කලක් ජනකාන්ත නිළියකව සිටි සන්ධ්‍යා කුමාරි අනූ ගණන් වල මුලදී හදිසියේ මිය ගියාය. එම මරණය ගැන ඒ වන විට ඇය හා සිටි දෙවන සැමියා සහ ඇගේ මුල් විවාහයේ දියණියන් අතර බලවත් විරසකයක් පැවතුණි. හදිසි මරණ පරීක්ෂණයේ දී පවා දෙපාර්ශ්වය චෝදනා කරගත්හ. එකල මම “සුමති” ආයතනයේ “සරසි“ සිනමා පුවත්පතේ විශේෂාංග කතුවරයා වූයෙමි.
සන්ධ්‍යා ගැන ලිපි රැගත් ‘සරසි‘ කලාපය සැකසෙද්දී ‘සුමති’ ප්‍රකාශන අධිපති තිලංග සුමතිපාල මහතා මට කතා කළේය. නාලන්දාවේ තමා සමග එකම පන්තියේ ඉගෙනුම ලැබූවෙකු වන සන්ධ්‍යාගේ දෙවන සැමියා එකල සිටම දැඩි සන්ධ්‍යාලෝලියෙකු වූ බව කී තිලංග මහතා සන්ධ්‍යාගේ මරණය ගැන ලිපි පළ කරද්දී චෝදනාවට පාත්‍ර වී සිටි ඔහුටද හානි නොවන ලෙස සමබරව සකසා පළ කරන ලෙස මට පැවසීය. මම එය එලෙසින්ම කළෙමි. දෙපාර්ශ්වයටම ඉන් අගතියක් වූයේ නැත. සුමතියේ මා සේවය කළ දීර්ඝ කාලය මුළුල්‍ලේම තිලංග සුමතිපාල මහතා ලිපියක් ගැන මට යමක් කී මුල්ම එකම හා අවසාන අවස්ථාව එය විය. එයද යමක් පළ කරන්නට එපා කීමක් නොව සමරබව පළ කරන්නැයි පැවසීමක් පමණක් වීමද විශේෂයකි. ආයතනයේ වෙනත් ප්‍රධානියෙකු හා ගැටී මා එහි ස්ථිර සේවයෙන් ඉවත්ව යන දින තිලංග මහතා හමු වූ විටද ඔහු එම සිදුවීම සිහිපත් කළේය. “එක එක්කෙනා ඇවිත් නොයෙක් දේ කිව්වා. ඒ වුණාට සන්ධ්‍යාගේ මරණෙ වෙලාවේදී ඇර මම ඔයාට කිසි දෙයක් ලියන්න කියලවත් , ලියන්න එපා කියලවත් නෑ නේද ආනන්ද......... “ යනුවෙන් ඔහු කීය. එබස සැබෑ බව මම එක හෙළා පිළිගත්තෙමි. ඔහු සතුව තිබූ නිදහස් මාධ්‍ය චින්තනය එසේය. පසු කාලයක ඔහු ක්‍රියාකාරී දේශපාලනයට පිවිස පළාත් සභා හා පාර්ලිමේන්තු මැතිවරණ තරග කරද්දී මගේ දේශපාලන ලැදියාවන් පසෙක තබා මා ඔහුට ප්‍රචාරක ගීත දෙකක් නිර්මාණය කර දුන්නේ අන් කිසිවක් නිසා නොව මා ‘සුමති’ යේ සිටි කාලයේ වෘත්තීය නිදහස ලබාදුන් ආයතන හිමිකරුවාට තුතිබර වීම යුතුකමක් කොට සලකාගෙනය. බොහෝ කලකට පසුව වර්තමානයේ සිකුරාදා ‘ලක්බිම’ ට මේ කොලම මා ලියද්දී ද ඒ නිදහස ඒ අන්දමින්ම වලංගුව පැවතීම එක් අතකින් විශ්මයටද කරුණකි. මේ මව්බිමේ ඇතැම් පුවත්පත් හිමිකරුවන්ගේ හා කතුවරුන්ගේ බාල බොළඳ හැසිරීම ගැන සලකා බලන විට ‘ලක්බිමේ’ මාධ්‍ය නිදහස ගැන ආඩම්බර විය හැකි යයි සිතේ. ඇතැම් විද්‍යුත් මාධ්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් එළවීම පමණක් ප්‍රවෘත්ති ලෙස සිතා තම විකාශන කාලයෙන් තුන් කාලක තරමේ කාලයක් ඒ වෙනුවෙන් වැය කිරීමේ විහිළුව ගැන මේ කොලමට මා ලියුවේ ප්‍රවෘත්ති රනිල් පමණක් වීම යන ශීර්ෂය සහිතවය. ඇතැම් මුද්‍රිත මාධ්‍යද එසේ සිතන බව පෙනී යන්නේ යයි එකම වැකියක් එහි ලියූවෙමි. එම වැකියට උරණ වූ මේ මව්බිමේ එක් පුවත්පතක ප්‍රධානීහු එම පුවත්පතට සතිපතා මා ලියූ කලා ලිපි දෙකක් නවතා දැම්මෝය. දෙකොණින් සිනාසෙනු මිස කුමක් කරන්නද? විද්‍යුත් මාධ්‍ය ගැනම ලියූ ලිපියේ එක් තැනක මුද්‍රිත මාධ්‍ය ගැන කී පමණින් තොප්පිය තම හිසට දමාගෙන අඳබාල ලෙස එසේ ක්‍රියා කළ අය මාධ්‍ය නිදහස යන වචනයේ අරුත තිලංග සුමතිපාල වැනි ජ්‍යෙෂ්ඨ පරිපාලකයන්ගෙන් ඉගෙන ගත යුතුය. පාලක පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස සිටිමින්ම සමබර පුවත්පත් ආයතනයක් පවත්වාගෙනයාමට පූර්වාදර්ශය හා පන්නරය සැපයූ ඔහු මේ මව්බිමේ ළඳබොළඳයන්ට දී ඇත්තේ අගනා ආදර්ශයකි. රාජ පාක්ෂික ලෙස ලියන්නට හෝ විපක්ෂික ලෙස නොලියන්නට හෝ ඔහු එම ආයතනයේ කිසිවෙකුට පූර්වාදර්ශ සපයා නැත. රනිල් වනසන්නට හෝ සජිත් පුම්බන්නට ඔහු කිසිවෙකුට කියා නැත. මේ මව්බිමේ ශාන්ත බණ්ඩාර ජයවර්ධන හා ඉසුරු ප්‍රසංග වැනි ලේඛකයන්ටද මට මෙන්ම අසාධාරණයක් සිදු වූයේ තිලංග සුමතිපාල වැනි නිවහල් අදීන පරිපාලකයෙකු නොසිටීමේ වරද නිසාය. සංගායනා කොට සසුනෙන් පළවා හැරිය යුතු සඟුන් උළුප්පා ශාසන ද්‍රෝහී අදහස් වපුරන මේ මව්බිමේ ඇතැම් පුවත්පත් සමග එන ‘තරුණ’ පුවත්පත් (අතිරේක) මගින් කරන්නේ වැඩිහිටියන්ට ගැරහීමය. අප යොවුන් වියේ සිට කියවූ තරුණයා වැනි පුවත් පතක් තවමත් පවතින්නේ එය වැඩිහිටියන්වද ප්‍රතික්ෂේප නොකළ නිසාය. හෙට වැඩිහිටියා වන්නේ අද තරුණයා බව සිතූ නිසාය. තමන් කුණුහරුප පත්තරයක් බව තමන්ම පිළිගන්නා මේ මව්බිමේ ඇතැම් තරුණ පුවත්පත් (අතිරේක) සකසන අය එහි පාඨකයන් ලවා අම්මාවරුන්ටද බැණ ලිපි ලියවනු පෙනේ. “මේ පත්තරේට අම්ම බැණ්නාම අම්ම නිසා ඉවසුවා. නැත්තං කරන වැඩේ දන්නවා...” වැනි තර්ජනාත්මක ලිපිද පළ කරන ඔවුන් පාඨකයා යන වදනට ස්ත්‍රී ලිංග පදයක් නොයොදන බව නොදැන පාඨිකාවන් යනුවෙන් සිය තරුණ අතිරේකයේ කතුවැකියේ ද ලියනු අප දැක ඇත්තෙමු. ඩී.එෆ් . කාරිය කරවන වැනි ප්‍රාඥයෙකු මෙය දුටුවේ නම් පාඨිකාවන් ඉන්නේ මේ මව්බිමේ මිස කුමන රටකදැයි මහ හ¾ඩින් සිනාසී අසනු ඇත. ඉතා මෑතදී මිය ගිය ප්‍රකට ගිහියෙකුගේ අවමඟුල ගැන පුන පුනා පළ කරද්දී , “ශ්‍රී දේහය” යනුවෙන් ලියා තිබෙනු දුටු විට මේ මව්බිමේ යථා ස්වරූපය මනාව වටහා ගත හැකි විය. පූජ්‍ය පක්ෂය සඳහා පමණක් යොදන එම වදන ආයතන බලධාරියෙකුගේ සමීපතමයෙකු සම්බන්ධයෙන් යොදා පළ කිරීමට තරම් ගැති මානසිකත්වයක සිටින්නන් ගැන එම උගත් ගිහියා වුවද දන්නේ නම් කම්පා වනු නියතය. “ප්‍රවෘත්ති රනිල් පමණක් වීම” කොලමේ පුංචි තැනක මුද්‍රිත මාධ්‍ය ගැන වදනක් ලිව්වත් සැබෑ ලෙසම ලිවිය යුතු ව තිබුණේ අවිචාර මාධ්‍ය භාවිතාව නිසා සිදු කළ ඉහත වැරදි ගැන නොවේදැයි මට සිතේ. තමන්ගේ ඇහේ පොල් පරාල තිබියදී අනුන්ට සාධාරණය උගන්වන්නට මොවුන්ට හැකිද? එබැවින් විද්‍යුත් මාධ්‍යයක් හා එක්ව දේශපාලනය හසුරුවන්නට නොසිතා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් නිදහස් මාධ්‍ය භාවිතාවකට ඉඩ දී ඇති ලක්බිම සමග මේ ලැබූ නව වසරේ ද ඉදිරියට යාම යහපත් බව මගේ වැටහීමයි.ආනන්ද පද්මසිරි
0 comments:
Post a Comment