728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday, 16 March 2014

“මගේ ආදරණීය පුතු දකින්නට ස්විට්සර්ලන්තයට ඒමට මම කැමැත්තෙන් ඉන්නවා”

සාපේක්ෂතාවාදය විද්‍යාත්මකව තහවුරු කිරීම සඳහා වූ ගණිතමය ක්‍රියාදාමය අතිශය සංකීර්ණ වූවක්. කෙසේ වුවත්, අයින්ස්ටයින් හොඳම භෞතික විද්‍යාඥයාත් හිල්බට් හොඳම ගණිතඥයාත් කරමින් එය සම්පූර්ණ වෙමින් තිබුණා. 1915 ඔක්තෝබරය වන විට අයින්ස්ටයින් බර්ලිනයේ ප්‍රසියානු විද්‍යා ඇකඩමියේ දේශන පවත්වමින් සිටියා. එක දිගට බ්‍රහස්පතින්දා හතරක්ම ඔහු ඒ සඳහා ගත කළේ, සිය දරුවන් සමඟ යළි එක්වීමේ අරගලයක ද යෙදෙන අතරයි.



එම පළමු දේශනය නොවැම්බර් 4 දා යෙදී තිබුණා. සිය නව ප්‍රවේශය පිළිබඳ ඔහු එහිදී පැහැදිලි කළත්, ඒ සඳහා ප්‍රශස්ත ගණිතමය සූත්‍රයක් දැක්වීමට තවමත් ඔහු අපොහොසත්ව සිටියා. දේශනය අවසන් වූ වහාම ඔහු කළේ හෑන්ස් ඇල්බට්ට ලිපියක් ලිවීමයි.
“හැම අවුරුද්දකම මාසයක්වත් මම ඔයාලත් එක්කම ඉන්න උත්සාහ කරනවා. එතකොට ඔයාලා ළඟින්ම හිඳිමින් ඔයාලාට ආදරය කරන තාත්තා කෙනෙක් හිඳීවි. වෙනත් කාගෙන්වත් ලබාගන්න බැරි දේවල් මගෙන් ඔයාලට ඉගෙන ගන්නත් පුළුවනි. මම ලබාගත් දේවල් බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ ප්‍රතිඵල. පිටස්තර අයටත් වඩා මේ දේවල් මගේ කොල්ලො දෙන්නාට වටිනවා. පසුගිය දින කිහිපය තුළ මම මගේ ජීවිතයේ විශිෂ්ටම පර්යේෂණ ප්‍රතිභා සම්පූර්ණ කළා. ඔබලාට දැනුම් - තේරුම් ඇතිවෙන කොට මම ඒ ගැන කියන්නම්... මම කොයි තරම් ඊට අවධානය යොමු කළා ද කිව්වොත්, කෑම ගැනීම පවා අමතක වූ අවස්ථා තිබෙනවා.”
තම ගණනය කිරීම් යළි යළි පරීක්ෂා කිරීමට සිදුවූ නිසා අයින්ස්ටයින්ට වැඩි කාලයක් ගතවුණා. හිල්බට් ගෙන් තරගයක් පැවතුණ නිසා එය සැලකිල්ලට ගත යුතු වූ දෙයක්. ඔහු ඒ ගැන කනගාටු වූ බව පෙනෙනවා. නොවැම්බර් 4 දේශනයේ පිටපතක් ඔහු හිල්බට් ට යොමු කළා. “මේ නව විසැඳුම පිළිබඳ ඔබේ කාරුණික අවධානය යොමුකරන්නැයි” ඔහු ඉල්ලා සිටියා. ඉන්පසු, අයින්ස්ටයින් තම දෙවන පත්‍රිකාවත් ඊළඟ බ්‍රහස්පතින්දා නොවැම්බර් 11 දා ඉදිරිපත් කළා. ඔහු තවමත් නිවැරදිම ගණිතමය ඔප්පු කිරීම දක්වා පැමිණ තිබුණේ නැහැ. ඒත්, ඔහු ඊට සමීප වී සිටියා. නැවත වරක් ඔහු තම පත්‍රිකාව හිල්බට් ට යොමු කළා.

