සිංහල ගීත වංශයෙහි ස්වර්ණමය යුගය ලෙස සැලැකෙන හැත්තෑවේ දශකයේ නිමැවුණු තවත් එක් අනුස්මරණීය හා විශිෂ්ටතම ගීතයක් පිළිබඳ ව සති කිහිපයක නිහඩියාවකට පසු ව මම ඔබ වෙත මෙසේ රැගෙන එමි.
සැඩ මාරුතයක් සේ පැතිරෙන ගී කොලහලය අතර දැනුදු දුරාවාරේ ඇසෙන මේ ගීතය සෝමතිලක ජයමහ නම් ප්‍රවීණ ගායන ශිල්පියා ගේ හඩින් ගැයුණකි.
අපි ආයෙත් හමුනොවුණා නම්
ඉස්සර දවසක මියගිය සෙනෙහස
යළි ඉපදී මා හද හඬවන්නට
අපි ආයෙත් හමුනොවුණානම්
ඔබ නාඳුනන විරහ වේදනා
පෙරදා වින්දේ මා පමණයි
හුඟ කලකින් හමුවී සෝ ළතැවුල්
අදත් විඳින්නේ මා පමණයි
සමුගන්නට නම් අහිමි ආදරෙන්
ආයෙත් ඇයි අප හමුවන්නේ
ආදරයේ කඳුළින් මියයන්න ද
ජීවිත ඉරණම විසඳෙන්නේ
ප්රමුඛ ගායන ශිල්පී සංගීතඥ වික්ටර් රත්නායකයන් තනුව නිර්මාණය කළ මේ ගීතය රචනා කෙළේ ආචාර්ය අජන්තා රණසිංහයන් ය. මේ ගීතයේ සුලමුල පිළිබඳ ව මම පළමු ව ඔහු ගෙන් විමසා සිටියෙමි.
“තරුණියකට එක හිතින් ම පෙම් කළ තරුණයකුට ඇය අහිමි වෙනවා. එසේ ඇය අහිමි වූ විරහ වේදනාව ඔහුගේ සිත තුළ තිබී එය කෙමෙන් කෙමෙන් යටපත් වෙනවා. ඒත් දිනක් හදිසියේම ඔහුට ඇය මුණ ගැහෙනවා. ඔහුගේ සිත එක්වරම අවදි වෙනවා.
මියගොස් වැළැලී තිබූ සෙනෙහසේ වේදනාව ඔහුට දැනෙනවා. හිත රිදවා කීරි ගැහෙන ඒ වේදනාව, ඒ අනුවේදනීය අත්දැකීම යළිත් ඔහුට සිහිවෙනවා.
ඇය පිළිබඳ මිහිරි සිතිවිලි විසින් ඔහුගේ සිතට දනවනු ලබන වේදනාව ඔහුට දරාගන්නට බැහැ.
කලින් වේදනාව විඳ ඉන් මිදී සිටින්නට කළ උත්සාහය ඔහුගේ හදින් ගිලිහෙනවා.
“ඉස්සර දවසක මිය ගිය සෙනෙහස
යළි ඉපදී මා හද හඬවන්නට...
ඔහුගේ දෙනෙතට කඳුළක් නැඟුණේ නිතැතින්මයි. සෙනෙහස මරා වළලා දමා සිටි ඔහුට යළිත් එය දැනෙන්නේ සිය පවුල් සංස්ථාව පවා දෙදරවමින්. ඔහුට සිය සිත පාලනය කරගන්නට බැරි තරම්.
“අපි ආයෙත් හමු නොවුණානම්” කියා ඔහු කියන්නේ ඒකයි. එදා රාතී‍්‍ර නින්දට යන ඔහුට රාති‍්‍රය පුරා දැනෙන්නේ ආදරයේ වේදනාවයි. පුන පුනා අතීතයේ සිතුවම් ඔහුගේ සිත ඇතුළේ හොල්මන් කරනවා.
