728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday, 12 January 2014

මගේ සින්දු වෙන අය කිව්වා. තරගවලදී විතරක් කියල නැවතුණේ නෑ.

- ප්‍රියා සූරියසේන
හැත්තෑව දශකයේ ගී ලොවට පැමිණ මේ දක්වා ගී ගයන ගායකයෙකු මෙන්ම සංගීතවේදියෙකි. ‘අඳුර අඳුර මගේ’ ගීය ගයමින්
ක්ෂේත්‍රයට ආ ඔහුගේ ජනප්‍රියත්වය තවමත් එදා මෙන්ම නොනැසී පවතී. ඔහුගේ ගීත ඊනියා සුපර් ස්ටාර් ගායකයන් රට පුරා මෙන්ම ලොව පුරාද ගයද්දී ප්‍රියා නොසැලී සිටියේය.
“මගේ සින්දු වෙන අය කිව්වා. තරගවලදී විතරක් කියල නැවතුණේ නෑ. දිගටම සංදර්ශනවලත් කිව්වා. නීතිය සාධාරණය ගැන හිතුවෙ නෑ. මම බලාගෙ හිටියා ස්වභාවධර්මය මට සාධාරණය ඉෂ්ට කළා. ඒ සමහරු අද කොහේ ඉන්නවද මන්දා. තරු පායල බැහැල ගියත් මම නම් තාම ඉන්නවා...” ප්‍රියා කියන්නේ සිනාසෙමින්.