“මේ සමඟ ඇති මා විසින් වැඩි දියුණු කළ සංකල්පය (ගණිතමය සමාන කිරීම් වෙනස් නොකර) පිළිගත හැකි නම්, ඒකෙ තේරුම ගුරුත්වාකර්ෂණය පදාර්ථයේ මූලික භූමිකාවක් සපුරාලන බවයි” අයින්ස්ටයින් තවදුරටත් මෙසේ ලියා යැව්වා. “මේවා සොයා දැන ගැනීමට මා තුළම ඇති වුවමනාව මගේ වැඩවලට බලපානවා.”
හිල්බට් ලිපිය ලැබුණු දාට පසුදිනම අයින්ස්ටයින්ට පිළිතුරු යැව්වා. එහෙත්, එය ඔහු අධෛර්යයට පත්කරන සුලු පිළිතුරක්. ‘ඔබේ මහා ගැටලුවට විසැඳුමක් දීමට මා සූදානම්’ යැයි හිල්බට් එහි සඳහන් කර තිබුණා. තවදුරටත් මේ ගැන අනාවරණ කරගන්නා තෙක් සාකච්ඡා කිරීමට තමන් සිතා සිටි බවත් ඔහු පවසා සිටියා.
ඒ සමඟම ඔහු දන්වා සිටියේ, “දැනටමත් ඉතාමත් සම්පූර්ණව ඇති මාගේ සිද්ධාන්තය ලබන අඟහරුවාදා ඉදිරිපත් කරනවා” යනුවෙන්. ඒ දිනය යෙදුණේ නොවැම්බර් 16 දාටයි. තමාගේ දේශනයට සවන් දීම සඳහා ගොටින්ගන් වෙත පැමිණෙන්නැයි ඔහු අයින්ස්ටයින්ට ආරාධනා කළා. ලිපිය අවසන් කර අත්සන ද යෙදීමෙන් පසු ඔහු මෙවැන්නක් සටහන් කර තිබුණා. “ඔබේ අලුත් පර්යේෂණ පත්‍රිකාව මම තේරුම් ගන්නා තෙක්, ඔබ විසින් ඉදිරිපත් කරන ලද විසැඳුම මගේ විසැඳුමට වඩා මුළුමනින් වෙනස් බව කිව යුතුයි.”
නොවැම්බර් 15 දාතමින් යුතුව අයින්ස්ටයින් ලිපි 4 ක් ලිව්වා. ඔහු කොපමණ ආතතියකට ලක්වීද යන්න ඉන් පැහැදිලියි.
එක් ලිපියක් සිය පුතු හෑන්ස් ඇල්බට් වෙත යොමු කරමින් ඔහු දන්වා යැව්වේ, නත්තල් සමය ස්විට්සර්ලන්තයේ ගතකිරීමටත් අලුත් අවුරුද්ද ඔහු සමඟ ගත කිරීමටත් තමන් කැමැති බවයි. “අපි කොහේ හෝ තනි තනිව සිටීම වඩාත් හොඳ නොවේදැයි” පැවසූ ඔහු “ඔබ කුමක් සිතන්නේ දැයි” සිය පුතුගෙන් විමසා සිටියා.
ඔහු තම බිරිඳටත් එක් ලිපියක් ලිව්වා. ඉන් තම දරුවන් සමඟ පවත්වන සම්බන්ධතා අවසන් කිරීමට ක්‍රියා නොකිරීම ගැන ඇයට ස්තුති කරන්නේ යැයි ඔහු දන්වා සිටියා.
සමීප මිතුරු සැන්ජර්ටත් ඔහු ලිපියක් ලිව්වා. “ගුරුත්වාකර්ෂණය පිළිබඳ මගේ සිද්ධාන්තය මම වැඩිදියුණු කළා. කලින් ඉදිරිපත් කළ සාධක වල යම් හිඩැසක් ඇතැයි මට පෙනී ගියා... “මගේ ආදරණීය පුතු දකින්නට ස්විට්සර්ලන්තයට ඒමට මම කැමැත්තෙන් ඉන්නවා” යනුවෙන් ද ඔහු ලියා යැව්වා.
