728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Monday, 10 March 2014

මාරි - ඔයාගේ නෝන ගැනයි මගේ මහත්තයා ගැනයිද....?හෙමිංග්වේ - නැහැ ඔයයි මමයි ගැන.

නොබෙල් ත්‍යාගලාභී ශ්‍රේෂ්ඨ සාහිත්‍යධර අර්නස්ට් හෙමිංග්වේගේ ජීවිත කතාව ඇසුරෙන් චිත්‍රපටයක් තැනෙන බවට පුවතක් පසුගියදා වාර්තා වුණා. ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ජීවිතය ආශි‍්‍රත ව නිපදවෙන බොහෝ චිත්‍රපට සාර්ථක වන්නේ ඉතාමත් ම කලාතුරකින්.

ඊට බලපාන එක් ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ තමයි අදාළ පුද්ගලයන් ගේ සැබෑ ජීවිතය සිනමාපටයෙන් පිළිබිඹු නොකිරීම. සර් රිචඩ් ඇටෙන්බරෝ අධ්‍යක්ෂණය කළ ‘ගාන්ධි’ චිත්‍රපටය ඊට හොඳ උදාහරණයක්.
එහි ගාන්ධි ගේ සමාජ දේශපාලන ජීවිතය චිත්‍රණය කෙරුණත් සැබෑ ගාන්ධි මතු නොවුණු බවයි විචාරකයන් ගේ මතය වුණේ. සැබෑ ගාන්ධි මතු වෙන්න නම් ඔහුගේ දුර්වලකම්, ප්‍රතිවිරෝධතා යනාදි සියල්ල ඒ චරිතයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්න ඕනෑ.
හෙමිංග්වේගේ ජීවිතයේ සැබෑව අනාවරණය කරන්න නම් ඔහුගේ සාහිත්‍ය කෘති, ඔහු බෙහෙවින් පි‍්‍රය කළ ගොන්පොර පමණක් නොව ඔහු ගැහැනු සමඟ පැවැත්වූ නොයෙක් සම්බන්ධතා ද නිර්ව්‍යාජව දක්වන්න සිද්ධවෙනවා.
එබඳු නිර්ව්‍යාජ කෘතියකට මං මෑතදි දැක්කේ ‘වැන්ගෝ’ නමැති චිත්‍රපටය පමණයි. (මේ සිනමාපටය ගැන ඉදිරියේදී මා වෙනම ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා) එහි ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පි වින්සන්ට් වැන්ගෝගේ ජීවිතය යථා තත්වවාදී ව නිරූපණය කරලා තියෙනවා.
වැන්ගෝ ආදරය කළ ගැහැනුන්, ඔහු සම්බන්ධකම් පැවැත්වූ අභිසරුලියන් වැනි චරිතය එහිලා දැක්වී තිබුණා.
හෙමිංග්වේ සිවුවරක් විවාහ වූ පුද්ගලයෙක් පමණක් නොව වෙනත් ගැහැනුන් සමඟ ද සම්බන්ධතා පැවැත්වූ අයෙක්. ඒ අතර ‘මාතාහාරි’ වැනි මහත් ආන්දෝලනාත්මක චරිත ද සිටින බව කියැවෙනවා.
හෙමිංග්වේ වෘත්තිමය වශයෙන් යුද සෙබළකු මෙන් ම යුද පුවත් වාර්තාකරුවකු ද වුණා. ඔහු පළමුවැනි ලෝක යුද්ධයේදි ඉතාලි යුද පෙරමුණක ක්‍රියාන්විතයෙහි හිටියා. ඔහු රතුකුරුස සංවිධානයට අයත් ගිලන් රියක රියැදුරකු වශයෙන් කටයුතු කළා.
එහිදී බෝම්බයකට හසුවූ හෙමිංග්වේ මිලානෝ නුවර රෝහලකට ඇතුළත් කෙරුණා. ඇමෙරිකානු සාත්තු සේවිකාවක වූ ඇග්නස් වොන් කුරොව්ස්කි ඔහුට මුණ ගැසුණේ එහිදී.
