728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Tuesday, 14 January 2014

මං සිංහලෙන් ඉගෙන ගත්තේ පහ වසරට විතරයි


මහාචාර්ය ඒ. වී. සුරවීර
රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයට එක්වීමට අදත් බොහෝ දෙනා තරග කළ ද එදා පරිපාලන ක්ෂේත්‍රයට එක්වීමට නොහැකි වීම ඔහු සලකන්නේ විශාල භාග්‍යයක් ලෙසිනි. 
 එතුමාට උපහාරයක් 2013  අප්‍රේල් මසදී  එතුමා  කළ පුවත්පත් සාකච්ඡාවක්  අප ඉදිරිපත් කරන්නෙමු...

එය ඔහුගේ පමණක් නොව ජාතියේ ම භාග්‍යයක් යැයි අපට හැඟෙන්නේ ඔහු පරිපාලන ක්ෂේත්‍රයට එක් වූයේ නම් දහසකුත් දෙනාට දැනුම ලබා දුන් මහාචාර්යවරයකු ද, මනා භාෂා පරිචයකින් හෙබි ගත්කතුවරයෙකු ද බිහි නොවන්නට ඉඩ තිබුණු නිසාය.
ඒ. වී. සුරවීර නම් වූ ඔහු පිළිබඳ අද නොදන්නා කෙනෙකු නොමැති තරම්ය. මේ ලිපියෙන් අපි දිගහරින්නේ ඔහු පිළිබඳ බොහෝදෙනා දන්නා දේට වඩා නොදන්නා දේය.
1930 ඔක්තෝබර් මස 12 වැනි දින සුවිශේෂී දිනයකි. ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ආසනයේ කොරොස ගමේදී ඒ. වී. සුරවීර උපන්නේය.
පවුලට කුළුඳුලේ එක් වූ දරුවා නිසා ඔහුට දෙමාපියන්ගේ සෙනෙහස, ආදරය නොඅඩුව ලැබුණු අතර පවුලේ වැඩිමලා වීම හේතුවෙන් විශාල වගකීම් සමුදායක් ද ඔහු මත පැටවිණි.
ඔහුට බාල සහෝදරයන් දෙදෙනෙකු සහ සහෝදරියන් දෙදෙනකු විය. කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් ඔවුන්ගේ පවුල තුළ දුක සැප සමසේ බෙදාගන්නට ඔවුන් කුඩා කල පටන් පුරුදු වී සිටියේ ය. එමනිසා ඔවුන්ට තිබුණේ සුන්දර ළමා අවධියකි.
වයස අවුරුදු තුනක් පමණ වන විට ගමේ තිබූ කොරොස බෞද්ධ මිශ්‍ර පාසලට සුරවීරයන් ඇතුළත් කළ ද ඔහු එහි අකුරු උගත්තේ ඉතාමත් කෙටි කාලයකි.
ඉන් පසු ඔහුගේ තක්සලාව වූයේ විගද රජයේ පාසලයි. එම පාසලේත් ඔහු සිටියේ 5 වැනි ශ්‍රේණිය දක්වා පමණි.
“සිංහල මහාචාර්යවරයෙක් වුණාට මම සිංහල විෂය සමත් වෙලා තිබුණේ 5 වසරට පමණයි. ඉන් පසු මගේ මවුපියන් වැඩිදුර අධ්‍යාපනය සඳහා මාව ගම්පහ රජයේ ඉංග්‍රීසි පාසලට ඇතුළත් කළා.
ඒ කාලේ මම ඉස්කෝලේ ගියේ කෝච්චියෙන්. දුම්රිය ස්ථානය දක්වා හැතැප්ම එකහමාරක් පමණ පයින් එන්න තිබුණත් ඒ කාලය බොහොම සුන්දරයි. ගෙදර දී තාත්තාගෙන් ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගෙන තිබුණු නිසා ඉංග්‍රීසි මාධ්‍ය පාසලක් වුණත් ගම්පහ පාසලේ දී මට එතරම් අපහසු වුණේ් නැහැ.
එහි දී මම සිංහල විෂය හැරුණහම ඉංග්‍රීසිි, ඉතිහාසය, භූගෝලය, ග්‍රාමීය විද්‍යාව ආදී විෂයයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගත්තා. පාසලට ඇතුළත් වී වසර දෙකක් පමණ ගත වෙද්දී මා පන්තියේ මොනිටර් ලෙස නම් කළා.
