728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Monday, 6 January 2014

ආණ්ඩුව, අවංක නෑ. ඔක්කොම දූෂිතයි” පොලිස් නිලධාරියා පවසා සිටියේය.

කොමියුනිස්ට් චීනයේ නිර්මාතෘවරයා මෙන් ම චීනයේ හිටපු රාජ්‍ය නායකයකු වන මාඕ සේතුංගේ 120 වැනි ජන්ම සංවත්සරය ඉකුත් සතියේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. වත්මන් චීන පාලන තන්ත්‍රය වන කොමියුනිස්ට් පක්ෂයේ කේන්ද්‍රීය භූමිකාව වූ මාඕගේ අසහාය හා අද්වීතිය නායකත්වය පිළිබඳ අදටත් චීන වැසියන් තුළ ඇත්තේ නොමඳ ගෞරවයකි. මෙවර ජන්ම සංවත්සර උළෙල ආමන්ත්‍රණය කළ වත්මන් චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ශි ජින් පිං පවසා සිටියේ ස්වකීය ගෞරවනීය නායකයාට ද අත්වැරදීම් සිදුවූ බවයි.

“චීන සංස්කෘතික විප්ලවය”නමින් හැඳීන්වූ දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ව්‍යාපාරය හේතුවෙන් මිලියන ගණනක් ජීවිතක්ෂයට පත්වීම පිළිබඳ ලෝකයේ බොහෝ දෙනා තාමත් කම්පා සහගතව සිහිපත් කරන බව සැබෑ ය. චීන ජනාධිපතිවරයා මෙවර ඉඟිකරනු ලැබුවේ ඒ පිළිබඳ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි. “අපගේ ජාතියේ මුහුණුවර වෙනස් කරනු ලැබූ මාඕ උත්කෘෂ්ඨ පරමාදර්ශයක්. ඔහු චීන ජනතාව අලුත් ඉරණමකට කැඳවීමට නායකත්වය දුන්නා”
බෙයිජිං හි පැවති මාඕගේ ජන්ම සංවත්සර උළෙල ආමන්ත්‍රණය කරමින් ජනාධිපතිවරයා කියා සිටි වග ශිංහුවා පුවත් සේවය උපුටා දක්වයි.







