728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Tuesday, 7 January 2014

ජංගම දත් දොස්තර

ජනයාගෙන් පිරී ඉතිරී ගිය පකිස්තාන නගරයක රේල් පාරක් අද්දර නූර්ඩීන් ඉඳගෙන සිටියේ ය. දැඩි අව්රශ්මිය සහ කුණු දූවිලි අස්සෙන් ඔහු දෙස බැලීම පවා බොහෝ උගහට ය. කිසිදු හිරිකිතයක් නැතිව බිම ඉඳගෙන සිටි නූර්ඩීන් ට මොනම විදියක කැළි කසළ ගොඩක්වත් ගැටලුවක් වුණේ නැත.
හෙතෙම ඈත-මෑත බැලුවේ සේවාලාභියකු තමන් කරා එන්නේ දැයි කියා දැනගැනීමට යි. කොහොමටත් තවත් මිනිත්තු කිහිපයක් ඇතුළත දත් කැක්කුම්කාරයකු තමන් සොයාගෙන එන වග ඔහු නිශ්චිතවම දන්නේ ය. ඔහුගේ නොඉවසිල්ල ඒ සේවා ලාභියා එනතුරුයි.

නූර්ඩීන් දන්ත වෛද්‍යවරයෙකි. සරලව කියනවා නම් විවෘත දන්ත වෛද්‍ය සායනයක් මහ මඟ පවත්වාගෙන යන වෛද්‍යවරයෙකි. එවැනි දන්ත වෛද්‍ය සායන අනන්තවත් දකින්නට පුළුවන් වන්නේ පකිස්තානයේ පමණක් ම වන්නට පුළුවන. එරට බලධාරීන් කියන ආකාරයට නූර්ඩීන් වගේ දත් වෙද්දු දහතුන් දහසකට වැඩි පිරිසක් පකිස්තානය පුරා සිටිති.
මේ කිසිම කෙනකුට දන්ත වෛද්‍ය කර්මය පිළිබඳ කිසිදු අධ්‍යාපනයක් නැත. ඒත් ඒ වගේ දත් වෙදුන්ට පකිස්තානය තුළ පුදුමාකාර පිළිගැනීමක් තිබේ. ඊට හේතුව පකිස්තාන ජනගහනයෙන් 78% කට පමණ මූලික සෞඛ්‍ය පහසුකම්වත් නැතිවීම යි. මේ සියයට හැත්තෑඅටෙන් බොහොම ටික දෙනකුට පමණක් පෞද්ගලික වෛද්‍ය පහසුකම් ලබන්නට මිල මුදල් ඇත.
ඉතිරි බහුතරයටම තම තමන්ගේ ලෙඩදුක් නිමාකර ගන්නට සිදුව ඇත්තේ නූර්ඩීන්ලා වැනි වෙදුන්ගෙනි. දහතුන් දහසකට වඩා වැඩි හොර වෙදුන් පිරිසක් දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ ඒ හිස් තැනෙනි. ඔවුන් වෙදහෙදකම් කරන්නේ දෙනෝදාහක් ගමන් ගන්නා මහ මඟ මිස හොර රහසෙන් නොවේ. අනෙක් අතට මහ මඟ බෙහෙත් කිරීම ඇතිවුණේ දැනට දශක දෙක තුනකට පෙර සිටය.
නූර්ඩීන් ම කියන ආකාරයට ඔහු එකී බෙහෙත් කිරීම අරඹා දැන් විසි අවුරුද්දක් ගෙවී ගොස් හමාර ය. ගෙවුණු විසි අවුරුද්ද පුරා ඔහු සෑම සියලු ආකාරයේම දත් අමාරුවලට පිළියම් යෙදුවේ ය. ඔහු ඊට යොදාගත්තේ බෙහෙත් ද්‍රව්‍ය කිහිපයක්, දත් ඩ්‍රිල් කිරීමේ යන්ත්‍රයක් සහ එක එක ආකාරයේ කෘත්‍රීම දත් ය.
මේ දත්, දත් ඇඳි වශයෙනුත් යොදා ගැනිණි. දත් සහ දත් ඇඳි අසුරා තබා ඇත්තේ කුණු දූලි නිසා අවපැහැයට හැරුණු පුංචි පහේ වීදුරු පෙට්ටියක ය. නූර්ඩීන් සතු ඖෂධ ගබඩාව තිබෙන්නේ බිම ඇතිරූ රෙදි කඩක් මතයි. මේ රෙදිකඩ නොසෑහෙන ලෙස අපවිත්‍ර වුණු එකකි. ඒ මත පිළිවෙළට තබා ඇති බෝතල් කිහිපයක් තිබේ.
බෝතල් තුළ තිබෙන්නේ මොන අන්දමේ ඖෂධ දැයි කියා කියන්නට දන්නේ නූර්ඩීන් දත් දොස්තර මහතා පමණි. ඒවායේ නම සඳහන් ලේබල නැත. බෝතලවල පිට වටේ රැඳුණුු කුණු දූවිලි නිසා බෝතල ඇතුළේ තිබෙන්නේ කවර පැහැයක බෙහෙත් දැයි කියා පෙනෙන්නේ නැත.