ඒ අනුව පන්තියේ ළමයි හැසිරවීම ආදිය පැවරුණේ මට. ඒ කාලේ මම ශිෂ්‍ය භට කණ්ඩායමටත් සම්බන්ධ වෙලා සිටියා. එයින් වසර දෙකකට වරක් පමණ කඳවුරුවලට සහභාගි වෙන්නත් අවස්ථාව උදා වුණා.
1943 – 44 දෙවන ලෝක යුද්ධ කාලේ කෑමබීම් ආදිය ජනතාවට සීමා වුණා. අපේ පාසලේ ගොඩනැගිලිත් ආහාර ගබඩා කිරීම සඳහා ගත්තා. ඒ කාලේ අපිට පාසල් යන්න සිද්ධ වුණේ හවස.”
ලෝක යුද්ධ කාලය නිමාවත්ම ඔවුන්ට නැවතත් සුපුරුදු පාසල් ජීවිතය ආරම්භ කිරීමට ලැබුණි. ඔහු එදා තිබූ විභාග ඉහළින් සමත් විය.

ළදරු වියේදී
ඒ අනුව ඒ. වී. සුරවීරගේ නම ද පුවත්පතේ පළවීම ඔහුට විශාල සතුටක් මෙන්ම ආඩම්බරයක් ගෙන දෙන කරුණක් විය.
මක්නිසාද ගම් ප්‍රදේශයෙන් එම විභාගය සමත්ව සිටියේ ඔහු පමණකි. සිය වැඩිමහල් දරුවා අධ්‍යාපනයට මෙතරම් දක්‍ෂතා දක්වන නිසා කොළඹ ජනප්‍රිය පාසලකට ඇතුළත් කිරීමට සිතූ සුරවීරගේ පියා, රාජකීය විද්‍යාලයට ඇතුළත් වීමේ විභාගයන්ට ඔහු යොමු කළේය.
ඉන් සමත් වූ ඔහුව භාෂාව වැඩිදියුණු කරගැනීමේ කොන්දේසිය මත රාජකීය විද්‍යාලයට ඇතුළත් කර ගැනුණි.
“ඒ කාලේ ලන්ඩන් මැට්‍රික්‍යුලේෂන් විභාගය නමින් විභාගයක් තිබුණා. මම ඒකත් ලියලා සමත් වුණා. ඒ නිසා වැඩිකල් යන්නට පෙර ඉංග්‍රීසි භාෂාව වැඩිදියුණු කරගෙන විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට මුහුණ දුන්නා. එය එදා හැඳින්වූයේ උසස් සහතික පත් විභාගය නමින්. එය සමත් වී මම විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබුවා.

සිය බිරිය සමග
ඒ අනුව 1950 වසරේ දී කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ සුරවීරට එහි රැඳෙන්නට සිදු වුණේ වසරක පමණ කාලයකි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමත් සමඟ එයට මාරුවීමට සිදු වූ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පළමුවෙන් ඇතුළත් වූ කණ්ඩායමේ එක් සාමාජිකයෙක් වීමේ අවස්ථාව ද ඒ අනුව ඔහුට හිමි වුණි.
“අයිවො ජෙනින්ස් එදා පේරාදෙණියේ සිටි කුලපති. ඔහු හරි සැරයි. ඔහු උදේ පාන්දර අශ්වයා පිටේ යනවා අපිට හමුවෙනවා. අපි ටිකක් බය වුණත් ඔහුට ගුඩ් මෝනින් කියනවා.
ඒ නිසා කාලයක් යද්දී හොඳ සම්බන්ධයක් ගොඩනැඟුණා. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිංහල ගෞරව උපාධියක් ලබා ගත්තා. අපි විශ්වවිද්‍යාලයේ ඉන්න කාලයේත් යම් යම් ගැටුම්, උද්ඝෝෂණ පැවතුණත් ඒවා සාකච්ඡා මට්ටමින් විසඳා ගත්තා.
සාහිත්‍ය විෂයට මගේ් විශේෂ කැමැත්තක් තිබුණා. ඒ නිසා තමයි සිංහල ගෞරව උපාධියක් ලබාගන්න හේතු වුණේ. මම විශ්වවිද්‍යාලයට එද්දි ම ජාතක පොත, ගුත්තිලය ආදී පොත් කියවලා තිබුණා. පාසල් අවධියේ පටන් යම් යම් සඟරාවලට ලිව්වා.