හෙමිංග්වේ ඇය හා පෙමින් වෙළුණා. ඔහුගේ ‘ෆෙයර්වෙල් ටු ආම්ස්’ නමැති නවකතාවට වස්තුබීජ වුණේ මේ ප්‍රේමාන්විත බැඳීමයි.
සුවය ලැබූ පසු හෙමිංග්වේ ඇමෙරිකාව බලා පිටත් ව ගිය අතර රැකියාවක් ලද වහා ම තමා ඇග්නස් විවාහකර ගන්නා බවට පොරොන්දුවක් දුන්නා. එහෙත් පසුව ඉතාලියානු යුද නිලධාරියකු හා විවාහ වුණු ඇග්නස් හෙමිංග්වේට ලිපියක් ලියමින් තමා අමතක කර දමන මෙන් ඉල්ලා සිටියා.
එයින් හෙමිංග්වේ මොනතරම් වික්ෂෝභයකට පත්වුණාද කිවහොත් ඔහු ජීවිත කාලය පුරාම නින්ද නොයෑමේ රෝගයෙන් පෙළුණු බවක් සඳහන් වෙනවා.
හෙමිංග්වේ ගේ පළමු බිරිය වූයේ හැඩ්ලි රිචඩ්සන්. ඇය ලේඛිකාවක්. ඇය හෙමිංග්වේට වඩා අවුරුදු අටකින් වැඩිමහල් අයකු වුණා. විවාහ වී කෙටි කලෙකින් හෙමිංග්වේ තම බිරිඳත් සමඟ ප්‍රංශයට ගියා.
පැරිසියේ සේන් නදිය අසබඩ එක්තරා රමණීය භූමි භාගයක් ඔවුන්ගේ වාසස්ථානය බවට වුණා. ඒ වනවිට වෙනත් ඇමෙරිකානු ලේඛකයන් වන එස්රා පවුන්ඩ්, ගර්ට්රූඩ් ස්ටෙයින්, ස්කොට් ෆිස්ට්ජෙරල්ඩ් ද පැරිසිය තම කලාභවන කරගෙන සිටියා.
පැරිසියේදි හමුවූ පෝලින් ෆිෂර් නමැති තරුණ, ජේත්තුකාර ලේඛිකාව සමඟ හෙමිංග්වේ ප්‍රේම සම්බන්ධයක් පටන්ගත්තා. එය ඉතා ම දුරදිග ගිය සම්බන්ධයක්. හැඩ්ලිටත් ඒ සම්බන්ධය සැළ වුණා.
හෙමිංග්වේට තමාගෙන් දික්කසාදවීමට වුවමනා නම් පෝලින් හා හෙමිංග්වේ හයමසක් එකිනෙකාගෙන් වෙන් ව විසිය යුතු බවත් ඒ කාලාන්තරයේදි දෙදෙනාට ම තවදුරටත් එකිනෙකාගෙන් වෙන් ව සිටින්ට බැරි තත්ත්වයක් උද්ගත වුවහොත් තමා හෙමිංග්වේට දික්කසාද දීමට ඉඩ සලසන බවත් හැඩ්ලි කියන්ට යෙදුණා.
ඒ හය මාසයක කාලය හෙමිංග්වේ ගත කළේ දැඩි හුදෙකලා බවකින්. මාස හය ගෙවුණු පසු ඔහුට දැනුණේ පෝලින් තම හදවතින් ලේසියෙන් උදුරා දැමිය නොහැකි බවයි. තමාටත් එය එසේම දැනුණු බව පෝලින් කියා සිටියා. ඒ නිසා හැඩ්ලි පොරොන්දු ප්‍රකාර හෙමිංග්වේට දික්කසාද වීමට ඉඩප්‍රස්ථාව සැලැස්සුවා.