හතරවන ලිපිය ඔහු යොමු කළේ හිල්බර්ට් වෙතයි. එම පිළිතුරු ලිපිය මඟින් ඔහු, ගොටින්ගන් බලා එන ලෙස කර තිබු ඇරියුම ප්‍රතික්ෂේප කළා. මේ ලිපිය ලිවීමේදී තමාගේ නොමනාපය සඟවන්නට ඔහු වෑයම් කළේ නැහැ. “ඔබේ විශ්ලේෂණය මගේ සිත්ගත් බව කිව යුතුයි. ඔබේ පණිවුඩ මඟින් ලබා දී ඇති ඉඟි බලාපොරොත්තු ඇති කරවන සුලුයි. ඔය අවස්ථාවට සහභාගි වීමට ගොටින්ගන් එන්නැයි කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන්නට මට සිදුවෙනවා... මට බොහෝ වෙහෙසයි, බඩ රුදාවකිනුත් පෙළෙනවා... ඔබට හැකිනම්, ඔබේ අධ්‍යයනයේ නිවැරදි පිටපතක් මා වෙත එවන්න, එය මගේ සහනයට හේතුවක් වෙයි”
නොවැම්බර් 18 දාම හිල්බට්ගේ අලුත් පත්‍රිකාව අයින්ස්ටයින් වෙත ලැබුණා. එය සහ තමාගේ අධ්‍යයනය අතර ඇති සමානත්වය දුටු ඔහු විමතියට පත්වුණා. හිල්බට් වෙත පැහැදිලි පිළිතුරක් යවන අයින්ස්ටයින් තම කාර්යයේ ප්‍රමුඛතාවය පිළිබඳ ද සඳහන් කළා. “ඔබ ගොඩනඟා ඇති ක්‍රමය සමඟ මා එකඟයි, මා ද එය එපරිදි දුටුවා. එය ගෙවුණු සති කිහිපය මුළුල්ලේ ම දැරූ වෑයම ඔස්සේ මා සොයාගත් සහ දැනටමත් මා ඇකඩමිය වෙත ඉදිරිපත් කර ඇති ක්‍රමයට හරිම සමානයි”
හිල්බට් ඊට පසුදිනම අයින්ස්ටයින් වෙත කාරුණිකව ප්‍රතිචාර දැක්වූවා. ප්‍රමුඛතාව පිළිබඳ එතරම් අවධානය යොමු නොකළ ද “ඔබ තරම්ම ශීඝ්‍රයෙන් මා එය ගණනය කිරීමට සමත් වූවා නම්...” යනුවෙන් ඔහු සඳහන් කළා. ඊට දිනකට පසු හිල්බට් සාපේක්ෂතාවාදය ගැන තම ගණනය කිරීම් ඇතුළත් පර්යේෂණ පත්‍රිකාවක් විද්‍යාත්මක වාරිකයකට යොමු කළා. එහිදී ඔහු භාවිත කළ මාතෘකාව නවීන එකක් නොවෙයි. ඔහු එය නම් කර තිබුණේ “භෞතික විද්‍යාවේ පදනම්” ලෙසයි.
අයින්ස්ටයින් තම සොයා ගැනීමේ විශිෂ්ටම අවස්ථාව සලකුණු කරමින් ප්‍රසියානු ඇකඩමියේදී සුප්‍රකට හතරවන දේශනය ඉදිරිපත් කළා. ඒ, නොවැම්බර් 25 දා එහි මාතෘකාව වූයේ “ගුරුත්වාකර්ෂණයේ ක්ෂේත්‍ර ගණනය කිරීම්” යන්නයි. සාපේක්ෂතාවාදය යටතේ ඔහු විස්තර කළ ගණනය කිරීම් ගණිතමය වශයෙන් සාධනය කිරීම එම දේශනය මඟින් සිදු කෙරුණා. කෙසේ වෙතත්, මෙය සිදුවූයේ හිල්බට් තම පත්‍රිකාව ඉදිරිපත් කර දින කිහිපයකට පසුවයි. නමුත් අයින්ස්ටයින් ගේ ක්‍රමය වඩාත් සම්පූර්ණ මෙන්ම සමහර සංකල්ප ඔහු විසින්ම ඉදිරිපත් කිරීමත් නිසා විශේෂ වුණා.
සාපේක්ෂතාවාදය පිළිබඳ ඉදිරිපත් කිරීම එක්තරා අන්දමකට මවාගත් හෝ නාට්‍යමය අත්දැකීමක් බඳුයි. එය විශ්වීය සංකල්පයක් බවට පත්වුණා. ක්වොන්ටම් යාන්ත්‍රිකයේ පුරෝගාමියා ද වන නොබෙල් සම්මානලාභී විද්‍යාඥ පෝල් ඩිරැක් කීවේ, “නිසැක වශයෙන් ම එය මෙතෙක් සිදු කෙරී ඇති විශිෂ්ටම විද්‍යාත්මක සොයා ගැනීම” බවයි. විසිවෙනි සියවසේ පහළ වූ තවත් භෞතික විද්‍යා දැවැන්තයකු වූ මැක්ස් වෝන්, ස්වභාවිකත්වය පිළිබඳ මානව චින්තනයේ විශිෂ්ටම පියවර ලෙසත්, ගණිතමය දැනුම පිළිබඳ සහ භෞතික විද්‍යාවේ මහා පෙරළියක් ලෙසත්, විශිෂ්ට දාර්ශනික සොයා ගැනීමක් ලෙසත් එය හැඳින්වූවා.
අයින්ස්ටයින් මෙම විශිෂ්ට ජයග්‍රහණය ලබාගත්තේ සිය පුතු හෑන්ස් ඇල්බට් සමඟ නිරන්තර අරගලයක යෙදෙන අතරමයි. කුඩා ඇල්බට් පවුලේ මිතුරකු සමඟ කියා තිබුණේ මුළු නත්තල් නිවාඩුවම තාත්තා සමඟ ගත කරන්නට ඔහු කැමැත්තෙන් සිටින බවයි. නමුත්; ඔහු සිය පියාට ලියන ලද එතරම් මිත්‍රශීලී නොවූ ලිපියෙන් පිළිබිඹු වුණේ ඊට ප්‍රතිවිරුද්ධ අදහසක්.
ආදරණීය තාත්තා
අවුරුදු දවස් ටිකට විතරක් මම එන්න ඉන්නෙ. 31 ඉඳන් 2 දා විතර වෙනකල්... ගෙදරින් පිට නත්තල් නිවාඩුව දිගටම ගත කරන්න මගේ කැමැත්තක් නෑ. ගෙදර ඉන්න කොට නත්තල වැඩිය ලස්සනයි. මට ස්කී යුගලක් ලැබුණා. හිම ක්‍රීඩා කරන්න යාළුවන්ගෙන් ඉගෙන ගන්න පුළුවන්. ස්කී වලට ෆ්‍රෑන්ක් 70 ක් වියදම් වුණා. අම්මා සල්ලි දුන්නේ ඔයත් කොටසක් පියවයි කියන කොන්දේසිය උඩ. මම ඒක නත්තල් තෑග්ගක් හැටියට සලකනවා.
ඔබේ,
අදූ
තමා චාරිකාව අවලංගු කළ බව අයින්ස්ටයින් පුතාට දන්වා යැව්වා. “ඔබේ ලිපියේ අකාරුණික ස්වරය මාව කම්පනයට පත් කළා” ඔහු එසේ ලියා යැව්වේ සාපේක්ෂතාවාදය තහවුරු කිරීම පිළිබඳ සිය අවසන් දේශනය පවත්වා දින කිහිපයකට පසුවයි.
“මගේ පැමිණිම ගැන ඔබට විශාල සතුටක් ඇති නොවන බව මට පෙනෙනවා. ඒ නිසා පැය දෙකකුත් විනාඩි විස්සක් කෝච්චියක ඉඳගෙන එන එකේ තේරුමක් නැහැ”
ස්කී වලට මුදල් ගෙවීමේ ප්‍රශ්නය ඉතිරි වුණා. අයින්ස්ටයින් එපමණ කාරුණික වූයේ නැහැ. ඒත් මුදල් ත්‍යාගයක් එවන බව ඔහු පුතාට දැනුම් දුන්නා. “ඒත්, මම නම් හිතන්නේ ෆ්‍රෑන්ක් 70 ක විතර මිල අධික තෑග්ගක් අපේ වත්මන් ආර්ථික තත්ත්වයට නොගැළපෙන බවයි” ඔහු එසේ ද ලිව්වා. සිය විශිෂ්ටත්වය ලොව හමුවේ විදහා දැක්වූ 1915 අවුරුද්ද අයින්ස්ටයින් ගෙවා දැම්මේ දුක හා සතුට සම්මිශ්‍රණය වූ කාලයක් ලෙසයි. මේ අත්දැකීම් ගැන ඔහු සිය මිත්‍ර සැන්ගර් ට ලියා යැව්වා.
ආදරණීය මිතුර සැන්ගර්,
මේ දැන් මට මගේ ඇල්බට් ගෙන් ලියුමක් ලැබුණා. එය මාව කම්පනයට පත් කළා. තවත් අමිහිරි මතක ගොඩගහ ගන්න දිග නිවාඩුවක් ගත කරන්න යාමේ තේරුමක් නැහැ. සැලසුම් සහගත ලෙස පුතාව නොමඟ යවා ඇති බවයි පෙනෙන්නේ. ඔහුට මා ගැන තිබු විශ්වාසය බිඳ දමලා.