විශ්වවිද්‍යාලයෙන් පිටවෙද්දීම ඔහුට කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ සිංහල ආචාර්යවරයෙකු ලෙස පත්වීමක් ලැබුණි. කතෝලික පාසලක් වූ එහි දී ඔහුට පැවරුණේ සිංහල විෂයය ඉගැන්වීමයි.
එය ඉතාමත් ආසාවකින් කැමැත්තකින් සිදු කළ ද එම්. ඒ. විභාගය කිරීමේ අවශ්‍යතාවයක් ඔහු තුළ විය. ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය කිට්ටුව පාසලකට ඉල්ලුම් කළද ඔහුට කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයට මාරුවක් ලැබිණි.
විචාර විලාසය, ඒ ඔහුගේ මුල්ම කෘතියයි. ශාන්ත ජෝශප් විද්‍යාලයේ සේවය කරද්දී ලියූ මේ කෘතිය පළකිරීමේ වගකීම එදා ගුණසේන සමාගමට පැවරූ අතර එහි සම්පූර්ණ අයිතිය ඔවුන් සතු විය.
පොත පළකරවා ගැනීම සිය අරමුණ වූ හෙයින් සුරවීර මහතා එයට එකඟ වූයේ ය. එදා එම කෘතිය වෙනුවෙන් ඔහුට ලැබුණේ රුපියල් දෙසීය පනහක් වැනි මුදලකි.
ඉන් නොනැවතුණු ඔහු මීළඟට “අනුරාධපුර සංස්කෘතිය” නමින් පොතක් ලිව්වේය. එම කෘතියට පළමු වරට සාහිත්‍ය සම්මානයක් හිමිවීම ලේඛකයෙකු ලෙස ඔහුට ලැබුණු විශාල දිරිගැන්වීමක් විය.

හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා අතින් සම්මානයට පාත්‍ර වූ දා
රාහුලේ ඉන්න කාලේ මම එම්.ඒ උපාධියත් ලබා ගත්තා. පසුව මට කොළඹ එන්න අවශ්‍ය වුණා. ඒ නිසා මම විදුහල්පතිතුමා සමඟ අමනාප වෙලා එම පාසලෙන් ඉල්ලා අස්වුණා.
ඒ අනුව මම කොළඹ ඇවිත් අවුරුද්දක් විතර ආනන්දයේ ඉගැන්නුවා. ඒ අතරේ දී තමයි විද්‍යාලංකාර, විද්‍යෝදය විශ්වවිද්‍යාල දෙක ආරම්භ වුණේ. එහි දී මගේ මිතුරෙක් මට යෝජනා කළා විශ්වවිද්‍යාලයට බැඳෙන්න කියලා. පසුව මම 1960 වසරේ දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයට සම්බන්ධ වුණා.
දැනට මම පොත් 60 – 61 විතර ලියලා තිබෙනවා. මම මුදලට තෑගි ගන්න පොත් ලිව්වේ නැහැ. පොතක් ලියලා පළ වෙද්දී ලොකු තෘප්තියක් ලැබෙනවා. එය වචනයෙන් විස්තර කරන්න බැහැ. නමුත් දැනට සාහිත්‍ය සම්මාන වැඩිම ගණනක් ලබා ගත් ලේඛකයා මම. ඒ ගැන සතුටු වෙනවා.
“අනුරාධපුර සාහිත්‍ය” නැමැති කෘතියෙන් මගේ සාහිත්‍ය ජීවිතයට ලොකු ගැම්මක් ඇති වුණා. ගොඩාක් අය එම කෘතිය අගය කළා. මගේ ලේඛන කටයුතු විවිධයි. මම සාහිත්‍ය විචාර, සංස්කෘතික අධ්‍යයන, සංස්කරණය, පරිවර්තන, ළමා සාහිත්‍ය, නවකතා, කෙටිකතා ආදී විවිධ ක්ෂේත්‍රවල පොත් ලියලා තිබෙනවා.