හෙමිංග්වේ පෝලින් විවාහ කර ගත්තා. ඔහු ඇගෙන් දුවක ප්‍රාර්ථනා කළා. එහෙත් ඔවුන්ට ලැබුණේ පුතෙක්. ඔවුන්ගේ ඊළඟ දරුවත් පුතකු වුණා.
හෙමිංග්වේගේ තුන්වැනි බිරිය වුණේ මාර්තා හෙල්ගෝන්. ඇය පුවත්පත් කලාවේදිනියක්. මාර්තා වරක් හෙමිංග්වේ ගැන මෙසේ කියා තිබෙනවා.
”මම ආසයි ඔයාගේ පුළුල් උරහිස්වලටයි, හිනායන විදියට ඔයා ඇවිදින එකටයි. ගෝරිල්ලෙක් වගේ. ඔයත් එක්ක ඉන්නකොට හරියට හිම කුණාටුවක ඉන්නව වගේ. හිම හරි ම උණුසුම්. හැබැයි ඒවා කවදාකවත් දියවෙන්නේ නැහැ.”
මාර්තා ඉක්මන් කේන්තිකාරියක්. ගැහැනුන්ට ඕනැ විදියට ඉන්න හෙමිංග්වේ කවදත් කැමැති වුණේ නැහැ. ඔහු කැමැති වුණේ තමන්ට ඕනැ විදියට ගැහැනුන් ඉන්නවා දකින්නයි. හෙමිංග්වේ - මාර්තා විවාහ ජීවිතය සාර්ථක එකක් බවට පත් වුණේ නැහැ. ඒ නිසා ඔහු දැඩි ලෙස බීමට ඇබ්බැහි වුණා.
මාරි වෙල්ෂ් හෙමිංග්වේ ඊළඟට සම්බන්ධකම් පැවැත්වූ ගැහැනියයි. ඔහු ඉන්පසු ඇය විවාහ කරගත්තා. එය හෙමිංග්වේ ගේ අවසාන විවාහය. හෙමිංග්වේට මාරි හමුවූ මුල් අවදියේ දෙදෙනා අතර ඇතිවුණු දෙබසක් ඉතා ම විචිත්‍රාකාරයෙන් සටහන් කෙරිලා තියෙනවා. ඒ මෙපරිද්දෙන්.
හෙමිංග්වේ - “මම අද රෑ ඔයා මුණගැහෙන්නම්.
මාරි - කොහෙදිද?
හෙමිංග්වේ - මගේ කාමරේදි, මැදියම් රෑ
මාරි - බොහෝම භයානකයි
හෙමිංග්වේ - අපිට ගොඩාක් දේවල් ගැන කතා කරන්න තියෙනවා ඔයාටයි මටයි.
මාරි - ඔයාගේ නෝන ගැනයි මගේ මහත්තයා ගැනයිද?
හෙමිංග්වේ - නැහැ ඔයයි මමයි ගැන.
හෙමිංග්වේගේ සියලු පේ‍්‍රම සම්බන්ධකම් ගැන මාහැඟි විවරණයක් ‘පෙම් හබ හතරක් නිමා වූ සඳ’ නම්වූ පොතේ සඳහන් ව තිබෙනවා. එය පරිවර්තන කෘතියක්. ඉහත සංවාද ඛණ්ඩය පවා මා උපුටාගත්තේ ඒ පොතෙන්.
පරිවර්තනය ඩී.එම්.එස්. ආරියරත්න. හෙමිංග්වේ ගැන ලියන ලේඛකයන් බොහෝවිට සඳහන් කර ඇති එක් කරුණක් වන්නේ ඔහුට හැම අලුත් පොතක් ලියද්දි ම අලුත් ගැහැනියක් ඕනැ කළ බවයි.