වැළැලී ගිය ආදරයක් යළි ඉපදුණේ කුමකට ද? ආදරයේ වේදනාවෙන් මා මිය යවන්න ද? මා මෙතෙක් මේ දුකින් මේ ස්මරණවලින් වසන් වී සැඟැවී සිටියා. ඒත් අද ඇය යළි හමුවීමෙන් ඒ සියල්ල යළිත් ඉස්මතු වුණා.
මගේ සිත මා පාලනය කරගන්නේ කෙසේ ද? එහෙත් මා දැන් ආයාසයෙන් යළි ජීවිතයට ප්‍රවිෂ්ට විය යුතු යැයි තරුණයාට සිතෙනවා. මේ ගීතයේ කියැවෙන යුවතිය විරහ වේදනාව ගැන දන්නේවත් නැති කෙනෙක්. එදා වගේම යළි හමුවූ පසු ද ආදරේ සෝ ළතැවුල් විඳින්නේ තරුණයාම පමණයි.
මේ සංකල්පනාව ඇත්තටම මගේ හිතේ පහළ වුණේ අත්දැකීමක් මඟින්මයි. කාටද ඔය වගේ අත්දැකීම් නැත්තේ? අපි ආයෙත් හමුනොවුණානම් කියන මේ ගීතය විතරයි මං සෝමතිලක ජයමහ ගායකයාණන්ට ලියල තියෙන්නෙ. ඒ ඔහුගේ සරල ගී වැඩසටහනකටයි.
ඔහු මේ ගීතය ඉතා විශිෂ්ට අයුරින් ගායනා කොට තියෙනවා. ගීතයේ අරුතට ගැළපෙන නිර්මාණාත්මක තනුව හා සංගීතය මේ ගීතය මෙතරම් ජනප්රසිද්ධවීමට බලපෑවා. ගීතයේ තනුව වික්ටර් රත්නායක සංගීතවේදියාණන් අතින් නිර්මාණය වී තිබෙනවා.
මට අවශ්‍ය කළ අරුත ගීතයේ පදවලින් මා මතු කළ හැඟීම් ඉතා අපූරුවට සංගීතයෙනුත් ඉස්මතු වී තිබෙනවා. මා ලියූ ගී අතරින් මා ඉතා කැමැති ගීතයක් මේ ගීතය. ඊට හේතුව සෝමතිලක ගේ විශිෂ්ට ගායනය හා වික්ටර් රත්නායකයන් ගේ සංගීත නිර්මාණය.
පේ‍්‍රමයේ විරහව සංගීතයෙන් මොනවට ඔප්නැංවී තිබෙනවා. ඒ වගේම සෝමේ ගේ කටහඬත් ඊට හරිම උචිතයි. මේ මා ලියූ ගී අතරින් ඉතා සාර්ථක ගීයක් ලෙසින් මට හඳුන්වන්නට පුළුවන්.
ඇත්තටම මෙය බිඳුණු ආදරයක ඛේදවාචකයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.
“මේ ගීය මා ලියවාගත්තේ මගේ සරල ගී වැඩසටහනකටයි. හැබැයි මං ආචාර්ය අජන්තාට මට අවශ්‍ය ගීතයේ අදහස මෙසේ විය යුතු යි කියා කීවේ නම් නැහැ. ඒත් ඔහු ලියූ මේ ගීය මගේ හිතට කාවැදුණා” යනුවෙන් සෝමතිලක ජයමහ ගායන ශිල්පියාණෝ සිය අදහස් පළ කරන්නට වූහ.
මම මීට පෙර ආදරයේ විරහ වේදනාව ගැන ගීයක් ගයා තිබුණේ නැහැ. 1970 දශකයේ බිහිවුණු මේ ගීතයට මං රුචි කරනවා. වචනවලටම සරිලන මගේ කටහඬට උචිත තනුවක් වික්ටර් රත්නායකයන් ගෙන් නිර්මාණය වුණා.
