එක්දරු ප්‍රතිපත්තිය තරමක් දුරට ලිහිල් කිරීමට චීන රජය පසුගිය දා තීරණය කළේ ය. තිස් වසරකට වඩා වැඩි කාලයක් පුරා ක්‍රියාත්මක වුණු එක් දරු ප්‍රතිපත්තිය බොහෝ දෙනකුගේ විවේචනයට ලක් වූවකි. ගෙවුණු දශක තුනක කාලය මුළුල්ලේ එරට සමාජ ගැටලු රැසක් ඇතිවන්නටත් එක් දරු ප්‍රතිපත්තිය මුල් විණ.
හොඳ මෙන් ම නොහොඳත් චීනය තුළ වගා කරන්නට හේතු වුණු එකී නෛතික තත්ත්වය විටින් විට විවිධ සංශෝධනයන්ට ද ලක්වූයේ ය. කොහොම සංශෝධනයට ලක්වුවත් එක් දරු ප්‍රතිපත්තිය මුළුමනින් ම හකුළාගන්නට චීන බලධාරීන් කිසි කලෙකත් උනන්දු වූයේ නැත. එයට හේතු වුණේ රටට දරන්නට බැරි තරමේ ජන ගහනයක් ඇතිවන ලකුණු කවදටත් පැහැදිලිව ම පෙනෙන්නට තිබීමයි. බලධාරීන් දැන් පවසන්නේ එක් පවුලක දරුවන් දෙදෙනකු සිටීම වරදක් නොවන බවකි. මේ දෙදරු සැලැස්ම ක්‍රියාත්මක වන්නේත් කොන්දේසියක් තුළයි. එනම් මව සහ පියා යන දෙදෙනාගෙන් එක් කෙනකු ඇගේ හෝ ඔහුගේ හෝ පවුලේ එකම දරුවා විය යුතුය යන රාමුවට යටත්ව ය. එක් දරු ප්‍රතිපත්තිය චීනය තුළ ස්ථිරව ම ස්ථාපිත කරනු ලැබුවේ 1979 වසරේ දී ය. ප්‍රතිපත්තිය සකස්කර තිබූ නීතිමය තත්ත්වය තුළ ග්‍රාමීය ප්‍රජාවට දරුවන් දෙදෙනකු ලබන්නට බාධා අවහිර අඩු විණ. ග්‍රාමීය ජනතාවට වුවත් දෙවැනි දරුවකු ගැන හිතන්නට පුළුවන් වුණේ පළමු දරුවා ගැහැනු ළමයකු හෝ ආබාධිත දරුවකු හෝ වී නම් පමණි. දෙවැනි දරුවකු ලබන්නට අවශ්‍ය අනුමැතිය ගැමියන් රජයෙන් ලබාගත යුතු විය. පළමු දරුවාත්, දෙවැනි දරුවාත් අතර පරතරය අවුරුදු 3ක් හෝ 4ක් හෝ විය යුතුය යන කොන්දේසියට එකඟවෙමින් මවුපියෝ අවසරය ලබාගත්හ. චීනය තුළ ජීවත්වන සුළුතර ජන කොටස්වලට වගේම විදේ්ශිකයන්ටත් එක්දරු ප්‍රතිපත්තිය බලපෑවේ නැත. විදේශගත චීනුන්ටත් නීතිය අදාළ නොවිණි. විදේශගත චීනුන් දරුවන් කිහිපදෙනකු ලබන්නට පුළුවන් විය. ඒත් ඒ දරුවන් සියලු දෙනාට ම චීන පුරවැසි බව ලබාගන්නට නම් බාධා තිබිණි. කොහොම වුණත් විදේශගත ව සිට පෙරළා චීනයට එන චීන ජාතික යුවළකට සිය දෙවැනි දරුවාට පුරවැසි බව ලබාගැනීම අපහසු නොවීය. අනෙක් අතට අම්මාත් තාත්තාත් ඔවුන්ගේ පවුල්වල එකම දරුවා වී නම් ඕනෑම චීන ජාතිකකුට දරුවන් දෙදෙනකු ලබන්නට බාධාවක් නොතිබිණි. මේ නීතිරීතිවලට එකඟ නොවන අය දඬුවම්වලට යටත් කිරීමේ බලතලත් නීතිගත කර තිබුණේ ය. 2008 වසරේ දී ‘පෙව් පර්යේෂණ මධ්‍යස්ථානය’ කළ සමීක්ෂණයකින් අනාවරණය වුණේ චීන ජනගහනයෙන් 76% ක්ම එක් දරු ප්‍රතිපත්තියට සහය පළ කරන බවකි. ජනගහන අධ්‍යයනය පිළිබඳ විද්වතුන් කියා සිටියේ 1979 සිට 2009 දක්වා වූ කාලය තුළ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන් පුද්ගලයන් මිලියන 200කගේ උත්පත්තීන් සිදු නොවුණු බවයි. තවත් සමහර වාර්තා පෙන්වා දුන්නේ චීන ජනගහනය දැන් ශීඝ්‍රයෙන් වයස්ගත භාවයට එළඹෙමින් තිබෙන අයුරු ය. චීන ජනගහන වර්ධනය අයහපත් මට්ටමක පවතින බව ඇතැම් විද්‍යාඥයෝ පෙන්වා දුන්හ. 2007 වසර වන විට මෙකී පසුබිම තුළ චීන ජනගහනයෙන් 35.9% ක්ම එක් දරු ප්‍රතිපත්තියට දැඩිව යටත් ව සිටියේ ය. ජනගහනයෙන් 