කුවේටයේදී හදිසියේ මියගිය තිදරු මවකගේ සිරුර ඇගේ මරණ පරීක්ෂණය පැවැත්වීමට පෙර මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ මෘත ශරීරාගාරයෙන් අතුරුදන් කළ බව කියන (අනවසරයෙන් රැගෙන ගිය) යටියන්තොට ප්‍රදේශයේ අවමංගල්‍ය ශාලා හිමියකු කටුනායක ගුවන් තොටුපළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
එම සිද්ධිය සැකෙවින් මෙසේය.
වීඔය යටියන්තොට පදිංචිව සිටි හේවාපතිරණලාගේ නදීකා සඳමාලි නමැති 32 හැවිරිදි තිදරු මව කුවේට් රාජ්‍යයේදී මිය ගොස් ඇත.
කුවේටයේ සිට ඇගේ සිරුර ලංකාවට එවා ඇත. ඇගේ මරණය සම්බන්ධයෙන් අධිකරණ නියෝගය මත එහි මරණ පරීක්ෂණය පැවැත්වීමට පැවරී තිබුණේ මීගමුව හදිසි මරණ පරීක්ෂක දේශබන්දු වෛද්‍ය කීර්ති සිරිජයන්ත වික්‍රමරත්න මහතාටය. මරණ පරීක්ෂණයට පෙර මීගමුව රෝහලෙන් ඔහු වෙත ලද දුරකථන පණිවුඩයක් මගින් පවසා ඇත්තේ මරණ පරීක්ෂණයට නියමිතව සිටි කුවේටයේදී මිය ගිය තරුණ කතගේ සිරුර රෝහල් මෘත ශරීරාගාරයේ තිබී අතුරුදන්ව ඇති බවය.
ඒ අනුව වහා ක්‍රියාත්මකවූ මරණ පරීක්ෂක සිරිජයන්ත වික්‍රමරත්න මහතා මීගමුව රෝහලට ගොස් ඇත. එහිදී මෘත ශරීරාගාර භාරකරු පවසා ඇත්තේ එම කතගේ සිරුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි.
තමාට වහා එම මෘත ශරීරය පෙන්වන ලෙසට මරණ පරීක්ෂක සිරිජයන්ත වික්‍රමරත්න මහතා රෝහල් මෘත ශරීරාගාර භාරකරුට දැනුම් දුන් අවස්ථාවේ ඔහු වික්ෂිප්ත භාවයෙන් අන්ද මන්ද වී ඇත.
පසුව ඒ බව විමර්ශනය කිරීමේදී මරණ පරීක්ෂකවරයාගේ නියෝගය නොමැතිව එම සිරුර යටියන්තොට ප්‍රදේශයේ අවමංගල්‍ය ශාලා හිමියකු විසින් රැගෙන ගොස් ඇති බව අනාවරණය විය. පසුව මෘත ශරීරය අවමංගල්‍ය ශාලා හිමියා භාරයේ තිබී හමුවිය.
මෙම ක්‍රියාව සිදුකර ඇත්තේ අවමංගල්‍ය පිළිබඳ කටයුතු මල් ශාලාව හරහා කර මුදල් ලබා ගැනීමට බව පරීක්ෂණවලදී හෙළිවිය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂක සිරිජයන්ත වික්‍රමරත්න මහතා කටුනායක ගුවන් තොටුපළ පොලිසියට කළ පැමිණිල්ල අනුව යටියන්තොට ප්‍රදේශයේ අවමංගල්‍ය ශාලා හිමියා අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරු අධිකරණය හමුවට පැමිණවීමට නියමිතය.
0 comments:
Post a Comment