කාටුන් ශිල්පී හසන්ත විජේනායක දෙසතියකට ඉහතදී අපූරු කාටූනයක් ඇඳ තිබුණේය. දේශපාලනඥයකු හා ඡන්ද දායකයකු අතර ඇති වූ දෙබසක් එම කාටූනයේ තිබුණේ මෙසේය.දේශපාලනඥයා: ඔන්න අපි පරිප්පු, ලූනු, උම්බලකඩවල බදු අඩු කරලා මිල අඩු කළා.
ඡන්දදායකයා: ඇමැතිතුමා හිතන් ඉන්නේ අපි ඡන්දේ කාලයට විතරක් කන අමුතු සත්තු ජාතියක් කියලද...?
අපේ කාටුන් ශිල්පියා මේ කතාවෙන් උපහාසයට ලක්කර තිබුණේ ඡන්ද කාලයට පමණක් බඩු මිල අඩු කරන බවට පොරොන්දු දෙන දේශපාලනඥයන් ගැනය. එවැනි දේශපාලනඥයෝ අද ඊයේ පමණක් නොව මීට අඩසියවසකට ඉහතදීත් ලංකාවේ සිටියෝය. එකල ඔවුන් දුන් ඡන්ද පොරොන්දු ගැන අදටත් රට්ටු කතා කරන්නේ උපහාසයෙනි. එපමණක් නොව ඡන්ද පොරොන්දුවක් ඉටුකර ගත නොහැකිව අගමැතිවරයකුට ගෙදර යන්න සිදුවූ කතාවක්ද ලංකා දේශපාලන වංශ කතාවේ සටහන් වී තිබේ. අද කාලයේ දේශපාලනය ගැන හිතන විට ඒ කතාව සුරංගනා කතාවක් යැයි සිතෙනු ඇත. නමුත් මීට 61 වසරකට ඉහතදී එවැනි දෙයක් සිද්ධ විය. එය හැඳින්වෙන්නේ ‘පනස් තුනේ හර්තාලය’ යන නමිනි. ඊට පසුබිම හැදෙන්නේ මෙසේය.
එක්දහස් නවසිය පනස් දෙකේදී බලයට පත් ඩඩ්ලි සේනානායක ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයා වූයේ ජේ.ආර්. ජයවර්ධනය. ඔහු පනස් තුනේ අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ජූලි විසි වැනිදාය.
අද මෙන් එදා රූපවාහිනී යන්ත්‍ර නොතිබුණු බැවින් රට්ටු “බජට් කතාව“ හෙවත් අයවැය ඇසුවේ රේඩියෝවෙනි.
රට්ටු පනස් තුනේ ජූලි විසි වැනිදා රේඩියෝ තිබෙන ගෙවල්වලට එක් රොක් වූයේ අයවැය තමන්ගේ බඩට බලපාන්නේ කෙසේද යන වග දැන ගැනීමටය. කෙසේ වුවද රට්ටුන්ට එදා අසන්නට ලැබුණේ අසුබ අයවැය කතාවකි.
පාසල් දරුවන්ට නොමිලේ දෙන දිවා ආහාරය එවර අයවැයෙන් සහමුලින්ම නතර කෙරුණි. අනාථ ආධාර මුදල් අඩු කැරුණි. රෙදි හා සිගරැට් මිලද වැඩි විය. දුම්රිය හා තැපැල් ගාස්තුද වැඩි කෙරුණි.
මේ සියල්ල අතරින් රට්ටුන්ට වැඩියෙන් දැනුණේ එතෙක් ශත විසි පහට පැවැති හාල් සේරුව ශත හැත්තෑ දෙක දක්වා වැඩි කිරීමට රජය ඉදිරිපත් කළ යෝජනාවය. එනමුත් ආණ්ඩුව මැතිවරණ සමයේදී කියා තිබුණේ ඉරහඳ පවතිනතුරු හාල් සේරුව ශත විසිපහයි යන ඡන්ද පොරොන්දුවකි. ඒ ඡන්ද පොරොන්දුව එජාපයේ නිල පුවත්පත වූ ‘සියරට’ පත්තරේ පොල්ගෙඩි අකුරෙන් සටහන් වී තිබුණි. ලෝකයේ හාල් තත්ත්වය කුමක් වුවද ලක්වැසියා හාමතේ නොතබන බවට අගමැතිවරයා ඒ කතාවෙන් පොරොන්දු වී තිබුණි.
