වගේ අපිව දැන් කැඳවන්නේ නැහැනේ. අද ඉතින් අලුත් අලුත් අය ඉන්නවා. නැත්තේ ගීත නිර්මාණ විතරයි. අද සී. ටී. ගේ ගීත ඇහෙන්නේ නෑ. ආනන්ද සමරකෝන්ගේ ගීත ඇහෙන්නේ නෑ. ඒ ගී විරල වෙලා.... අද ඉන්න රසිකයන්ට ඒ ගී ශෛලිය හඳුනා ගන්න ඒවා ප්‍රචාරය කරන්න ඕනෑ. ඒත් අද ඒවා පැත්තකට දාලා. අපේ ගීත ජනතාවට අහන්න සලස්‌වන්නේ නැත්නම් ඒක අපිට කරන අසාධාරණයක්‌. අපි සෑහෙන කාලයක්‌ ශ්‍රමය කැප කරලා තමයි නිර්මාණයක්‌ කරන්නේ. වසර ගණනාවකින් මට සරලගී වැඩසටහනක්‌ ලැබී නෑ. අවුරුදු දහයකින් පහළොවකින් ගුවන් විදුලියට ගීත ගයලා නෑ. ඉඳහිට රූපවාහිනියේ ගයනවා. ඒත් අපිව කැඳවන්නේ නැහැ. මගේ නිර්මාණ 50 ක්‌ 60 ක්‌ විතර තියෙනවා. ඒවා නෑසෙන නිසා බොහෝ දෙනා හිතන්නේ මම සුනිල් ශාන්තයන්ගේ ගීත පමණක්‌ ගායනා කරන කෙනෙක්‌ ලෙසයි. මගේ අලුත් ගීත රසිකයන්ට ඇහෙන්නේ නෑ.

මෙවර ප්‍රසංගයක්‌ කිරීමේ අරමුණ....?

මම අසූවිය ඉක්‌මවූවා. අවුරුදු අසූවේදී මෙවැනි යෝජනාවක්‌ ඉදිරිපත් කළේ සුනිල් ශාන්ත සමාජයෙන්. අවුරුදු අසූවකට පස්‌සේ ආයෙත් ප්‍රසංගයක්‌ කරන්න වේවිද දන්නේ නැහැනේ. ඒ නිසා මම කැමැති වුණා. අලුත් පරපුරට නම් ප්‍රසංගයක්‌ කරද්දී ඕනෑ තරම් අනුග්‍රහකයන් ඉදිරිපත් වෙනවා. ඒත් පැරැණි අයට එහෙම අනුග්‍රාහයක්‌ නෑ. මගේ මේ ප්‍රසංගයටත් කිසිම අනුග්‍රහකයෙක්‌ නෑ. සුනිල් ශාන්ත සමාජය සහ බණ්‌ඩාර ඇහැළියගොඩ හිතවතාට ස්‌තූතිය පුදකරනවා. සුනිල් ශාන්තයන්ගේ පුතා ලංකා ශාන්තත් ඒ සමාජයේ ලේකම්තුමාත් මහන්සි වෙනවා. සිරස නාලිකාවක්‌ දායකත්වය දක්‌වනවා. මගේ මිණිබිරිය අමාලි දෙව්මිණි ප්‍රනාන්දුත් මේ ප්‍රසංගයේ මා සමග ගයනවා.

ගත වූ අවුරුදු හැට දිහා යළි බලද්දී ඔබ සෑහීමකට පත්වෙනවද?

මට ඉතින් ලැබෙන්න ඕනෑ දේ ලැබී තිබෙනවා. මගෙන් විය යුතු සේවාව සිදු කර තිබෙනවා. ඒ හැර ලොකු ලොකු දේ පසු පස්‌සේ මම දුවන්නේ නැහැ.

ඔබේ ජීවිතය ගෙවෙන්නේ කොහොමද?

සුපුරුදු පරිදි මගේ කාලය වැඩිපුරම ආගමික පැත්තට යොමු වෙලා. ආගමික ගීත නිර්මාණයට, දේවස්‌ථානයේ වැඩ කටයුතුවලට සම්බන්ධ වී සිටිනවා.

ඔබ ආර්ථික අතින් ශක්‌තිමත්ද?

ආර්ථිකය පැත්තෙන් නම් මම ලොකු පෝසතෙක්‌ නොවේ. විශ්‍රාම වැටුපක්‌ ලැබෙනවා. කලාතුරකින් සංගීත සංදර්ශනයකට යනවා. ලොකු යාන වාහන තියෙන කෙනෙක්‌ නොවේ. මම ගමන් බිමන් යන්නේ බස්‌ එකේ. ඒ ගැන මට කිසිම කණස්‌සල්ලක්‌ නෑ.

අජිත් අලහකෝන්
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: වරෙන් හීන් සැරේ...... රිදී වළාවේ.......අයිවෝ ඩෙනිස්‌ Rating: 5 Reviewed By: Unknown