මේ නිසා මගේ ආදරණීය පැරණි මිත්‍රයාට මෙහි එන්නැයි මම ඉල්ලනවා. ඔබේ පි‍්‍රයතම පැරැණි ගීතය ලස්සනට ගායනා කරන්න. මුල්ලකට වෙලා එය රස විඳින්න මට පුළුවනි.
දැනට, මගේ සමකාලීනයන් හා ගෙවන කාලය මට සතුටක්. ඒත් එක්කෙනෙක් (හිල්බට්) හැර... මගේ සොයා ගැනීමේ අඩුපාඩු ඇතැයි හුවා දක්වමින් ඔහු තමන් මතුවීමට තැත් කළ බව පෙනෙනවා. මගේ සොයාගැනීම ගැනත්, එහි වෙනස්කම් පිළිබඳත් මම ඔහුට ලියා යැව්වා...
සුබපැතුම්!
ඔබේ,
අයින්ස්ටයින්
අයින්ස්ටයින් නත්තල් දිනය ගෙවා දැම්මේ බර්ලින් හි පිහිටි ඔහුගේ තට්ටු නිවාසයේයි. එදින උදෑසන ඔහු ගත කළේ හෑන්ස් ඇල්බට් ඔහු වෙත එවා තිබු චිත්‍ර කිහිපයක් සමඟ එම ආදරණීය මතකයන් සිහිපත් කරමින් ඔවුන් තාත්තාට කොපමණ ආදරය කළේදැයි සිහිපත් කරමින් ඔහු පුත්‍රයාට තැපැල්පතක් යැව්වා. පොරොන්දු වූ පරිදිම පාස්කු නිවාඩුව ගත කිරීමට එන බවත් ඔහු මතක් කළා. තමා සතුටු කිරීම සඳහා හෑන්ස් පියානෝව වාදනය කරනු දකින්නට කැමැති බවත් ඔහු දැන්වූවා.
“වයලීනය වාදනය කරන්නත් ටිකක් පුරුදු වෙන්න එතකොට අපි දෙන්නාටම එකට වාදනය කරන්න පුළුවනි.” ඔහු ලියා යැව්වා.
දේවල් සිතුවාට වඩා හොඳින් සිදුවෙමින් තිබුණා. හිල්බට් තම අවසන් පත්‍රිකාව ඉදිරිපත් කරමින් පැහැදිලිව සහ අවංකවම ප්‍රකාශ කළේ සාපේක්ෂතාවාදය පිළිබඳ ගෞරවය අයින්ස්ටයින්ට හිමිවිය යුතු බවයි. හිල්බට් - අයින්ස්ටයින් දෙපළ නැවතත් එකිනෙකාගේ නිවෙස් වලදී ඉක්මනින්ම හමුවුණා. “ගෙවී ගිය අමිහිරි අත්දැකීම් ගැන යළි සමාලෝචනය කිරීම අනවශ්‍යය යැයි සිතමි” යනුවෙන් අයින්ස්ටයින්, හිල්බට් ට ලියා යැව්වා. මුළුමනින් සාර්ථකවීම පිළිබඳ කාරණයේදී එවැනි අමිහිරි අත්දැකීම් සමඟ ද අරගලයක යෙදෙන්නට තමන්ට සිදුවූ බව කී ඔහු එකම ක්ෂේත්‍රයක සගයන් දෙදෙනෙකු ලෙස සහයෝගයෙන් ක්‍රියා නොකර තරගයක යෙදීමක් ලොවට පෙනීම ලජ්ජා සහගත බව ඔහුගේ අදහස වූ බවත් සිහිපත් කළා. මේ නිසා අවසානය පිළිබඳ ඔහු සතුටු වුණා.
පවුල හා ඔහු අතරත් සමීප සබැඳියාවක් යළි ගොඩනැඟෙමින් තිබුණා. එය යහපත් ආරම්භයක් පොරොන්දු වූ පරිදි ම පාස්කු නිවාඩුව දරුවන් සමඟ ගත කිරීම සඳහා ඔහු සූරිච් බලා පැමිණියා. පියා දැකීමෙන් ඔවුන් බලවත් සේ සතුටු වූ බව පෙනුණා. සාමකාමී ලෙස සියල්ල සිදුවී තිබීම ගැන ස්තුතිවන්ත වෙමින් ඔහු මිලේවා ට පුංචි සටහනක් යොමු කළා.