ආණ්ඩුවේ අයවැයට එරෙහිව අම්බලන්ගොඩ රන්දොඹේ සමසමාජ පාක්ෂිකයෝ ජූලි විසිඑක් වැනිදා උදේ වරුවේ කොළඹ ගාල්ල ප්‍රධාන පාරේ රන්දොඹේ හන්දියේ බිම වැතිරුණහ. ඉර හඳ පවතින තුරු එක්සත් ජාතික පක්ෂයේ පාලනය දිගටම ගෙන යන බවට උදම් ඇනූ පනස් තුනේ ආණ්ඩුව බිමට සමතලා කැර අගමැති ඩඩ්ලි සේනානායක ගෙදර යැවූ හර්තාලයට මූලික පදනම වැටුණේ මේ සිද්ධියෙනි.
ලංකාවේ ලොකුම ඡන්ද පොරොන්දුව ලෙස දේශපාලන බොරු වාර්තා පොතට ගියේ මැතිනිය හඳෙන් හාල් ගෙනෙන බවට කී කතාවය. ඒ කතාව කීවේ හැත්තෑවේ මහ ඡන්දය පැවැති කාලයේදීය.
නීල් ආම්ස්ටේරා්න් හඳට ගියේ හැත්තෑවේ ඡන්දයට වසරකට ඉහතදී එනම් 1969 මැද භාගයේදීය. මේ සිදුවීමත් සමග එකල රට පුරා උණුසුම් පුවත් මැවුණේය. මැතිනියගේ හඳෙන් හාල් ගෙන ඒමේ පොරොන්දුවද ඒ හා ගෙතුනු කතාවකි. 1970 පැවැති මැතිවරණයේදී මැතිනිය කීවේ “මම කොහොම හරි ජනතාවට සහල් සලාකය දෙනවා. මේ රටේ හාල් ප්‍රමාණවත් නැතිනම් පිටරටින් ගෙන්වනවා. පිටරට හාල් නැත්නම් හඳෙන් හරි හාල් ගෙන්වලා දෙනවා” යනුවෙනි. ඒ කතාවෙන් උදම් ඇනූූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආධාරකරුවන් පෙළපාළි ගියේ “අපේ අම්මා ළඟ එනවා - හඳෙන් හාල් ගෙන එනවා” යැයි කියමිනි. කෙසේ නමුදු මැතිනියගේ සමයේ පෝලිම් යුගය නිසා ජනතාව මහත් දුෂ්කරතාවට පත්වූහ. කෑම බිම හිඟ විය. එනමුත් ශ්‍රී ලනිප ආධාරකරුවන්ට එය වගක් නොවීය. කෑම බිම නැතිවීමද ඔවුන් සටන් පාඨයක් කරගෙන පෙළපාළි ගියේ මෙසේය.
“සීනි නැතිව තේ බොන්නම්
මිරිස් නැතිව හොදි කන්නම්
මැතිනි අපිට කියනවානම්
පිදුරු වුණත් අපි කන්නම්”
කෙසේ නමුදු 77දී විපක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධන කීවේ තමන් බලයට පත්වුවහොත් සමගි පෙරමුණු ආණ්ඩුවේ පැවැති පෝලිම් ක්‍රමය අහෝසි කරන බවටයි.
රටේ ජනතාවට ධාන්‍ය ඇට රාත්තල් අටක සලාකයක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දෙන බවට ජේ.ආර්. ජයවර්ධන පොරොන්දු වුණේය. ඒ අතරේ තමා රටේ ධර්මිෂ්ඨ රාජ්‍යයක් බිහි කරන බවද ඔහු පොරොන්දු වූවේය. හයෙන් පහක බලයකින් රාජ්‍ය පාලන බලය අල්ලා ගත් ජේ.ආර්. අගමැති වීමෙන් ඉක්බිතිව ජනපති පුටුවේද වාඩි වූවේය. ඒ සමග ඔහුගේ ඡන්ද පොරොන්දු ද හමස් පෙට්ටියේ වැටුණේය.