පේ‍්‍රමයේ වේදනාව ගැන මේ ගීතය ගයන විට මටත් අමුතු දුකක් දැනුණා. ඒත් මට නම් මෙවැනි අත්දැකීමකට මුහුණපාන්නට සිදුවෙලා තිබුණේ නැහැ.
වසර 30 කට අධික කාලයක් ඔය ගීතය පේ‍්‍රමවන්තයන් අතර බොහෝම ජනපි‍්‍රය ආස්වාදජනක ගීයක් වෙලා තිබෙන බව නම් මම දන්නවා.
වසර 30 කට අධික කාලයක් විවිධ රසවින්දන තලයන්හි ශ්‍රාවකයන් පිනවූ පේ‍්‍රමවන්තයන්ගේ නොමඳ රසාස්වාදනයට පාත්‍ර වූ මේ ගීතයේ තනුව නිර්මාණය කළේ සංගීතවේදී වික්ටර් රත්නායකයන් ය. ඔහු පවසන පරිදි තමා බොහෝ ගායකයන්ට විවිධ ගී තනු බොහොමයක් සපයා ඇතත් සෝමතිලක ජයමහ ගායකයාණන්ට සැපැයූ එකම ගී තනුව මෙය ය.
“ඔය ගී පදරචනයට මට කියා තනුවක් දමාගන්නට සෝමතිලක ජයමහ මිත්‍රයා මා ළඟට එන්නට ඇත්තේ මා තුළ වූ යම් සංගීත නිර්මාණ කුසලතාවකට ඔහු ඇලුම් කළ නිසා වන්නට ඇති.
කෙසේ වෙතත් අජන්තා ගේ මේ ගීත පදමාලාව අතට ගත් ගමන්ම මට වැටහුණා මෙය විපුලම්භ ගෘංගාරයකින් යුතු ගීතයක් බව. පේ‍්‍රමයේ විරහව දුකක් වුවත් එයිනුත් යම් වින්දනයක් ලැබෙනවා.
මෙය විපුලම්භ ගෘංගාරය හොඳින් වින්දනය කර ගත හැකි ගීයක් නිසා මා ඊට උචිත තනුවක් නිර්මාණය කරන්නට උත්සාහ කළා.
විරහ වේදනාව පෙරදා ද වින්දේ තරුණයා පමණයි. අද ද ඔහු ඒ වේදනාව විඳිනවා. මෙය මට හිතෙන්නේ එක්තරා විදිහකට ගෘංගාරාත්මක වේදනාවක්.
ඒ දුක්ඛ වේදනාවත් සුඛවේදනාවක් කරගන්නට ඔහු උත්සාහ ගන්නවා. එහෙත් ඔහු ආදරයේ කඳුළින් මියයන්නට හෝ අකැමැත්තක් නැහැ.
මා මේ ගීතයේ තනුව නිර්මාණය කළේ ඒ විපුලම්භ ගෘංගාරයේ වේදනාව රසිකයාට වින්දනය වන ආකාරයටයි. එහි දී සෝමතිලක ගේ කටහඬට උචිත වන පරිදි මගේ නාද රටා ගළපන්නට මට හැකිවුණා. එහෙත් මෙහිදී විශේෂිත වූ තාල රටාවන් හෝ විශේෂ ප්‍රයෝග නම් මා යොදා ගත්තේ නැහැ. හැඟීමට උචිත සංගීතය පමණක් යොදාගත්තා.
සංගීතවේදී වික්ටර් රත්නායකයන් මේ ගීය ගැන සිය අදහස් දැක්වූයේ එසේ ය.
ගීතයකට උචිත පරිකල්පනය සංගීත නිර්මාණය හා ගායනය යන ති‍්‍රවිධ අංග එක සේ මනාව ගැළැපුණා. “මේ ගීතය පේ‍්‍රමයේ විපුලම්භයෙන් පීඩා විඳින පෙම්වතුන්ගේ ගීයක් ලෙස එදා මෙන් මතු ද දනත් තුඩ තුඩ රැඳෙනු ඇතැයි සිතමි.
0 comments:
Post a Comment