“අපේ දරුවන් නිරෝගීව හා හොඳින් සිටීම ගැන මට හරිම සතුටුයි. මම හිතුවාටත් වඩා හොඳින් ඔවුන් කායිකව මෙන්ම මානසිකවත් නිරෝගීයි. ඒක එහෙම වුණේ ඔබ ඔවුන් රැකබලා ගත් නිසා බව මම දන්නවා. දරුවන් මගෙන් ඈත්කර නොතිබීම ගැනත් මම ඔබට ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම ඔවුන් මා ළඟට ආවේ පුදුම සතුටකින් හරිම ආදරණීය විදියටයි...”
හෑන්ස් ඇල්බට් අපේක්ෂා කළ පරිදිම අයින්ස්ටයින් ඔහු සමඟ කඳුකර නිවාඩු නිකේතනයක නිවාඩුව ගත කිරීමට ගියා. මේ ගමන අයින්ස්ටයින්ට කොපමණ සතුටක් ගෙන ආවා දැයි කිව්වොත් සිය අනාගත බිරිඳ හා නෑනණ්ඩිය වන එල්සාට ඔහු තැපැල්පතක් යොමු කළා.
මගේ ආදරණීය එල්සා,
ඊයේ මම පුතාත් එක්ක කඳුකරයේ නිවාඩුව ගත කරන්න ගියා. ඒක හරිම සතුටුදායක ගමනක්. ඔහු හරිම කාරුණිකයි, විශ්වාසවන්තයි, ඉගෙන ගන්න දක්ෂයි, බුද්ධිමත්. පිය පුතු සම්බන්ධය ඉතාමත් ආදරණීය ලෙස වර්ධනය වෙමින් තිබෙනවා.
ඔබට හාදුවක්,
ඇල්බට්
අයින්ස්ටයින් හා පවුලේ සාමාජිකයන් අතර සම්බන්ධය ඉතාමත් හොඳින් වර්ධනය වෙමින් තිබුණා. මිලේවා ගෙන් දික්කසාද වීම වෙනුවෙන් ඔහු පොරොන්දුවක් වුණා. ඒ; ඇය දික්කසාදය ලබා දෙන්නේ නම්, කෙදිනක හෝ නිසැක වශයෙන් ම තමාට හිමිවෙතැයි ඔහු විශ්වාස කළ නොබෙල් ත්‍යාගය සඳහා වන මුදල මුළුමනින්ම ඇයට පිරිනමන බවයි. පුරා සතියක් මේ ඉල්ලීම ගැන සලකා බැලීමෙන් පසු මිලේවා ඊට එකඟ වුණා. වසර කිහිපයක් ඇවෑමෙන් මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් වෙත නොබෙල් ත්‍යාගය පිරිනැමුණා. ඔහු එය පොරොන්දු වූ පරිදිම මිලේවාට ලබා දුන්නා. මේ මුදලින් ඇය සූරිච්හි තට්ටු නිවාස ගොඩනැගිලි 3 ක් මිලට ගත්තා.
තරුණ එඩුවාඩ් (ටෙටී) මානසිකව රෝගී වීම හේතුවෙන් සූරිච් ආශි‍්‍රතව සිය ජීවිතයේ ඉතිරි කාලය ගෙවා දැම්මා. හෑන්ස් ඇල්බට්ට තිබුණේ පැහැදිලි අනාගතයක්. ඔහු සිය මව්-පියන් එකිනෙකා හමුවූ සූරිච් බහු තාක්ෂණික ආයතනයකට ඉංජිනේරු අංශයෙන් උසස් අධ්‍යාපනය සඳහා ඇතුළත් වුණා. පසුකාලීනව ඔහු කැලිෆෝනියා සරසවියේ මහාචාර්යවරයකු ලෙස පත්වුණා. මහා විද්‍යාඥ අයින්ස්ටයින් ජීවිතයෙන් සමුගන්නා මොහොතේ ඔහුගේ ‘අදූ’ තම ආදරණීය තාත්තා ළඟින්ම සිටියා.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: “මගේ ආදරණීය පුතු දකින්නට ස්විට්සර්ලන්තයට ඒමට මම කැමැත්තෙන් ඉන්නවා” Rating: 5 Reviewed By: Unknown