* ප්‍රියාගේ පුතා (ලක්ෂිත සූරියසේන)ත් ගීත ගායනා කළා නේද...?
“ඔව්. පුතා මගේ සින්දු ටිකක් කැසට්පටයකට කිව්වා. ඒත් එයා ඇමෙරිකාවේ උපාධියකට ඉගෙන ගන්න ගිහින් ඉන්නේ. ගිය පාර ආවම රනිල් මල්ලවආරච්චිගෙ ප්‍රසංගයකට ‘කැන්දන් යන්නම්’ සින්දුව කියන්න එකතු වුණා. ඉගෙනගෙන ආවට පස්සෙ දිගටම සින්දු කිව්වට කමක් නෑ.”
බි. සිරිතුංග පෙරේරා ඉරිදා දිනවල සවස 5.30ට රූපවාහිනියෙන් ඉදිරිපත් කරන ‘හද රැඳි ගී’ වැඩසටහනේ ප්‍රියාගේ පුත් ලක්ෂිත ගී ගැයුවේය. ඔහු ගයන්නට සේම රංගනයටත් සුදුසු බව ඉන් සනාථ විය.
* පියවරුන්ගේ ගීත පුතුන් ගැයීම ගැන සමහරුන් චෝදනා කරනවා නේද?
“පිස්සුනේ. ඒ චෝදනාවල පදනමක් නෑ. තාත්තලගෙ සින්දු පුත්තු නොකියා වෙන අය කියන එක හරි කියලද කියන්නෙ? සින්දු කියන්න පුළුවන් නම් පුත්තු තාත්තලගෙ සින්දු කිව්වට කිසි ප්‍රශ්නයක් නෑ.” රිගින්ටෝන් මාෆියාව නිසා ප්‍රියාටද හානි සිදුවී තිබේ. නුගේගොඩ ප්‍රදේශයේ කැසට් නිෂ්පාදකවරයෙකු ප්‍රියාගේ ගීත කීපයක් රිගින්ටෝන් සඳහා දී ඇත්තේ කිසිදු අවසරයකින් තොරවය. පුදුමය නම් එම
නිෂ්පාදකයා ඒ වනතුරුත් ප්‍රියාගේ ගීත නිපදවා නොතිබිමය. ඒ පිළිබඳවත්, තමා තනු හැදූ ප්‍රේමකීර්ති ද අල්විස් ලියූ ගීත අවසර නොමැතිව තැටි සඳහා යොදා ගැනීමට එරෙහිවත් නීතිමය පියවර ගැනීමට සිය නීතිඥ සරත් රනඹ පෙරේරාට ප්‍රියා උපදෙස් දී තිබේ. ප්‍රේමකීර්ති ලියා ප්‍රියා තනු හැදූ ‘සරතැස නිවා - හෙට දවසේ’, ‘ආදරණීය නේරංජනා’, ‘ඈත දිනෙකදි’, ‘පිළිගන්න අදහන්න’, ‘ආදරේ කියූ කිසිවකු’, ‘කිරි සයුරේ’, ‘දළු වැදී මල්’, ‘මින්දද හී’, ‘නගරයක් විය ඈත’, ‘සඳ මා ගාවයි’, ‘ප්‍රනීත මීපැණි’, ‘පාසල් බිමේ’, ‘පාමු‍ලේ නුඹ කන්ද’, ‘මී කැකුණ කැ‍ලේ’, ‘තොල ගෑ අමාවේ රහා’, ‘ඔබ කඳුළේ උපතයි’, ‘සිහින විජිතේ’, ‘මේකුලු සළුවේ’, ‘මින්පසු නෑ එන්නේ’, ‘ගීත කලා ලොව රාජිනී’, ‘මට වාසනා’, ‘ජීවිතේ පුරා’, ‘මගෙ සුදුනෝනා’, ‘කෙදිනක හෝ’, ‘මීගව සම්පත්’ ‘රෑ සීතේ වෙළිලා’, ‘සිත මගේ ගිලන්’, ‘සයුරේ හිරු ගිලිලා’, ‘ඇගේ නිල් නුවන්’, ‘මින්මැදුරේ’, ‘මේ ප්‍රේම හෝරාවේ’, ‘මේ අත්බවේ පුරා’, ‘සැන්දෑ යාමේ’ යන ගීත මින් මතුවට තමාගේ අවසරයකින් තොරව කැසට්/තැටි සඳහා යොදා නොගන්නා ලෙස ප්‍රියා දන්වා සිටී. ඔහු වෙනත් ගායක ගායිකාවන්ටද ගීත නිර්මාණය කර තිබේ. පුන්සිරි සොයිසා ගයන ‘අඳුර නසන්නට පහනක් ලෙස’ (ඒ.ඩී.එස්. ඉන්ද්‍රානි ලියූ), එච්.ආර්. ජෝතිපාල සහ චන්ද්‍ර‍ලේඛා පෙරේරා ගයන ‘වටපිට බලන් ඉන්න’ (හේමසිරි හල්පිට ලියූ), ඇන්ටන් සේනානායක ගයන ‘දුරක පාවී ගියා’ (ප්‍රේමකීර්ති ලියූ), ෂෙල්ටන් මුතුනමගේ ගයන ‘ලොවම හඬා කියාවී’ (කිංස්ලි ගුණසේකර ලියූ) ඉන් කීපයකි. ඒවාද කැසට්/තැටි/රිගින්ටෝන් සඳහා යොදා ගන්නේ නම් තම අවසරය ලබා සාධාරණව එය සිදුකරන ලෙස ප්‍රියා කියයි. ප්‍රවීණයන් අලුත් ගීත ගයන්නට මැළි බව සමහරුන් නගන චෝදනාවකි. එහෙත් ප්‍රියා නව ගීත කීපයක්ම පටිගත කිරීමට සැරසෙමින් සිටී. සංගීත අධ්‍යක්ෂ ලලිත් කුමාර සමග එක්ව ළඟදීම ඒවා පටිගත කරන බවත්, බුදුගුණ ගීතයක්ද ඒ අතර ඇති බවත් ප්‍රියා සූරියසේන පැවැසීය.
සටහන ආනන්ද පද්මසිරි
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මගේ සින්දු වෙන අය කිව්වා. තරගවලදී විතරක් කියල නැවතුණේ නෑ. Rating: 5 Reviewed By: Unknown