කාලයක් යද්දී පැරැණි සාහිත්‍යයෙන් නූතන සාහිත්‍යයට මාරුවෙන්නට සිතූ එතුමා කෙටිකතා සහ නවකතාකරණයට පෙළඹිණි. 1968 වසරේ දී ශිෂ්‍යත්වයක් ලැබ අමෙරිකාවේ අයෝවා විශ්වවිද්‍යාලයට ගිය සුරවීර මහතා එහි දී සාහිත්‍ය නිර්මාණ පාඨමාලාවක් හැදෑරීය.
ඔහුගේ මුල්ම කෙටිකතා සංග්‍රහය “කාටත් මං එපාවෙලා” කෘතිය ඔහු ලියන්නේ අමෙරිකාවේ සිටියදීයි. ඉන්පසු ඔහු දිගටම කෙටිකතා නවකතා ලියූ අතර “හෙයියන්මාරුව“ නවකතාව ද ඒ අතර විශේෂ වේ. ඔහු ලියූ “පෑදි දියට බොරදිය” කෙටිකතා සංග්‍රහය උසස් පෙළට නිර්දේශිත කෘතියක් බවට පත් කෙරුණු අතර සිංහල කෙටිකතා පොතක් උසස් පෙළට නිර්දේශ කළ පළමු අවස්ථාව මෙය විය.
“ඉන් පසු මම නවකතා පහක් සහ කෙටිකතා 4 ක් ලිව්වා. ඒ සියල්ලම උසස් ගණයේ කියලා මම කියන්නේ නැහැ. නමුත් ඒවා කල් පවතින නිර්මාණ බව මම විශ්වාස කරනවා”.
අයෝවා විශ්වවිද්‍යාලයෙන් නිර්මාණ සාහිත්‍ය හැදෑරීමෙන් පසු අපේ විශ්වවිද්‍යාලයේත් නිර්මාණ පාඨමාලාවක් ආරම්භ කිරීමේ අදහසක් මට ඇති වුණා. ඒ අනුව 88 – 89 අවධියේ දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ එය ආරම්භ කළා.
අද එය දියුණු වෙලා ලේඛකත්ව හා සන්නිවේදන පාඨමාලාව ලෙස හඳුන්වනවා. මෙය ඩිප්ලෝමා සහ පශ්චාත් ඩිප්ලෝමා පාඨමාලා දෙකක්. එය බොහොම ජනප්‍රිය වුණා. අද එම පාඨමාලා අනෙකුත් විශ්වවිද්‍යාලවලත් තිබෙනවා.
නිර්මාණ සාහිත්‍යයට අමතරව විද්වතුන්ට ප්‍රයෝජනවත් වන ආකාරයේ පරිවර්තන කිහිපයක් සුරවීර මහතා අතින් නිර්මාණ විය. ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත්‍රය, තෝල්ස්තෝයිගේ කලාව යනු කුමක්ද ඒ අතුරින් කිහිපයකි.
කාලයක් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙස විශාල සේවයක් ඉටු කළ සුරවීර මහතා විශ්වවිද්‍යාල ජීවිතයට සමු දුන්නේ මතකයන් රැසක් ඉතිරි කරමිනි. ඉන් පසු එතුමාගේ ගමන්මඟ වෙනස්ම ආකාරයක් ගත්තේය.
1994 වසරේ දී ගම්පහ ආසනයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් තරග කළ එතුමා එයින් ජයගෙන පාර්ලිමේන්තුවට ද ගියේය. ඒ තවත් ජනතා සේවයක් ඉටු කිරීමේ බලාපොරොත්තුවෙනි. සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස එම කාලය තුළ ද එතුමා කැපී පෙනෙන සේවයක් ඉටු කළේ ය.
අද ඔහු ගතකරන්නේ ජීවිතයේ සැඳෑ සමයයි. ඔහුගේ ආදරණීය බිරිඳ ශීලා පියදාස පිළිබඳව ද මෙහි දී සඳහනක් නොකළොත් එය අඩුවක් වනු ඇත. ඇයත් විශ්‍රාමික ගුරුවරියකි.
ඒ. වී. සුරවීර මහතාගේ ජීවිතයේ සාර්ථකත්වය පසුපස යෝධ සෙවනැල්ලක් මෙන් සිටි ඇය අදත් ළෙන්ගතුකමින් ඔහුගේ කටයුතුවලට සහාය වන්නීය.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මං සිංහලෙන් ඉගෙන ගත්තේ පහ වසරට විතරයි Rating: 5 Reviewed By: Unknown