“එහෙත් විප්ලවීය නායකයන් කියන්නේ දෙවිවරුන් නෙවෙයි. ඔවුනුත් මනුෂ්‍යයෝ. ඒ නිසා ඔවුන් දෙවියන් වගේ අදහන්න බෑ වගේම තමන්ගෙ වැරදි නිවැරදි කර ගැනීම සඳහා ඔවුන්ට ඉඩදීම ප්‍රතික්ෂේප කරන්නත් බෑ. මොකද කියනවානම් ඔවුන් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෝ. එහෙමත් නැත්නම් අපට ඔවුන් විසින් ඉතිහාසයේ කළ ඓතිහාසික මැදිහත්වීම මුළුමනින්ම මකාදාන්න වෙනවා. ඒ මොකද කියනවානම් ඔවුන් වැරදි කරලා තියෙනවා”ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.
ඉකුත් බ්‍රහස්ප්‍රතින්දා ජනාධිපති ශි ජින් පිං ඇතුළු චීන මහජන සමූහාණ්ඩුවේ ඉහළ පෙළ නායකයින් මාඕ සමාධිය අසලට පැමිණ තෙවරක් හිස නමා ආචාර කළ බව සඳහන් ය.
හූනාන් ප්‍රාන්තයේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටා ඇති ෂඕශාං ගම්මානය, මාඕගේ කුඩා කල ගෙවුණු ප්‍රදේශයයි. ඔහු ළමාවිය ගත කළ පැරණි නිවෙස අසල දහස් ගණන් පිරිස් නිදිවර්ජිතව රාත්‍රීය පුරා ඔහුගේ උපන්දිනය සැමරූ බව කියැවෙයි. චීන මහජන සමූහාණ්ඩුවේ නිර්මාතෘවරයා වූ මාඕ 1976 දී ජීවිතක්ෂයට පත්වන විට වසර 27 ක් රටේ නායකත්වය දරා තිබිණි.
“මාඕ කියන්නේ චීන ජාතියට විශිෂ්ට නායකයෙක්. ඔහු පරිපූර්ණ මිනිහෙක්. අපි වගේ තරුණ පරම්පරාවට ඔහුගෙන් උගතහැකි බොහෝ දේ තියෙනවා” තිස්තුන් හැවිරිදි ජියැන් කි පවසයි. හෙතෙම ඉදිකිරීම් සමාගමක සේවය කරන මාඕවාදියෙකි.
මාඕගේ සමාධිය ඉදිරිපිට මල්වෙඩි පත්තු කරමින් සිටියදී ඔහු මෙලෙස කියා සිටියේය. එතැන සමාධියට උපහාර දැක්වීමට පොරකන පිරිස් අතර මාඕගේ පෙනුම ගත් දෙදෙනකු වත් සිටිය බව ද පුවත් සේවා සඳහන් කරයි. ඇතැම් සැමරුම් උළෙල මල්වෙඩි පත්තු කරන, නූඩ්ලස් භුක්ති විඳීන ප්‍රීති ප්‍රමෝදෝත්සව වුව ද, තවත් තැනක එය ආගමික වතාවත් ඉටුකරන ස්වරූපයක් තරමට දැහැමි වී තිබිණි. ඇතැම් විට අධි භක්තියෙන් හෙබි චීන වැසියන් ප්‍රතිමාව ඉදිරිපිට වැඳවැටෙන්නත්, හඳුන්කූරු දල්වන්නටත් කටයුතු කර තිබෙනු දක්නට ලැබිණි.
“අපි හඳුන්කූරු පත්තු කෙරුවෙ මාඕට අපගේ හද පිරි කෘතඥතාව පළකරන්නයි” හෙ පෙන්ග් පවසයි. මැදිවියේ ගැහැනියක වූ ඇය සමාධිය ඉදිරිපසින් උද්‍යානයේ බිම දණ ගසාගෙන මාඕ වෙනුවෙන් ලියැවුණු ගීතයක් හඬ නඟා ගායනා කරමින් සිටියාය.
මාඕ විටෙක ඒකාධිපති ස්වරූපයකින් කටයුතු කළ බව අද වන විට ඇතැමුන් පිළිගනියි. චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළ නායකයකු පවසා ඇත්තේ “මාඕගේ ක්‍රියා මාර්ගවලින් 70%ක් නිවැරදි නමුත් 30%ක් වැරදි” බවයි. එහෙත් පාලක පක්ෂය නිල වශයෙන් මාඕ විසින් ඉතිහාසයේ ගනු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විවෘතව ගණන් බැලීමක් සිදුකර නැත.
බටහිර ඉතිහාසඥයන් කරුණු දක්වන අන්දමට විශේෂයෙන්ම සංස්කෘතික විප්ලවය ඇතුළු මාඕගේ ක්‍රියාමාර්ග හේතුවෙන් මිලියන 45 ක් පමණ ජනකායක් ජීවිතක්ෂයට පත්ව තිබේ. දශකයක් දක්වාම සමාජ ව්‍යාකූලත්වයක් හා ප්‍රචණ්ඩ ක්‍රියා පැවතිණි. චීන වෙළෙඳපොළ පිම්මේ වර්ධනය වීමට දූෂණ හා අක්‍රමිකතා ද ඉවහල් වූ බව ද ඔවුන් බොහෝ දෙනකුගේ පිළිගැනීමයි.
වත්මන් කොමියුනිස්ට් පක්ෂ පාලන තන්ත්‍රයේ නායකත්වයට සමීප ක්‍රියාකාරීන් වන “රතු අන්තර්ජාල මිතුරෝ” නම් කණ්ඩායමේ අවම වශයෙන් 100 දෙනකුවත් ෂඕශාං වැසියන් බව කියැවෙයි. ෂඕශාං යනු මාඕගේ උපන් ගමයි.
රටේ විවිධ ප්‍රාන්තවලින් පොලිස් සේවයට එක්වුණු මාඕවාදීන් සිටිය ද ඒ සියලුදෙනාට නායකත්වයෙන් එක හා පිළිගැනීමක් නොලැබෙන බව නම හෙළිදරව් කිරීමට අකැමැති පොලිස් ප්‍රධානීන් කිහිපදෙනකු අනාවරණය කර තිබේ. උත්කෘෂ්ට කොමියුනිස්ට් ක්‍රමයක් පවත්නා බව ප්‍රකාශ කෙරෙන චීනය තුළ ප්‍රාදේශීයවාදය දැඩිව ක්‍රියාත්මක වන බව මෙයින් පැහැදිලි ය.
“ආණ්ඩුව, සභාපති මාඕ වගේ අවංක නෑ. ඒ නිසා ඒ අය නිතරම බයෙන් ඉන්නෙ. ඔක්කොම දූෂිතයි” වෙයි වාසගමෙන් යුතු පොලිස් නිලධාරියා පවසා සිටියේය.
පැය 4ක කාලයක් අතරතුර මල්වෙඩි පත්තු කිරීමටත්, චීන සම්ප්‍රදායික උපන්දින සාද ආහාරය වන නූඩ්ල්ස් තොග දහස් ගණනින් නොමිලේ බෙදාහැරීම සඳහාත්, ෂඕශාං ප්‍රාන්ත පාලනාධිකාරියෙන් මෙවර අයවැයෙන් යුවාන් බිලියන 1.94 ක මුදලක් (අ.ඩො.මිලියන 320)වෙන් කර තිබිණි.
මල් වෙඩි සංදර්ශන පවත්වමින් හා නූඩ්ලස් ආහාරයට ගනිමින් චීන පාලන තන්ත්‍රය මාඕගේ ගේ උපන් දිනය සැමරුව ද, එය සැමරීම සඳහා ජනතාවට යටිතල පහසුකම් සලසා දුන්න ද ,පාලන තන්ත්‍ර යේ ඉහළ සිට පහළ දක්වා ම දූෂණය හා අක්‍රමිකතාවන්ට ඉඩකඩ විවර කර දී ඇත.
චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කළ වීරවරයාට සැබෑ කෘත ගුණ දැක්විය හැක්කේ ඔහුගේ වැරදි පවා නිවැරදි කර ගනිමින් දූෂණයෙන් තොර අනාගතවාදී දැක්මක් සහිත වැඩපිළිවෙලකට බැව් විශ්වාස කරන චීන උගතුන් නැතිවා නොවේ. එහෙත් ඔවුහු ඒ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකරති.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ආණ්ඩුව, අවංක නෑ. ඔක්කොම දූෂිතයි” පොලිස් නිලධාරියා පවසා සිටියේය. Rating: 5 Reviewed By: Unknown