සාහිත්‍යවේදියෝද, පුවත්පත් කලාවේදීහුද ජනපතිවරයාට ‘මිස්ට ධර්මිෂ්ඨ’ යනුවෙන් නමක් පටබැන්දහ. මහ ඇදුරු එදිරිවීර සරච්චන්ද්‍රයෝ ජේ.ආර්.ගේ පාලනය උපහාසයට ලක් කරමින්
“ධර්මිෂ්ඨ සමාජය” යනුවෙන් පොතක්ද ලීවේය. ඉන් කිපුණු එජාප මැරයෝ සරච්චන්ද්‍රයන්ට කාණුවක දමාගෙන හොඳ හැටි පහර දුන්හ. ජේ.ආර්. සිය 'ධර්මිෂ්ඨ' පොරොන්දු ඉටු කළේ එසේය.
ජේ.ආර්. ජයවර්ධන 1977 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පිහිටුවන විට පාන් ගෙඩියක මිල සත 75කි. එජාපය දාහත් වසරක් රට පාලනය කර 1994දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට රට බාරදෙන විට පාන් ගෙඩියක මිල රුපියල් 5.50කි. මේ නිසා 94 පොදු පෙරමුණේ ප්‍රධාන ඡන්ද පොරොන්දුවක් වූයේ 3.50ට පාන් දෙන බවය. විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම, දූෂණය පිටුදැකීම සුඛෝපභෝගී යානවාහන අතහැරීම ඇතුළු ආකර්ෂණීය ඡන්ද පොරොන්දු රැසක් පොදු පෙරමුණේ පොරොන්දු මල්‍ලේ තිබුණි. ඒ සියලු පොරොන්දු දිවි හිමියෙන් සුරකින බවට පොදු පෙරමුණේ මැති ඇමැතිවරු අත්තනගල්ලෙ බණ්ඩාරනායක සමාධිය ඉදිරිපිටදී දිවුරුම් දුන්නෝය.
කෙසේ නමුදු චන්ද්‍රිකා බණ්ඩාරනායක බලයට පැමිණි විගස රුපියල් 5.50ට තිබූ පාන් ගෙඩිය රුපියල් 3.50 දක්වා අඩු කරමින් පොරොන්දුව ඉටු කළාය. ඒ ටික කලකට පමණි. වසර 11ක් රට පාලනය කර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ වත්මන් ජනාධිපතිවරයාට රට බාරදී 2005දී ගෙදර යන විටද පාන් ගෙඩියක මිල වූයේ රුපියල් 9.00කි. අද පාන් ගෙඩියක මිල රුපියල් 60කි. 2005 සිට 2014 දක්වා වසර නවයක කාලය තුළ පාන් ගෙඩියක මිල රුපියල් 51කින් වැඩි වී තිබේ. 94 ශ්‍රීලනිප ආණ්ඩුවේ පාන් ගෙඩියේ පොරොන්දුව පමණක් නොව අනෙකුත් පොරොන්දු ද දැන් ඇත්තේ බණ්ඩාරනායකවරුන්ගේ සොහොන් කොතේ වැළලිලාය.
ලංකාවේ ඡන්ද පොරොන්දු ඉතිහාස කතාව හාරා අවුස්සා බලන විට පැහැදිලි වන ප්‍රධාන කාරණාවක් වන්නේ දෙපැත්තේම දේශපාලනඥයන් ජාතිය හා ආගමද උකසට තබා ඡන්ද පොරොන්දු දී ඇති බවය.
සිංහල භාෂාව පැය විසි හතරකින් රාජ්‍ය භාෂාව කරන බවට එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක දුන් ඡන්ද පොරොන්දුව ඒ අතර ප්‍රධානය. බණ්ඩාරනායක මෙම පොරොන්දුව දෙන විට එක්සත් ජාතික පක්ෂය කීවේ වෙනස් කතාවකි. “සිංහල පමණක් මේ රටේ රාජ්‍ය භාෂාව විය යුතු යැයි 1944 රාජ්‍ය මන්ත්‍රණ සභාවට යෝජනාවක් ගෙන ආ අවස්ථාවේදී බණ්ඩාරනායක එයට විරුද්ධ වූ බවය. කෙසේ නමුදු 56දී සිංහල බස ඡන්ද පොරොන්දුව කරගත් බණ්ඩාරනායකගේ ඡන්ද පදනම බලා සිටියදී ඉහළට යන විට ජෝන් කොතලාවලටද කර කියාගත නොහැකි විය. මේනිසා අවසානයේදී එජාපයද කීවේ සිංහල රාජ්‍ය භාෂාව කරන බවය.