දත් කැක්කුමේ හැටියට කුමන බෝතලයකින් කොපමණ බෙහෙත් ප්‍රමාණයක් රෝගියාගේ ශරීරයට ඇතුළු කළ යුතු ද යන්න තීරණය කිරීමට නූර්ඩීන්ට හොඳ ඉවක් තිබේ. රෝගියාට බේත් ලබාදුන් පසු ඔහු ඔහුගේ ආම්පන්න කට්ටලයක් ගෙන වැඩයට බසී.
එනම් දත ගැලවීම හෝ දත පිරවීම හෝ කරන්නට ය. දුප්පත් රෝගීන් බොහෝ දෙනකු කියන්නේ එහෙම කරන ප්‍රතිකාර තමන්ගේ දතේ අමාරුවට හරියටම හරියන බවයි. ප්‍රතිකාරය අවසන් වූ විට නූර්ඩීන් අයකරන්නේ පාකිස්තාන රුපියල් 250 ක් හෝ 300 ක් හෝ තරම් මුදලකි. ඒ මුදල දුප්පත් කාට වුණත් ගෙවන්නට පුළුවන් මිලකි. දන්ත වෛද්‍ය විද්‍යාව ගැන දැන උගත් වෛද්‍යවරයකු එක් දත් අමාරුවක් සුව කරන්නට අඩුම තරමින් පාකිස්තාන රුපියල් 3000/- ක් වත් ගනී. මෙය දුප්පතුන්ට ගෙවන්නට පුළුවන් තරමේ මිලක් නොවේ.
“ඔයාලා පොහොසත් නම් හොඳ මෝස්තරේට ජීවත්වෙනව නම් විදේශ පුහුණුව ලත් දත් දොස්තර කෙනෙක් ළඟට යන්න. මම මේ දුප්පත් මිනිසුන්ගේ දත් දොස්තරයි...” කියා නූර්ඩීන් පවසයි.
සමහරවිට නූර්ඩීන් ගේ ගණන් සැර වැඩි ය. එහෙම වෙලාවට රෝගීහු නූර්ඩීන් දොස්තර මහතා සමඟ ගාණ හෙට්ටු කරති. හැට හැවිරිදි අහ්මඩ් ද ගාණ හෙට්ටු කරගෙන දත්වලට ප්‍රතිකාර ගත්තේ නූර්ඩීන් ගෙනි. අහ්මඩ් දියවැඩියාවෙන් පෙළෙන්නෙකි. ඒ නිසා ඔහුට නිතර නිතර දන්තාබාධ ඇතිවේ.
දැන උගත්කම් ඇති වෛද්‍යවරයකුගෙන් පිළියම් සොයන්නට ගිය හොත් පාකිස්තාන රුපියල් දහස් ගණනක් වරකට වැය කරන්නට සිදුවේ. එළවළු ලෑල්ලක් කරගෙන යමින් ජීවිතය ගැට ගහගන්නා අහ්මඩ් ට දහස් ගණනින් දත්වලට වියදම් කරන්නට තරම් ආදායමක් ලැබෙන්නේ නැත.
“මම වතාවක් දොස්තර කෙනෙක් ළඟට ගියා. දතේ අමාරුවට පිළියමක් යොදන්න රුපියල් 3000/= ක් ඉල්ලුවා. මම නූර්ඩීන් ළඟට ඇවිත් ඇහුවම රු: 250/= යි අය කරන්නේ කිව්වා. අනේ... ඒ ගාණත් මට සැර වැඩි කිව්වම හා; කමක් නැහැ රු: 200/= ක් දෙන්න කියලා නූර්ඩීන් කිව්වා...” යැයි කියා අහ්මඩ් සඳහන් කරන්නේ තරමක සතුටෙනි. විදේශගතව උපාධි සමත් කළ ලොකු දොස්තර මහතුන් සමඟ අහ්මඩ්ලා වැනි මිනිසුන්ට ඒ වගේ සංවාදයක යෙදෙන්න කවදාවත් බැරි ය. නූර්ඩීන් මෙන් ගාණ බස්සන්නට ඒ ඇත්තන් එකඟ වන්නේත් නැත.
නූර්ඩීන්ලාගේ දත් වෙදකම ගැන විවේචනය කරන අය එමට ය. දැන උගත්කම ඇති අය කියන්නේ හරියට ජීවානුහරණය නොකරන ආම්පන්න නිසා ආසාදන ඇතිවන්නට ඉඩ තිබෙන බවකි. විශේෂයෙන්ම සෙංගමාල තත්ත්ව බෝවන්නට ඉඩ තිබෙන බව ඔවුහු පවසති.
මේ කතා දුප්පතුන්ට තේරෙන්නේ නැත. තේරුනත් කරන්නට දෙයක් ද නැත. වෛද්‍ය පහසුකම් නොමිලයේ ලබාදීම සඳහා පාකිස්තානය වැය කරන්නේ එරට ආදායමෙන් 1% ක් පමණි. ජනගහනයේ හැටියටවත් දුගී දුප්පතුන් සංඛ්‍යාවේ හැටියටත් මේ ප්‍රතිපාදන යෙදවුම ප්‍රමාණවත් නැත. නූර්ඩීන්ලා වැනි දන්ත වෛද්‍යවරුන්ට තවත් සෑහෙන කාලයක් දුප්පතුන් අතර යෙහෙන් වැජඹෙන්නට මේ නිසා ඉඩකඩ තිබේ.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ජංගම දත් දොස්තර Rating: 5 Reviewed By: Unknown