728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday 18 May 2014

සිත යනු සමාජයයි...

ජේ. කි‍්‍රෂ්ණමූර්ති



ඔබ කිසියම් විටෙක නිශ්චල ව හිඳ ගෙන, වසා ගත් දෙනෙතින් ද යුතු ව, ඔබේ සිතිවිලිවල හැසිරීම පරීක්ෂා කොට තිබේ ද? ඔබේ සිතෙහි කි‍්‍රයාකාරිත්වය නිරීක්ෂණය කොට තිබේද...?

එසේත් නැතිනම්, හුදෙක් ඔබේ සිතුවිලි හා හැඟීම් යනු කවරේ දැයි බලා ගැනීමටත්, ගස් කොළන් හා මල්, කුරුල්ලන් හා මිනිසුන් දෙස ඔබ බලන ආකාරයත්, යෝජනාවකට හෝ නව අදහසකට හෝ ඔබ ප‍්‍රතිචාර දක්වන සැටිත්, ඔබේ සිත කි‍්‍රයාකාරී ව පවතින විට දී, ඒ සිත ම ඒ ගැන විමසිලිමත් ව සිට තිබේ ද...?
ඔබට මෙය කවර වේලාවක හෝ සිදු වී තිබේ ද...? ඉදින් ඔබ තුළ එවැන්නක් සිදු වී නොමැති නම්, ඔබ ඉතා වැදගත් දෙයක් අතපසු කොට ඇත. කෙනකු තමා ගේ සිත කි‍්‍රයා කරන අයුරු අවබෝධ කර ගැනීම වූ කලී අධ්‍යාපනයෙහි මූලික අරමුණ යි.

ඔබ, ඔබේ සිත ප‍්‍රතිකි‍්‍රයා කරන සැටි ඔබ නොදන්නෙහි නම්, ඔබේ සිත ම නොදැනුම්වත් ව සිටියි නම්, ඔබට සමාජය පිළිබඳව කිසිවක් ම අවබෝධ කොට ගත නො හැකි ය. ඔබ සමාජ විද්‍යාව පිළිබඳ පොත පත කියවා තිබෙන්නට පුළුවන.
ඔබ සමාජ විද්‍යාව හදාළ කෙනකු විය හැකි ය. එහෙත් ඔබ ඔබේ ම සිත කි‍්‍රයා කරන අයුරු නොදැන සිටින්නෙහි නම්, සමාජය යනු කුමක් දැයි ඔබට ඇති සැටියෙන් තේරුම් ගත නො හැකි ය. ඒ ඔබේ සිත යනු සමාජයෙහි ම කොටසක් වන බැවිනි.
සමාජය සමන්විත වී තිබෙනුයේ, ඔබේ ප‍්‍රතිකි‍්‍රයා, ඔබේ ඇදහිලි හා විශ්වාස, ඔබ පල්ලියට හෝ පන්සලට යෑම, ඔබේ ඇඳුම් - පැලැඳුම්, ඔබ කරන - නොකරන දේ සහ ඔබ සිතන - පතන දේ යන මේ සියල්ලෙන් ම ය. සමාජය වූ කලී ඔබේ ම සිත තුළ සිදු වන දෙයෙහි ප‍්‍රතිකෘතියකි.
එබැවින් ඔබේ සිත යනු සමාජයෙන් වෙන් වූවක් නො වේ. එය ඔබේ සංස්කෘතියෙන්, ඔබේ ආගමෙන්, ඔබේ නොයෙකුත් පංති බෙදුමින්, බොහෝ දෙනා ගේ උන්නතිකාමයෙන් හා ගැටුමින් වෙනස් ව පවතින දෙයක් ද නො වේ.
මේ සියල්ල ම සමාජය වන අතර, ඔබ ද එහි එක් පාර්ශ්වයක් වන්නෙහි ය. සමාජයෙන් වෙන් කැරුණු ‘ඔබ’ යනුවෙන් කෙනකු එහි නොමැත.
වත්මන් ශිෂ්ටාචාරය හෝ මේ සම්ප‍්‍රදායයෙන් බැඳුණු සංස්කෘතිය හෝ සමාජය හෝ නිර්මාණය කරනු ලැබුවේ සිත විසිනි. ඉදින් ඔබ ඔබේ ම සිත පිළිබඳ ව අවබෝධයෙන් තොර ව, හුදෙක් ඊට එරෙහි ව කොමියුනිස්ට්වාදියකු ලෙස, හෝ සමාජවාදියකු ලෙස හෝ කැරැලි ගැසීමෙහි කිසිදු තේරුමක් නැත.
එහෙයින් අතිශය වැදගත් වනුයේ, ආත්ම ඥානයෙන් යුතු ව, ඔබේ සියලු කි‍්‍රයාකාරකම්, සිතුවිලි හා හැඟීම් පිළිබඳ ව අවදියෙන් සිටීම ය. අධ්‍යාපනය යනු මෙය නො වේ ද? කුමක් හෙයින් ද යත්, ඔබ, ඔබ ගැන ම එළැඹ සිටි සිහියෙන් යුතු ව සිටින විට, ඔබේ සිත වඩාත් සංවේදී වන බැවිනි, වඩාත් පරීක්ෂාකාරී වන බැවිනි.
ඔබ චිත‍්‍රපටයක් නරඹන්නට ගිය විට, එහි රඟපෑමට සහභාගි නොවන්නෙහි ය. එහි රඟපාන්නාහු නළු - නිළියෝ ය. ඔබ කරන්නේ, එය හුදෙක් නැරැඹීම පමණි. ඒ අයුරින් ම ඔබේ සිත කි‍්‍රයා කරන සැටි ද නරඹන්න. ඒ වු කලී කිසියම් චිත‍්‍රපටයක් නැරඹීමට වඩා සැබැවින් ම අතිශය චිත්තාකර්ෂණීය වූවකි.
ඔබේ සිත යනු මුළු ලෝකයෙහි ම අවශේෂයක් වන අතර, සමස්ත මිනිස් සංහතිය ම අත් විඳින ලද දේ එහි අන්තර්ගත ව පවතින බැවිනි. ඔබේ සිත වූ කලී මනුෂ්‍යත්වය ය. ඔබ මෙය වඩාත් ගැඹුරින් අවබෝධ කර ගත් විට ඔබ තුළ අසීමිත වූ කරුණාවක් ද, මෙත් සිතක් ද, පහළ වන්නේ ය. එවිට ඔබ චමත්කාර දේ දකින විට සෞන්දර්යය යනු කුමක් දැ යි ඔබට ම වැටහෙනු ඇත.

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: සිත යනු සමාජයයි... Rating: 5 Reviewed By: Unknown