එසේ කී එක්සත් ජාතික
පක්ෂය, 1956 මැතිවරණයේදී තවත් පොරොන්දුවක් දුන්නේය. ඒ බුද්ධ ජයන්තිය සැමරීම ගැන සඳහන් කරමිනි. ඒ සඳහා අගමැති ජෝන් කොතලාවලගේ අත්සනින් යුතුව ලිපියක්ද ප්‍රකාශයට පත් කළේය.
“ශාක්‍ය මුණින්ද්‍රයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වර්ෂ 2500ක් ඉකුත් වීමෙන් උදාවන සම්බුද්ධත්ව ජයන්තිය මේ වර්ෂයේ වෙසක් පුන් පොහෝදා අපි අත්‍යලංකාරයෙන් පවත්වන්නෙමු. මේ බුද්ධ ජයන්ති වර්ෂයේදී ඉරහඳ පවත්නා කල් අපේ සිංහල භාෂාව සමස්ත ලෝකයේම පතල කරවීමට මට ඕනෑ කර තිබෙන එකම උපකාරය,” එනම් මන්ත්‍රීන් 65 දෙනෙකු දීමට ඔබ මැලි නොවෙනු යන්නයි. එජාපය මොන පොරොන්දු දුන්නද බලයට පත්වූයේ බණ්ඩාරනායකය. නමුත් ඔහුට වැඩි කලක් අගමැති ධුරය දැරීමට නොහැකි වූයේ භික්ෂුවකගේ වෙඩි ප්‍රහාරකින් ඔහු මරණයට පත්වීම නිසාය. අවසානයේදී ඝාතකයින්, භීෂකයින්ට දඬුවම් දීම ද මැතිවරණ පොරොන්දු පත්‍රිකාවල සඳහන් විය. බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනයෙන් පසු 1960 පැවැති මහ මැතිවරණයේදී මේ සිද්ධිය සම්බන්ධයෙන් පොරොන්දු කරළියට ආවේය. පිලිප් ගුණවර්ධනයන්ගේ නායකත්වයෙන් යුතු මහජන එක්සත් පෙරමුණ 1960 ඡන්දයේදී මෙසේ ප්‍රතිඥාවක් දුන්නේය. ඒ බණ්ඩාරනායක ඝාතනයට අසුව හා අසුනොවීම ද ඉඩ ඇති මිනීමරුවන්ට නිසි දඬුවම් දිය හැක්කේ මහජන එක්සත් පෙරමුණ බලයට පත්වුවහොත් පමණි යන්නයි.
මහජන එක්සත් පෙරමුණ එසේ කියද්දී අගමැතිවරයාගේ බිරිඳ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඇඬු කඳුළින් යුතුව ඉල්ලා සිටියේ, සැමියාගේ ඝාතකයින්ට දඬුවම් දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනවන ලෙසයි.
මේ අතර එක්දහස් නවසිය අසූ නවයේදී දිළිඳුකම තුරන් කිරීමේ මැතිවරණ පොරොන්දුවලට වේදිකාවේ ලැබුණේ, ඉහළම තැනකි. එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ පොරොන්දුව ආර්. ප්‍රේමදාස ඉදිරිපත් කළේ මෙසේය.
සෙරෙප්පු නැති අයට අපි සෙරෙප්පු දෙනවා. සෙරෙප්පු දාන අයට සපත්තු දෙනවා. සපත්තු දාන අයට, මේස් දාලා සපත්තු දාන්න පුළුවන් ආර්ථිකයක් අපි හදනවා. නැති බැරි අය ඇති හැකි අය කරවීමේ ජන සවිය ව්‍යාපෘතිය හා හිසට වහලක් සිතට නිවනක්” ප්‍රේමදාස කීවේය.
ප්‍රේමදාසගේ මේ ඡන්ද පොරොන්දුව 2001 ඡන්දයේදී රනිල් වික්‍රමසිංහ කීවේ නවීන ආකාරයටය. එය මෙසේය.
“බුලත් විට කන අයට චුයිංගම් කන්න දෙනවා. නංගිලා මල්ලිලාට බේ්‍රස්ලට් මාල දාන්න පුළුවන් ආර්ථිකයක් ඇති කරනවා” යනුවෙනි.
එනමුත් නංගිලා මල්ලිලා චුයිංගම් කන්නවත් බේ්‍රස්ලට් දැමීමටත් අකමැති වූ බැවින් 2004දී රනිල්ට සිද්ධ වූයේ ගෙදර යන්නටය.
කමණි හෙට්ටිආරච්චි
0 comments:
Post a Comment