නිත්‍යානුකූල විවාහ හතරක් කරගත්තත් හෙමිංග්වේ වෙනත් ගැහැනුන් සමඟ ද සම්බන්ධකම් පැවැත්වූ බව ඔහුගේ ජීවිත කතාව හෙළිදරව් කරනවා. පැරිසියේ දි ඔහුට හමුවුණු ප්‍රකට ලේඛිකා ගර්ට්රූඩ් ස්ටෙයින් සමඟ හෙමිංග්වේ කායික ඇසුරක් පවත්වා නැති වුණත් ඇය හා එසේ හැසිරෙන්න තමන්ට කවදත් ඕනැකම තිබුණු බව හෙමිංග්වේ අව්‍යාජ ව කියා තිබෙනවා.
මොහුගේ නිර්මාණ ලේඛන ජීවිතයට හුඟක් ම ගුරුහරුකම් දුන්නේ ගර්ට්රූඩ්. හෙමිංග්වේගේ නවකතාවලින් නිරුපණය වන්නේ අතරමං වූ පරපුරක් (ලොස්ට් ජෙනරේෂන්) යැයි කියා සිටියේ ඇයයි.
යුද ඔත්තුකාරියක ලෙස චෝදනා කොට මරා දමනු ලැබු සුප්‍රකට මාතාහාරි නළඟන ද හෙමිංග්වේ ඇසුරු කළ බව එක්තරා ලිපියක සඳහන් වෙනවා. ඕලන්ද යටත් විජිත නිලධාරියකු හා විවාහ වූ මාතාහාරි ඔහුගෙන් වෙන්වී පැරිසියට පැමිණ සමාජශාලා නළඟනක සේ තම ජිවිතය ආරම්භ කරනවා.
ඇය පළමුවැනි ලෝක මහා යුද්ධයේදී ප්‍රංශ බලධාරීන් සමඟ මෙන් ම ජර්මන් හමුදා නිලධාරීන් සමඟ ද සම්බන්ධකම් පැවැත්වුවා. ඒ වන විට හෙමිංග්වේ හිටියේ ඉතාලියේ යුද පෙරමුණේ.
ඉතාලි ආඥාදායක බෙනිටෝ මුසොලිනි ගේ ජීවිතය අළලා ලියැවුණු එක්තරා පොතක අසභ්‍ය සින්දු කීමට හපන්කම් පෑ හෙමිංග්වේ නමැති තරුණ ඇමෙරිකානු රියැදුරකු ගැන සඳහන් වෙනවා. ඒ අර්නස්ට් හෙමිංග්වේ විය නොහැකි ද?
ග්‍රේටා ගාර්බෝ නමැති සුරූපි නිළිය සමඟ හෙමිංග්වේ සම්බන්ධකම් පැවැත්වුණු බවත් ඉංගි‍්‍රඩ් බර්ග්මාන් නමැති නිළිය සමඟ ලිපි හුවමාරු කරගත් බවත් හෙමිංග්වේගේ චරිතාපදානය විමසීමේදී අනාවරණය කෙරෙනවා.
තරුණ වියේදි තමන්ට වඩා වයසින් වැඩිමහල් ස්ත්‍රින් ගේ සමාගමට ලොල් කළ හෙමිංග්වේ මැදිවියේදී ගැටවරියන්ගේ ඇසුර පි‍්‍රය කළ බව ප්‍රකට කරුණක්. හෙමිංග්වේ මුල් වරට විවාහ වූ හැඩ්ලි රිචඩ්සන් හෙමිංග්වේට වඩා අවුරුදු 8 ක් වැඩිමහල් වුණා.
හෙමිංග්වේ උතුරු ඉතාලියට ගිය අවස්ථාවක අද්‍රියානා ඉවාන්යිච් නමැති තරුණ සිටුවරියක හා පෙමින් වෙළුණු බවත් සඳහන් වෙනවා.
1954 දි සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගය දිනාගත් හෙමිංග්වේ 1962 දි දිවි තොර ගැනීමකින් මෙලොවින් සමුගත්තා.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මාරි - ඔයාගේ නෝන ගැනයි මගේ මහත්තයා ගැනයිද....?හෙමිංග්වේ - නැහැ ඔයයි මමයි ගැන. Rating: 5 Reviewed By: Unknown