52.9%ක් දෙවැනි දරුවකු ලබන්නට අවශ්‍ය නෛතික තත්ත්ව සපුරා තිබිණි. මේ 52.9% ම පළමු දරුවා වශයෙන් ලබා තිබුණේ ගැහැනු දරුවෙකි. එබැවින් දෙවැනි දරුවකු ලබන්නට ඔවුන්ට අවසරය හිමිව තිබුණි. තවත් 9.6% ක චීනුන් පිරිසකට දෙවැනි දරුවා ලබන්නට අවසරය ලබා දී තිබුණේ පළමු දරුවා ගැහැනු ළමයකු ද යන්න ගැන සලකා බලා නොවේ. ජනගහන වර්ධනය දැඩි ලෙස පාලනය කිරීමට රුකුල් දෙන මෙකී නීතිමය ආවරණය කෙරෙහි අලුත් මානයකින් බලන්නට වුවමනා වුණේ ඊට එල්ල වන විවේචනත් සමඟයි. එක් දරු ප්‍රතිපත්තිය නිසා චීන සමාජය තුළ ස්ත්‍රී - පුරුෂ අනුපාතය අසමතුලිත තැනකට ළංව තිබුණේ ය. 2000 – 2013 අතර කාලය තුළ පිරිමි සහ ගැහැනුන් අතර අනුපාතය 117 : 100 කි. වඩාත්ම අයහපත් ගැටලුව මතු වුණේ චීනය තුළ ගබ්සා වැඩිවීමත් සමඟ යි. තමන්ට ඉපැදෙන්නට සිටින දරුවා ගැහැනු දරුවකු දැයි කියා බලා ගැනීමට අවශ්‍ය තාක්ෂණ පහසුකම් දැන් තිබේ. දරුවා ගැහැනු දරුවකු නම් ඒ කලලය විනාශ කරන්නට පෙලඹෙන මවුපියන් ප්‍රමාණය වැඩි විය. මේ තත්ත්වය වැඩි වූයේ ආර්ථික අපහුතාත් මවුපියන් මත පැටවෙද්දී ය. අත්හැර දැමීම, නොසලකා හැරීම වැනි අමානුෂික ක්‍රියා නිසාත් ගැහැනු ළමයින් පීඩාවට පත්වන්නට පටන් ගැනිණි. හිත් පිත් නැති මේ ක්‍රියාවලිය තුළ මහමඟ අතහැර යන දරුවන් සංඛ්‍යාවත් ඉහළ ගියේ ය. මේ සඳහා වැඩපිළිවෙළක් දියත් කරන්නට චීන බලධාරීන්ට සිදුවිණ. තමන්ට දරුවා එපා නම් ඒ දරුවා දමා යන්නට විශේෂ කුටි මඟ දෙපස ඉදිකර තැබූ අවස්්ථාත් මෑත ඉතිහාසයේ සඳහන් විය. තවත් පැත්තකින් 4-2-1 ගැටලුව (4-2-1 ර්ථපධඡතඥථ) පැන නැඟිණි. මේ ගැටලුවෙන් කියැවෙන්නේ අත්තම්මා - සීයා යුවළ දෙකත්, මවු-පිය යුවළක් සහ ඒ යුවළගේ දරුවා යන්නයි. එයින් පෙනෙන්නේ පරම්පරා දෙකකට අයත් වැඩිහිටියන් හයදෙනකු වෙනුවෙන් තෙවැනි පරපුරේ එක් තරුණ දරුවකු සිටින බවකි. වැඩි දුරටත් විග්රහ කර බලනවිට වගේම ප්‍රායෝගික තත්ත්වය වූයේත් වැඩිහිටියන්ට සැලකීමේ ගුණය සමාජයෙන් ඈත්වීම යි. දරුවන් කෙරෙන් නිරායාසයෙන් පැන නැඟිය යුතු වැඩිහිටියන්ට සැලකීමේ ගුණය නීතිමය රාමුවකට යටත් කරන්නට චීන බලධාරීන්ට ඒ නිසා සිදුවිය. මෙවැනි සමාජ අර්බුද මධ්‍යයේ ඇදී ගිය එක් දරු ප්‍රතිපත්තිය තවදුරටත් පවත්වාගෙන යා යුතු ද යන්න ප්‍රශ්න කිරීම එන්න එන්නම වැඩිවිය. චීන කොමියුනිස්ට් පක්ෂයේ දහ අට වැනි මධ්‍යම කමිටුව විසින් පසුගිය නොවැම්බරයේ දී විශේෂ තීරණයක් ගනු ලැබිණි. තීරණයෙන් කියැවුණේ එක් දරු ප්‍රතිපත්තිය ලිහිල් කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදෙන බවකි. මවුපිය යුවළකට දරුවන් දෙදෙනකු ලබන්නට පුළුවන් වාතාවරණයක් ඇති කරන්නට චීන බලධාරීන් කටයුතු සම්පාදනය කළේ ඒ අනුවයි. එසේ වුවත් තීරණය කොන්දේසියකට යටත් නොකර බැරි විය. ඊට හේතුව චීනය තවමත් අධික ජනගහන කලාපයේ රැඳී ඇති රටක් බැවිනි. මව සහ පියාගෙන් කෙනකු ඔවුන්ගේ පවුලේ එකම දරුවා නම් ඔවුන්ට දරුවන් දෙදෙනකු ලබන්නට හැකි තරමට නීති ලිහිල් කළේ එකී පදනමට යටත්ව යි.
ඇසුරිනි මංජුලා විජයරන්ත |
0 comments:
Post a Comment